Skip to content

පටුනට යන්න

අසාධාරණය රජයන්නේ ඇයි?

අසාධාරණය රජයන්නේ ඇයි?

අසාධාරණය රජයන්නේ ඇයි?

අප අද ජීවත් වන සමාජයේ තත්වය ගැන මීට වසර 2,000කට පමණ පෙර බයිබලයේ මෙසේ සඳහන් වුණා. ‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.’—2 තිමෝති 3:1-4.

එවැනි ගතිලක්ෂණ අද සමාජයේ සාමාන්‍ය දෙයක් බව බොහෝදෙනෙක් පිළිගන්නවා. සමාජය එසේ වීමට හේතු වී තිබෙන්නේ මිනිසුන් තුළ තිබෙන කෑදරකම, අන් අයව පහත් කොට සැලකීම, සමාජ විරෝධී ආකල්ප, දූෂණය හා ආදායම් විෂමතාව යනාදියයි. අපි දැන් මේ එක් එක් කාරණා ගැන සලකා බලමු.

කෑදරකම. කෑදරකම නිසා බොහෝ අය පීඩා විඳියි. උදාහරණයකට වංචා කිරීමේ අරමුණින් මුදල් ආයෝජනය කිරීම සඳහා අනුන්ව පොලඹවන්නෙත්, මුදල් ගනු දෙනු කිරීමේදී වංචා කරන්නෙත් කෑදරකම නිසයි. මෙවැනි දේවල් නිසා ආර්ථික බිඳ වැටීම් හා සිත්තැවුල්වලට මිනිසුන් මුහුණ දෙයි. කෙසේවෙතත් සමහර අය එවැනි දේ අද්දැක තිබෙන්නේ ඔවුන්ගේම කෑදරකම නිසයි. සාධාරණ ලෙස හරිහම්බ කළ අයත් මෙවැනි උගුල්වලට හසු වීම නිසා සමහරෙකුට උන්හිටි තැන් පවා අහිමි වී තිබෙනවා.

අන් අයව පහත් කොට සැලකීම. මෙවැනි කෙනෙක් ජාතිය, සමේ වර්ණය, ස්ත්‍රී පුරුෂ භේදය, සමාජ පසුබිම හෝ ආගම වැනි දේවල් ගැන සැලකිලිමත් වෙමින් අන් අයව පහත් කොට සලකනවා. උදාහරණයකට දකුණු ඇමරිකාවේ ගර්භණී කාන්තාවකට ඇගේ ජාතිය හා පවුල් පසුබිම නිසා ඇයට රෝහලේදී අවශ්‍ය ප්‍රතිකාර ලැබුණේ නැහැ. ඒ නිසා ඇය මිය ගිය බව එක්සත් ජාතීන්ගේ කමිටුව වාර්තා කරනවා. අන් අයව පහත් කොට සැලකීම කොතරම් දුර දිග ගොස් තිබෙනවාද කියනවා නම් සමහර සුළු ජාතීන්ව සම්පූර්ණයෙන්ම තුරන් කර දැමීමට පවා පියවර ගෙන තිබෙනවා.

සමාජ විරෝධී ආකල්ප. මෙවැනි ආකල්ප ඇති පුද්ගලයන් නිසා සමාජයට වී තිබෙන හානිය ගැන පොතක වාර්තා වන්නේ මෙසේයි. “සෑම වසරකම පවුල් දහස් ගණනක් අනාථ වෙනවා. ඩොලර් මිලියන ගණන් වටිනා දේපළ විනාශ වී යනවා. මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා බහුලව දකින්න තිබෙන නිසා විසිවන ශතවර්ෂයේ අග භාගය ‘තොරතුරු යුගයක්’ නොව ‘සමාජ විරෝධී යුගයක්’ වන බව කලකට ඉහත දී ඉතිහාසඥයන් පවසා තිබීම පුදුමයක් නොවෙයි.” එම පොත ප්‍රකාශයට පත් වුණේ 1997දීයි. එවැනි අදහසක් ප්‍රකාශ කර දැනට වසර ගණනාවක් ගත වී තිබුණත් මිනිසුන්ගේ ආකල්පවල හා හැසිරීම් රටාවේ කිසිදු වෙනසක් සිදු වී නැහැ.—එම පොත Handbook of Antisocial Behavior.

දූෂණය. දකුණු අප්‍රිකාවේ සිදු වූ මුදල් වංචාවක් ගැන පොතක මෙසේ වාර්තා වෙනවා. එම රටේ ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන හතරක් වෙන් කරනු ලැබුවා. එම මුදල් “රෝහල්, සායන හා සෞඛ්‍ය මධ්‍යස්ථාන නඩත්තු කිරීම සඳහා” යෙදවිය යුතු වුණත් අවුරුදු හතක් පුරා ඉන් සියයට 81කට වඩා වැඩි මුදලක් වැය කළේ අයථා දේවල් සඳහායි.—එම පොත The Public Manager.

ආදායම් විෂමතාව. වසර 2005දී බ්‍රිතාන්‍යයේ මුළු වාර්ෂික ආදායමෙන් සියයට 30ක් පමණ බෙදී ගියේ ඒ රටේ වැඩි ආදායම් උපයන්නන්ගෙන් සියයට පහක් අතරේයි. එමෙන්ම ඇමරිකාවේ වාර්ෂික ආදායමෙන් සියයට 33ක් බෙදී ගියේ වැඩි ආදායම් උපයන්නන්ගෙන් සියයට පහක් අතර බව ටයිම් සඟරාවේ වාර්තා වෙනවා. ලෝකයේ මුළු ජනගහනයෙන් බිලියන 1.4ක් පමණකගේ දෛනික ආදායම ඩොලර් 1.25ක් (එනම් රුපියල් 140ක්) හෝ ඊට වඩා අඩුයි. දිනකට සාගින්නෙන් මිය යන දරුවන්ගේ සංඛ්‍යාව 25,000යි.

විසඳුමක් තිබෙනවාද?

වර්ෂ 1987දී ඕස්ට්‍රේලියාවේ අගමැති පැවසුවේ 1990 වන විට එම රටේ කිසිම දරුවෙක් සාගින්නෙන් පෙළීමට ඔහු ඉඩ නොතබන බවයි. නමුත් එය ඉටු වුණේ නැහැ. පසුව එවැනි පොරොන්දුවක් දීම ගැන ඔහු තම කනගාටුව පළ කළා.

යම් පුද්ගලයෙකුට කොතරම් බලයක්, ධනයක් හා හැකියාවක් තිබුණත් අද සමාජයේ සිදු වන අයුක්තිය මුළුමනින්ම තුරන් කිරීමට ඔහුට හැකියාවක් නැහැ. මන්ද ඔහුද අයුක්තියට මුහුණ දෙන, වියපත් වන, මරණය අද්දකින මිනිසෙක් නිසයි. මේ කරුණු සලකා බලද්දී බයිබලයේ සඳහන් මෙම වදන්වල සත්‍යතාව පැහැදිලි වෙනවා.

‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක් නැත.’—යෙරෙමියා 10:23.

“වංශවත් අය කෙරෙහිවත් ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත් විශ්වාසය නොතබන්න.”—ගීතාවලිය 146:3.

එම වදන්වල තිබෙන සත්‍යතාව සිතට ගන්නවා නම් මිනිසුන්ගේ වෑයම් අසාර්ථක වන විට අප කලකිරෙන්නේ නැහැ. එසේනම් අපිට යුක්තිය ඉටු වෙයි කියා බලාපොරොත්තු විය නොහැකිද? ළඟදීම යුක්තිය ඉටු වන කාලයක් එන බව අවසන් ලිපියේ සාකච්ඡා කරනවා. ඒ කාලය එන තුරු අපටත් සාධාරණව කටයුතු කළ හැකියි. අප එසේ කරනවාද කියාත් ඒ සම්බන්ධයෙන් තවත් දියුණු විය යුතු පැති තිබෙනවාද කියාත් සලකා බලමු.

[4වන සහ 5වන පිටුවේ පින්තූර]

1. ජනවාර්ගික අරගලවලට හවුල් වූ පුද්ගලයෙකුව චීනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවක්

2. ලන්ඩන් නුවර කෝලහලකරුවන් සිදු කරන විනාශය

3. රුවන්ඩාවේ සරණාගත කඳවුරක්

[හිමිකම් විස්තර]

Top left: © Adam Dean/Panos Pictures; top center: © Matthew Aslett/Demotix/CORBIS; top right: © David Turnley/CORBIS