Skip to content

පටුනට යන්න

ලුණු ලේවායක සංචාරයක් සහරා කතරේ

ලුණු ලේවායක සංචාරයක් සහරා කතරේ

ලුණු ලේවායක සංචාරයක් සහරා කතරේ

අපි ගමන් කරන වාහනයෙන් එළිය බැලූ විට පාර දෙපැත්තෙම පේළියට කණු සිටවා තිබෙනවා අපි දුටුවා. එසේ කර තිබෙන්නේ වැලි කුණාටු ඇති වූ විට පාර සොයාගැනීමට පහසු වීම සඳහායි. සහරා කාන්තාරයේ වැලි කුණාටු ඇති වීම සාමාන්‍ය දෙයක්.

අප ගමන් ගන්නා මාර්ගය සාදා තිබෙන්නේ පුරාණයේදී ඔටුවන් පිට ආගාඩෙස් නගරයට යෑම සඳහා යොදාගත් මාර්ගය ඔස්සේයි. එම නගරය පිහිටා තිබෙන්නේ නයිජර්වල උතුරු සීමාව පසු කර ඇල්ජීරියාව දෙසට වෙන්නයි. නමුත් අපේ ගමනාන්තය වන්නේ ආගාඩෙස් නගරයේ සිට වයඹ දෙසින් කිලෝමීටර් 200කට එහා පිහිටි ටෙගිඩා න් ටෙසූම් යන කුඩා ගම්මානයයි. මෙම ගම්මානයේ පවුල් 50ක් පමණ පදිංචි වී සිටිනවා. ඔවුන් කරන්නේ සහරා කාන්තාරයේ තිබෙන ලුණු ඉපැරණි ක්‍රමයකට ලබාගැනීමයි.

කුඩා පොකුණු

අප ගමන් ගන්නා මාර්ගය ඉදිරිපසින් කුඩා කඳු දකින්න තිබෙනවා. මෙය අපේ ගමනාන්තය පහසුවෙන් හඳුනාගැනීමේ ලකුණක් වුණා. අපට මඟ පෙන්වන්නා මීටර් 10ක් පමණ උස කන්දක් ළඟ වාහනය නවත්වා එහි අවට පරිසරය දැකගන්න එම කන්දට නඟින ලෙස පැවසුවා. අප කන්දට නඟින විට එවැනි කඳු සෑදී තිබෙන්නේ ලුණු ලබාගත් පසු ඉතුරු වන ද්‍රව්‍යයවලින් බව ඔහු අපට පැහැදිලි කළා.

කඳු මුදුනේ සිට බලන විට ඒ අවට දර්ශනය අපේ සිත් වසඟ කිරීමට සමත් වුණා. එහි සිට බලන විට ඒ අවට පරිසරය දිස් වුණේ මැටි පාටට හුරු වර්ණයකින් කළ සිත්තමක් ලෙසයි. ඊට හේතුව පොළොව, නිවෙස්, වහළවල් ඒ අවට තිබුණු තාප්ප මේ සෑම දෙයක්ම සාදා තිබුණේ මැටිවලින් වීමයි. වෙනසකට දකින්න තිබුණේ ගම්මානයේ දෙපස තිබෙන කොළ පාට ගස් දෙක පමණයි. එම නිවෙස් අවට සාදා තිබුණු ලුණු පොකුණු හරිම අලංකාරයි. එහි වෙසෙන ගැහැණු, පිරිමි සහ ළමා ළපටි ඇතුළු සෑම කෙනෙක්ම කඩි ගුලක් මෙන් වැඩ කරනවා අපි දුටුවා.

ලුණු ලබාගන්නා අපූරු ක්‍රමයක්

අපි කන්දෙන් පහළට බසින විට එම ගම්මානයේ මිනිසුන් ලුණු ලබාගැනීමට භාවිත කරන පැරණි ක්‍රමය ගැන මඟ පෙන්වන්නා විස්තර කළා. “මෙහි විශාල සහ කුඩා පොකුණු ලෙස වර්ග දෙකක් තිබෙනවා. විශාල පොකුණුවල විෂ්කම්භය මීටර් දෙකක් පමණ වන අතර එය භාවිත කරන්නේ ලුණු වෙන් කරගැනීමටයි. කුඩා පොකුණු භාවිත කරන්නේ ජලය වාෂ්ප කර ලුණු ඉතිරි කරගැනීම සඳහායි. මෙම ප්‍රදේශයේ ජල උල්පත් 20ක් පමණ තිබුණත් ඒවායේ තිබෙන ජලයද ලුණු රසයි. සාමාන්‍යයෙන් ලුණු ලබාගන්නේ ජලයෙන් වුවත් මෙහි ඇති විශේෂත්වය නම් මෙහි ලුණු ලබාගන්නේ පස්වලින් වීම. ඒ නිසා ලුණු ලබාගන්න භාවිත කරන ක්‍රමයත් වෙනස්.” පස්වලින් ලුණු ලබාගන්නේ කොහොමද?

අපි පොකුණු අසළට ගිය විට ලුණු ලබාගන්නා ආකාරය දුටුවා. ජලයෙන් පිරුණු පොකුණකට එක් අයෙක් පස් පිරෙව්වා. ඉන්පසු ඔහු එම පොකුණට බැස මැටි පාගන්නාක් මෙන් ටික වේලාවක් එය හොඳින් පෑගුවා. පසුව එහි පස් තැන්පත් වී ජලය පෑදෙන තෙක් පැය ගණනාවක් ඉඩහැරියා. ලුණු මිශ්‍ර ජලයේ පස් තැන්පත් වන විට මෙම පොකුණුවල දුඹුරු වර්ණයට හුරු විවිධ වර්ණයන් දැකගත හැකියි.

එක් පුද්ගලයෙක් ලබු කට්ටක් ආධාරයෙන් එලෙස පස් තැන්පත් වූ එක් විශාල පොකුණකින් ලුණු වතුර ගෙන ලඟ තිබෙන කුඩා පොකුණකට දමනවා අපි දුටුවා. මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නේ පිරිමින් විසිනුයි. ඒ වගේම පොකුණු නඩත්තු කිරීමද පිරිමි අයගේ වගකීමක්. මෙහි තිබෙන සමහර පොකුණු ඉබේ සෑදුණු ඒවා වන අතර අනික් ඒවා ගල් තට්ටු හාරා සකසාගත් ඒවායි. පොළොවේ සමහර තැන්වල ගල් තට්ටු හාරා පොකුණු සැදීම දුෂ්කරයි. මේ නිසා එවැනි තැන්වල පොකුණු තනාගන්නේ ගල් තට්ටුවට උඩින් ළිං ගැට්ටක් ආකාරයට මැටියෙන් බැම්මක් සාදාගැනීමෙනුයි. අතින් මැටි ගසා එම බැම්ම සාදාගන්නා අතර පසුව පොල්ලකින් ගසා එය තද කරගන්නවා. මෙවැනි පොකුණු නිතර නිතර අලුත්වැඩියා කිරීමට හෝ නැවත සෑදීමටද සිදු වෙනවා.

කාන්තාවන් මෙයට දායක වන්නේ කොහොමද? ලුණු සෑදීමට අවශ්‍ය පස් සපයන්නේ කාන්තාවන් විසිනුයි. ඒ වගේම කුඩා පොකුණුවලින් ජලය වාෂ්ප වුණාට පසු ඉතුරු වන ලුණු කැට එකතු කරන්නේද කාන්තාවනුයි. ඒ විතරක් නෙවෙයි ලුණු ඉවත් කළාට පසු එම පොකුණු නැවත වතාවක් භාවිත කිරීම සඳහා සූදානම් කරන්නේද ඔවුනුයි.

කුඩා පොකුණු වටා ළමුන් දුව පැන සෙල්ලම් කළත් ඔවුන්ටත් රාජකාරියක් තිබෙනවා. කුඩා පොකුණුවල ජලය වාෂ්ප වුණාට පසු කුඩා ලුණු කැට උඩින් මතු වෙනවා. ඒවා දිගටම එසේ තිබීමට ඉඩහැරියොත් ජලය වාෂ්ප වීමට එය බාධාවක්. ඒ නිසා කුඩා දරුවන් මෙම පොකුණුවල කුඩා ලුණු කැට සෑදෙන විට එය පරීක්ෂා කර ඒවා මතු පිටට වතුර ඉසිනවා. එවිට ලුණු කැට යටට බසින නිසා නැවතත් උඩින් ඇති ජලය බාධාවකින් තොරව වාෂ්ප වෙනවා. මෙලෙස සම්පූර්ණ පොකුණෙම ලුණු පමණක් ඉතිරි වන තුරු මේ ක්‍රියාවලිය දිගටම සිදු විය යුතුයි.

මෙම පොකුණු විවිධ වර්ණවලින් යුක්ත වන්නේ ඇයි? අපට මඟ පෙන්වන්නා එය මෙසේ විස්තර කළා. “මේ ප්‍රදේශයේ පස් වර්ග තුනක් තිබෙනවා. මේ එක් එක් පස් වර්ගය ජලය සමඟ මිශ්‍ර වූ විටද එහි අඩංගු ලුණු ප්‍රමාණය අනුවද එහි වර්ණය වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර පොකුණුවල පාසි බැඳී තිබෙන නිසාත් පොකුණුවල වර්ණය වෙනස් වෙනවා.” තවත් අපි දුටු අපූරු දෙයක් නම් හිරු එළිය එම පොකුණුවලට පතිත වන ආකාරය අනුවද එහි වර්ණ වෙනස් වීමයි.

ලුණුවලින් ලැබෙන ආදායම්

ඔවුන් එසේ ලබාගන්නා ලුණු දැඩි හිරු එළියේ තබා වියළා ගන්නවා. මෙම ලුණු පිරිසිදු නොකරන නිසා ඒවා දුඹුරු පාටින් යුක්තයි. කාන්තාවන් එම ලුණු රවුම්, බිත්තර හා ත්‍රිකෝණ හැඩවලට සකස් කරගන්නවා. එක් කාන්තාවක් පැවසූ ආකාරයට රවුම් සහ බිත්තර හැඩයෙන් සාදාගන්නා ලුණු කුට්ටි විකුණනු ලබන අතර ත්‍රිකෝණ හැඩැති ඒවා තෑගි වශයෙන් දෙනවා.

මේ ලුණු මිල දී ගන්නේ කවුද? කාන්තාරයේ තැනින් තැන ගමන් කරන අය හා ලුණු වෙළෙන්දන් ඔවුන් ළඟ තිබෙන ආහාර හා වෙනත් දේවල් දී ලුණු ලබාගන්නවා. මෙම ලුණු වැඩි වශයෙන් විකුණනු ලබන්නේ කාන්තාරයේ මායිමේ පිහිටා තිබෙන නගරවලටයි. දුඹුරු පැහැයෙන් යුත් මේ ලුණු බොහෝවිට මිනිසුන් කෑම සඳහා භාවිත නොකරන අතර ඒවා යොදාගන්නේ සත්ව ආහාරවලට මිශ්‍ර කිරීමටයි.

විශාල පොකුණකින් ලුණු ලබාගැනීමෙන් පසු ඉතුරු වන දෑ මිනිසෙක් ඉවත් කරනවා අප ආපසු පැමිණෙද්දී දුටුවා. ඔහු ඒවා පසෙකින් එකතු කරනවා දකිද්දී අපට මතක් වුණේ ඔහු තවත් කුඩා කන්දකට අඩිතාලමක් දමන බවයි. මෙහි පෙනෙන්න තිබෙන කඳුවලින් කියා පාන්නේ මෙම කර්මාන්තය කළ සිය ගණනකගේ සැඟවුණු ජීවිත කතන්දරයි.—සපයන ලද්දක්

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සාමාන්‍යයෙන් ලුණු ලබාගන්නේ ජලයෙන් වුවත් මෙහි ඇති විශේෂත්වය නම් මෙහි ලුණු ලබාගන්නේ පස්වලින් වීමයි”

[21වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

සහරා

නයිජර්

අගාඩෙස්

ටෙගිඩා-න්-ටෙසූම්

[හිමිකම් විස්තර]

Based on NASA/​Visible Earth imagery

[23වන පිටුවේ පින්තූරය]

සහරා කාන්තාරයෙන් ලුණු ලබාගන්නා අයුරු

[හිමිකම් විස්තර]

© Victor Englebert

[23වන පිටුවේ පින්තූරය]

වාෂ්පීකරණය සඳහා යොදාගන්නා කුඩා පොකුණු

[හිමිකම් විස්තර]

© Ioseba Egibar/​age fotostock

[23වන පිටුවේ පින්තූරය]

දැඩි හිරු රශ්මියෙන් වියළා ගත් ලුණු කුට්ටි