Skip to content

පටුනට යන්න

රස වෑහෙන පීට්සා

රස වෑහෙන පීට්සා

රස වෑහෙන පීට්සා

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

පළමු වන ෆර්ඩිනන්ඩ් රජ (1751-1825) සාමාන්‍ය වැසියෙක් ලෙස වෙස්වලා ගෙන නේපල්ස් නගරයේ පිහිටි එක් දුගී ගම්මානයකට ගියා. ඔහු එලෙස ගියේ ඇයි? ඒ පිළිබඳව එක් කතා පුවතක කියැවෙන්නේ ඒ කාලයේ රැජින විසින් රජ මාලිගාවේ පීට්සා සෑදීම තහනම් කර තිබූ නිසයි.

ෆර්ඩිනන්ඩ් රජ අද සිටියා නම් ඔහුට පහසුවෙන්ම පීට්සාවක රස බලන්න තිබුණා. අද වන විට පීට්සා අළෙවි කරන ස්ථාන 30,000ක් පමණ ඉතාලියේ දැකගත හැකියි. එහි කොතරම් පීට්සා ප්‍රමාණයක් සාදනවාද කියනවා නම් එක් අයෙකුට පීට්සා 45 බැගින් එහි වෙසෙන සියලුදෙනාටම ලබා දීමට හැකියාවක් තිබෙනවා.

පීට්සාවල ආරම්භය

පීට්සාවල ආරම්භය සිදු වුණේ මීට වසර 1720ට පමණ පෙර නේපල්ස් නගරයේයි. ඒ කාලයේ වැඩිපුර පීට්සා ආහාරයට ගත්තේ දුගී ජනතාවයි. එදා මේ රසවත් ආහාරය වෙළෙඳුන් ලෝහ භාජනයක දමා තම හිස මත තබාගෙන පාරක් පාරක් ගානේ කෑගසමින් විකුණුවා. ඔවුන් පිත්තල භාජන භාවිත කළේ පීට්සාවල උණුසුම රඳවාගැනීමටයි.

පළමු වන ෆර්ඩිනන්ඩ් රජට තිබුණු ආශාව ගැන ඔහු රජ මාලිගාවේ සිටි අයට දන්වා සිටියා. වැඩිකල් යන්න මත්තෙන් එම රසවත් ආහාරය දුගී ජනතාව අතර පමණක් නොව ඉහළ පැළැන්තියේ අය අතරත් රාජකීය පෙළපත අතරත් බොහෝසෙයින් ප්‍රචලිත වෙන්න පටන්ගත්තා. ඒ නිසා ඔවුන් පීට්සා විකුණන ස්ථාන කරා එක් රොක් වෙන්න පටන්ගත්තා. ෆර්ඩිනන්ඩ් රජගේ මුණුපුරා වන දෙවන ෆර්ඩිනන්ඩ් රජ පීට්සාවලට කොතරම් කැමැත්තක් දැක්වූවාද කියනවා නම් තමා හමු වීමට පැමිණෙන මිතුරන්ට පීට්සාවලින් සංග්‍රහ කිරීම සඳහා ඔහු 1832දී තම උද්‍යානයේ දර උදුනක් සෑදුවා.

පීට්සාවල ගුණය

අද බොහෝ යෞවනයන් අතර පීට්සා ප්‍රචලිත ආහාරයක්. නමුත් පීට්සා පෝෂ්‍යදායි ආහාරයක් වීමට නම් එහි කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් හා මේදය සමබරව තිබිය යුතුයි. ඒ විතරක් නොවෙයි විටමින්, ඛනිජ ලවණ හා බහුල ලෙස ඇමයිනො අම්ලයද එහි අඩංගු විය යුතුයි. විශේෂයෙන්ම ඔලීව තෙල්වලින් එය සාදා ගන්නවා නම් වඩාත් යෝග්‍යයි. මන්ද ඔලීව තෙල් ශරීරයට හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමට දායක වෙයි. එමගින් ධමනිවල ඇති වන අවහිරතා මඟහැරේ.

පිටි ගුළිය හොඳින් අනාගන්නවා නම් පීට්සා රොටිය හොඳින් පිස ගන්නවා නම් එය දිරවීමේ අපහසුතා ඇති කරන්නේ නැහැ. මෙහි කාබෝහයිඩ්රේට් බහුල නිසා ඉක්මනින් බඩ පිරෙනවා. ඒ නිසා පීට්සාවලට අධික කෑදරකමක් දක්වන අයට පවා ප්‍රමාණය ඉක්මවා අනුභව කළ නොහැකියි.

ඊළඟ වතාවේ ඔබ පීට්සා එකක රස බලන විට එහි ඉතිහාසය ගැනද ටිකක් මතක් කරගන්න. පළමුවන ෆර්ඩිනන්ඩ් රජ තම ආශාව රහසක් හැටියට තබා නොගෙන හෙළි කිරීම කොතරම් හොඳද?

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

▪ පීට්සාවක් දර උදුනකින් පුළුස්සා ගැනීමෙන් එහි රසය තවත් වැඩි වෙනවා. ඊට වදින දුම නිසා පීට්සාව තවත් සුවඳවත් වෙනවා.

▪ ලෝකයේ විශාලතම පීට්සාව සාදනු ලැබුවේ 1990දීයි. එහි විෂ්කම්භය අඩි 122ක් පමණ වන අතර එහි බර කිලෝග්‍රෑම් 12,000කට අධිකයි.

▪ මුල් කාලයේදී පීට්සා සැදීමට පෙර අනාගත් පිටි මිශ්‍රණය රොටියක් මෙන් සාදා පින්තූරයේ පෙනෙන පරිදි එය කරකවනවා. එසේ කළේ අන් අයව ආකර්ෂණය කරගැනීමට නොවෙයි. එසේ කරන්නේ මැද තුනීයටත් වටේ ගනකමින් යුත් දාරයක් සිටිනසේත් පීට්සාවේ හැඩය සාදා ගැනීමටයි.

[26වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]