Skip to content

පටුනට යන්න

නිරෝගීකම සැමගේ පැතුමයි!

නිරෝගීකම සැමගේ පැතුමයි!

නිරෝගීකම සැමගේ පැතුමයි!

“මම රෝගාතුරවෙමියි නොකියන්නේය” කියා ලියනු ලැබුවේ මීට වසර 2,700කට පෙර අනාගතවක්තෘවරයෙකු විසිනුයි. ඔහු කතා කරමින් සිටියේ අනාගතයේදී කිසිම රෝගයක් නැතිවීම ගැනයි. ඒ කාලය ගැන තවදුරටත් පවසමින් ඔහු කියා සිටියේ මෙසේයි. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය; බිහිරන්ගේ කන් ඇරෙන්නේය; එකල කොරා මුවකු මෙන් පැන යන්නේය; ගොළුවාගේ දිව ගී කියන්නේය.” මෙම අනාවැකිය පුරාණ ලියවිල්ලක් වන යෙසායා පොතේ සඳහන් වූවක්. (යෙසායා 33:24; 35:5, 6) රෝග නැති අනාගතයක් සම්බන්ධයෙන් තවත් අනාවැකි බයිබලයේ සඳහන් වෙන අතර බයිබලයේ එළිදරව් නමැති අන්තිම පොතෙත් ඒ ගැන විස්තර කර තිබෙනවා.—එළිදරව් 21:4.

මේ පොරොන්දු කවදාහරි ඉෂ්ට වෙයිද? කිසිවෙකු රෝගී නොවී සෞඛ්‍ය සම්පන්නව සිටින යුගයක් ඇත්තටම උදා වේවිද? වෙන කවරදාටත් වඩා අද බොහෝදෙනෙක් නිරෝගීව සිටින බව ඇත්තයි. නමුත් අසනීපයක් නැහැයි කියා කිව හැක්කේ කාටද? බොහෝදෙනෙක් සිටින්නේ ලෙඩ රෝග හැදෙයි යන බියෙන්. නවීන දින තාක්ෂණය කොතරම් දියුණු වී තිබුණත් කිසිවෙක් ලෙඩ රෝගවලින් සම්පූර්ණයෙන්ම නිදහස් නැහැ.

විශාල පාඩුවක්

අසනීප වීම හැම අතකින්ම පාඩුවක්. නමුත් ලොකුම පාඩුව තමයි මුදල් අතින් සිදු වන පාඩුව. උදාහරණයකට මෑතකදී එක් වසරක් තුළ යුරෝපයේ පමණක් සේවකයන් ගත් ලෙඩ නිවාඩුවල එකතුව මිලියන 500ක්. මෙම තත්වය වෙනත් රටවලත් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් සේවකයන්ගේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඒ අතරතුර වෛද්‍ය පහසුකම්වල මිලත් ඉහළ නඟිනවා. මෙය සියල්ලන්ටම බලපායි. පාඩුව දරාගැනීමට විවිධ ව්‍යාපාරිකයන් කරන්නේ තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමයි. ඒ වගේම රජයෙන් කරන්නේ බදු වැඩි කිරීමයි. අවසානයේදී පහර වදින්නේ මහජනයාටමයි!

වැඩියෙන්ම දුක් විඳින්න සිදු වන්නේ දිලිඳු අයටයි. සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන සංඛ්‍යාතයකගේ දුක්ඛදායක තත්වය එයයි. ඔවුන්ට ලැබෙන වෛද්‍ය පහසුකම් ඉතා සීමිතයි. සංවර්ධිත රටවල පවා සමහරුන්ට මේ ප්‍රශ්නය පවතිනවා. උදාහරණයකට එක්සත් ජනපදයේ මිලියන 46කට පමණ සෞඛ්‍ය රක්ෂණයක් නැහැ. ඒක ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට පාඩුවක්.

රෝගීවීමෙන් සිදු වන පාඩුව මුදල්වලට පමණක් සීමා වන්නේ නැහැ. සමහර අසනීපවලට සුවයක් නොලැබෙන බව දන්නා නිසා විඳින මානසික හා ශාරීරික වේදනාව, අනිත් අය බරපතළ අසනීපවලින් පෙළෙද්දී තමන්ට දැනෙන දුක මෙන්ම ප්‍රේමණීයයෙක් අසනීපයකින් මිය ගිය විට දැනෙන ශෝකය යනාදිය ලෙඩ රෝග නිසා වන පාඩුයි.

මේ අනුව බලද්දී රෝග නැති කාලයක ජීවත් වීමට ලැබෙයි යන බලාපොරොත්තුව කාගෙත් සිත්ගන්නා දෙයක්. බොහෝදෙනෙකු මෙවැන්නක් සිදු වෙයි කියා විශ්වාස කළත් සමහරෙකුට එය සිහිනයක් පමණයි. සමහරු සිතන්නේ විද්‍යා හා තාක්ෂණයේ දියුණුව මගින් කිසිම රෝගයක් නැති යුගයක් බිහි වේ කියායි. තවත් සමහරුන් ලෙඩ රෝග නැති කාලයක් ගැන තිබෙන බයිබල් අනාවැකි දෙවි විසින් ඉටු කරයි කියා විශ්වාස කරනවා. සැබෑව කුමක්ද? ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ මිනිසාද නැත්නම් දෙවිද?