Skip to content

පටුනට යන්න

භේදවල සුල මුල

භේදවල සුල මුල

භේදවල සුල මුල

භේද ඇති කිරීමට හේතු ගණනාවක් තිබිය හැකි වුවද මතු දැක්වෙන හේතු දෙක ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. (1) වෙනත් කෙනෙකු මත වරද පැටවීමට මං සෙවීම. (2) අතීතයේදී සිදු වූ අයුක්තිසහගත ක්‍රියා නිසා පවතින අමනාපය.

කලින් ලිපියේ සලකා බැලූ පරිදි යම් විපතක් සිදු වූ විට මිනිසුන් බොහෝවිට කරන්නේ ඒ සඳහා දොස් පැවරිය යුත්තේ කාටදැයි කියා සොයා බැලීමයි. යම් සමාජයක ඉහළ පැළැන්තියේ අය විසින් එහි වෙසෙන සුළුතර ජන පිරිසකට එරෙහිව දිගින් දිගටම චෝදනාවක් එල්ල කරනු ලබන විට එය සත්‍යයක් ලෙස බොහෝවිට පිළිගැනේ. එතැන් පටන් ඒ සුළුතර ජන පිරිසට වෙනස්කම් කරන්න පටන්ගනී. නිදසුනක් ලෙස, බටහිර රටවල ආර්ථික පසුබැසීම් සිදු වී ඇති අවස්ථාවලදී රැකියා හිඟය සඳහා බොහෝවිට දොස් පවරනු ලබන්නේ වෙනත් රටවලින් පැමිණි සේවකයන්ටය. එහෙත් ස්වදේශිකයන් කරන්න කැමති නැති රැකියා කරනු ලබන්නේ එම විදේශීය සේවකයන් විසිනි.

කෙසේවෙතත් භේද ඇතිවීමට හේතුව සැමවිටම වෙනත් අයට දොස් පැවරීමට මං සෙවීමම නොවේ. ඉතිහාසයද ඊට හේතු පාදක විය හැකියි. “අතීතයේදී සිදු කළ වහල් වෙළඳාමේ ප්‍රතිඵලයක් හැටියට වර්ග භේදය පිළිබඳ සංකල්පයක් ගොඩනැඟී තිබෙන අතර කලු මිනිසුන්ව හෙළාදැකීමේ සංස්කෘතියක්ද බිහි වී ඇත” කියා යුනෙස්කෝ ආයතනය මගින් පළ කළ වාර්තාවක (Against Racism) සඳහන් වේ. අප්‍රිකානුවන් පහත් ජාතියක් බව පවසමින් මිනිසුන්ව වෙළඳාම් කිරීමේ නින්දිත ක්‍රියාව සාධාරණීකරණය කිරීමට වහල් වෙළෙන්දෝ තැත් කළහ. පදනමක් නොමැති එම අසාධාරණ නිගමනයේ ප්‍රතිඵලයක් හැටියට පසු කාලයේදී යටත්විජිතවාදීන්ගේ පාලනයට නතු වූ රටවල වාසය කරන වැසියන් සම්බන්ධයෙන්ද එවන් අසාධාරණ හැඟීම් ඇති විය. මේ හැඟීම් අදත් ටිකෙන් ටික ඉස්මතු වේ.

අතීතයේදී කළ කෲර පාලනයන් හා අසාධාරණකම් නිසා ලොව පුරා තවමත් භේද දැකිය හැකියි. අයර්ලන්තයේ කතෝලිකයන් හා රෙපරමාදුවන් අතර පවතින සතුරුවාදීකම 16වන සියවස තරම් ඈත අතීතයේ සිට පවතී. ඒ කාලයේදී එංගලන්තයේ පාලකයෝ කතෝලිකයන්ට හිංසා පීඩා කොට ඔවුන්ව පිටුවහල් කළහ. කුරුස යුද්ධය පැවති කාලයේදී ක්‍රිස්තියානීන්යයි කියාගත් අය විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ක්‍රියා නිසා මැදපෙරදිග වාසය කරන මුස්ලිම්වරුන් තුළ අදත් ක්‍රිස්තියානීන් ගැන වෛරයක් පවතී. බෝල්කන් අර්ධද්වීපයේ වෙසෙන සර්බියානුවන් හා ක්‍රෝඒෂියානු ජාතිකයන් අතර සතුරුකමක් වර්ධනය වීමට හේතු වූයේ දෙවන ලෝක මහ යුද්ධය පැවති කාලයේදී සාමාන්‍ය වැසියන් බුරුතු පිටින් ඝාතනය කිරීමයි. මේ උදාහරණවලින් පෙනී යන පරිදි යම් ජන පිරිස් දෙකක් අතර අතීතයේ පැවති සතුරුවාදීකම් නිසා භේද ප්‍රබලව ඉස්මතු වේ.

නොදැනුවත්කම වර්ධනය වීම

වැටි වැටී ඇවිදින කුඩා දරුවෙකුගේ සිතෙහි භේද නැත. බොහෝවිට දරුවෙක් වෙනත් වර්ගයක දරුවෙක් සමඟ සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි කියා පර්යේෂකයෝ සඳහන් කරති. කෙසේවෙතත් අවුරුදු 10ක් හෝ 11ක් වන විට ඒ දරුවා වෙනත් ගෝත්‍රයක, වර්ගයක හෝ ආගමක අය සමඟ ඇසුරු කිරීමට කැමති නැත. දරුවෙකුගේ ගතිලක්ෂණ තීරණය වන මේ අවදියේදී අදහස් රාශියක් දරුවාගේ සිතට ඇතුල් වේ. මේ අදහස් ජීවිත කාලය පුරාම පැවතීමට ඉඩ ඇත.

මේ අදහස් දරුවන්ගේ සිත් තුළ ඇති වන්නේ කෙසේද? අන් අයව හෙළාදකින වැරදි ආකල්ප දරුවෙක් තුළ ඇති වන්නේ දරුවාට අසන්න ලැබෙන හා දකින්න තිබෙන දේවලින් එල්ල වන බලපෑම නිසාය. දරුවෙක් මුලින්ම මෙම බලපෑමට හසු වන්නේ ඔහුගේ දෙමාපියන් නිසාය. දෙවනුව ඔහුගේ මිතුරන් හා ගුරුවරුන් නිසාය. කල් ගත වන විට අසල්වැසියන්ද, පුවත්පත්ද, ගුවන්විදුලිය හෝ රූපවාහිනියද ඔහුට තවත් බලපෑම් කරයි. දරුවා යම් ජන පිරිසක් ගැන දන්නේ තොරතුරු ටිකක් විය හැකියි. නැතහොත් කොහොමටවත් ඔවුන් ගැන නොදන්නවා විය හැකියි. එසේ වුවත් ඔහු ඔවුන්ට අකමැති වීමට පුළුවනි. දරුවා වැඩිහිටියෙක් වෙද්දී නිගමනය කරන්නේ ඒ ජන කොටස තමන්ගේ ජනවර්ගයට වඩා පහත් පිරිසක් හා විශ්වාසය තැබිය නොහැකි පිරිසක් ලෙසයි. ඔහු ඔවුන්ට වෛර කරන්න පවා ඉඩ තිබේ.

වර්තමාන ලෝකයේ ගමනාගමනය හා වාණිජ කටයුතු දියුණු වීම නිසා විවිධ සංස්කෘති හා ජනවර්ග අතර පවතින සබඳතා බොහෝ රටවල වැඩි වර්ධනය වී තිබේ. කෙසේවෙතත් අන් අයට අසාධාරණ ලෙස සලකන්න පුරුදු වී ඇති තැනැත්තෙක් ඔහුගේ සිතට කාවැදී තිබෙන මත බොහෝදුරට වෙනස් කර නොගනී. මෙවැනි තැනැත්තෙක් දහස් ගණනක්ව හෝ මිලියන ගණනක්ව හංවඩු ගසන්නේ පොදුවේ ඔවුන් සෑම කෙනෙකු තුළම යම් නරක ගුණාංග තිබෙන බව සිතාගෙනය. එම දහස් ගණන අතරින් එක් කෙනෙක් තමන් අකමැති දෙයක් කළොත් ඔහු තුළ තිබෙන අසාධාරණ හැඟීම්වලට ඉන් ප්‍රබල බලපෑමක් ඇති වේ. අනිත් අතට ඒ අයගෙන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු තමාගේ මනාපය පරිදි කටයුතු කළත් ඒ අය කෙරෙහි තිබෙන වැරදි අදහස් ඔහු වෙනස් කරගන්නේ නැත.

භේදවලින් නිදහස් වීම

බොහෝදෙනෙකු ප්‍රතිපත්තියක් වශයෙන් භේද ඇති කිරීම හෙළාදුටුවද එහි බලපෑම්වල ග්‍රහණයෙන් මිදෙන්නේ ටිකදෙනෙකි. භේද ඇති කිරීමේ නැඹුරුවාව සිත්වලට තදින්ම කාවැදී තිබෙන බොහෝදෙනෙකු තරයේ කියා සිටින්නේ තමන් තුළ එවන් නැඹුරුවාවක් නැති බවයි. තමන් තුළ තිබෙන මෙම නැඹුරුවාව එළිපිට දක්නට නොලැබේ නම් එය ගණන්ගත යුතු නැතැයි කියා සමහරු පවසති. එහෙත් එහි ප්‍රතිඵලයක් හැටියට මිනිසුන් වේදනා විඳින නිසාත් ඔවුන් භේදභින්න වී සිටින නිසාත් එවන් හැඟීම් ගණන්ගත යුතුයි. භේද නොදැනුවත්කමේ ප්‍රධාන ඵලය වන්නේ නම් බොහෝවිට එහි අතුරු පලය වන්නේ වෛරයයි. කර්තෘවරයෙකු වන චාල්ස් කේලෙබ් කොල්ටන් (1780?-1832) මෙසේ පෙන්වා දුන්නේය. “අපි සමහරුන්ට වෛර කරන්නේ අපි ඔවුන් ගැන නොදන්න නිසයි. අපි ඔවුන් ගැන නොදන්නේ අපි ඔවුන්ට වෛර කරන නිසයි.” භේද ඇති කරන්න පුළුවන් නම් ඒවා නැති කරන්නද පුළුවන. මෙය කරන්නේ කෙසේද?

[7වන පිටුවේ කොටුව]

ආගම්වලින් ඇති කරන්නේ භේදද සමඟියද?

ගෝඩන් ඩබ්. ඕල්පෝට් තමන් විසින් රචනා කරන ලද පොතක (The Nature of Prejudice) මෙසේ සඳහන් කර ඇත. “සාමාන්‍යයෙන් පල්ලි නොයන්නන්ට වඩා පල්ලි යන්නන් තුළ භේද ඇති කිරීමේ නැඹුරුවාව වැඩි බව දක්නට තිබේ.” බොහෝ අවස්ථාවලදී ආගම් මිනිසුන්ගේ සිත්වලින් භේද පහ කර දැමීමට කටයුතු කරනවා වෙනුවට ඒවා මිනිසුන්ගේ සිත්වල ඇති කිරීමට හේතු වී තිබෙන නිසා ඒ ප්‍රකාශය ගැන අප පුදුම වන්නේ නැත. උදාහරණයක් හැටියට පූජකයෝ යුදෙව් විරෝධී මතයට සියවස් ගණනාවක සිට අනුබල දුන්හ. එක් පොතක (A History of Christianity) සඳහන් වන පරිදි හිට්ලර් මෙසේ පැවසුවේය. “යුදෙව්වන් සම්බන්ධයෙන් මා අනුගමනය කරන්නේ කතෝලික සභාව විසින් අවුරුදු 1500ක පමණ කාලයක සිට අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තියමයි.”

බෝල්කන් අර්ධද්වීපයේ ම්ලේච්ඡ ක්‍රියා සිදු වූ කාලයේදී වෙනත් ආගමකට අයත් තමන්ගේ අසල්වැසියන් සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමේ හා ඔවුන්ට ගෞරවයෙන් සැලකීමේ හැකියාව තම සාමාජිකයන් තුළ ඇති කිරීමට ඕතඩොක්ස් හා කතෝලික සභාවල ඉගැන්වීම් සමත් වූ බවක් පෙනෙන්න නොතිබිණ.

මේ හා සමානව රුවන්ඩාවේ පල්ලි යන අය ඔවුන්ගේ සෙසු නමස්කාරකයන්ව ඝාතනය කළහ. එම රටේ සිදු වූ සටන් “ඇත්තෙන්ම ජන සංහාරයක් කියා පැවසිය හැකියි. කතෝලිකයන් පවා ඒවාට හවුල් වීම කනගාටුදායකයි” කියා එක් වාර්තාවක (National Catholic Reporter) සඳහන් විය.

තම සභාව මිනිසුන්ට අයුක්තිසහගත ලෙස සලකා තිබෙන බව කතෝලික සභාව විසින්ම පිළිගෙන ඇත. දෙවන ජුවාම් පාවුළු පාප් විසින් 2000දී රෝමයේ පවත්වන ලද ප්‍රසිද්ධ පූජාවකදී “අතීතයේදී [කතෝලික සභාව] පිළිගත් ප්‍රමිතියෙන් පිට පැනීම” ගැන සමාව ඉල්ලා සිටියේය. “අන් ආගම් නොරිස්සීම හා යුදෙව්වන්ට, ස්ත්‍රීන්ට, මුල් ජනාවාසීන්ට, සංක්‍රමණිකයන්ට, දිලිඳුන්ට හා නූපන් දරුවන්ට අසාධාරණ ලෙස සැලකීම” ගැනද එම පූජාවේදී විශේෂයෙන් සඳහන් කරන ලදි.

[6වන පිටුවේ පින්තූරය]

ඉහළ: බොස්නියාවේ හා හර්සගොවිනාවේ සරණාගත කඳවුර, 1995 ඔක්තෝබර් 20

බොස්නියානු හා සර්බියානු සරණාගතයන් දෙදෙනෙක් සිවිල් යුද්ධය නිම වන්නේ කවදාදැයි බලා සිටිති

[හිමිකම් විස්තර]

ඡායාරූපය Scott Peterson/Liaison

[7වන පිටුවේ පින්තූරය]

වෛර කිරීමට ඉගෙනගනියි

දෙමාපියන්ගෙන්, රූපවාහිනියෙන් හා වෙනත් ක්‍රමවලින් අහිතකර අදහස් දරුවෙකුගේ සිත තුළට ඇතුල් විය හැකියි