Skip to content

පටුනට යන්න

ඔබේ පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට මානසික රෝගයක් ඇත්නම්

ඔබේ පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට මානසික රෝගයක් ඇත්නම්

ඔබේ පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට මානසික රෝගයක් ඇත්නම්

පෙරේරා පවුලේ * සාමාජිකයන් සතරදෙනා සුපුරුදු පරිදි නැඟිට, තම වැඩ රාජකාරී සඳහා සූදානම් වුණා. ඒ වන විටත් ප්‍රමාද වී තිබුණ නිසා පද්මිණි ඇගේ 14 හැවිරිදි පුතා වන සුරේශ්ට පැවසුවා පාසැල් බස් රථය ඔහුව දාලා ගිහින් ඇති කියා. ඊටපස්සේ, සිද්ධ වුණේ කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. සුරේශ් නිදන කාමරයක බිත්තිය පුරාම තීන්ත ඉහිරුවා. ඔහු ගරාජයට ගිනි තියන්න හැදුවා. අන්තිමට ඔහු එල්ලිලා මැරෙන්න උත්සාහ කළා. මේ සියල්ල සිදු වුණේ පැය භාගයක් ඇතුළතයි.

සුරේශ්ව රෝහලට ගෙන ගිය ගිලන් රථය පිටුපස ගමන් කරමින් සිටි පද්මිණිටත් ඇගේ ස්වාමිපුරුෂයා වන නාලකටත් මෙවැනි දෙයක් සිදු වුණේ ඇයි කියා සිතාගන්නවත් බැරුව ගියා. ඔවුන්ට ඉන්පසුවත් එවැනිම අවස්ථා ගණනාවකට මුහුණ දෙන්න සිදුවීම ඇත්තෙන්ම කනගාටුදායකයි. විටින් විට සිහිවිකල් තත්වයට පත් වූ සුරේශ් මානසික රෝගියෙකු බවට පත් වුණා. අවුරුදු පහක් පුරාම මේ අඳුරු ලෝකයේ සිර වී සිටි ඔහු කිහිප වතාවක්ම සියදිවි නසාගැනීමට උත්සාහ කළා. ඔහුව දෙවතාවක්ම අත්අඩංගුවට ගනු ලැබූ අතර මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් හතක ඔහුව නතර කරනු ලැබුවා. ඒ වගේම, කිහිප වතාවක්ම ඔහුව මානසික රෝග සම්බන්ධ විශේෂඥයන් වෙතට රැගෙන යෑමට සිදු වුණා. බොහෝ අවස්ථාවලදී, මොනවා කරන්නද මොනවා කියන්නද කියා නොදැන සිටි ඔහුගේ නෑදෑ හිතවතුන් අන්ත අසරණ තත්වයකට පත් වී සිටියා.

ලෝ වෙසෙන ජනයාගෙන් සියයට 25දෙනෙකුට පමණ තම ජීවිතයේ යම් අවදියකදී මානසික රෝගයක් වැලඳීමට ඉඩ තිබෙන බව ගණනය කිරීම්වලින් හෙළි වී තිබෙනවා. එහෙමනම්, ඔබේ මාපියෙකුට, දරුවෙකුට, සහෝදර සහෝදරියකට හෝ හිතවතෙකුට ස්නායු ආබාධයක් * ඇත්නම් එය පුදුමයක් නොවෙයි. ඔබේ පවුලේ කෙනෙක් හෝ හිත මිතුරෙක් එවැනි රෝගී තත්වයකින් පෙළෙනවා නම් ඔබට කුමක් කළ හැකිද?

රෝග ලක්ෂණ හඳුනාගන්න. යමෙකුට මානසික රෝගයක් ඇති බව එක පාරටම හඳුනාගැනීම අපහසු වන්න පුළුවන්. ඔහු තුළ රෝග ලක්ෂණ දක්නට ලැබුණත් ඒවා හටගෙන තිබෙන්නේ හෝමෝන මට්ටම් වෙනස් වීම, ශාරීරික ආබාධ, පෞරුෂත්වයේ දුර්වලතා හෝ යම් අසීරු තත්වයන් නිසායයි පවුලේ සාමාජිකයන් හා මිත්‍රයන් සිතිය හැකියි. සුරේශ්ගේ රෝගී තත්වය හඳුනාගැනීමට කලින් ඔහු හැසිරෙන ආකාරයේ යම් වෙනසක් ඇති වී තිබූ බව ඔහුගේ මවට පෙනී ගියා. එහෙත් සුරේශ් නව යොවුන් වියට පා තබමින් සිටි නිසා විටින් විට මානසික ස්වභාවයේ වෙනස්කම් ඇතිවීම සාමාන්‍ය දෙයක් කියාත් එම තත්වය ටික කලකින් පහ වී යාවි කියාත් සුරේශ්ගේ දෙමව්පියන් සිතුවා. කෙසේවෙතත්, නිදාගැනීමේ පුරුදුවල, ආහාර ගැනීමේ පුරුදුවල හෝ හැසිරීම් රටාවේ ලොකු වෙනස්කම් ඇති වී තිබේ නම් ඊට වඩා බරපතළ ගැටලුවක් ඇති බව ඉන් ඇඟවිය හැකියි. රෝගියාව මානසික රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙතට ගෙන ගියොත් ඔහුට නියම ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. එමගින් ඔහුට යම් දුරකට සුවයක්ද ලැබිය හැකියි.

රෝගය ගැන දැනුවත් වන්න. සාමාන්‍යයෙන් තම රෝගය පිළිබඳව තොරතුරු සොයා බැලීම මානසික රෝගියෙකුට ඒ තරම් පහසු දෙයක් නොවෙයි. ඒ නිසා, ඔබ ආදරය කරන එම තැනැත්තා අද්දකිමින් සිටින දේ තේරුම්ගැනීම සඳහා ඔබට පුළුවන් මෑතකදී පළ වූ විශ්වාසවන්ත මූලාශ්‍රවලින් තොරතුරු සොයා බලන්න. එතකොට, අන්‍යයන් සමඟ දැනුම් තේරුම් ඇතුව, විවෘතව කතා කරන්නත් ඔබට පුළුවන් වේවි. පද්මිණි එවැනි දෙයක් කළා. ඇය සුරේශ්ගේ ආච්චිටයි සීයාටයි වෛද්‍ය පොත් පත් කිහිපයක් ලබා දුන්නා. එම පොත් පත් කියවීමෙන් පසු, සුරේශ්ගේ රෝගය ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් ලැබුණු බවත් උපකාර පිරිනමන්න ඔවුන් වඩා සුදුසු තත්වයක සිටින බවත් ඔවුන්ට හැඟුණා.

දිගටම ප්‍රතිකාර ලබා දෙන්න. සමහර මානසික රෝග ඉක්මනින්ම සුව කළ නොහැකියි. එහෙත් බොහෝවිට නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගී තත්වය පාලනය කරන්නත් ඵලදායී ජීවිතයක් ගත කරන්නත් රෝගියාට පුළුවන්. බොහෝදෙනෙක් අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රතිකාර නොලබා දුක් විඳීම ඇත්තෙන්ම කනගාටුදායක දෙයක්. හෘදයේ දරුණු ආබාධිත තත්වයක් ඇත්නම් හෘද රෝග විශේෂඥයෙක් වෙතට යා යුතුයි. ඒ හා සමානව, මානසික රෝගයක් ඇති වූ විට ඊට ප්‍රතිකාර කළ හැකි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙතට යා යුතුයි. උදාහරණයකට, මානසික රෝග සම්බන්ධ විශේෂඥයෙකුට පුළුවන් මානසික ස්වභාවය සාමාන්‍ය තත්වයට පත් කරන මෙන්ම කාංසාව හා අස්වාභාවික සිතුවිලි තුරන් කරන බෙහෙත් නියම කරන්න. *

වෛද්‍ය උපකාර පැතීමට රෝගියාව දිරිගන්වන්න. තමාට උපකාර අවශ්‍ය බව මානසික රෝගියෙකුට නොතේරෙනවා විය හැකියි. රෝගියාට වෛද්‍යවරයෙකුව හමු වෙන්න කියා හෝ ඔහුට ප්‍රයෝජනවත් වන ලිපි කියවන්න කියා හෝ එවැනිම ආබාධයක් පාලනය කිරීමට සමත් වූ වෙනත් කෙනෙක් සමඟ කතා කරන්න කියා හෝ ඔහුට යෝජනා කරන්න ඔබට පුළුවන්. සමහරවිට, ඔබ දෙන උපදෙස් පිළිගැනීමට රෝගියා සතුටු නොවිය හැකියි. එහෙත් රෝගියා ඔබේ රැකවරණය යටතේ සිටින කෙනෙකු නම් හා ඔහුටම හෝ වෙනත් කෙනෙකුට හානියක් කළ හැකි බව ඔබට හැඟේ නම්, ඔහුව වෛද්‍යවරයෙකු වෙතට ගෙන යෑමට පියවර ගන්න.

රෝගියා තම තත්වයට වග කිව යුතුයයි නොපවසන්න. මොළය අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වීමට ප්‍රවේණි, පාරිසරික හා සමාජීය සාධක හේතු වෙනවා. මෙම සාධක ඉතා සංකීර්ණ අයුරින් එකිනෙකට බැඳී පවතින්නේ කෙසේද යන්න ගැන විද්‍යාඥයන්ට තවමත් ස්ථිර නැහැ. ඉහත සඳහන් සාධක කිහිපයක් එකවර යමෙකුට බලපාන විට මානසික රෝගයක් ඇති විය හැකියි. මොළයට අනතුරක් සිදුවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මානසික පීඩනයට තුඩු දෙන තත්වයන්, මොළයේ සෛලවල සිදු වන ජෛව රසායන වෙනස්කම් සහ ප්‍රවේණි සාධක උදාහරණ වශයෙන් දැක්විය හැකියි. රෝගියා එම තත්වයට පත් වී තිබෙන්නේ ඔහුගේම වරද නිසාය කියා දොස් පැවරීම සුදුසු දෙයක් නොවෙයි. ඔහුට උපකාර කරන්න. දිරිගන්වන්න. ඔබට කළ හැකි හොඳම දෙය එයයි.

රෝගියාගෙන් පමණට වඩා බලාපොරොත්තු නොවන්න. රෝගියාට කළ නොහැකි දේවල් ඔබ ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඔහු අධෛර්යයට පත් විය හැකියි. නිතරම ඔහුගේ දුර්වලතා ගැන කියන්න ගියොත් තමා අසරණ වී ඇති බවක් ඔහුට දැනෙන්න පුළුවන්. ඒ නිසා, ඔහුගෙන් බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන් සාධාරණ වන්න. නමුත් ඔහු වැරදි ක්‍රියාවල නිරත වේ නම් එය නොසලකා නොහැරිය යුතුයි. වෙනත් අයට මෙන් මානසික රෝගීන්ටත් ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අත් විඳින්න ඉඩහැරිය යුතුයි. රෝගියා ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වේ නම් ඔහුගේ හෝ අන්‍යයන්ගේ ආරක්ෂාව පිණිස යම් නීතික පියවර ගැනීමට හෝ ඔහුව සමාජයෙන් වෙන් කර තැබීමට හෝ සිදු විය හැකියි.

රෝගියා සමඟ දිගටම කතා බහ කරන්න. රෝගියා සමඟ හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීම හරිම වැදගත්. සමහරවිට ඔබ කියන දේවල් ඔහු වරදවා වටහාගන්න පුළුවන්. බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රතිචාරයක් ඔහු විසින් දැක්විය හැකියි. ඒ වගේම, අවස්ථාවට නොගැළපෙන සේ ඔහු ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. කොහොම නමුත්, ඔහු පවසන දේවලට දොස් පවරන්න ගියොත් ඔහුගේ හිතට දැනෙන දැඩි වේදනාවට අමතරව වරදසහිතබවේ හැඟීමක්ද ඇති වෙයි. ඒ නිසා, කතා කිරීමෙන් පලක් නැහැයි කියා ඔබට හැඟුණොත් නිශ්ශබ්ද වී සන්සුන්ව ඔහුට සවන් දෙන්න. ඔහු තම හැඟීම් හා සිතුවිලි ගැන කතා කරද්දී ඔහු පවසන දේවල් ප්‍රතික්ෂේප නොකරන්න. ඔහුට දොස් කියන්න එපා. කලබල නොවී සිටීමට උත්සාහ කරන්න. රෝගියා ගැන ඔබ උනන්දුවක් දක්වන බව දිගටම පෙන්වීමම ඔබට මෙන්ම ඔහුටද ප්‍රයෝජන ගෙන දිය හැකියි. සුරේශ්ගේ අද්දැකීමෙන් මෙය පැහැදිලි වෙනවා. අවුරුදු කිහිපයක් ගෙවුණු පසු, ඔහුට උපකාර කළ අයට තම අගය පළ කරමින් ඔහු මෙසේ පැවසුවා. “මං කාගෙවත් උදව් උපකාර පිළිගන්න අකමැති වුණ අවස්ථාවලදීත් මට උදව් කරපු අයට මං ස්තුති කරන්න කැමතියි.”

පවුලේ අනිත් අයගේ අවශ්‍යතා ගැනත් සිතන්න. රෝගීව සිටින පුද්ගලයාගේ අවශ්‍යතාවලට අවධානය යොමු කරන විට පවුලේ අනිත් සාමාජිකයන්ගේ අවශ්‍යතාවලට අවධානය දීම අතපසු වීමට ඉඩ තිබෙනවා. සුරේශ්ගේ අක්කා වන දිලිනි ඇයට දැනුණ දේ මෙසේ විස්තර කරනවා. “මට හිතුණේ මල්ලිගේ ලෙඩේ හින්දා මාව අමතක කරලා දාලා කියලයි.” එහෙත් ඇය තමා වෙතට අවධානය ඇදගැනීමට කැමති වුණේ නැහැ. ඒ නිසා ඇය තම දක්ෂතාවන් සැඟවීමට උත්සාහ කළා. ඒත් එක්කම, මල්ලිගේ අඩුව පිරිමසාගන්න දෙමව්පියන් ඇගෙන් වැඩියෙන් දේවල් බලාපොරොත්තු වුණා කියා පෙනෙන්න තිබුණා. මෙවන් තත්වයන්ට මුහුණ දෙන පවුල්වල දරුවන්ට අවශ්‍ය අවධානය නොලැබෙන විට ඔවුන් තමන් වෙතට අවධානය ඇදගැනීම සඳහා නොහික්මුණු විදිහට හැසිරෙන්න පටන්ගන්නවා. පවුලේ සිටින සියලුදෙනාටම නිසි අවධානය ලබා දීම සඳහා මෙවන් පවුල්වල සිටින අයට උපකාරය අවශ්‍යයි. උදාහරණයකට, පෙරේරා පවුල සුරේශ්ගේ ගැටලු කෙරෙහි තමන්ගේ මුළු අවධානය යොමු කරමින් සිටිද්දී එම ප්‍රදේශයට අයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ මිත්‍රයන් දිලිනිගේ අවශ්‍යතා ගැන වැඩි අවධානයක් යොමු කළා.

මානසික සුවයට දායක වන ජීවන රටාවක් අනුගමනය කරන්න. මානසික සුවයට රුකුල් දෙන හොඳ පුරුදු ඇති කරගත යුතුයි. ඒ සඳහා ආහාර ගැනීමේ පුරුදු, ව්‍යායාමය, නින්ද හා සමාජ ඇසුර වෙතටත් අවධානය යොමු කළ යුතුයි. සුහද හමුවක් සංවිධානය කරද්දී වෙහෙසකර නොවන ක්‍රියාකාරකම් සැලසුම් කර මිත්‍රයන් සුළු පිරිසකට ආරාධනා කරන්න. එවිට රෝගියාට බියක් හෝ අපහසුවක් නොදැනීමට ඉඩ තිබෙනවා. මත්පැන් පානයෙන් රෝග ලක්ෂණ තවත් උග්‍ර විය හැකි අතර ඖෂධවල ගුණය බාල වෙන්නද ඉඩ තිබෙනවා. දැන් පෙරේරා පවුල මානසික සුවයට හිතකර දින චර්යාවක් පවත්වාගැනීමට වෑයම් කරනවා. එය පවුලේ සියලුදෙනාටම වගේම විශේෂයෙන්ම තම පුතාට ප්‍රයෝජනවත් වෙනවා.

ඔබේ අවශ්‍යතා ගැනත් සැලකිලිමත් වන්න. මානසික රෝගියෙකුට සාත්තු කරද්දී ඔබේ සෞඛ්‍යයටද අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, ඔබේ ශාරීරික, මානසික හා ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. පෙරේරා පවුලේ අය යෙහෝවාගේ සාක්ෂිකරුවන්. මෙම දුෂ්කර තත්වයට සාර්ථකව මුහුණ දීමට තමාට උපකාරවත් වූයේ තම ඇදහිල්ලයි කියා පද්මිණිට හැඟෙනවා. “හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවලදී ක්‍රිස්තියානි රැස්වීම්වලින් මට සහනයක් ලැබුණා” කියා ඇය පවසනවා. “රැස්වීම්වලට එනකොට, අපිට තියෙන ප්‍රශ්න ගැටලු පැත්තකට දාලා වඩාත් වැදගත් දේවල් කෙරෙහිත් අපේ බලාපොරොත්තුව කෙරෙහිත් අපි අවධානය යොමු කරන්න ඕනේ. මං අනන්ත වාරයක් අසරණ වෙලා හිටිය අවස්ථාවලදී යාච්ඤා කරලා යෙහෝවාගෙන් සහනය ඉල්ලුවා. එතකොට මගේ තත්වයේ මොනවාහරි වෙනසක් වෙලා මගේ දුක තුනී වුණා. යෙහෝවා දෙවි මට දුන්න උපකාරය නිසා මේ වගේ තත්වයකට මුහුණ දෙන අයට කවදාවත් ලැබිය නොහැකි සමාදානයක් මම අද්දැක්කා.”

සුරේශ් දැන් වැඩිහිටියෙක්. ඔහු දැන් ජීවිතය දෙස වඩා ශුභවාදීව බලනවා. “මට හිතෙන්නේ මගේ අද්දැකීම හින්දා මම ඉස්සරට වඩා හොඳ පුද්ගලයෙක් වෙලා” කියා ඔහු පවසනවා. සුරේශ්ගේ අක්කා වන දිලිනිටත් හැඟෙන්නේ එම අද්දැකීමෙන් ඇයට ප්‍රයෝජනයක් ලැබුණු බවයි. “මම දැන් ඉස්සර වගේ අනිත් අයව විවේචනය කරන්නේ නැහැ. කෙනෙක් මොන වගේ තත්වයක ඉන්නවාද කියලා අපිට හරියට කියන්න බැහැ. යෙහෝවා දෙවි විතරයි ඒක දන්නේ.”

ඔබ ආදරය කරන කෙනෙකුට මානසික රෝගයක් ඇත්නම් නිතරම මේ දේ මතක තබාගන්න. රෝගියාට සවන් දීමෙන්, උපකාර පිරිනැමීමෙන් හා විවෘත මනසක් ඇතුව සිටීමෙන් ඔහුට එම තත්වයට මුහුණ දීමට උපකාර කරන්න ඔබට පුළුවන්. සමහරවිට එමගින් ඔහු සුවය ලැබීමටද ඉඩ තිබෙනවා.

[පාදසටහන්වල]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 4 ඡේ. “ස්නායු ආබාධ” කියා පවසද්දී ඉන් අඟවන්නේ ස්නායු පද්ධතියේ දුර්වලතාවක් ඇති බවයි. කෙනෙකුට එවන් දුර්වලතාවක් තිබෙනවායයි පවසද්දී එය එතරම් ලජ්ජාවට හේතුවක් වන්නේ නැහැ. ඒ නිසා, ඇතැම් අය භාවිත කරන්නේ එම යෙදුමයි.

^ 7 ඡේ. ඖෂධවලින් ඇති කළ හැකි යහපත් බලපෑම් වගේම ඒවායින් ඇති විය හැකි අතුරු ආබාධ ගැනත් සලකා බැලිය යුතුයි. පිබිදෙව්! විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. තමන් අනුගමනය කරන ප්‍රතිකාර ක්‍රමය බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි නොවන බවට ක්‍රිස්තියානීන් වගබලා ගත යුතුයි.

[29වන පිටුවේ කොටුව]

මානසික රෝගයක් ඇති විට මතු වන රෝග ලක්ෂණ කිහිපයක්

ඔබේ පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකුට මතු දැක්වෙන රෝග ලක්ෂණ ඇත්නම්, ඔහු හෝ ඇය මානසික රෝග සම්බන්ධ විශේෂඥයෙකුව හමු විය යුතුයි:

• දිගු කාලයක් පුරා දුක්මුසු ස්වභාවයකින් හෝ නුරුස්සන ගතියකින් පසුවීම

• සමාජ ඇසුරෙන් වෙන්ව සිටීම

• විටෙක අධික ප්‍රීති ප්‍රමෝදයක් හා තවත් විටෙක දොම්නස් ස්වභාවයක් ඇතිවීම

• නිතරම කේන්ති යෑම

• ප්‍රචණ්ඩකාරී හැසිරීම

• මත්පැන්වලට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම

• අධික බිය, කාංසාව හා කනස්සල්ල

• සිරුරේ බර වැඩි වේවි යන්න ගැන අසාමාන්‍ය බියක්

• නිදාගැනීමේ හා ආහාර ගැනීමේ පුරුදුවල ලොකු වෙනසක් ඇතිවීම

• නිතරම නරක හීන දැකීම

• සිතුවිලි අවුල් වීම

• සිතේ මවාගත් කාරණා ගැන තද විශ්වාසයක් ඇතිවීම (Delusions). එසේත් නැත්නම්, කිසිවෙක් නොමැති තැනක කටහඬවල් ඇසීම සහ නොපවතින දෙයක් හෝ පුද්ගලයෙකුව මැවී පෙනීම (Hallucinations)

• මරණය හෝ සියදිවි නසාගැනීම පිළිබඳ සිතුවිලි පහළ වීම

• ගැටලුවලට හෝ දෛනික ජීවිතයේ කටයුතුවලට මුහුණ දීමට නොහැකි වීම

• ගැටලුවක් ඇති බව පෙනෙන්න තිබියදීත් එය පිළි නොගැනීම

• ශාරීරික රෝගයක් නොමැති වුවත් එවැනි රෝග ලක්ෂණ බොහොමයක් මතුවීම

[30වන පිටුවේ පින්තූරය]

කතා කිරීමෙන් පලක් නැහැයි කියා හැඟුණොත් නිශ්ශබ්ද වී සන්සුන්ව රෝගියාට සවන් දෙන්න