Skip to content

පටුනට යන්න

වන ලැහැබේ විශිෂ්ට රංග ශිල්පියා

වන ලැහැබේ විශිෂ්ට රංග ශිල්පියා

වන ලැහැබේ විශිෂ්ට රංග ශිල්පියා

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

මොනරා කෙමෙන් කෙමෙන් ඉදිරියට පා නඟන්නේ අලුතින් නිපදවූ නාට්‍යයක ප්‍රධාන තරුව චමත්කාරජනක තිරයක් මැදින් වේදිකාවට පා තබන්නාක් මෙනි. උගේ ශරීරය මෙන් පස් ගුණයක් දිග පිල් කලඹ ශරීරයේ පිටුපස කොටසින් උඩට විහිදී එන අතර ඒ මත වැටෙන හිරු රශ්මි ධාරාව නිසා එය දීප්තියෙන් ලෙල දෙයි.

මෙම තේජාන්විත දර්ශනය දැකගත හැකි වන්නේ මොනරාගේ පෙම් රැඟුමේදීය. මෙම රැඟුමේ උච්ච අවස්ථාවේදී පිල් සලිත වන විට සර සර ගා හීන් ශබ්දයක් නැඟෙන අතර මෙය උගේ රැඟුමේ සාර්ථකත්වයට දායක වෙයි. ‘මුළු ලෝකෙම වශී කළ වෙළඳ ප්‍රචාරයක්’ වන් මෙම සිත්ලගන්නාසුලු නැටුමට උගේ සහකාරිය වශී නොවී සිටීවිද?

තම සහකාරිය ඉදිරියේ පමණක් නොවෙයි, බලා සිටින්නන් ඉදිරියේදීද රඟ දැක්වීමට මොනරා පසුබට වන්නේ නැත. “මොනරා සෙබඩ ඉදිරියේ රඟ දක්වනවාට වඩා වැඩි වාර ගණනක් මෙන්ම වැඩි කාලයක් මිනිසුන් ඉදිරියේ රඟ දක්වන බව ස්වභාවධර්මය ගැන අධ්‍යයනය කරන්නන් තහවුරු කර තිබෙන බව” අරුම පුදුම මොනරුන් (සිංහලෙන් නොමැත) නමැති පොතේ සඳහන් වේ. මොනරා ආඩම්බර පක්ෂියෙක් බවට නම් දරා තිබෙන්නේ උගේ අලංකාරවත් පිල් අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ඌ දක්වන කැමැත්ත නිසා විය හැකියි.

එසේ පිල් විදහා නැටීමේ ඇති වරද කුමක්ද? ඇත්තෙන්ම උගේ එම රංගනය නරඹන්න වටින දර්ශනයක්. උගේ දිග වලිගේ ඇවිරිවල දිලිසෙන ඇස් වන් කලු පුල්ලි දක්නට ලැබේ. විවිධ දිගු ප්‍රමාණවලින් පිහිටා ඇති මෙම ඇවිරි නියම අවානක හැඩය ගනී. හිරු කිරණ පතිත වන ආකාරය අනුව මෙම පිල් තඹ, ලෝකඩ, රත්තරන්, තද කොළ පාටට හුරු නිල් හෝ දම් වැනි පැහැයන් ගනී.

බටහිර රටවල ජනයා මොනරාව දකින්නේ පැද්දි පැද්දී එහා මෙහා යමින් තම පිල් ප්‍රදර්ශනය කරන පක්ෂියෙක් ලෙසයි. ඒ නිසා ඒ රටවල ජනයා උන්ගෙන් එතරම්ම ප්‍රයෝජනයක් නැතැයි සිතනවා විය හැකියි. නමුත් උගේ නිජ භූමිය වන ඉන්දියාවේ ගම්මානවල ඌව සලකන්නේ නයි පැටවුන් හා වෙනත් විෂඝෝර සර්පයින් විනාශ කළ හැකි සටන්කාමියෙකු ලෙසටයි. සර්ප විෂවලින් ඌට හානියක් නොවේයයි විශ්වාස කෙරෙන නිසා පෙරදිග වැසියෝ මොනරා දේවත්වයේ හා අමරණීයත්වයේ සංකේතයක් ලෙස ගණන් ගනිති.

මීට අවුරුදු 3,000කට පමණ පෙර මැද පෙරදිග රටවල මොනරා ඉතා වටිනා පක්ෂියෙක් ලෙස ගණන් ගනු ලැබීය. සලමොන් රජ ‘රන්, රිදී, ඇත් දත්’ වැනි වටිනා භාණ්ඩ සමඟ මොනරුන්ද ආනයනය කළ බව කියැවේ. (1 රාජාවලිය10:22) එක් ග්‍රන්ථයක පවසන පරිදි (The Natural History of the Bible) “මධ්‍යධරණී රටවලට මුලින්ම මොනරුන් පැමිණියේ සලමොන් විසින් ආනයනය කිරීමෙන් අනතුරුවයි කියා විශ්වාස කළ හැකියි.” ඉන් සියවස් ගණනාවකට පසුව ජීවත් වූ මහ ඇලෙක්සැන්ඩර් මොනරුන්ට කොපමණ ප්‍රිය කළාද කිවහොත් මොනරුන් මැරීම ඔහුගේ හමුදාවට සම්පූර්ණයෙන්ම තහනම් කළේය.

අද පවා මොනරෙකුගේ විශිෂ්ට රඟ දැක්වීම් අගය නොකරන අය නැති තරම්. නමුත් අප මෙම රංගනය නිර්මාණය කළ තැනැත්තාව කිසිවිටකත් අමතක නොකළ යුතුයි. කලාකරුවෙකුගේ දක්ෂතාව ඔහුගේ නිර්මාණවලින් දැකගත හැකිවා සේම අපගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘවරයාගේ නිපුණතා ඔහුගේ අනර්ඝ මැවිලිවලින් එකක් වන මේ පක්ෂියාගෙන් මනාව පිළිබිඹු වේ.

[29වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Cortesía del Zoo de la Casa de Campo, Madrid