Skip to content

පටුනට යන්න

ඔබේ දරුවාට උණ ගැනුණොත්

ඔබේ දරුවාට උණ ගැනුණොත්

ඔබේ දරුවාට උණ ගැනුණොත්

“අම්මේ මගේ ඇඟ රිදෙනවා!” ඔබේ දරුවා දුක්මුසු හඬින් එවැනි යමක් පවසද්දී ඔබ විගසම ඔහුගේ උණ පරීක්ෂා කර බැලීමට පෙලඹෙන බව නිසැකයි. ඒ වගේම, ඔහුට උණ ගැනී ඇත්නම් ඔබ කලබලයට පත්වීම යම් දුරකට සාධාරණයි.

අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලැන්ඩ්හි බෝල්ටිමෝ නගරයේ පිහිටි ජෝන් හොප්කින්ස් ළමා ආයතනය මගින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූ පරිදි, දෙමව්පියන්ගෙන් සියයට 91ක්ම විශ්වාස කළේ “සුළු වශයෙන් හෝ උණ ගත් විට පවා වලිප්පුව, එහෙමත් නැත්නම් මොළයේ ආබාධ වැනි හානිකර බලපෑම්වලින් අඩුම තරමින් එකක්වත් ඇති විය හැකි” බවයි. “දෙමව්පියන්ගෙන් සියයට 89ක්ම තම දරුවන්ගේ උණ ෆැරන්හයිට් අංශක 102 (සෙල්සියස් අංශක 38.9) දක්වා ඉහළ යන්නත් කලින් ඔවුන්ගේ උණ අඩු කිරීම සඳහා ඖෂධ ලබා දෙන” බව එම අධ්‍යයනයෙන් තවදුරටත් හෙළි වුණා.

ඔබේ දරුවාට උණ ගත් විට ඔබ කොයි තරම් දුරට කලබල විය යුතුද? ඒ වගේම, ඒ සඳහා දිය යුතු හොඳම ප්‍රතිකාරය කුමක්ද?

උණ මගින් ඉටු කෙරෙන වැදගත් කාර්යභාරය

උණ ගැනෙන්නේ ඇයි? (උෂ්ණත්වමානය දිව යට දමා බලද්දී) ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6ක් (සෙල්සියස් අංශක 37ක්) පමණ වෙනවා. ඒත් දවස පුරාම පුද්ගලයෙකුගේ උෂ්ණත්වය අංශකයකින් හෝ දෙකකින් අඩු වැඩි විය හැකියි. * එමනිසා, උදේට ඔබේ උෂ්ණත්වය අඩු විය හැකි අතර දහවල් කාලයේදී එය ඉහළ යා හැකියි. තාප පාලකයක් උෂ්ණත්වය පාලනය කරනවා හා සමානව, මොළයේ පහළ කොටසේ පිහිටි හයිපොතැලමසයද ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනවා. බැක්ටීරියා හෝ වයිරස් ශරීරය ආක්‍රමණය කළ විට ප්‍රතිශක්ති පද්ධතිය ඊට ප්‍රතිචාරය දක්වමින් රුධිරය තුළ පයිරොජන් නමැති උණ වඩවන ද්‍රව්‍ය නිපදවනවා. උණ ගැනෙන්නේ එමනිසයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හයිපොතැලමසයද එහි උෂ්ණත්වය ඊට සාපේක්ෂව “සකස් කරගන්නවා.”

උණ ගනිද්දී ශරීරයට අපහසුතාවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම විජලනය ඇති වෙන්නත් පුළුවන්. ඒත්, උණ ගැනීමෙන් ශරීරයට අනිවාර්යයෙන්ම හානියක් සිදු නොවෙයි. ඇත්තෙන්ම කියනවා නම්, ශරීරයේ ඇති වී තිබෙන බැක්ටීරියා හෝ වයිරස් ආසාදන බැහැර කිරීම සඳහා උණ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවක් පෙනෙන්න තිබෙනවායයි වෛද්‍ය විද්‍යාව පිළිබඳව හදාරන හා ගවේෂණය කරන මායෝ ආයතනය සඳහන් කරනවා. “සෙම්ප්‍රතිශ්‍යාව හා ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෙනත් ආසාදන ඇති කරවන වයිරස් උෂ්ණත්වය අඩු පරිසරයකට ප්‍රිය කරනවා. ඒ නිසා, ශරීරය එහි උෂ්ණත්වය මදක් ඉහළ නංවන විට එම වයිරස් බැහැර කිරීමට දායක වෙනවා විය හැකියි.” එම ආයතනය තවදුරටත් මෙසේ සඳහන් කරයි. “උණ මදක් ඉහළ නඟින විට එය අඩු කිරීමට වෑයම් කිරීම අනවශ්‍යයි. තවද එසේ කිරීමෙන් ඔබේ දරුවාගේ ස්වාභාවික සුවවීමේ ක්‍රියාවලිය ඇණ හිටීමට පවා ඉඩ තිබෙනවා.” ඇත්තෙන්ම, මෙක්සිකෝවේ එක්තරා රෝහලක ඇතැම් රෝගී තත්වයන්ට ප්‍රතිකාර දෙන්නේ ශරීර උෂ්ණත්වය ඉහළ නැංවීම මගිනුයි. එම ප්‍රතිකාර ක්‍රමය හඳුන්වන්නේ හයිපතර්මියා ලෙසයි.

එක්තරා වෛද්‍ය විද්‍යාලයකට (American College of Emergency Physicians) අයත් වන වෛද්‍ය ඇල් සාක්කේට්ටි මෙසේ පවසනවා. “උණ ගැනෙන එක හානිකර දෙයක් වන්නේ ඉතා කලාතුරකින්. එත් ශරීරයේ ආසාදනයක් ඇති බවට එය අනතුරු ඇඟවීමක් විය හැකියි. එමනිසා, දරුවෙකුට උණ ගනිද්දී අවධානය දිය යුත්තේ දරුවාට හා ඔහුට තිබිය හැකි ආසාදනය වෙතට මිසක ඔහුගේ උණ නිතර නිතර පරීක්ෂා කර බැලීමට නොවෙයි.” ළමා වෛද්‍ය විශේෂඥයන් සඳහා අමෙරිකානු ශාස්ත්‍රාලය සඳහන් කරන්නේ මේ ආකාරයටයි. “සාමාන්‍යයෙන් උණ ෆැරන්හයිට් අංශක 101කට (සෙල්සියස් අංශක 38.3කට) වඩා අඩුයි නම් එයට ප්‍රතිකාර දීම අවශ්‍ය නැහැ. දරුවාට යම් අපහසුතාවක් දැනේ නම්, එහෙමත් නැත්නම් කලින් උණ ගත් අවස්ථාවලදී වලිප්පුව ඇති වී තිබෙනවා නම් පමණක් ප්‍රතිකාර කරන්න. උණ ඊටත් වඩා ඉහළ යන අවස්ථාවලදී පවා එය අනිවාර්යයෙන්ම අනතුරුදායකයි කියා සිතමින් කලබල වීමට හේතුවක් නැහැ. ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ දරුවාට කලින් වලිප්පුව ඇති වී තිබේ නම් හෝ ඔහුට නිදන්ගත රෝගයක් තිබේ නම් පමණයි. වැදගත්ම දේ වන්නේ ඔබේ දරුවාගේ හැසිරීම වෙත අවධානය දීමයි. ඔහු හොඳින් කනවා නම්, ඔහුට හොඳට නින්ද යනවා නම් සහ ඉඳ හිට සෙල්ලම් කරනවා නම්, ඔහුට ප්‍රතිකාරයක් අවශ්‍ය නැති බව නිගමනය කළ හැකියි.”

මද උණක් ඇති විට

ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කිසිවක් කළ නොහැකි බව මින් අදහස් නොකෙරේ. මද උණක් ඇති විට මෙසේ ප්‍රතිකාර කරන්නයයි ඇතැම් විශේෂඥයන් නිර්දේශ කරනවා. “ඔබේ දරුවාගේ නිදන කාමරයේ උෂ්ණත්වය සුවපහසු මට්ටමක තබාගන්න. ඔහුට සැහැල්ලු ඇඳුමක් අන්දවන්න. (ශරීරය අනවශ්‍ය ලෙස රත් වුණොත් උණ වැඩිවීමට ඉඩ තිබෙනවා.) උණ නිසා විජලනය ඇතිවීමට ඉඩ ඇති නිසා දරුවාට උනන්දු කරන්න දියර ජාති වැඩිපුර බොන්න කියා. ජලය, ජලය සමඟ මිශ්‍ර කළ පලතුරු යුෂ සහ සුප් වර්ග ඔහුට දිය හැකියි. * (කෝලා සහිත බීම වර්ග හා තේ වතුර වැනි කැෆේන් අඩංගු බීම වර්ග මූත්‍ර වර්ධක ලෙස ක්‍රියා කරන අතර ඒවා ගැනීමෙන් විජලනය තවත් වැඩි විය හැකියි.) අත දරුවන්ට දිගටම මව්කිරි පෙවිය යුතුයි. උණ ගත් විට ආමාශයේ ක්‍රියාකාරිත්වය අඩු වන නිසා දිරවීමට අපහසු ආහාර වර්ග දීමෙන් වළකින්න.

දරුවෙකුගේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102ට (සෙල්සියස් අංශක 38.9ට) වඩා ඉහළ යද්දී, බොහෝවිට වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසියකින් ලබාගත හැකි පැරසිටමොල් හා අයිබුප්‍රෝෆේන් වැනි උණ අඩු කරවන ඖෂධයක් දෙනවා. එහෙත් එසේ කරද්දී ලේබලයේ සඳහන් උපදෙස් අනුගමනය කිරීමට වගබලා ගත යුතුයි. (වයස අවුරුදු දෙකෙන් පහළ දරුවන්ට වෛද්‍යවරයෙකුගේ අනුදැනුම නොමැතිව කිසිම බෙහෙතක් නොදිය යුතුයි.) උණ අඩු කරවීමට දෙන ඖෂධ වර්ග වයිරස්වලට එරෙහිව සටන් කරන්නේ නැහැ. එමනිසා, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙන යම් රෝගයක් වැලඳී සිටින දරුවෙකුට එවැනි ඖෂධ දීමෙන් ඉක්මන් සුවය ළඟා කර දෙන්නේ නැහැ. නමුත් එමගින් ඔහුට දැනෙන අපහසුතාව මදක් සමනය කළ හැකියි. උණ පහළ දැමීමට අවුරුදු 16න් පහළ දරුවන්ට ඇස්ප්‍රින් නොදිය යුතු බව ඇතැම් ප්‍රවීණයන්ගේ මතයයි. ඊට හේතුව වන්නේ ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි රයීස් සින්ඩ්‍රෝම් නමැති ආබාධය හා ඇස්ප්‍රින් අතර යම් සම්බන්ධයක් තිබීමයි. *

තෙත් කළ ස්පොන්ජියක් නැත්නම් තුවායක් භාවිත කරමින්ද උණ සමනය කළ හැකියි. ඒ සඳහා ඇල් මැරුණු වතුර සෙන්ටිමීටර් දෙක තුනක් පමණ පිරවූ බේසමක දරුවාව වාඩි කරවන්න. ඉන්පසු, ස්පොන්ජියක් හෝ තුවායක් තෙමා ඔහුගේ මුළු ශරීරයම හොඳින් තවන්න. (සම්බාහනය කිරීම සඳහා භාවිත කරන ඖෂධීය මධ්‍යසාර විෂ සහිත විය හැකි නිසා ඒවා භාවිත නොකරන්න.)

මෙම ලිපියත් සමඟම තිබෙන කොටුවෙහි වෛද්‍යවරයෙකු කැඳවීමට තීරණය කළ යුත්තේ කොයි අවස්ථාවලදීද යන්න පිළිබඳව උපකාරවත් වන තොරතුරු තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර විශේෂයෙන්ම වැදගත් වන්නේ ඩෙංගු උණ, ඉබෝලා වයිරසය, ටයිෆොයිඩ් උණ (උණසන්නිපාතය) හෝ කහ උණ බහුලව පවතින ප්‍රදේශවල ජීවත් වන අයටයි.

මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වූ පරිදි, හොඳම ක්‍රියාමාර්ගය වන්නේ හැකි තාක් දුරට ඔබේ දරුවාට සුවපහසු පරිසරයක් සකසා දීමයි. ස්නායු පද්ධතියට හානියක් එල්ල වන තරමට හෝ ජීවිතය අහිමි වන තරමට උණ ඉහළ නඟින්නේ ඉතා කලාතුරකින් බව සිහියේ තබාගන්න. උණ ගත් පසු වලිප්පුව ඇති වුණොත් එය බියගන්වනසුලු අද්දැකීමක් වුවත් සාමාන්‍යයෙන් එයින්ද දිගුකාලීන හානියක් සිදු නොවෙයි.

එහෙත් හොඳම ක්‍රියාමාර්ගය වන්නේ, රෝගයක් වැලඳීමට පෙර එය වළක්වාගැනීමයි කියා අප මතක තබාගත යුතුයි. ඔබේ දරුවාව ආසාදනවලින් ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ ඔහුට හොඳ සනීපාරක්ෂක පුරුදු ඉගැන්වීමයි. නිතරම අත් සේදීමට දරුවන්ව පුහුණු කළ යුතුයි. විශේෂයෙන්ම කෑමට පෙර, වැසිකිළිය භාවිත කිරීමෙන් පසු, සෙනඟ අධික ප්‍රසිද්ධ ස්ථානයක ගැවසීමෙන් පසු සහ සුරතල් සතුන්ව අතපත ගෑමෙන් පසු අත් සේදිය යුතුයි. එහෙත්, ඔබ කොයි තරම් සැලකිලිමත් වුණත් ඔබේ දරුවාට උණ බෝ විය හැකියි. එසේ වුණොත් කලබල වෙන්න එපා. මෙම ලිපියෙන් ඉගෙනගෙන ඇති පරිදි ඔබේ දරුවාට සුවය ළඟා කර දීම සඳහා ඔබට කළ හැකි දේවල් බොහොමයක් තිබෙනවා.

[පාදසටහන්වල]

^ 6 ඡේ. උණ මැන බලන ක්‍රමයට අනුව හා භාවිත කරන උෂ්ණත්වමානයට අනුව ශරීර උෂ්ණත්වය වෙනස් විය හැකියි.

^ 10 ඡේ. උණ සමඟ පාචනය සහ වමනය ඇති වුණොත් රෝගියාගේ ශරීරයේ ජල මට්ටම යථා තත්වයට ගැනීම සඳහා ලබා දෙන ද්‍රාවණයක් සාදාගත හැකි ක්‍රමය දැනගැනීමට පිබිදෙව්! සඟරාවේ 1995 අප්‍රියෙල් 8 (සිංහලෙන් නොමැත) කලාපයේ 11වන පිටුව බලන්න.

^ 11 ඡේ. රයීස් සින්ඩ්‍රෝම් යනු ස්නායු පද්ධතිය ආශ්‍රිතව හටගන්නා ඉතා දරුණු රෝගයකි. එම රෝගය වයිරස් ආසාදනයකින් පසුව දරුවෙකුට වැලඳිය හැකියි.

[27වන පිටුවේ කොටුව]

දරුවාට උණ ගැනුණු විට වෛද්‍යවරයෙකුව කැඳවිය යුත්තේ . . .

▪ මාස තුනක් හෝ ඊට අඩු වයසේ සිටින දරුවෙකුගේ ගුද මාර්ගයට උණ කටුව ඇතුල් කර බලද්දී ඔහුට ෆැරන්හයිට් අංශක 100.4ක් (සෙලිසියස් අංශක 38ක්) හෝ ඊට වඩා වැඩියෙන් උණ ගැනී ඇත්නම්

▪ මාස තුනත් හයත් අතර දරුවෙකුගේ උණ ෆැරන්හයිට් අංශක 101ක් (සෙල්සියස් අංශක 38.3ක්) හෝ ඊට වඩා වැඩි වී ඇත්නම්

▪ මාස හයකට වඩා වැඩි දරුවෙකුට උණ ෆැරන්හයිට් අංශක 104ක් (සෙල්සියස් අංශක 40ක්) හෝ ඊට වඩා වැඩි වී ඇත්නම්

▪ දරුවා දියර ගැනීම ප්‍රතික්ෂේප කර විජලනය වී ඇති බව පෙනේ නම්

▪ වලිප්පුව ඇති වුවහොත්, එහෙමත් නැත්නම් ඉතා මලානික පෙනුමක් තිබේ නම්

▪ පැය 72කට පසුවත් උණ බැස නැත්නම්

▪ නොනවත්වාම අඬයි නම් හෝ සිහිවිකල් වී ඇති බවක් පෙනේ නම්

▪ ඇඟේ පලු දමා ඇත්නම්, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම්, පාචනය ඇත්නම් හෝ නිතර නිතරම වමනය දමනවා නම්

▪ බෙල්ල උළුක්කු වී ඇත්නම් හෝ එකපාරටම දරාගත නොහැකි තදබල හිසේ කැක්කුමක් ඇති වේ නම්

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: ළමා වෛද්‍ය විශේෂඥයන් සඳහා අමෙරිකානු ශාස්ත්‍රාලය