Skip to content

පටුනට යන්න

සැබෑ වෙනසක් සිදු කළ හැකිද?

සැබෑ වෙනසක් සිදු කළ හැකිද?

සැබෑ වෙනසක් සිදු කළ හැකිද?

“තවත් කෙනෙකුව බලෙන් වෙනස් කරවන්න කිසිවෙකුට නොහැක. වෙනස්කම් කිරීමට පුද්ගලයාම තීරණය කළ යුතු අතර, ඒ සඳහා සැබෑ අදිටනක්ද ඔහු තුළ තිබිය යුතුය.”—ලොව පුරා සිදු වන සිරගත කිරීම් අනාගතයට බලපාන පාපයකි නමැති පොතේ කර්තෘ විවියන් ස්ටර්න්.

සිරකරුවන් තුළ සැබෑ වෙනසක් සිදු කළ හැක්කේ ඔවුන්ට යම් අධ්‍යාපනයක් ලබා දීමෙන් සහ ඔවුන්ගේ සාරධර්මවල මෙන්ම හා ආකල්පවල වෙනසක් ඇති කිරීමෙන් පමණි. සිරකරුවන්ව දැනුවත් කරමින් ඔවුන්ට උපකාර කරන්න වෑයම් කරන අවංක පුද්ගලයෝ අද සිටිති. මේ අය අන් අයගේ ශුභසිද්ධිය උදෙසා කරන මෙම යහපත් සේවය සිරකරුවන් බොහෝදෙනෙක් බෙහෙවින් අගය කරති.

පොදුවේ ගත් කල, සිරගෙවල්වල පවතින ක්‍රමයෙහි සැබෑ වෙනසක් සිදු කළ නොහැකි බවත් අද සිරගෙවල්වල පවතින වාතාවරණය තුළ සිරකරුවන්ව යහමඟට ගෙන ඒම ඉතාමත් අසීරු කාර්යයක් විය හැකි බවත් සමහරු කියා සිටිති. වරදකරුවෙකුව සිරගත කිරීමෙන් පමණක් ඔහු තුළ නව සාරධර්ම ඇති කළ නොහැකි බව සැබෑවකි. එහෙත් ඇතැම් සිරකරුවන්ට ඔවුන්ගේ ජීවිතවල සැබෑ වෙනස්කම් කරගැනීමට බයිබලය මත පදනම් අධ්‍යාපනය උපකාරවත් වී තිබේ. මෙයින් තහවුරු වන්නේ එක් එක් පුද්ගලයා තුළ සැබෑ වෙනසක් සිදු කිරීම කළ හැකි දෙයක් බවයි.

බයිබල් උපදෙස්වල උපකාරය ඇතුව අද සමහර සිරකරුවන් නිවැරදිව සිතීමට හා හැසිරීමට ඉගෙනගනිමින් තමන්ගේ ජීවිතවල සැබෑ වෙනස්කම් කරගෙන තිබේ. ඒ කෙසේද? බයිබලයේ සඳහන් මෙම උපදේශයට කීකරු වීමෙනි. “නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, [දෙවිගේ] කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න [සැබෑ වෙනසක් ඇති කරගන්න, NW].” (රෝම 12:2) මෙය කළ හැක්කේ කෙසේද?

බයිබලය මගින් ඉටු කෙරෙන කාර්යය

තමන් කලින් කළ දේවල් ගැන පසුතැවිලි වී යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා සිරකරුවන්ට උපකාර කිරීමේදී ආගමට විශාල වැඩ කොටසක් සිදු කළ හැකි බව බොහෝදෙනෙක් සිතති. මෙය සැබෑවක් විය හැකි නමුත් මෙහිදී පැන නඟින මූලික ගැටලුව වන්නේ සිරගෙය ඇතුළේ සිටියදී සිරකරුවන්ගේ ජීවිතවල සිදු වූ වෙනස ඉන් පිට වී ගිය පසු දක්නට නොලැබීමයි. මේ ගැන සිරකරුවෙක් මෙසේ පැවසීය. “සිරකරුවන් හුඟක්දෙනෙක් මෙහේ ඉන්නකොට ක්‍රිස්තුස් ගැන විශ්වාස කරන්න පටන්ගන්නවා. හැබැයි, ඔවුන් මෙහෙන් පිට වෙලා ගියාම ක්‍රිස්තුස්ව අමතක කරලා දානවා.”

සැබෑ වෙනසක් සිදු විය යුත්තේ අපරාධකරුවෙකු තුළ, එනම්, ඔහුගේ හදවතෙහි හා මනසෙහි බවත් ඒ සඳහා පදනම විය යුත්තේ තමන් අතීතයේ කළ වැරදිවලට අවංකව පසුතැවිලි වීම බවත් අද්දැකීම්වලින් පෙනී ගොස් තිබේ. දුෂ්ටකම් ගැන දෙවිට හැඟෙන ආකාරය ගැනත් එවන් ක්‍රියා වැරදි වීමට හේතුව ගැනත් ඉගෙනගැනීමට පුද්ගලයෙකුට උපකාර කරන්න බයිබල් අධ්‍යාපනික වැඩපිළිවෙළකට පුළුවන. තවදුරටත් වැරදි දේවල් නොකිරීමට ඔහු තුළ පෙලඹීමක් එමගින් ඇති කළ හැක.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලොව පුරා පිහිටි සිරගෙවල් ගණනාවක එවැනි බයිබල් අධ්‍යාපනික වැඩපිළිවෙළක් දියත් කරමින් සිටිති. එයින් සාර්ථක ප්‍රතිඵල ඔවුන් ලබා තිබේ. (10වන පිටුව බලන්න.) මේ ගැන එක් සිරකරුවෙක් මෙසේ අදහස් පළ කළේය. “ජීවිතයේ අරමුණ හා මනුෂ්‍යවර්ගයා ඉදිරියෙහි තිබෙන සන්තෝෂවත් අනාගතය ගැන බයිබලයේ සඳහන් දේවල් දැනගන්න ඒ අධ්‍යාපනය අපිට උපකාරවත් වෙලා තියෙනවා. මේ අධ්‍යාපනයේ වටිනාකම කියා නිම කරන්න බැහැ.” තවත් සිරකරුවෙක් මෙසේ පැවසුවේය. “දැන් අපි තීරණ ගන්නේ දෙවි දීල තියෙන උපදෙස් අනුවයි. . . . අපි තුළ සැබෑ වෙනසක් වෙලා තියෙනවා කියලා අපිටම දැනෙනවා. ජීවිතයේ වඩා වැදගත් දේවල් මොනවද කියා දැන් අපි දන්නවා.”

සිරගෙවල්වල පමණක් නොව, ඉන් පිටතත් සැබෑ වෙනසක් සිදු විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. සිරගෙවල් සම්බන්ධයෙන් පැන නැඟී තිබෙන ගැටලුවලට සැබෑ විසඳුම රඳා පවතින්නේ සිරගෙවල් පිහිටුවීමට බලපාන මූලික හේතුව ඉවත් කිරීම මතයි. සිරකරුවන් බොහෝදෙනෙකුගේ සිත්වලට කාවැදී තිබෙන බයිබල් සත්‍යයන්ගෙන් එකක් වන්නේ දෙවි දී තිබෙන මෙම පොරොන්දුවයි. “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. . . . ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:9, 29.

ඒ කාලයේදී සර්ව සාධාරණ ආණ්ඩුවක් මගින් දෙවිගේ උතුම් ප්‍රතිපත්ති ලොව පුරා ක්‍රියාත්මක කරනු ඇත. ස්ථිර නමුත් ප්‍රේමනීය ලෙස මිනිසුන්ට සලකන මෙම ආණ්ඩුවේ නොහොත් දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ රජු ක්‍රිස්තුස් වේ. මේ ආණ්ඩුව පැමිණෙන්න කියා යාච්ඤා කරන්න ක්‍රිස්තියානීන්ටද උගන්වා තිබේ. (මතෙව් 6:10) දෙවිගේ උසස් ප්‍රතිපත්ති ඉගෙනගැනීම නිසා නව ලොවේ ජීවත් වන වැසියන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් සිදු වනු ඇත. එමෙන්ම ඒ කාලයේදී මෙම වදන්ද සත්‍ය වනු ඇත. “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:9) මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ කුමක්ද? නව ලොවේ ජීවත් වන නීති ගරුක වැසියන් ‘මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වනවාට’ කිසි සැකයක් නැත.—ගීතාවලිය 37:11.

[10වන පිටුවේ කොටුව⁄පින්තූර]

බලාපොරොත්තුවේ පහන් දැල්වීම

දේවසේවකයන් වශයෙන් සේවය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක්, අවුරුදු 20කට වඩා වැඩි කාලයක සිට අමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ඇට්ලන්ටාහි පිහිටි බන්ධනාගාරයක පවත්වාගෙන යන බයිබල් අධ්‍යාපනික වැඩපිළිවෙළ මගින් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇත. එම කාලය තුළ සිරකරුවන් 40දෙනෙකුට වඩා වැඩි පිරිසකට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස බව්තීස්ම ලත් දේවසේවකයන් වීමට උපකාර කර තිබේ. එමෙන්ම නිතිපතා පවත්වනු ලබන බයිබල් පාඩම් මගින් තවත් සිරකරුවන් 90කට වඩා වැඩිදෙනෙක් ප්‍රයෝජන ලබා ඇත.

එම බන්ධනාගාරයේ සිටින සිරකරුවන්ට බයිබලය ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරුවරුන් කිහිපදෙනෙකු සමඟ කතා කිරීමට පිබිදෙව්! ලේඛකයන්ට අවස්ථාව ලැබිණ.

◼ ඇතැම් සිරකරුවන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් සිදු කිරීමේදී බයිබලය මත පදනම් අධ්‍යාපනය බෙහෙවින් සාර්ථක වී තිබෙන්නේ මන්ද?

ඩේවිඩ්: හුඟාක් සිරකරුවන්ට ආදරය කියන දෙය ලැබිලා නැහැ. සමහරුන්ට ඔවුන්ගේ ළමා කාලයේදීවත් ආදරය ලැබිලා නැහැ. මේ නිසා දෙවි තමන්ට ආදරය කරන බව දැනගන්න විටත්, තමන්ගේ සිතේ තිබෙන දේවල් දෙවිට යාච්ඤාවෙන් පවසා, ඒවාට ඔහුගෙන් උත්තර ලැබෙන විටත් දෙවි ඔවුන්ට සැබෑ පුද්ගලයෙක් වෙනවා. දෙවි තමන්ට ප්‍රේම කරන නිසා තමන්ද ඔහුට ප්‍රේම කළ යුතුයි කියා ඔවුන්ට හැඟෙනවා.

රේ: මා සමඟ බයිබලය පාඩම් කළ එක් සිරකරුවෙක් කුඩා කාලයේදී අඩන්තේට්ටම්වලට ලක් වූ කෙනෙක්. යෙහෝවාව ඔබට සිත්ගන්නාසුලු පුද්ගලයෙකු වීමට හේතුව කුමක්ද කියා මම ඔහුගෙන් ඇසුවා. ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, බයිබලයේ තිබෙන සත්‍යය ඉගෙනගන්න විට, යෙහෝවා කියන්නේ මාව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් බව දැනගන්න ලැබීම ඊට හේතුව කියායි. මෙහි ප්‍රතිඵලයක් හැටියට මෙවන් ප්‍රේමනීය දෙවි කෙනෙකු ගැන තවත් දේවල් ඉගෙනගැනීමට ඔහු තුළ අවංක ආශාවක් ඇති වුණා.

◼ සිරකරුවන් ආගමට ලැදියාවක් දක්වන්නේ අවංක චේතනාවකින් නොව, නමුත් ඔවුන්ගේ දඬුවම ලිහිල් කරවාගැනීමට හෝ නිකම් කාලය ගත කිරීම සඳහා පමණයි කියා සමහරු කියන්න පුළුවන්. ඔබේ අද්දැකීමට අනුව ඒ ගැන කියන්න පුළුවන් මොනවාද?

ෆ්‍රෙඩ්: සිරකරුවන් බයිබල් පාඩමට හවුල් වන විට ඔවුන් තුළ පදනමකින් තොර භක්තියක් ඇති කිරීමට අපි වෑයම් කරන්නේ නැහැ. අපි ආස කරන්නේ ඔවුන් තමන්ගේ කල්පනා ශක්තිය පාවිච්චි කරනවා දකින්නයි. ඒ නිසා, අපි කරන්නේ ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන එක විතරයි. ඔවුන් වැඩිකල් යන්න කලින් තේරුම්ගන්නවා අපි කරන්නේ බයිබලයේ තිබෙන දේවල් ඔවුන්ට උගන්වන එක විතරයි කියලා. ඔවුන්ගේ නඩුවලට උදව් කරන්න කියා සමහර සිරකරුවන් මගෙන් ඉල්ලා තිබෙනවා. ඒත් මම ඒ ගැන ඔවුන් එක්ක කතා කරන්නේ නැහැ. කණ්ඩායමක් හැටියට අපි සිරගෙදර පවත්වන බයිබල් පාඩම්වලට යම් කෙනෙක් දිගටම පැමිණෙනවා නම්, ඒකෙන් අදහස් කරන්නේ බයිබලය ගැන ඉගෙනගන්න ඔහුට සැබෑ වුවමනාවක් තිබෙන බවයි.

නික්: සිරගෙදර සිටින කාලය තුළ සමහර සිරකරුවන් ඔවුන්ගේ ජීවිතයේ වෙනස්කම් කරගෙන තිබෙන බව මම දැක්කා. ඔවුන්ගෙන් සමහර දෙනෙක් බව්තීස්ම වී තිබෙන අතර, අනිකුත් සිරකරුවන්ගේ තාඩන පීඩනවලට ලක් වී තිබෙනවා. ඔවුන් මේවාට මුහුණ දෙන්නේ අසීරුවෙන්. බයිබලයෙන් ඔවුන් ඉගෙනගන්න දේවල් ඔවුන්ගේ හදවතට කා වැදී නැත්නම්, ඒ වගේ අමාරු තත්වයන් යටතේ පවා ඔවුන් තම විශ්වාසය රැකගන්නේ නැහැ.

ඉස්රෙයිල්: ඔවුන් පවසන දේවලින් තේරෙන්නේ යෙහෝවා ගැන ඉගෙනගන්න ඔවුන්ට මහත් ආශාවක් තිබෙන බවයි. ඒ ආශාව ඔවුන්ගේ හදවතින්ම ඇති වන ආශාවක් බවයි පෙනෙන්නේ.

ජෝ: තමන්ගේ ජීවිතය අසාර්ථක වීමට හේතුව කුමක්ද කියා සැබෑ ක්‍රිස්තියානීන් බවට පත් වී සිටින සිරකරුවන් තේරුම්ගෙන තිබෙනවා. ඒ වගේම සැබෑ වෙනසක් සඳහා බලාපොරොත්තුවේ පහන් දල්වාගැනීමට හොඳ හේතු තිබෙන බවත් ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. අනාගතයේදී යෙහෝවාගේ පොරොන්දුවල ඉටුවීම ගැන දැන් ඔවුන්ට විශ්වාසවන්තව බලා සිටින්න පුළුවන්.

◼ බන්ධනාගාර පිහිටුවීමෙන් පමණක් සිරකරුවන්ව වෙනස් කළ නොහැකි වන්නේ ඇයි?

ජෝ: දඬුවම් පැනවීමේ අරමුණ සිරකරුවන්ව පුනරුත්ථාපනය කිරීම නොවෙයි. එහි අරමුණ වන්නේ අපරාධකරුවන්ව සමාජයෙන් වෙන් කර තැබීමයි. නමුත් එයින් සිදු වන්නේ ගැටලුව තවත් උග්‍රවීමයි.

හෙන්රි: වැරදිකරුවන්ව සිරගත කිරීමෙන් ඔවුන් තුළ සැබෑ වෙනසක් ඇති කරන්න හැකි වී නැහැ. හුඟදෙනෙක් සිරෙන් නිදහස් වී ගියාට පසුත් කරන්නේ කලින් කළ අපරාධමයි.

[8, 9වන පිටුවේ පින්තූරය]

බයිබලයෙහි සඳහන් සත්‍යය ඉගෙනගැනීමට සිරකරුවන් බොහෝදෙනෙකුට උපකාර ලැබී තිබේ