Skip to content

පටුනට යන්න

කිසිවකට නොදෙවෙනි ජපන් හපන්කමක්

කිසිවකට නොදෙවෙනි ජපන් හපන්කමක්

කිසිවකට නොදෙවෙනි ජපන් හපන්කමක්

ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්

ඝන කැලෑවෙන් වැසීගිය හාකෝනෙ කඳුයාය පිහිටා තිබෙන්නේ ජපානයේ ෆූජි කඳුවැටියෙයි. එම කඳුයායේ, ඉඳ හිට මිනිස් පුලුටක් දක්නට ලැබෙන වංක ගිරියෙන් අප මතු වුණේ හාටාජුකු නම් සුන්දර ගම්මානයටයි. යෝසෙගි හපන්කම බිහි වූයේ මෙම ශාන්ත පරිසරයෙනි.

යෝසෙගි යන වචනයේ තේරුම “ලී කැබලි කීපයක එකතුවක්” යන්නයි. එහි විශේෂ ලක්ෂණයක් වන්නේ, ලීයෙන් නිමැවුණු පොත් සලකුණු හා ස්ලයිඩිං ලාච්චු සහිත පෙට්ටි යනාදි විවිධ අත්කම්වල මතු පිටෙහි ජ්‍යාමිතික රටාවන් දක්නට තිබීමයි. එමෙන්ම විවිධ හැඩයන් හා වර්ණයන්ගෙන් යුත් රටාවන් ඒවායේ දක්නට තිබේ. මෙම මෝස්තර පින්තාරු කළ ඒවා නොව විවිධ වර්ණයන්ගෙන් යුත් ලී එකට ඇලවීමෙන් සැකසූ ඒවා බව දැනගත් විට පුංචි යෝසෙගි භාණ්ඩ දෙස අප බලා සිටියේ දෑස් අයාගෙනයි.

කිසිවකට නොදෙවෙනි මෙම අත්කම ජනිත වූයේ කෙසේද? අත්කම් මවන්නෙකු වූ නීහයි ඉෂිකාවා 1800 ගණන්වලදී විවිධ වර්ණයන්ගෙන් යුත් ලී එක පිට එක තබා ඇලවීමේ සංකල්පය හඳුන්වා දුන්නේය. ඉන්පසු, ඔහු එම අලවපු ලී සිරස් අතට කපා වෛවර්ණ මෝස්තර අඩංගු පෙට්ටි සහ විවිධ විසිතුරු භාණ්ඩ නිර්මාණය කළේය.

පසු කලෙක, ඊටත් වඩා දක්ෂ ලෙස යෝසෙගි නිපදවීමේ ක්‍රමයක් බිහි විය. සකසා ගත් ලී කැබලි යතු ගා කොළ මෙන් ඉතා සිහින් ලී පතුරු සාදාගෙන, ඊට වඩා ඝනකම් ලී මත ඒවා අලංකාර මෝස්තරයක් මැවෙන ආකාරයට අලවනු ලැබීය. මෙලෙස, වසන්තයේ උෂ්ණාධික සමයේදී අසල්වැසි රටවලින් හාකෝනෙ කරා පැමිණෙන්නන්ට ලබාගත හැකි සිහිවටන ඒවායින් නිර්මාණය කිරීමට හැකි විය.

යෝසෙගි නිපදවීමට විවිධ ලී වර්ග යොදාගැනේ. උදාහරණයකට, සුදු වර්ණය ලැබෙන්නේ ස්පින්ඩ්ල් සහ ඩෝග්වුඩ් ගස්වලිනි; කහ වර්ණය ලැක සහ ජපන් වැක්ස් ගස්වලිනි; ලා දුඹුරු වර්ණය ලැබෙන්නේ චෙරි සහ සෙකෝවා ගස්වලිනි; කළු වර්ණය කට්සූරා ගසෙනි.

හාකෝනෙවලට ගිය විට වෙනත් තැන්වලට වඩා අඩු මුදලකට කුඩා යෝසෙගි භාණ්ඩ හෝ පොත් සලකුණු මිල දී ගැනීමට හැකිවීම ඔබේ සතුටට කාරණයක් විය හැකියි. මෙම පුංචි සිහිවටන ළඟ තබාගැනීමෙන්, සුප්‍රසිද්ධ ෆූජි කඳුවැටියේ පිහිටි හාකෝනෙවලට ගිය ගමනත්, මීට වසර 150කට වැඩි කලකට පෙර ජනිත වූ විස්මිත අත්කම දෙස ඔබ දෑස අයා බලා සිටි ආකාරයත් යළි සිහියට නැඟෙනු ඇත.

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෝසෙගි සාදා බලමු

යෝසෙගි සාදන්නෙක් විවිධ වර්ණයන්ගෙන් යුත් ලී ගෙන තමන්ට කැමති ඝනකමට අවශ්‍ය ලී ප්‍රමාණය කපාගනී. පසුව ඔහු එම ලී එක පිට එක තබමින් අලවාගනී. ඇලෙවූ ලී තට්ටු දෙස පැත්තකින් බලන විට වර්ණවත් මෝස්තරයක් දක්නට ලැබේ. දැන් මෙම අත්කම් මවන්නා ඇලෙවූ ලී තට්ටුව සිරස් අතට කපමින් විශේෂ අච්චුවකට දැමිය හැකි ප්‍රමාණයට ලී පටි ඉරාගනියි. (1) ඉන්පසු, එම විශේෂ අච්චුවට ලී පටිය බැගින් දමා යතු ගා සිනිදු කර, අච්චුවෙන් ඉවතට ගෙන මෝස්තරයක් මැවෙන ආකාරයකට ලී පටි එකිනෙකට අලවා කපු නූල්වලින් බඳියි. මෙය යෝසෙගි නිර්මාණයේදී යොදාගන්නා මූලික ලී කුට්ටිය වේ.

ඊළඟට, මෙම අත්කම් මවන්නා එලෙස සකස් කරගත් ලී කුට්ටි කීපයක්ම යළිත් එකට අලවා විශාල ලී කුට්ටියක් නිපදවයි. (2) ඔහු මෙය නැවතත් පෙතිවලට කපයි. (3) දැන් ඔහු එම කපාගත් පෙති එකට අලවමින් ප්‍රමාණයෙන් විශාල මෝස්තරයක් සකස් කරගනී. අලංකාර මෝස්තරයක් සහිත විශාල ලී කැබැල්ලක් නැතහොත් විශාල ඵලකයක් මැවෙන තෙක්ම ශිල්පියා එම ක්‍රියාවලියේ නිරත වේ. එම ඵලකය හඳුන්වන්නේ ටානෙජී යනුවෙනි.

දැන් මෙම අත්කම් මවන්නාගේ දෑතේ අලංකාර භාණ්ඩයක් නිම කිරීමට අවශ්‍ය ප්‍රධාන මෝස්තරය ඇත. (4) විශේෂිත යත්තකින් ඔහු එම ටානෙජී යතුගාමින් කොළයක් මෙන් සිහින් ලී පතුරු සාදාගනී. එය හැඳින්වෙන්නේ සුකු නමිනි. (5) පසුව අත්කම් මවන්නා මෙම ලී පතුරු ඉස්තිරික්කයකින් මැද තමා සාදා ඇති ලී භාණ්ඩයට සුකු අලංකාර ලෙස අලවයි.

[18වන පිටුවේ පින්තූර]

“යෝසෙගි” මෝස්තර පින්තාරු කළ ඒවා නොව විවිධ වර්ණයන්ගෙන් යුත් ලී එකට ඇලවීමෙන් සැකසූ ඒවාය