Skip to content

පටුනට යන්න

මෙක්සිකෝවේ පිරමිඩ පිළිබඳව තොරතුරු බිඳක්

මෙක්සිකෝවේ පිරමිඩ පිළිබඳව තොරතුරු බිඳක්

මෙක්සිකෝවේ පිරමිඩ පිළිබඳව තොරතුරු බිඳක්

මෙක්සිකෝවේ පිබිදෙව්! වාර්තාකරු විසින්

පිරමිඩ ගැන කිවූ පමණින් සිහියට නැඟෙන්නේ ඊජිප්තුවයි. එනමුත් අමෙරිකාවේ, විශේෂයෙන්ම මෙක්සිකෝවේ පිරමිඩාකාර ගොඩනැඟිලි බොහොමයක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදි. පිරමිඩයේ නිජබිම වන ඊජිප්තුව මෙන් මෙක්සිකෝවේ පිරමිඩත් ශතවර්ෂ ගණනාවක් පැරණි වන අතර එහි සැඟවුණ අභිරහස්ද ඇත.

ඊජිප්තුවේ සෑම පිරමිඩයක් තුළම සොහොනක් ඇත. එම සොහොනට වැස්මක් ආකාරයෙන් තනා ඇති ත්‍රිකෝණාකාර හැඩයෙන් යුත් එක සමාන පැතිවලින් සමන්විත වූ විශාල ගල් තට්ටුවක් දැකිය හැක. පිරමිඩයේ වැදගත්ම කොටස වන එහි ඇති සොහොනට යෑමට ඇතුළත පටු මං බොහොමයක් ඇත. නමුත් මෙක්සිකෝවේ පිරමිඩ මීට වඩා වෙනස්ය. ඒවා, මුදුනෙහි දේවස්ථානයක් දැකිය හැකි පස් කන්දක් වන අතර මුදුනට යෑමට පිටතින් පඩි පෙළක්ද සාදා තිබේ. අමෙරිකාවේ සොයාගත් පිරමිඩ අතරින් සොහොන් කොත් වූයේ කිහිපයක් පමණි.

ටේඕටිකාන්—“දෙවිවරුන්ගේ නගරය”

මෙක්සිකෝවේ පිරමිඩ ඇති ප්‍රදේශ අතරින් වැදගත් ස්ථානයක් හිමි කරගන්නේ ටේඕටිකාන් නගරයයි. මෙක්සිකෝවේ අගනුවරේ සිට කිලෝමීටර් 50ක් පමණ ඊසාන දෙසට වෙන්න එම නගරය පිහිටා තිබේ. ටේඕටිකාන් නගරය හා සම්බන්ධ සමහරක් තොරතුරු මානව විද්‍යාඥයන්ට සහ පුරාවිද්‍යාඥයන්ට තවමත් අභිරහසකි. මෙම පුරාණ නගරය එහි ගොඩනඟන්නන් විසින් අත්හැර දමා ඇත්තේ ඇස්ටෙක් සංස්කෘතියේ ආරම්භයට අවුරුදු 500කට පෙරය. ටේඕටිකාන් යන වචනය පැමිණ තිබෙන්නේ නෙහුආටල් ජනයාගේ භාෂාවෙනි. එහි අර්ථය වන්නේ “දෙවිවරුන්ගේ නගරය” නැතහොත් “මනුෂ්‍යයන් දෙවිවරුන් බවට පත් වන ස්ථානය” යන්නයි. ඇස්ටෙක්වරුන් මෙම නගරයට පැමිණි විට ඔවුන් විසින් එම නම තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

“බටහිර ලෝකයේ මුල්ම දියුණු නගරය ටේඕටිකාන් නගරයයි. . . . ක්‍රිස්තියානි යුගයේ ආරම්භයත් සමඟම බිහි වූ එම නගරය, ශතවර්ෂ හතක් පමණ පැවත සංස්කෘතික සිහිවටනයක් වෙමින් ඉතිහාසයට එක් විය. ක්‍රිස්තු වර්ෂ 500දී පමණ එනම් එහි සෞභාග්‍යතම සමයේදී 1,25,000ත් 2,00,000ත් අතර ජනගහනයක් එම නගරයේ සිටින්න ඇතැයි” නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ කර්තෘවරයෙක් වූ ජෝර්ජ් ස්ටුවට් පවසයි.

නගරයේ අභ්‍යන්තරයට වෙන්න හිරුට කැප කළ විශාල පිරමිඩයක් ඇත. එහි පතුල මීටර් 220 x 225ක් වන අතර එහි උස මීටර් 63කි. තට්ටු 5කින් යුත් මෙම පිරමිඩයේ මුදුනට යෑමට පඩි 240ක් නැඟීමට සිදු වේ. එම පුරාණ නගරයේ උතුරු දිශාවෙහි මීටර් 40ක් උස සඳට කැප කළ පිරමිඩය දැකගත හැක. මෙම ප්‍රධාන පිරමිඩ දෙක මුදුනෙහි දේවස්ථානද තිබී ඇත.

මෑත දශක තුළ මෙම පිරමිඩ පිළිබඳ බොහෝ දෑ සොයාගෙන තිබුණත් “ටේඕටිකාන් නගරයේ මූලාරම්භය, එහි වැසියන් කතා කළ භාෂාව, ඔවුන්ගේ සමාජය සකස් වී තිබූ ආකාරය සහ ඔවුන්ගේ පිරිහීමට හේතු වූ දේවල් ආදි කිසිවක් අප දන්නේ නැති” බව ස්ටුවට් පවසයි.

පිරමිඩ ඇති වෙනත් ප්‍රදේශ

මෙක්සිකෝ නගරයේ අභ්‍යන්තරයට ගිය විට ඇස්ටෙක්වරුන්ගේ ප්‍රධාන දේවස්ථානය දැකගත හැක. මෙම දේවස්ථානයේ අත්තිවාරම වන පිරමිඩය දැකගැනීමට නොමැති වුවත් එහි නටබුන් දැකගත හැක. එහි මිනිස් යාග ඔප්පු කළ පූජාසන දෙකක්ද පුරාවිද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙක්සිකෝවේ පිරමිඩ ඇති ප්‍රදේශ අතරින් බොහෝදෙනෙකු නැරඹීමට පැමිණෙන ප්‍රදේශය වන්නේ චීචන් එට්සා ප්‍රදේශයයි. මායාවරුන්ගේ ප්‍රදේශයේ නටබුන් බොහොමයක් තිබුණත් චීචන් එට්සා නගරය යුක්ටාන්හි මෙරිඩා නගරයට ඉතා සමීපයෙහි පිහිටා ඇති නිසා බොහෝදෙනෙක් සිරි නැරඹීමට චීචන් එට්සා ප්‍රදේශයට පැමිණෙති. ටොල්ටේක්වරු මායාවරුන්ගේ ප්‍රදේශවලට කාලයකදී යම් බලපෑම් කර ඇති බව එහි තිබෙන ගොඩනැඟිලි කියාපායි. එම ගොඩනැඟිලිකරුවන්ට තිබූ ගණිත ශාස්ත්‍රය හා තාරකා ශාස්ත්‍රය පිළිබඳ විශිෂ්ට දැනුම සමහර ගොඩනැඟිලි තුළින් පිළිබිඹු වේ.

පලෙනන්කා නගරයෙහි කියාපාස් වනාන්තරයෙන් වට වුණු මායාවරුන්ගේ ඉතා දැකුම්කලු ගොඩනැඟිලි එහි සිරි නැරඹීමට යන අයට දැකගත හැක. එහි ඇති පිරමිඩ සහ ගොඩනැඟිලිවලට අමතරව රජ මාළිගාවක් සහ ශිලා ලේඛන දක්නට ලැබෙන දේවස්ථානයක් තිබේ. එම ශිලා ලේඛන ඇති දේවස්ථානය, “මුළු මෙසෝඅමෙරිකාවේ සුප්‍රසිද්ධම දේවස්ථානය වේ. ඊට හේතුව, එය දේවස්ථානයක් පමණක් නොව සොහොන් ස්මාරකයක්ද වීමයි” කියා මායාවරුන්ගේ අවුරුදු 3000ක ශිෂ්ටාචාරය (ඉංග්‍රීසියෙන්) නමැති පොත පවසයි. “එහි ඇතුළත, මෙතෙක් මායා ප්‍රදේශවලින් සම්බ වූ විශිෂ්ටතම සොහොන් කුටිය සොයාගත හැක. එතුළට යෑම සඳහා ආරුක්කු හැඩයේ පියගැට පෙළක් ඇත.” මෙම සොහොන ගොඩනඟා ඇත්තේ හත්වන ශතවර්ෂයේ ජීවත්ව සිටි ආණ්ඩුකාරයෙකු වූ පාකාල් නැතහොත් වොක්සොක් එඌ උදෙසාය.

අප සාකච්ඡා කළේ මෙක්සිකෝවේ ඇති පිරමිඩ අතරින් කිහිපයක් ගැන පමණයි. එවැනි තවත් නටබුන් සහ පිරමිඩ මෙක්සිකෝවේ බොහෝ ස්ථානවල දැකගත හැක. තවද ග්වාටමාලාවේ සහ හොන්ඩුරාස්වලත් විශාල පිරමිඩ තිබේ. මේ සියලු පුරාණ ගොඩනැඟිලි නිර්මාණය කර ඇති ආකාරයෙන් පෙනෙන්නේ මෙසෝඅමෙරිකානු වැසියන් තම නමස්කාරය උස් තැන්වල කිරීමට කැමැත්තක් දැක්වූ බවයි. ගත් කතුවරයෙක් වූ වෝල්ටර් ක්‍රීක්බග් විසින් රචනා කරන ලද ලාස් ඇන්ටිගුවාස් කල්චුරාස් මෙක්සිකානාස් නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි. “පියගැට පෙළක් සහිත කන්දක මුදුනෙහි පිහිටි සමතලා බිමක දේවස්ථාන ගොඩනැඟීමේ චාරිත්‍රය, පුරාණයේ තිබූ උස් තැන්වල නමස්කාර කිරීම සමඟ සම්බන්ධකමක් දක්වයි.” ඔහු තවදුරටත් පවසන්නේ, “අප ස්වර්ගය සලකන්නේ අභිරහස් ස්ථානයක් ලෙසයි. නමුත් සමහරෙකු ස්වර්ගය සලකන්නේ උදයට හිරු උදා වන සහ හවසට හිරු බැසයන කන්දක් ලෙසිනි. මෙම විශ්වාසය නිසා, විශාල ගොඩනැඟිලිවල පියගැට පෙළක් හා සමාන පියගැට පෙළක් කන්දක බෑවුමට සිටින සේ තනන ලදි. කාලයාගේ ඇවෑමෙන් මිනිසා විසින් තනන ලද මෙම කඳු, පියගැට පෙළවල් සහිත පිරමිඩ බවට පත් විය. ප්‍රබන්ධ විශ්වාස කරන සහ චාරිත්‍රවලට ලැදි මෙසෝඅමෙරිකානුවන් බොහෝදෙනෙකු විසින් මෙම පිරමිඩ ස්වර්ගය සංකේතවත් කිරීමට යොදාගන්නා ලදි.”

මෙම සංකල්පය බයිබල් ශිෂ්‍යයන්ට බබිලෝනීය නගරයේ තිබූ බාබෙල් කොත පිළිබඳ බයිබල් වාර්තාව සිහිගන්වයි. උත්පත්ති 11:4හි මෙම කොත තැනූ ගොඩනැඟිලිකරුවන් ගැන මෙසේ පවසයි. “ඔව්හු: එන්න, මුළු පොළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදාගනිමුයයි කීවෝය.” පුරාවිද්‍යාඥයන් විසින් බබිලෝනීය නටබුන් අතර බාබෙල් කොතට බොහෝදුරට සමාන සිගුරැට් වශයෙන් හඳුන්වන පිරමිඩ සොයාගෙන ඇත.

බබිලෝනියේ ආරම්භ වූ එම නමස්කාරය මෙක්සිකෝවට මෙන්ම ලෝකයේ බොහෝ පැතිවලට පැතිර ගොස් තිබේ. එමනිසා මෙම අභිරහස් සහ තේජාන්විත පිරමිඩවල මූලාරම්භය, බබිලෝනියේ තිබූ සිගුරැට් සහ ආගමික චාරිත්‍රවලට සම්බන්ධයක් ඇතැයි කියා හෙළි වුවොත් එය විමතියට හේතුවක් නොවෙයි.

[16වන පිටුවේ පින්තූරය]

ටේඕටිකාන්

[හිමිකම් විස්තර]

CNCA.-INAH.-MEX Reproducción Autorizada por el Instituto Nacional de Antropología e Historia

[17වන පිටුවේ පින්තූරය]

පලෙනන්කා