Skip to content

පටුනට යන්න

අභියෝගය ජය ගත්ත අය

රිකාඩෝ සහ ආන්ඩ්‍රෙස්

රිකාඩෝ සහ ආන්ඩ්‍රෙස්

මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න බයිබලයට පුළුවන්. දැන් ඒකට උදාහරණ දෙකක් බලමු.

රිකාඩෝ: මං අවුරුදු 15දී කල්ලියකට බැඳුණා. ඒ කාලේ මං වැඩ කළේ යාළුවන්ට ඕන විදිහට. මට ඕන වුණේ මොනවා හරි කරලා අවුරුදු 10කට හිරේ යන්න. මොකද ගමේ අය ඒ වගේ අයව සැලකුවේ ලොකු ගෞරවයකින්.

කල්ලියේ අනිත් අය වගේ මාත් මත්ද්‍රව්‍ය ගත්තා. අනාචාරයේ යෙදුණා. මැර වැඩ කළා. දවසක් රෑ අපි කට්ටියක් එක්ක වෙඩි තියාගත්තා. එදා මගේ ජීවිතේ බේරුණේ නූලෙන්. ඊටපස්සේ මං මගේ ජීවිතේ ගැන හුඟක් හිතුවා. මං තීරණය කළා මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනෙ කියලා. ඒත් මං කාගෙන්ද උදව් ගන්නේ?

මගේ නෑදෑයන්ගේ ජීවිතත් ප්‍රශ්නවලින් පිරිලයි තිබුණේ. එයාලටත් කිසිම සතුටක් තිබුණේ නැහැ. ඒත් මං දැනන් හිටියා මගේ මාමා කෙනෙක් නම් හරිම සතුටින් ජීවත් වෙනවා කියලා. මාමාගේ පවුලේ අය බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වුණු හොඳ මිනිස්සු. එයාලා මට කියලා තිබුණා දෙවියන්ගේ නම යෙහෝවා කියලා. ඒ නිසා වෙඩි තියාගත්ත සිද්ධිය වෙලා වැඩි දවසක් යන්න කලින් මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා කිව්වා මට උදව් කරන්න කියලා. ඊළඟ දවසෙම යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවෙක් මගේ ගෙදරට ආවාම මට හිතාගන්නවත් බැරි වුණා. එයා තමයි මට දිගටම බයිබලයේ තියෙන දේවල් ගැන ඉගැන්නුවේ.

ඒත් කල්ලියෙන් අයින් වෙන එක ලේසි වුණේ නැහැ. යාළුවෝ නිතරම මට කෝල් කරලා එන්න කිව්වත් මං එයාලට බැහැ කිව්වා. මොන දේ වුණත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න එක නතර කරන්නේ නැහැ කියලා මං හිතාගත්තා. එහෙම කරපු එක ගැන අදටත් මට සතුටුයි. මොකද ඒකෙන් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මං දැන් නියම සතුට අද්දකිනවා.

දවසක් මං දෙවියන්ගෙන් ඉල්ලුවා අවුරුදු 10ක් හිරේ ගිහින් මිනිසුන්ගේ ගෞරවය දිනාගන්න ආසාවෙන් හිටිය මට අවුරුදු 10ක්වත් අනිත් අයට ඔහු ගැන උගන්වන්න අවස්ථාව දෙන්න කියලා. මේ වෙද්දී මං අවුරුදු 17ක් තිස්සේ ඔහුට කැප වෙලා සේවය කරනවා. ඒත් මං හිරේ ගියේ නම් නැහැ.

මගේ යාළුවෝ හුඟදෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ තාමත් හිරබත් කනවා. සමහර අය ජීවතුන් අතරෙත් නැහැ. කලින් මං යාළුවන්ව තමයි ලොකු කරං හිටියේ. ඒත් පස්සේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වුණු මාමාගේ පවුලේ අයව මං ගොඩක් අගය කරන්න පටන්ගත්තා. එයාලා ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්. ඒ හැම දේටම වඩා ජීවත් වෙන්න ඕන විදිහ ගැන කියලා දීපු එක ගැන මං යෙහෝවා දෙවියන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.

ආන්ඩ්‍රෙස්: මං හැදුණේ දුප්පත් මිනිස්සු හිටපු, මත්ද්‍රව්‍ය පාවිච්චිය, වංචාව, මිනී මැරුම්, වේශ්‍යාකම සාමාන්‍ය දේවල් විදිහට සලකපු පළාතක. මගේ තාත්තා මත්පැන්වලටයි, කොකේන්වලටයි ඇබ්බැහි වෙලා හිටියා. අම්මායි, තාත්තායි ගහගන්න එක, බැණගන්න එක අපේ ගෙදර සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.

පොඩි කාලෙම මාත් මත්පැන්වලටයි, කුඩුවලටයි ඇබ්බැහි වුණා. මිනිසුන්ගෙන් බඩු හොරකම් කරලා ඒවා විකුණන්නත් පුරුදු වුණා. මං ලොකු වුණාට පස්සේ තාත්තා මගේ ජීවිතේට ළං වුණා. හැබැයි ඒ හොඳකට නම් නෙවෙයි. තාත්තා මට කියලා දුන්නා මත්ද්‍රව්‍යයත් තවත් නීති විරෝධී දේවලුත් රටට ගෙනල්ලා විකුණන විදිහ. ඒකෙන් මං ඉක්මනටම සල්ලිකාරයෙක් වුණා. දවසක් පොලීසියෙන් මගේ ගෙදරට ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. මිනී මරන්න තැත් කිරීමේ වරදට අවුරුදු 5කට මාව හිරේ දැම්මා.

හිරේ ඉද්දී දවසක් නිවේදනයක් කළා යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න කැමති අයට එන්න කියලා. මං එතැනට ගියා. එයාලා කියපු දේවල් හරිම තර්කානුකූලයි. ඒ නිසා මං තීරණය කළා එයාලා එක්ක බයිබල් පාඩමක් කරන්න. එයාලා බයිබලයේ තියෙන කිසිම දෙයක් හැංගුවේ නැහැ. දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති ගැන පැහැදිලිවම කියලා දුන්නා.

වැඩි කාලයක් යන්න කලින් මට තේරුණා මගේ ජීවිතේ වෙනස් කරගන්න නම් මට උදව් ඕනෙමයි කියලා. ඒක මට හුඟක්ම දැනුණේ අනිත් හිරකරුවන් බයිබලේ ගැන ඉගෙනගන්න එක නවත්වන්න කියලා තර්ජනය කරද්දී. මං දෙවියන්ට කිව්වා මට උදව් කරන්න කියලා. ඔහු උදව් කරපු නිසා දිගටම බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්නත් ඒ දේවල් ගැන හිරේ හිටිය අනිත් අයට කියන්නත් මට පුළුවන් වුණා.

හිරෙන් නිදහස් වෙන දවස ආවාම සාමාන්‍ය ජීවිතේට ආයෙත් හැඩගැහෙන්න පුළුවන් වෙයිද කියලා මට බයකුත් දැනුණා. හිරෙන් එළියට එද්දී හුඟදෙනෙක් මට සමු දෙන්න ආවා. සමහර අය හරිම ආදරෙන් මට කිව්වා “සතුටින් යන්න පාස්ටර්” කියලා.

දෙවියන් ගැන ඉගෙනගත්තේ නැත්නම් මං අද කොහේ ඉඳියිද කියලා මට හිතාගන්න බැහැ. මාව හදන්න බැරි කෙනෙක් විදිහට අතහැරලා දැම්මේ නැති එක ගැන මං හද පත්ලෙන්ම දෙවියන්ට ස්තුති කරනවා. *

^ බයිබලය ඉගෙනගෙන ජීවිත වෙනස් කරගත්ත තවත් අය ගැන දැනගන්න ‘ලයිබ්‍රරි’ එකේ “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාව බලන්න.