Skip to content

සිංගප්පූරුව

විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - සිංගප්පූරුව

විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - සිංගප්පූරුව

තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු තරුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 8දෙනෙක් දැනට සිංගප්පූරුවේ සිරදඬුවම් විඳිනවා. ඒ අයගෙන් 3දෙනෙක් පළවෙනි දඬුවම් කාලය ඉවර වුණාම තමන් ගත් තීරණය වෙනස් නොකරපු නිසා දෙවෙනි වරටත් සිරගත කරපු අය. සිංගප්පූරුවේ ආණ්ඩුව හමුදා සේවය අනිවාර්ය කරලා තියෙන නිසා සෑම කෙනෙක්ම ඒ පුහුණුව ලබන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන්න කිසි කෙනෙකුට අවසර නැහැ. ඒ නිසා ඒ තරුණයන්ට ඒ රට තුළ නීතියේ පිහිට පැතීමට හැකියාවක් නැහැ.

තරුණයෙක් වයස අවුරුදු 18 ලැබුව ගමන් සිංගප්පූරුවේ නීතියට අනුව හමුදාවට බැඳෙන්න ඕනේ. හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා ඔහු හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කළොත් ඔහුව මාස 12කට හමුදා කඳවුරක රඳවාගන්නවා. කාලය අවසන් වුණාම නිදහස් කරනවා. හැබැයි ඒත් එක්කම හමුදා ඇඳුම් ඇඳගෙන හමුදා පුහුණුව ලබන්න කියලා අණ කරනවා. ඒකත් ප්‍රතික්ෂේප කළොත් ඔහුට විරුද්ධව දෙවෙනි වතාවටත් නඩු දාලා තව මාස 18කට ඔහුව සිරගත කරනවා. ඒ අනුව තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන තරුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව එක පිට එක වාර දෙකකදී සිරගත කරනවා. ඒ කාලයේ මුළු එකතුව මාස 30යි.

එක්සත් ජාතීන්ගේ ඉල්ලීම සිංගප්පූරුව ප්‍රතික්ෂේප කරයි

“මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයට අනුව ඕනෑම කෙනෙකුට සිතීමේ, හෘදය සාක්ෂියේ සහ කැමති ආගමක් ඇදහීමේ නිදහස තිබෙනවා. ඊට අනුකූලව, කෙනෙක් තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ දෙන්නේ නැති නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම කරන්න ඔහුට නීත්‍යනුකූල අයිතියක් තිබෙන බව පිළිගත යුතුයි” කියා එක්සත් ජාතීන්ගේ සංවිධානය කාලයක් තිස්සේ එහි සාමාජික රටවල්වලින් ඉල්ලා තියෙනවා. 1965 සිට සිංගප්පූරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක්ව සිටියත් මේ කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සමඟ එකඟ වෙන්නේ නැහැ. සිංගප්පූරුවේ ආණ්ඩුව 2002 අප්‍රියෙල් 24වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යවපු ලිපියේ සඳහන් වුණේ මෙහෙමයි. “කෙනෙක් විශ්වාස කරන දේ හෝ හැසිරෙන විදිහ රටේ ආරක්ෂාවට බලපානවා නම් රටේ නීතිය ඔහුට ඉහළින් ක්‍රියාත්මක විය යුතුයි. හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න අනිත් රටවල් තම රටවැසියන්ට ඉඩ දුන්නාට අපිට අවසර දීමට නොහැකියි.” සිංගප්පූරුවේ බලධාරීන් තමන්ගේ අකමැත්ත බොහොම පැහැදිලිව සඳහන් කළේ ඒ විදිහටයි.

කාල රේඛාව

  1. 2024 මැයි 21

    හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිරගතව සිටින සාක්ෂිකරුවන්ගේ මුළු ගණන 8යි.

  2. 2002 අප්‍රියෙල් 24

    හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න තියෙන අයිතිය පිළිගන්නේ නැහැ කියලා සිංගප්පූරුවේ ආණ්ඩුව සහතික කළා.

  3. 1995 පෙබරවාරි

    සිංගප්පූරුවේ පුරවැසියන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දරුණු විදිහට සැලකීම සහ අත්අඩංගුවට ගැනීම වැඩි කළා.

  4. 1994 අගෝස්තු 8

    සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සිංගප්පූරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළා.

  5. 1972 ජනවාරි 12

    සිංගප්පූරුවේ ආණ්ඩුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරයි.