Skip to content

පටුනට යන්න

හිමෙන් නැහැවුණු ප්‍රදේශයක සංචාරයක්

හිමෙන් නැහැවුණු ප්‍රදේශයක සංචාරයක්

නෝර්වේ රටෙන් ලිපියක්

හිමෙන් නැහැවුණු ප්‍රදේශයක සංචාරයක්

උදෙන්ම අපි ජනේලයෙන් එළිය බැලුවේ කාලගුණ තත්වය කොහොමද කියලා දැනගන්නයි. අහස නිල් පාටට පෙනුණු නිසා අපේ ගමනට සුදුසු කාලගුණයක් තියෙනවා කියලා අපි දැනගත්තා. අපි සූදානම් වෙන්නේ නෝර්වේවල උතුරට වෙන්න තියෙන ෆින්මාක්ස්විඩා ප්‍රදේශයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න යන්නයි.

මේ කාලයේ නෝර්වේවල හිම වැටෙන නිසා උතුරෙන් තියෙන පාළු ප්‍රදේශයට යන එක ගැන අපිට සැකයකුත් තිබුණා. නමුත් ඒ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තුන්දෙනෙකුත් අපේ ගමනට හවුල් වුණ නිසා අපිට තිබුණු භය අඩු වුණා. මොන වගේ තත්වයන් උදා වෙයිද කියලා ඒ අය දන්න නිසා අපිටත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

අපිට යන්න තිබුණු ප්‍රදේශයට එතරම් පාරවල් තිබුණේ නැහැ. ඈත ප්‍රදේශවල ඉන්න අය ළඟට යන්න හොඳම ක්‍රමය වුණේ හිමේ යන්න හදලා තියෙන වාහන පාවිච්චි කරන එකයි. අපිත් ඒ වගේ වාහන පාවිච්චි කළා. ඇඳුම්, කෑම වගේම අමතර ඉන්ධනත් අපි ඒවාවල පටවාගත්තා. ගමන අතරතුරේදී හිමෙන් වැහුණු කඳු සහ තැනිතලා ප්‍රදේශ හැම තැනම වගේ අපිට දැකගන්න පුළුවන් වුණා. හිම මතට හිරුරැස් වැටෙද්දී දියමන්ති මෙන් දිලිසුණා. ඇත්තෙන්ම ඒක අලංකාර දර්ශනයක්.

අපි යන ප්‍රදේශයේ පිනි මුවන්, ගෝනුන්, වල් බළලුන්, හාවුන්, නරියන්, වලසුන් හා වෘකයන් වැනි සතුන් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. උන්ව දැකගන්න අපි ආශාවෙන් හිටියත් අපි ගොඩක් ආස වුණේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිසුන්ව මුණගැහෙන්නයි. විශේෂයෙන්ම සැමි භාෂාව කතා කරන මිනිසුන්ව මුණගැහෙන්න අපි ආසාවෙන් හිටියා. ඒ අය ජීවිකාව හැටියට කළේ පිනි මුවන් ඇති කිරීම සහ ලැගුම් හල්වල සේවය කිරීමයි.

අපිට මුලින්ම හම්බ වුණේ විනෝද ගමනක් ආපු පාසැල් ළමයින් කට්ටියක්. අපි මොනවද කරන්නේ කියලා ඒ අය අපෙන් ඇහුවා. අපි ඒ අයට අපි ආපු කාරණය විස්තර කළා. ඒ අය යන්න කලින් අපේ කාර්යය සාර්ථක වෙන්න කියලා අපිට සුබ පැතුවා. ඊටපස්සේ අපි අපේ ගමන පටන්ගත්තා. ඒ යන අතරතුර මිදුණු විලක් උඩිනුත් අපි ගියා. අපි ආසාවෙන් බලාගෙන හිටියේ පිනි මුවන් රංචුවක් දැකගන්නයි.

අතරමඟදී පොඩි ගෙයක් ළඟ හිටිය පුද්ගලයෙක්ව අපිට මුණගැහුණා. එයා අපිව සාදරයෙන් පිළිගත්තා. එයා එහේ පදිංචි කෙනෙක්. අපේ එක වාහනයක් කැඩිලා කියලා දැනගත්තාම ඒක හදලා දෙන්න එයා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. සාමාන්‍යයෙන් මෙහේ ඉන්න අය කලබලයෙන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපිටත් මහන්සිය නිවාගන්න කාලය තිබුණා. ඊටපස්සේ අපි දෙවි දුෂ්ටකම පවතින්න ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලා බයිබලයේ සඳහන් පණිවිඩය එයත් එක්ක කතා කළා. එයා උනන්දුවෙන් ඇහුම්කන් දුන්නා. අපි එයාට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොතයි, මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කිහිපයකුයි දුන්නා. එයා සන්තෝෂයෙන් ඒවා අරගෙන “මාව බලන්න ආවට ස්තුතියි” කියලා කිව්වා.

තවත් තැන් කිහිපයකට ගියාට පස්සේ හවස් වේගෙන ආව නිසා අපි අපේ නවාතැනට යන්න හිතුවා. යන අතරතුරේදී අපි නරියෙක්ව දැක්කා. ඌ රතට හුරු දුඹුරු පාට එකෙක් නිසා සුදු පාට හිම අතරින් ඌව කැපිලා පෙනුණා. ඌ ටික වෙලාවක් නැවතිලා වටපිට බලලා යන්න ගියා. ටික වෙලාවකට පස්සේ හිම වැටෙන්න පටන්ගත්ත නිසා අපි යන පාර හොයාගන්න ටිකක් අමාරු වුණා. නමුත් අපේ නවාතැන්පළ දකිද්දී අපිට සතුටක් දැනුණා. ගේ ඇතුළට ගියාට පස්සේ අපි ගිනි උදුන දැල්වුවා. ටික වෙලාවකට පස්සේ ගේ ඇතුළ උණුසුම් වුණා. කඳු පල්ලම් මැදින් ගැස්සි ගැස්සි ගිහිල්ලා අපිට මහන්සියක් දැනුණත් අපේ ගමන ගැන අපිට ලොකු සතුටක් දැනුණා. මහන්සියෙන් හිටිය නිසා අපිට හොඳට නින්ද ගියා.

පහුවදා උදේ අපිට දැනුණේ ඉක්මනින්ම එළි වුණා කියලයි. අපි නැවත අපේ වාහනවලට බඩු පටවාගෙන ගමන පටන්ගත්තා. ගඟක් ළඟ තිබුණු පාර දිගේ අපි පහළට යද්දී අපිට තවත් ලැගුම් හලක් දැකගන්න පුළුවන් වුණා. එතැනදී අපිට මුණගැහුණ තරුණයා සමඟ අපි බයිබලයේ සඳහන් ශුභාරංචිය ගැන කතා කළා. පස්සේ එයා අපිට අපි යන්න ඕන තැනට කෙටි පාරක් පෙන්නුවා.

අපි එහේ හිටිය අන්තිම දවසේ ජාතික වනෝද්‍යානයකට ගියා. එතැන හරිම ලස්සනයි. වටේටම හිමෙන් වැහුණු කඳු දැකගන්න අපිට පුළුවන් වුණා. හිරු එළිය නිසා කඳුවල අලංකාරය තවත් වැඩි වුණා. එක පාරටම අපි පිනි මුවන් විශාල රංචුවක් දැක්කා. හිම අතරින් යාන්තමට පෙනුණු තණකොළ කන්න උන් කුරවලින් හිම අයින් කරකර හිටියා. ටිකක් ඈතින් උන්ව බලාගන්න සැමිවරයෙක් හිම මත යන එයාගේ වාහනයේ ඉන්නවා අපි දැක්කා. පිනි මුවන්ට ඈතට යන්න නොදී උන්ව බලාගන්න, සැමිවරයාට බල්ලෙක් හිටියා. ඌ අපේ පැත්තට ඉව කරලා ආයෙත් උගේ රාජකාරිය පටන්ගත්තා. අපි සැමිවරයාටත් අපේ පණිවිඩය ගැන කිව්වා. එයා මිත්‍රශීලී කෙනෙක්. අපේ පණිවිඩයටත් හොඳින් ඇහුම්කන් දුන්නා.

අපේ ගමන අවසන් කරලා එන ගමන් අපි ලබපු අද්දැකීම් අපිට මතක් වුණා. කිලෝමීටර් 300ක් පමණ ඈතින් ජීවත් වෙන මිනිසුන්ට ශුභාරංචිය කියලා දෙන්න අපිට ලැබුණු අවස්ථාව වරප්‍රසාදයක් විදිහට අපි සලකනවා.

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Norway Post