Skip to content

පටුනට යන්න

සැබෑ නිදහස අද්දකින ජාතියක්

සැබෑ නිදහස අද්දකින ජාතියක්

සැබෑ නිදහස අද්දකින ජාතියක්

ඔබ මායාවරුන් ගැන අසා තිබෙනවාද? සෑම වසරකම සංචාරකයන් දහස් ගණනක් මායාවරුන් ඉදි කර තිබෙන සුවිශාල පිරමිඩ නැරඹීමට මෙක්සිකෝවේ යුකටාන් අර්ධද්වීපයේ චිචෙන්-ඉට්සා සහ කෝබා ගම්මාන වෙත යනවා. මායාවරුන් දස්කම් පෑවේ ගෘහ නිර්මාණ ශිල්පයට පමණක් නොවෙයි. ගණිතය, තාරකා විද්‍යාව හා ලේඛන කටයුතු අතින්ද ඔවුන් කැපීපෙනුණා. ලේඛන කටයුතු සඳහා ඔවුන් යොදාගත් අක්ෂරවලට බොහෝවිට ඇතුළත් වුණේ රූපයි. එමෙන්ම අංක බින්දුව හඳුන්වා දීම සහ දවස් 365ක දින දර්ශනය සෑදීම නිසාද ඔවුන් කැපීපෙනුණා.

නමුත් මායාවරුන්ගේ ආගමික වත්පිළිවෙත් ගැන අපට පැවසිය හැක්කේ කුමක්ද? ඔවුන් හිරු දෙවිට, සඳ දේවතාවියට හා වර්ෂාවට මෙන්ම බඩඉරිඟුවලට අධිපති දෙවිවරුන්ටද වැඳ නමස්කාර කළා. එමෙන්ම ඔවුන්ගේ පූජකයන් ජ්‍යෝතිශාස්ත්‍රය හා සම්බන්ධ ක්‍රියාවලත් නිරත වුණා. ඔවුන්ගේ නමස්කාර වත්පිළිවෙත්වලට සුවඳ ද්‍රව්‍ය දැල්වීම, දේවතා රූප භාවිතය, තමන්ගේම සිරුරු කපාගැනීම මෙන්ම වහලුන්ව, සිරකරුවන්ව හා දරුවන්ව පූජා කිරීමත් ඇතුළත් වුණා.

ස්පාඤ්ඤ ජාතිකයන්ගේ පැමිණීම

ක්‍රිස්තු වර්ෂ 16වන සියවසේදී ස්පාඤ්ඤ ජාතිකයන් මායාවරුන්ගේ දේශ සීමා වෙත පැමිණියා. ඔවුන් පැමිණියේ අරමුණු දෙකක් ඇතුවයි. එනම් ගම්බිම් යටත් කරගෙන ධනය සොයාගැනීමට සහ මායාවරුන්ව ඔවුන්ගේ ම්ලේච්ඡ ආගමෙන් නිදහස් කරවාගෙන කතෝලික ආගමට හරවාගැනීමටයි. නමුත් ඔවුන්ගේ පැමිණීම මායාවරුන්ට බලපෑවේ කෙසේද?

ස්පාඤ්ඤ ජාතිකයන් සමඟ කතෝලික පූජකයන්ද පැමිණියා. ඔවුන් සියලුදෙනාම එකතු වී මායාවරුන්ගේ වගා බිම් සියල්ලත් වගා කටයුතුවලට ජලය සැපයූ ස්ථානත් අල්ලාගත්තා. ඒ නිසා මායාවරුන්ට මහත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණා. මීට අමතරව පල්ලියේ පූජකයන් වාර්ෂිකව සියලුම මායාවරුන්ගෙන් බද්දක් අය කළා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ස්පාඤ්ඤ ජාතිකයන් මායාවරුන් වෙනුවෙන් පල්ලියට බද්ද ගෙවීමට ඉදිරිපත් වුණා. මේ නිසා කාලයත් සමඟම මායාවරුන් ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ණයකරුවන් බවට පත් වුණා. අවසානයේදී ඒ ණය පියවීම සඳහා ඔවුන් දාසයන් සේ වැඩ කළා.

බව්තීස්මය, විවාහය හා අවමංගල්‍ය කටයුතු සිදු කිරීම සඳහා පූජකයන් මුදල් අය කළා. මායාවරුන්ගේ ඉඩ කඩම් හිමි කරගෙන ඔවුන්ගෙන් බදු අය කිරීම තුළින් පූජකයන් පොහොසත් වුණා. මායාවරුන්ව සැලකුවේ කිසිමදාක යහමඟට ගත නොහැකි සෙනඟක් ලෙසයි. ඒ නිසා පූජකයන් හා බලධාරීන් ඔවුන්ව නැති කර දැමීමට කටයුතු කළා.

ජාතිවාදී යුද්ධය

ස්පාඤ්ඤ ජාතිකයන්ගේ පාලනයෙන් හෙම්බත් වූ මායාවරුන් පල්ලියට බදු ගෙවීම නතර කර දමා දරුවන්ව පල්ලියේ පාසැල්වලින් අස් කරගත්තා. එමෙන්ම ඔවුන් කතෝලික ආගම ගැන ඉගෙනගැනීමත් නතර කර දැමූ අතර ස්පාඤ්ඤ ජාතිකයන් හිමි කරගත් වතුවල වැඩ කිරීමත් ප්‍රතික්ෂේප කළා. මේ නිසා මායාවරුන්ට තව තවත් වධ හිංසාවලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් අවුරුදු 300ක පමණ කාලයක් තිස්සේ ස්පාඤ්ඤ ජාතිකයන් ගෙන ගිය පාලනයට විරුද්ධව 1847දී මායාවරුන් නැඟී සිටියා. මෙය ජාතිවාදී යුද්ධයක් දක්වා දුරදිග ගියා.

මායාවරුන් තම ජීවිත පරදුවේ තබා සටන් කිරීමට පෙලඹුණේ ඔවුන්ට හමු වූ කුරුසයක් නිසයි. ඔවුන් කියා සිටියේ එම කුරුසය කතා කර ස්පාඤ්ඤ ජාතිකයන්ට විරුද්ධව සටන් කිරීමට ඔවුන්ව දිරිගැන්වූවා කියායි. වර්ෂ 1853දී එම යුද්ධය නිළ වශයෙන් අවසන් වෙද්දී යුකටාන්වල මායාවරුන්ගේ ජනගහනයෙන් සියයට 40ක්ම යුද්ධය නිසා මිය ගොස් තිබුණා. එතැන් සිට ගෙවී ගිය වසර 55 පුරාම විටින් විට ගැටුම් ඇති වුණත් අවසානයේදි මායාවරුන්ට ස්පාඤ්ඤ ජාතිකයන්ගෙන් නිදහස ලැබුණා. නමුත් මායාවරුන්ගේ ආගමට සිදු වූයේ කුමක්ද?

මිශ්‍ර ආගමක්

ස්පාඤ්ඤ ජාතිකයන් මායාවරුන්ට කතෝලික ආගම හඳුන්වා දීමට උත්සාහ කළත් එයින් මායාවරුන්ට සැබෑ ආගමික නිදහසක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට පාරම්පරික ආගමික වත්පිළිවෙත් හා කතෝලික චාරිත්‍ර එක් වී නිර්මාණය වූ අමුතුම ආගමක් මායාවරුන් අදහන්න පටන්ගත්තා.

මායාවරුන්ගේ වර්තමාන ආගමික තත්වය ගැන එක් පොතක මෙවැනි අදහස් පළ වුණා. “මායාවරුන් අදටත් ඔවුන්ගේ පැරණි දෙවිවරුන්ට හා මිය ගිය මුතුන්මිත්තන්ට නමස්කාර කරනවා. ඒ අතරවාරයේ ඔවුන් පල්ලියේ සාන්තුවරුන්ටත් නමස්කාර කරනවා.” ඒ නිසා ඔවුන් ඇදහූ කූකූල්කාන් දෙවියාව සහ සඳ දේවතාවියව යේසුස්ට සහ මරියාට සමාන කර තිබෙනවා. මායාවරුන්ට කුරුසයෙන් සිහිගැන්වෙන්නේ යේසුස්ව නොවෙයි. ඒ වෙනුවට ඔවුන් කුරුසය යොදාගන්නේ අතීතයේ පටන් ඔවුන් ගරු බුහුමන් කළ සෙයිබා ශාකය සංකේතවත් කිරීමටයි. ඒ නිසා ඔවුන් කුරුසයට වතුර දමන අතර සෙයිබා ශාකයේ මල්වලින්ද එය සරසනවා.—එම පොත The Mayas—3000 Years of Civilization.

නිදහස ලැබී

මෑත කාලයේදී මෙක්සිකෝවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මායාවරුන්ට බයිබලයේ සඳහන් සත්‍යය කියා දීමට විශාල වෙහෙසක් දරා තිබෙනවා. මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිට තිබෙන අරමුණ ගැන කියා දීම සඳහා සාක්ෂිකරුවන් මායාවරුන්ගේම භාෂාවෙන් බයිබලය මත පදනම් පොත් පත් බෙදාහරිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මායාවරුන්ගෙන් 6,600ක පමණ සංඛ්‍යාවක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බවට පත් වී තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ ප්‍රදේශවල සාක්ෂිකරුවන්ගේ සභාවන් 241ක් පමණ තිබෙනවා. කොහොමවුණත් තමන්ගේ පාරම්පරික ආගමික චාරිත්‍ර අතහැර ශුද්ධ බයිබලයේ ඇති සත්‍යය පිළිගැනීම ඔවුන්ට පහසු කාර්යයක් වී තිබෙනවාද?

බොහෝ මායාවරුන්ට එය පහසු කාර්යයක් වී නැහැ. උදාහරණයකට මාර්සෙලිනෝ සහ ඔහුගේ බිරිඳ වන මාගරීටාගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන් භක්තිවන්ත කතෝලිකයන්. සෑම වසරකම ඔවුන් පල්ලියේ සිට තම නිවසට කුරුසය ඔසවාගෙන ඇවිත් සත්ව පූජා ඔප්පු කර නෑයන් හා මිතුරන් සමඟ ඒවා අනුභව කරනවා. දිනක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ නිවසට පැමිණි අතර මේ යුවළ ඔවුන් හා එක් වී බයිබලය ඉගෙනගන්න කැමති වුණා. ඔවුන් ඒ ගැන මෙසේ පවසනවා. “සාක්ෂිකරුවන් එක්ක බයිබලයෙන් අපි ඉගෙනගත්ත හැම දෙයක්ම ඇත්ත කියලා අපිට හොඳින් වැටහුණා. ඒත් අපි ආගම වෙනස් කළොත් මිය ගිය අයගේ ආත්ම ඇවිත් අපිට කරදර කරයිද කියලා අපි භය වුණා.” කොහොමවුණත් ඔවුන් බයිබලය පාඩම් කිරීම නතර කළේ නැහැ. ඒ ගැන ඔවුන් මෙසේ පවසනවා. “බයිබලයේ තිබුණු සත්‍ය ඉගැන්වීම් ටිකෙන් ටික අපේ හදවතටම කාවැදුණා. ඒ නිසා අපි ඉගෙනගත්ත දේවල් අපේ නෑදෑයන්ටත් මිතුරන්ටත් කියන්න අපි පෙලඹුණා. අපි කලින් පවත්වපු පාරම්පරික ආගමික චාරිත්‍රවලින් නිදහස් වෙන්න ලැබුණු එක ගැන අපි හුඟක් සතුටු වෙනවා. හැබැයි මීට කලින් අපිට බයිබලයේ තිබුණු සත්‍යය ඉගෙනගන්න අවස්ථාව නොලැබුණු එක ගැන නම් අපිට දුකයි. කොහොමවුණත් අපි දැන් අපිට පුළුවන් උපරිමයෙන් බයිබලයේ ඇති සත්‍ය ඉගැන්වීම් ගැන අනික් අයට කියලා දෙන්න උත්සාහ කරනවා.”

හැත්තෑතුන්වන වියේ පසු වන ආල්ෆෝන්සෝ භක්තිවන්ත කතෝලිකයෙක්. නැටුම් හා කෑම බීම ඇතුළත් ආගමික උත්සව සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කළේ ඔහුයි. එවැනි උත්සවවලට ගොං පොර වැනි ක්‍රීඩාද ඇතුළත් වුණා. ඒ ගැන ආල්ෆෝන්සෝ මෙසේ පවසනවා. “මෙවැනි උත්සව අතරවාරයේදී බීමත් අය ගහගැනීම සාමාන්‍ය දෙයක්. මේ උත්සවවලින් මම යම් සතුටක් ලැබුවත් මගේ ආගමේ ලොකු අඩුවක් තියෙනවා කියලා මට හිතුණා.” කාලයක් යද්දී ආල්ෆෝන්සෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඔහු රෝගීව සිටියත් සාක්ෂිකරුවන් පැවැත්වූ රැස්වීම්වලට සහභාගි වුණා. දැන් ආල්ෆෝන්සෝ ඔහුගේ පැරණි ආගමික චාරිත්‍රවලින් මිදී යෙහෝවා දෙවි ගැන අන් අයට කියා දීමට කටයුතු කරනවා.

අපි සලකා බැලුවේ බයිබලයේ සඳහන් සත්‍යය දැනගැනීමෙන් සැබෑ නිදහස අද්දකින මායාවරුන් අතරින් කිහිපදෙනෙකු ගැන පමණයි. අතීතයේ දැවැන්ත පිරමිඩ තැනූ මායාවරුන්ගෙන් පැවත එන අය අදටත් එහි සිටිනවා. ඔවුන් කතා කරන්නෙත් අතීතයේ මායාවරුන් කතා කළ භාෂාවමයි. එමෙන්ම ඔවුන් ජීවත් වෙන්නේද ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන් පිදුරු සෙවිලි කළ මැටි ගෙවල්වලයි. පැරැන්නන් භාවිත කළ කෘෂිකාර්මික ශිල්ප ක්‍රම යොදාගෙන ඔවුන් අදටත් බඩඉරිඟු වගා කරනවා. කොහොමවුණත් අතීතයේදී ඔවුන් අත් නොදුටු ආගමික නිදහස දැන් ඔවුන් අද්දකිනවා. ඔවුන්ට ඒ නිදහස ලැබී තිබෙන්නේ ශුද්ධ බයිබලයේ අන්තර්ගත වී තිබෙන සත්‍යය නිසයි. ඒ නිසා “ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත” කියා යේසුස් පැවසූ වදන්වල ඇති සත්‍යතාවය ඔවුන් අද අද්දකිනවා.—යොහන් 8:32.

[13වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අතීතයේ මායාවරුන් යටතේ පැවති ප්‍රදේශය

මෙක්සිකෝ බොක්ක

මෙස්සිකෝව

යුකටාන් අර්ධද්වීපය

චිචෙන්-ඉට්සා

කෝබා

බෙලීස්

ග්වාතමාලාව

හොන්ඩ්‍යුරාස්

එල් සැල්වඩෝර්

[13වන පිටුවේ පින්තූරය]

චිචෙන්-ඉට්සාවල දැකිය හැකි නටබුන්

[15වන පිටුවේ පින්තූරය]

මාර්සෙලිනෝ සහ මාගරීටා අන් අයට බයිබලයේ ඇති සත්‍යය උගන්වමින්