Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

බාර්ලි අස්වැන්න නෙළීම ඇරඹුණේ ඊශ්‍රායෙලයේ සියලුම පිරිමින් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයට සහභාගි වෙමින් සිටි අතරතුරයි. එසේනම් එම අස්වැන්නේ ප්‍රථම පල දේවමාලිගාවට ගෙනාවේ කවුරුන් විසින්ද?

මෝසෙස්ට දෙන ලද නීති මාලාවෙහි දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ අණ කළා. “ඔබේ දෙවි වූ යෙහෝවා තෝරාගන්න ස්ථානයෙහි ඔබේ සියලු පිරිමි දෙවි ඉදිරියෙහි අවුරුද්දකට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයෙහිද සති මංල්‍යයෙහිද කූඩාරම් මංගල්‍යයෙහිද පෙනී සිටින්නෝය.” (ද්විතීය කතාව 16:16) එම එක්රැස්වීම සඳහා දෙවි, සලමොන් රජුගේ කාලයේ සිටම තෝරාගෙන තිබුණේ යෙරුසලමේ පිහිටි දේවමාලිගාවයි.

ඒ මංගල්‍යයන් තුනෙන් පළමු එක පැවැත්වූයේ වසන්ත සමයේ මුල් අවදියේයි. මුහුන් නොදැමූ රොටි මංගල්‍යය කියා හැඳින්වූ එය ඇරඹුණේ නීසාන් මස 14වෙනිදා සැමරූ පාස්කුවට පසු දිනයේදීයි. එතැන් සිට දින හතක් පුරා එනම් නීසාන් 21වෙනිදා දක්වා එය පැවැත්වුණා. යුදෙව් දින දර්ශනයට අනුව නීසාන් මස 16වෙනිදා එනම් මංගල්‍යයේ දෙවැනි දිනයේදී වසරේ මුල්ම අස්වැන්න නෙළීම ඇරඹුණා. එම දිනයේදී උත්තම පූජකයා බාර්ලි අස්වැන්නේ ‘ප්‍රථම පලවලින් මිටියක් ගෙන යෙහෝවා දෙවි ඉදිරියේ ඒ මේ අත සෙලෙව්වා.’ (ලෙවී කතාව 23:5-12, නව ලොව පරිවර්තනය) එසේනම් සියලුම පිරිමින් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයට සහභාගි වීම අනිවාර්යය වූ නිසා එම අස්වැන්න නෙළා ගෙනාවේ කවුද?

එම මංගල්‍යයේදී ප්‍රථම පල පුදන්න කියා යෙහෝවා දෙවි අණ කර තිබුණේ මුළු ජාතියටමයි. එමනිසා එක් එක් ඊශ්‍රායෙල්වරයා විසින් වෙන වෙනම පූජාසනය වෙත ධාන්‍ය මිටි රැගෙන එන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වෙනුවට මුළු ජාතියවම නියෝජනය කරමින් එක පූජාවක් පමණක් කිරීම ප්‍රමාණවත් වුණා. මංගල්‍යය සඳහා කරල් මිටියක් කපාගැනීමට ළඟපාතක පිහිටි බාර්ලි ගොවිබිමකට තෝරාගත් පිරිසක් යවනු ලැබුවා. මේ ගැන අදහස් දක්වන එක් විශ්වකෝෂයක පවසන්නේ මෙසේයි. “බාර්ලි පැසී තිබුණා නම් යෙරුසලම අවටින් එය කපාගත්තා. ඒ සඳහා පුරුෂයන් තිදෙනෙකුව යැව්වා. අවටින් සොයාගත නොහැකි වුණා නම් ඊශ්‍රායෙලයේ ඕනෑම තැනකින් එය නෙළාගැනීමට හැකි වුණා.” (Encyclopaedia Judaica) එම බාර්ලි මිටිය උත්තම පූජකයා වෙතට ගෙන ආ අතර ඔහු එය දෙවිට පූජා කළා.

යෙහෝවා දෙවි තම භූමියට හා අස්වැන්නට ආශීර්වාද කිරීම ගැන තම අගය ප්‍රකාශ කරන්න ඊශ්‍රායෙල්වරුන්ට මේ නීතිය උපකාරවත් වුණා. (ද්විතීය කතාව 8:6-10) එම පූජාවෙහි ඊටත් වඩා අර්ථයක් ගැබ් වී තිබෙනවා. එය “පැමිණෙන්න තිබෙන යහපත් දේවල ඡායාවක්” බව බයිබලයෙහි පවසනවා. (හෙබ්‍රෙව් 10:1) යේසුස්ව නැවත නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් මස 16වෙනිදා වන අතර ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට ප්‍රථම පල පූජා කළෙත් එදිනමයි. යේසුස් ගැන පාවුල් ලියා තිබෙන්නේ මෙසේයි. ‘ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැඟිටුවනු ලැබ සිටින්නේය. ඔහු, මරණයේ සැතපී සිටින අයගෙන් පළමු පල වේ. නමුත් එකිනෙකා තම තමාගේ අනුපිළිවෙළට අනුවය: ක්‍රිස්තුස් පළමු පල වේ. ඉන්පසුව, ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේදී, ඔහුට අයත් අයයි.’ (1 කොරින්ති 15:20-23) මේ අනුව උත්තම පූජකයා බාර්ලි කරල් මිටියක් ගෙන යෙහෝවා දෙවි ඉදිරියේ ඒ මේ අත සෙලවීමෙන් නියෝජනය කළේ නැවත නැඟිටුවනු ලැබූ යේසුස්වයි. ස්වර්ගයේ අමරණීය ජීවිතයක් සඳහා නැවත නැඟිටෙවූ පළමු තැනැත්තා ඔහුයි. මිනිස් වර්ගයාව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමට මඟ පෑදුණෙත් ඔහුගේ නැවත නැඟිටුවීමයි.

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© 2003 BiblePlaces.com