Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සැම්සන්ට තමා මැරූ පුද්ගලයන්ගේ මළ සිරුරු ස්පර්ශ කිරීමෙන් පසුව පවා දිගටම නසරීතවරයෙකු ලෙස සේවය කිරීමට හැකි වූයේ කෙසේද?

ඉපැරණි ඊශ්‍රායෙලයේ, යම් පුද්ගලයෙකුට සිය කැමැත්තෙන්ම භාරයක් වී යම් කාලයකට නසරීතවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාව තිබුණි. * මෙලෙස භාරයක් වන පුද්ගලයෙකු කෙරෙහි යොදා තිබූ එක් තහංචියක් විස්තර කර තිබුණේ මෙලෙසයි. “ඔහු යෙහෝවාට වෙන්ව සිටින සියලු දවස්වලදී මළ ශරීරයක් ළඟට නොයන්නේය. ඔහු තමාගේ පියා හෝ මව් හෝ සහෝදරයා හෝ සහෝදරී හෝ මැරුණු කල ඔවුන් නිසා තමන් අපවිත්‍ර කර නොගන්නේය.” නමුත් යමෙක් “අහම්බෙන් ඔහු ළඟ මිය යන්නේ නම්” කුමක් සිදු වේද? ඒ ආකාරයට අහම්බෙන් මළ සිරුරක් ඇල්ලුවේ නම්, ඔහුගේ නසරීත සේවය අපවිත්‍ර වනු ඇත. මෙසේ ඔහුගේ නසරීත සේවයේ “පළමු දවස් අවලංගු වන්නේය” කියා ලියා තිබිණි. නැවතත් නසරීත සේවය ආරම්භ කිරීම පිණිස පවිත්‍ර වීමේ වත්පිළිවෙත්වලට භාජන වීමට ඔහුට සිදු විය.—ගණන් කතාව 6:6-12.

එහෙත්, සැම්සන් නසරීතවරයෙකු වූයේ වෙනත් අර්ථයකිනි. සැම්සන්ගේ උපතට පෙර, යෙහෝවා ඔහුගේ මවට පැවසුවේ මෙසේයි. “බලන්න, ඔබ ගර්භිණීව පුත්‍රයෙකු වදන්නීය; ළදරුවා ගර්භයෙහි පටන් දෙවිට නසරීතවරයෙකු වන බැවින් දැළි පිහියක් ඔහුගේ හිසේ තබනු නොලැබේ; ඔහු පිලිස්තියයන්ගේ අතින් ඊශ්‍රායෙල් ගලවන්ට පටන්ගන්නේයයි කීය.” (විනිශ්චයකාරයෝ 13:5) සැම්සන් නසරීතවරයෙකු ලෙස භාරයක් වූයේ නැත. ඔහුව එලෙස පත් කළේ දෙවිය. තවද ඔහු නසරීතවරයෙකු වූයේ ඔහුගේ ජීවිත කාලයටමයි. ඒ නිසා මළ සිරුරක් ඇල්ලීම පිළිබඳ තහංචිය ඔහුට අදාළ නොවුණා විය හැකියි. එය අදාළ වුණා නම්, ඔහු අහම්බෙන් මළ සිරුරක් ඇල්ලූ විට, නසරීතවරයෙකු ලෙස ඔහු කරන සේවය අවලංගු වනු ඇත. එසේ වුණා නම් එම සේවය යළිත් පටන්ගැනීම සඳහා ඔහුට නැවත උපත ලැබිය නොහැක. එසේනම්, මුළු ජීවිත කාලයටම නසරීතවරයෙකු ලෙස සේවය කරන අයට පනවා තිබූ කොන්දේසි, ස්වේච්ඡාවෙන්ම නසරීතවරයන් ලෙස සේවය කළ අයට පනවා තිබූ කොන්දේසිවලට වඩා වෙනස් වූ බව පැහැදිලිය.

මුළු ජීවිත කාලය පුරාම නසරීතවරයන් ලෙස සේවය කළායයි බයිබලයේ සඳහන් වෙන සැම්සන්, සාමුවෙල් සහ යොහන් බව්තීස්ත යන තිදෙනාට යෙහෝවා විසින් දී තිබූ ආඥාවන් ගැන සලකා බලන්න. කලින් සඳහන් වූවාක් මෙන්, සැම්සන්ට තම කොණ්ඩය කැපීම තහනම් විණි. හන්නා තමාට ඉපදීමට සිටි දරුවා වූ සාමුවෙල් සම්බන්ධයෙන් කළ භාරය වූයේ මෙයයි. “ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල යෙහෝවාට ඔහු දෙන්නෙමි; ඔහුගේ හිසට දැළි පිහියක් ළං නොවන්නේය.” (1 සාමුවෙල් 1:11) යොහන් බව්තීස්ත සම්බන්ධයෙන් යෙහෝවාගේ දූතයා පැවසුවේ මෙයයි. “ඔහු වයින්වත් මත්පැන්වත් කිසිසේත් පානය නොකළ යුතුයි.” (ලූක් 1:15) එපමණක්ද නොව, “යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා තිබුණු අතර, ඔහු ඉඟටිය වටා සම් පටියක් බැඳ සිටියේය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය.” (මතෙව් 3:4) මේ තිදෙනාගෙන් එක් කෙනෙකුටවත් මළ සිරුරක් ස්පර්ශ කරන්නට එපා කියා අණ කර තිබුණේ නැත.

නසරීතවරයෙකු වුවද, සැම්සන් වනාහි කොල්ලකරුවන් අතින් ඊශ්‍රායෙල් ජාතිය ගලවාගැනීම සඳහා යෙහෝවා පත් කළ විනිශ්චයකරුවන් අතරින් කෙනෙක් වූයේය. (විනිශ්චයකාරයෝ 2:16) මෙම පැවරුම ඉෂ්ට කිරීමේදී ඔහුට මළ සිරුරු ඇල්ලීමට සිදු විය. එක් අවස්ථාවකදී ඔහු පිලිස්තිවරුන් 30දෙනෙකුට පහර දී ඔවුන්ගේ ඇඳුම් කට්ටල ගලවා දැමීය. පසුව, ඔහු සතුරන් ‘සම්පූර්ණයෙන් නාස්ති වන තෙක් පහර දුන්නේය.’ තවද කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් ගෙන එයින් මිනිසුන් දහසක්ද මරා දැමීය. (විනිශ්චයකාරයෝ 14:19; 15:8, 15) සැම්සන් මේ සියල්ල කළේ යෙහෝවාගේ අනුග්‍රහය සහ උපකාරය ඇතුවයි. ඔහු ගැන බයිබලයේ වාර්තා කරන්නේ ආදර්ශවත් ඇදහිලිවන්තයෙකු ලෙසටයි.—හෙබ්‍රෙව් 11:32; 12:1.

සැම්සන් “එළුපැටවෙකු ඉරා දමන්නාක් මෙන්” සිංහයෙකු ඉරා දැමූ බව බයිබලයෙහි සඳහන් වේ. එයින් කියැවෙන පරිදි ඒ කාලයේදී මිනිසුන් සාමාන්‍යයෙන් එළුපැටවුන් ඉරා දැමුවාද?

විනිශ්චයකාරයන් පාලනය කළ වකවානුවේදී එවැනි දෙයක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නැත. නමුත් විනිශ්චයකාරයෝ 14:6හි පවසන්නේ මෙයයි. “යෙහෝවාගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය. ඔහු තමා අත කිසිවක් නොතිබුණු නුමුත් එළුපැටවෙකු ඉරා දමන්නාක් මෙන් ඒ සිංහයා ඉරා දැමුවේය.”

‘ඉරා දැමීම’ යන යෙදුම දෙයාකාරයකට තේරුම්ගත හැකියි. සැම්සන් එම සිංහයාව හකුවලින් ඉරා දැමුවා විය හැකියි. නැතහොත් ඔහු සිංහයාව ගාත්වලින් ඉරා දැමුවාද විය හැකියි. සාමාන්‍යයෙන් මිනිසෙකුට එළුපැටවෙකුව හකුවලින් අල්ලා ඉරා දැමිය හැකි බව සිතීමට පුළුවන. මේ අනුව සැම්සන් සිංහයාව මරා ඇත්තේ සාමාන්‍ය මිනිසෙක් එළුපැටවෙකුව හකුවලින් ඉරා මරා දමන්නාක් මෙනි. සැම්සන් සිංහයාව මරා දැමුවේ උගේ ගාත්වලින් ඉරා දැමීමෙන් නම් එය තේරුම්ගත යුත්තේ කෙලෙසද? මෙම ප්‍රකාශය සැලකිය යුත්තේ උපමාලංකාරයක් ලෙසයි. මෙම උපමාලංකාරය මෙහි යොදා තිබෙන්නේ මන්ද? එළුපැටවෙකුව පවා ගාත්වලින් ඉරා දැමීමට සාමාන්‍ය මිනිසෙකු සමත් වේයයි සිතීම උගහටය. අසාමාන්‍ය ශක්තියක් යොදමින් සැම්සන් සිංහයෙකුව ගාත්වලින් ඉරා දැමුවා නම් ඔහුට එය කිරීමට හැකි වූයේ ඔහුට යෙහෝවාගේ ශුද්ධාත්ම බලය ලැබුණු නිසාය. මෙම අදහස් දෙකින් කවර එක නිවැරදිද කියා පැහැදිලි නොවුවත් සැම්සන් එළුපැටවෙකු මරා දමන්නාක් මෙන් සිංහයෙකුව මරා දැමූ බව පැහැදිලිය. තවද ඔහු ඒ අසාමාන්‍ය ක්‍රියාව කළේ යෙහෝවාගේ අතිමහත් ශක්තියේ උපකාරයෙනි.

[පාදසටහන]

^ 3 ඡේ. නසරීතවරයෙකු ලෙස සේවය කරන කාලය තීරණය කරනු ලැබුවේ භාරය වෙන පුද්ගලයා විසින්මයි. එහෙත් යුදෙව් සම්ප්‍රදායට අනුව, භාරයක් විය හැකි අවම කාලය දවස් 30කි. ඊට වඩා අඩු දවසකට භාරයක් වූවා නම්, එය ගණන් ගන්නේ සාමාන්‍ය භාරයක් හැටියටයි.