Skip to content

පටුනට යන්න

අපේ ප්‍රශ්නවලට වග කිව යුත්තා දෙවිද?

අපේ ප්‍රශ්නවලට වග කිව යුත්තා දෙවිද?

අපේ ප්‍රශ්නවලට වග කිව යුත්තා දෙවිද?

මරියන්ගේ වැඩිහිටි දියණියගේ මොළයට බරපතළ හානියක් සිදු වූ විට මරියන් කළේ අපෙන් බොහෝදෙනෙකු කරන දෙයයි. * ඈ උපකාරය පතා දෙවිට යාච්ඤා කළාය. “ඒ වගේ අසරණ වෙලා, තනි වෙලා හිටිය තවත් අවස්ථාවක් නම් මට මතක නැහැ” කියා මරියන් පවසන්නීය. පසුව ඇගේ දියණියගේ තත්වය තවත් දරුණු අතට හැරුණු අතර දෙවි ගැන සැක කරන්න පටන්ගත් මරියන්, “ඇයි මෙහෙම වුණේ?” කියා ඇසුවාය. ප්‍රේමණීය මෙන්ම සැලකිල්ල දක්වන දෙවි කෙනෙකුට ඇයව අත්හැර දැමිය හැක්කේ කෙසේදැයි කියා තේරුම්ගැනීමට ඇයට නොහැකි විය.

මරියන්ගේ අද්දැකීම අසාමාන්‍ය දෙයක් නොවේ. ලොව පුරා බොහෝදෙනෙකුට හැඟී තිබෙන්නේ අවශ්‍යම වෙලාවේදී දෙවි තමන්ව අත්හැර දමා ඇති බවය. “‘ඇයි දෙවි මෙහෙම වෙන්න ඉඩ දුන්නේ’ කියන එක තවමත් මට තේරෙන්නේ නැහැ” කියා තම මුනුපුරාව මරා දමා තිබූ අවස්ථාවේදී ලීසා පැවසුවාය. “දෙවි කෙරෙහි තිබෙන මගේ ඇදහිල්ල සම්පූර්ණයෙන්ම නැති වෙලා නැතත් එය දුර්වල වෙලා කියන එක නම් ස්ථිරයි.” එලෙසම, තම බිලිඳු පුතුට සිද්ධ වූ දෙයින් අධික ලෙස ශෝකයට පත් ස්ත්‍රියක් තමාට සිදු වූ අසාධාරණය ගැන මෙසේ පැවසුවාය. “මේ දේ සිද්ධ වුණ වෙලාවේ දෙවි මට කිසිම සහනයක් දුන්නේ නැහැ. ඔහු මා දිහා බැලුවෙත් නැහැ; මට අනුකම්පා කළෙත් නැහැ.” ඇය තවදුරටත් මෙසේද පැවසුවාය. “මම දෙවිට කවදාවත් සමාව දෙන්නේ නැහැ.”

වෙනත් අය තමන් අවට ලෝකය දෙස බලන කල දෙවි කෙරෙහි තරහවක් ඇති කරගනිති. ඔවුන්ට දකින්න තිබෙන්නේ, දිලිඳුකමෙන් හා සාගින්නෙන් පෙළෙන ජනයාගෙන්, හව්හරණක් නැති යුධ සරණාගතයන්ගෙන්, ඒඩ්ස් රෝගය නිසා අනාථ වූ අසංඛ්‍යාත දරුවන්ගෙන් සහ වෙනත් රෝග නිසා වේදනා විඳින මිලියන ගණන් ජනයාගෙන් රටවල් ගහන වී ඇති ආකාරයයි. මේවාට මෙන්ම මේ හා සමාන ඛේදවාචකයන්ට මුහුණ දෙමින් සිටියදී බොහෝදෙනෙකු දොස් නඟන්නේ දෙවිටය. මන්ද ඔවුන්ට පෙනෙන්නේ ඔහු කිසි පියවරක් නොගන්නාක් මෙනි.

කෙසේවුවද, සැබෑව වන්නේ මිනිස් වර්ගයාව වෙළාගෙන ඇති ප්‍රශ්නවලට වග කිව යුතු තැනැත්තා දෙවි නොවීමයි. ඇත්තවශයෙන්ම, මිනිස් පවුලට සිදු වී ඇති හානිය ළඟදීම දෙවි ඉවත් කරනු ඇතැයි විශ්වාස කිරීමට වලංගු හේතු තිබේ. ඊළඟ ලිපියට හරවා, දෙවි අප ගැන ඇත්තෙන්ම සැලකිලිමත් වන බව දැක බලා ගන්න කියා අපි ඔබට ආරාධනා කරන්නෙමු.

[පාදසටහන]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.