Skip to content

පටුනට යන්න

මාටින් ලූතර් නමැති මිනිසා සහ ඔහුගේ උරුමය

මාටින් ලූතර් නමැති මිනිසා සහ ඔහුගේ උරුමය

මාටින් ලූතර් නමැති මිනිසා සහ ඔහුගේ උරුමය

“තම ස්වාමියා ලෙසට සලකනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව ලියැවී ඇති පොත් හැරෙන්නට මාටින් ලූතර් ගැන තරම් වෙන කිසිවෙකු ගැන ඉතිහාසයේ පොත් ලියැවී නැතැයි කියැවේ.” මෙසේ පවසා තිබුණේ ටයිම් සඟරාවෙයි. ලූතර්ගේ වචන සහ ක්‍රියාවන් ප්‍රතිසංස්කරණයකට මඟ පෑදූ අතර, මෙම ආගමික ව්‍යාපාරය “මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ වඩාත්ම වැදගත්කමකින් යුත් විප්ලවය” ලෙසද විස්තර කොට තිබේ. මෙසේ ඔහු යුරෝපයේ ආගමික පසුබිම වෙනස් කිරීමටද එම මහාද්වීපයේ මධ්‍යකාලීන යුගයේ දොරවල් වසා දමන්නටද මහත් සේ දායක විණි. තවද ලූතර් ලිඛිත ජර්මානු භාෂාව සම්මත කිරීම සඳහා පදනමක්ද දැමීය. ඔහුගේ බයිබල් පරිවර්තනය අද දින ජර්මානු භාෂාවේ වඩාත් ජනප්‍රියම පරිවර්තනය වී ඇති බවටද කිසි සැකයක් නැත.

මාටින් ලූතර් කෙබඳු ආකාරයේ මිනිසෙක් වීද? යුරෝපයේ කාරණා කටයුතුවලට මෙම මිනිසා එතරම්ම බලපෑම් කළේ කෙසේද?

ලූතර් විශාරදයෙක් බවට පත් වෙයි

මාටින් ලූතර් උපන්නේ 1483 නොවැම්බර් මාසයේදී ජර්මනියේ අයිස්ලේබන් නගරයේය. ඔහුගේ පියා තඹ ආකර කම්කරුවෙකු වුවද, මාටින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය තරමට ඉපයීමට හේ සමත් විය. වර්ෂ 1501දී මාටින්, අර්ෆුවට් සරසවියේ ශිෂ්‍යයෙකු බවට පත් වූයේය. ඔහු පළමු වරට බයිබලය කියෙව්වේ එහි පුස්තකාලයේදීය. “මේ පොත කියවීමෙන් මම මහත් සේ සතුටු වුණා. මේ වගේ පොතක් කවදා හරි දවසක ලබාගැනීමේ භාග්‍යය අත් විඳීමට මට අවශ්‍ය විය” යයි හෙතෙම පැවසීය.

වයස අවුරුදු 22දී ලූතර් අර්ෆුවට්හි පිහිටි ඔගස්ටින් තාපසාරාමයට ඇතුල් විය. පසුව ඔහු විටන්බර්ග් සරසවියට ඇතුල් වී දේවධර්මය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත්තේය. දෙවිගේ අනුග්‍රහය ලැබීමට තරම් තමා සුදුස්සෙකු නොවේයයි සිතූ ලූතර් යම් අවස්ථාවලදී කලකිරී, වරදසහිත හෘදය සාක්ෂියකින්ද දුක් වින්දේය. එහෙත්, බයිබල් අධ්‍යයනය, යාච්ඤාව සහ මෙනෙහි කිරීම මගින් දෙවි පව්කාරයන් දෙස බලන අන්දම පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමට ඔහුට හැකි විණි. දෙවිගේ අනුග්‍රහය උපයාගත හැකි යමක් නොවන බව ලූතර් විශ්වාස කළේය. හේ විශ්වාස කළේ, ඇදහිල්ල තිබෙන අයට එය ලැබෙන්නේ දෙවිගේ මහත් වූ කරුණාව තුළින් බවය.—රෝම 1:16; 3:23, 24, 28; NW.

තමා ලැබූ නව අවබෝධය නිවැරදි බවට ලූතර් නිගමනය කළේ කෙසේද? මුල් සභා ඉතිහාසය සහ නව ගිවිසුමේ පාඨ පිළිබඳව කෙරුණු පර්යේෂණ හා සම්බන්ධ මහාචාර්ය කුර්ට් ආලාන්ට් ලීවේ මෙසේයි. “අලුතින් ලබාගත් මෙම දැනුම වෙනත් බයිබල් ප්‍රකාශයන් සමඟ එකඟදැයි තහවුරු කරගනු වස්, ඔහු මුළු බයිබලයේම ඇතුළත් තොරතුරු ගැන ගැඹුරින් සිතා බැලූ අතර, තමාට සෑම තැනින්ම ඒ කාරණා තහවුරු වූ බව ඔහුට හැඟී ගියේය.” ගැලවීම වලංගු වෙන්නේ ඇදහිල්ල මගින් මිස ක්‍රියා වත්පිළිවෙත් මගින් නොවේය යන්න ලූතර්ගේ ඉගැන්වීම්වල ප්‍රධාන කොටසක් ලෙස පවතී.

පව් කමා පත් ගැන උදහස් වී

දෙවි පව්කාරයන් දෙස බලන ආකාරය ගැන ලූතර් ලැබූ අවබෝධය නිසා රෝමානු කතෝලික සභාව සමඟ ඔහුට ගැටුම් ඇති විය. මරණින් පසු පව්කාරයන්ට යම් කාල පරිච්ඡේදයකට දඬුවම් විඳින්නට සිදු වේය යන්න ඒ අවදියේදී පුළුල් ලෙස විශ්වාස කෙරිණි. කෙසේවෙතත්, පාප්ගේ අධිකාරය යටතේ සිටින පුද්ගලයන්ට මුදල් දීමෙන් පව් කමා පත් ලබාගෙන මෙම දඬුවම් කාලය අවම කරගත හැකි බව කියැවිණි. මයින්ට්ස්හි ආල්බෙර්ට් අගරදගුරුගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කළාවූ යෝහාන් ටෙට්සල් නම් තැනැත්තා වැනි පව් කමා පත් වෙළෙන්දෝ, පොදු ජනයාහට පව් කමා පත් විකිණීමේ ඉතා ලාභදායී ජාවාරමක නිතර වූහ. බොහෝදෙනෙකු මෙම පව් කමා පත් සැලකුවේ අනාගතයේදී තමන් කරන පව්වලට රක්ෂණයක් ලෙසටයි.

පව් කමා පත් විකිණීම ගැන ලූතර් සිටියේ ඉමහත් උදහසකිනි. දෙවියන්ට මුදල් දී මිනිසාට කිසිවක් ගත නොහැකි බව ඔහු දැන සිටියේය. වර්ෂ 1517 ශරත් ඍතුවේදී ඔහු සුප්‍රකට නිබන්ධන 95ක් ලිවූ අතර, මුදල් සම්බන්ධවද මූලධර්ම හා ආගමික වැරදි සම්බන්ධවද ඔහු කතෝලික සභාවට එරෙහිව චෝදනා එල්ල කළේය. කැරැල්ලක් නොව යම් ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමේ අටියෙන් ලූතර් මෙම නිබන්ධනවල පිටපත් මයින්ට්ස්හි ආල්බෙර්ට් අගරදගුරුවරයාටද, විශාරදයන් කිහිපදෙනෙකුටද යැවීය. බොහෝ ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ ප්‍රතිසංස්කරණයේ උපත සිදු වුණේ 1517දී හෝ ඒ අවට කාලය තුළදී බවයි.

කතෝලික සභාවේ වැරදි ක්‍රියා ගැන බලවත් කනස්සල්ල පළ කළේ ලූතර් පමණක් නොවේ. ඊට වසර සියයකට පමණ ඉහතදී ආගමික ප්‍රතිසංස්කරණයකට රුකුල් දුන් චෙක් ජාතික යාන් හුස්ද පව් කමා පත් විකිණීම තරයේ හෙළාදැක තිබිණි. හුස්ට පෙරාතුව එංගලන්තයේ විසූ ජෝන් වයික්ලිෆ්ද කියා සිටියේ කතෝලික සභාව විසින් අනුගමනය කරන ලද සමහරක් සම්ප්‍රදායන් ශුද්ධ ලියවිල්ලට එකඟ නොවූ බවයි. ලූතර්ගේ සමකාලීනයන් වූ රොටර්ඩෑම්හි ඉරැස්මස් සහ එංගලන්තයේ ටින්ඩේල්ද ආගමික ප්‍රතිසංස්කරණයක් ඇති කරන ලෙස දැඩි සේ ඉල්ලා සිටියහ. නමුත් ජර්මනියේ යොහැන්නස් ගුටන්බර්ග්ගේ ජංගම මුද්‍රණ යන්ත්‍රය සොයාගැනීමත් සමඟම, ලූතර්ගේ හඬ ආගමික ප්‍රතිසංස්කරණයකට දිරි දුන් වෙනත් අයගේ හඬට වඩා වේගයෙන් දස දෙස පැතිර යන්නට විය.

මයින්ට්ස්හි ගුටන්බර්ග්ගේ මුද්‍රණ කටයුතු 1455 පටන් ක්‍රියාත්මක වෙන්නට පටන්ගති. එම සියවස අවසන් වෙද්දී, ජර්මානු නගර 60ක සහ වෙනත් යුරෝපීය රටවල් 12ක මුද්‍රණ යන්ත්‍ර තිබිණි. ඉතිහාසයේ මුල්ම වතාවට, යම් උනන්දුමත් කාරණයක් ගැන මහජනයාට සැණෙකින් දැනුම් දීමේ හැකියාව ලැබිණි. ලූතර්ගේ මෙම නිබන්ධන 95 මුද්‍රණය කොට බෙදාහරිනු ලැබුවේ සමහරවිට ඔහුගේ කැමැත්ත නැතිව විය හැකියි. සභා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රශ්නය තවදුරටත් සුළු පිරිසකට සීමා වූ ප්‍රශ්නයක් නොවීය. එය පුළුල් මතභේදයකට තුඩු දුන් අතර, මාටින් ලූතර් ජර්මනියේ ඉතාමත්ම ජනප්‍රිය පුද්ගලයා වීමට වැඩි කල් ගත වූයේ නැත.

“ඉර සහ හඳ” ප්‍රතිචාර දක්වයි

සියවස් ගණනාවක් පුරා, යුරෝපයේ බලය හෙබවූයේ ප්‍රබල ආයතන දෙකක් පමණයි. ඒ ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යය සහ රෝමානු කතෝලික සභාවය. “අධිරාජයා සහ පාප් එකට එක්කාසු වී සිටින්නේ හරියට ඉර හා හඳ මෙනි” යනුවෙන් ලුතරන් ලෝක සංගමයේ හිටපු සභාපති හාන්ස් ලිල්යෙ පැහැදිලි කළේය. කෙසේවෙතත්, ඉර කවුද හා හඳ කවුද යන්න පිළිබඳව බොහෝ සැකයන් තිබිණි. දහසයවෙනි සියවස මුල වන විට, මෙම ආයතන දෙකේම සිටියවුන්ගේ බලය කෙමෙන් අභාවයට යමින් තිබිණි. පෙනෙන්නට තිබුණේ යම් ආකාරයක වෙනසක් ඇති වන බවකි.

දසවෙනි ලියෝ පාප් මෙම නිබන්ධන 95ට ප්‍රතිචාර දැක්වූයේ මේවා ඉල්ලා අස් කර නොගත්තොත් ඔහුව කතෝලික සභාවෙන් නෙරපන බවට තර්ජනය කරමිනි. මේ මගින් තවත් මුරණ්ඩු වූ ලූතර්, පාප් විසින් එවන ලද තර්ජනාත්මක නියෝග පත්‍රය ප්‍රසිද්ධියේ පුලුස්සා දැමූ අතර පාප්ගේ එකඟත්වය පවා නොමැතිව කතෝලික සභාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පාලන ප්‍රාන්තවල විසූ වැසියන්ව දිරිගැන්වූහ. වර්ෂ 1521දී දහවන ලියෝ පාප් විසින් ලූතර්ව පල්ලියෙන් නෙරපන ලදි. කිසිම සාධාරණ නඩු විභාගයකින් තොරව තමාව හෙළාදකිනු ලැබ ඇතැයි කියා ලූතර් ඊට විරෝධය පෑ විට පස්වන චාල්ස් අධිරාජයා මෙම ප්‍රතිසංස්කරණවාදියාට වෝර්ම්ස් නගරයේදී රාජකීය මට්ටමේ ප්‍රභූවරුන්ගේ හෙවත් අධිරාජයන්ගේ රැස්වීමක් ඉදිරියේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කළේය. වර්ෂ 1521 අප්‍රියෙල් මාසයේදී විටන්බර්ග්හි සිට වෝර්ම්ස් දක්වා දින 15ක් තිස්සේ ලූතර් ගිය ගමන ජයග්‍රාහී පෙරහැරක් බඳු විය. මහජනයාගේ සහය තිබුණේ ඔහුගේ පැත්තටය. ඇරත් සෑම තැනකම සිටින ජනයා ඔහුව දැකගැනීමට රොක් වූහ.

වෝර්ම්ස් නගරයේදී අධිරාජයා, කුමාරවරුන් සහ පාප් රාජ්‍ය නියෝජිතයා ඉදිරියේ ලූතර් සිටගත්තේය. යාන් හුස්ද 1415දී කෝන්ස්ටන්හිදී ඒ හා සමාන නඩු විභාගයකට මුහුණ දී පසුව කණුවක් මත බඳිනු ලැබ පුලුස්සා දමනු ලැබිණි. දැන් කතෝලික සභාවේ සහ අධිරාජයාගේ ඇස් තමා වෙත තියුණුව එල්ල වී තිබියදී, තම ප්‍රකාශයන් ඉල්ලා අස් කරගැනීම ලූතර් ප්‍රතික්ෂේප කළේය. තමා වැරදි බව බයිබලයෙන් ඔප්පු කළොත් පමණක් එසේ කරන බවයි ඔහු තම විරුද්ධවාදින්ට කියා සිටියේ. එහෙත්, ශුද්ධ ලියවිලි පිළිබඳව ඔහුගේ මතකයට සමාන මතකයක් තිබූ කිසිවෙක් එහි සිටියේ නැත. වෝර්ම්ස්හි තීන්දුව යනුවෙන් හැඳින්වූ ලියවිල්ල මගින් මෙම නඩු විභාගයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදි. එහිදී ලූතර්ව අපරාධකාරයෙකු ලෙසට හංවඩු ගසනු ලැබූ අතර, ඔහුගේ ලියවිලිද තහනම් කරන ලදි. පාප් විසින් පල්ලියෙන් නෙරපනු ලැබ, අධිරාජයා විසින් අපරාධකාරයෙකුයයි නම් කරනු ලැබ සිටි බැවින් ඔහුගේ ජීවිතය දැන් තිබුණේ අනතුරේය.

ඉන්පසුව සිදු වුණු සිද්ධීන් අපේක්ෂා නොකළ ලෙසින් චමත්කාරජනක විය. නැවතත් විටන්බර්ග් බලා එන ගමනේදී, ලූතර්ගේ හිතේෂිවන්තයෙකු වන සැක්සෝනියේ ෆ්‍රෙඩ්‍රික් විසින් සැලසුම් කරන ලද “පැහැරගැනීමක්” ලෙසට බොරුවට මවා පාමින් ඔහුව “පැහැරගන්නා” ලදි. මේ නිසා ලූතර්ව අල්ලාගැනීමට ඔහුගේ සතුරන්ට නොහැකි විය. වෝර්ට්බර්ග් බලකොටුවේ හුදෙකලාවේ සිටීම සඳහා ලූතර්ව හොර රහසේ එහි ගෙන යන ලදි. එහිදී ඔහු තම රැවුල වවා අලුත් පෙනුමක් ලබාගත්තේය. අනතුරුව ඔහුව හඳුන්වන ලද්දේ යුන්ක යර්ග් නම් නයිට්වරයා ලෙසය.

මහත් ඉල්ලුමක් තිබූ සැප්තැම්බර් බයිබලය

ඊළඟ මාස දහය තුළ ලූතර් වෝර්ට්බර්ග් මැදුරේ ජීවත් වූයේ අධිරාජයන්ගෙන් මෙන්ම පාප්ගෙන් පලායන්නෙකු ලෙසටයි. වෙල්ටර්බෙ වෝර්ට්බර්ග් යන පොතේ පැහැදිලි කරන්නේ “වෝර්ට්බර්ග්හි ගත කළ කාලය ඔහුගේ ජීවිතයේ වඩාත්ම ඵලදායක සහ නිර්මාණ ශක්තියෙන් ඉහළ කාලය” වූ බවයි. ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘතියක් වූයේ ජර්මන් භාෂාවට පරිවර්තනය කරන ලද ඉරැස්මස්ගේ ග්‍රීක් ශුද්ධ ලියවිලි පරිවර්තනයයි. එය සම්පූර්ණ කරනු ලැබුවේ එහිදීය. ලූතර් මෙහි පරිවර්තකයා බව හෙළි නොකරමින් 1522 සැප්තැම්බර් මාසයේදී මෙම කෘතිය ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, මෙය හඳුන්වනු ලැබුවේ සැප්තැම්බර් බයිබලය යනුවෙනි. මෙහි මිල ගෘහ-සේවිකාවකගේ වාර්ෂික වැටුප වන ගිල්ඩර් 1 1⁄2කට සමාන විය. කෙසේවෙතත්, සැප්තැම්බර් බයිබලයට ඉහළ ඉල්ලුමක් තිබිණි. මාස 12ක් ඇතුළත, පිටපත් 6,000ක් වෙළුම් 2කින් මුද්‍රණය කෙරිණි. ඊළඟ වසර 12 ඇතුළත එහි සංස්කරණ 69කට නොඅඩු සංඛ්‍යාවක් මුද්‍රණය කරනු ලැබිණි.

වර්ෂ 1525දී, මාටින් ලූතර්, කලින් කන්‍යා සොහොයුරියකව සිටි කාතාරිනා ෆොන් බෝරා සමඟ විවාහ වූයේය. ඉතා ශූර ගෘහිණියක් වූ කාතාරිනා තම සැමියාගේ සංග්‍රහශීලීභාවයටද කදිම සහයක් දුන්නාය. ලූතර්ගේ ගෙවැසියන් අතරට ඔහුගේ භාර්යාව සහ දරුවන් හයදෙනා පමණක් නොව, ඔහුගේ මිතුරන්ද, විශාරදයන් හා සරණාගතයන්ද ඇතුළත් විණි. සිය ජීවිතයේ පසු කාලයේදී ලූතර් උපදේශකයෙකු වශයෙන් මොනතරම් කීර්තියට පත් වුණාද යත්, ඔහුගේ අමුත්තෝ පෑන් පැන්සල් කඩදාසි අතැතිව ඔහු වටා සිටියේ ඔහු කියන දේවල් සටහන් කරගැනීමටය. මෙම සටහන් එක්කාසු කොට ලූතර්ස් ටිෂ්-රේඩන් (ලූතර්ගේ වට මේස සාකච්ඡා) යන නමින් පළ කරන ලදි. ජර්මන් බසින් වූ මේ කෘතියේ බෙදාහැරීම යම් කලක් පුරා දෙවැනි වූයේ බයිබලයට පමණි.

දක්ෂ පරිවර්තකයෙක් සහ නිර්මාණශීලී බහුශ්‍රැත ලේඛකයෙක්

වර්ෂ 1534 වන විට, ලූතර් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල පරිවර්තනය අවසන් කොට තිබිණි. භාෂා රටාව, ශෛලිය, රිද්මය සහ වාග්මාලාව එකිනෙකට සමබර කරන්නට හැකි අපූරු දක්ෂකමක් ඔහු සතු විය. මෙහි ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය ජනයාට තේරුම්ගත හැකි බයිබලයක් බිහිවීමයි. තමා පරිවර්තන කටයුතු සිදු කරන ක්‍රමය ගැන අදහස් දක්වමින් ලූතර් ලීවේ මෙයයි. “අප නිවසේ සිටින මවකගෙන්ද, පාරේ සිටින ළමයින්ගෙන්ද, වෙළඳපොළේ සිටින පොදු මිනිසාගෙන්ද ප්‍රශ්න කර, ඔවුන් කියන දේට සවන් දිය යුතුය. ඊට පසුව ඔවුන්ගේ කටවල් දෙස හොඳින් බලා ඔවුන් කතා කරන විදහ බලා සිට ඒ අනුවයි පරිවර්තනය කළ යුත්තේ.” මේ අනුව, ලූතර්ගේ බයිබලය ජර්මනිය පුරා පසුව සම්මත වූ ලිඛිත භාෂාවකට පදනමක් දැමීය.

පරිවර්තකයෙකු ලෙස ලූතර් සතු දක්ෂතාව ලේඛකයෙකු ලෙස ඔහුට තිබූ නිපුණත්වය සමඟ මුසු විණි. ඔහු ක්‍රියාශීලීව සිටි ජීවිත කාලය පුරා සෑම සති දෙකකට වරක්ම එක් නිබන්ධයක් ලියා ඇති බව කියනු ලැබේ. මේවායින් සමහරක් ඒවායේ ලේඛක තරම්ම විවාදයට තුඩු දුන් ස්වරූපයක් ගත්තේය. ඔහු මුලින්ම ලියනු ලැබූ කෘතීන්හි ශෛලිය ඉතා තියුණු ස්වරූපයක් ගත්තද, කාලය ගත වුණත් ඔහුගේ පෑනේ තුඩ මොට්ට වුණේ නැත. ඔහු පසුව ලියූ ගද්‍යයන් එන්ට එන්ටම ඉතා සැර ඒවා විය. එක්තරා ආශ්‍රේය ග්‍රන්ථයක (Lexikon für Theologie und Kirche) පැවසෙන පරිදි, ලූතර්ගේ කෘතිවලින් හෙළි වන්නේ “ඔහුගේ අධික කෝපය” සහ “නිහතමානිකමේ සහ ප්‍රේමයේ ඌනතාවක්ය.” එමෙන්ම “යම් කාර්යයකට තදින්ම හා ඉහළින්ම බැඳී සිටින” බවක්ය.

පාලන ප්‍රාන්තවල විසූ ගොවි කම්කරු ජනතාව ලෙයින් නහවනු ලැබූ කාලයේදී, ඔවුන්ගේ කැරලිගැසීම් ගැන ඔහු දරන අදහස කිමෙක්දැයි ලූතර්ගෙන් අසනු ලැබීය. වැඩවසම් යුගයේ විසූ ස්වාමිවරුන්ට එරෙහිව මෙම ගොවි කම්කරු ජනතාව කළ චෝදනාව යුක්තිසහගත එකක් වීද? බහුතරයගේ රුචියට අනුව පිළිතුරක් දෙමින් මහජන ප්‍රසාදය රැකගන්නට ලූතර් උත්සාහ කළේ නැත. දෙවිගේ සේවකයන් දේශපාලනික බලයේ සිටින අයට කීකරු විය යුතු බව හෙතෙම විශ්වාස කළේය. (රෝම 13:1) ඍජු විනිශ්චයක් දෙමින් ලූතර් පැවසුවේ බලහත්කාරයෙන් මෙම කැරැල්ල මැඩලිය යුතු බවය. “හැකි ඕනෑම අයෙක් ඇන්නාවේ, ගැසුවාවේ, මැරුවාවේ” යයි ඔහු පැවසීය. හාන්ස් ලිල්යෙ පැවසුවේ, ලූතර්ගේ මෙම පිළිතුර නිසා “ඒ දක්වා ඔහු හිමි කරගෙන තිබූ ජනප්‍රියත්වය ඔහුට අහිමි වූ” බවය. එපමණක්ද නොව, ක්‍රිස්තියානි ධර්මයට හැරීම ප්‍රතික්ෂේප කළාවූ යුදෙව්වන් ගැන පසුව ඔහු ලියූ නිබන්ධවල, විශේෂයෙන්ම යුදෙව්වන් සහ ඔවුන්ගේ බොරු යන නිබන්ධය නිසා බොහෝදෙනෙකු ඔහුව යුදෙව් විරෝධියෙකුයයි හංවඩු ගැසුවේය.

ලූතර්ගේ උරුමය

ලූතර්, කැල්වින් සහ ස්වින්ග්ලි යන පුද්ගලයන් විසින් දියත් කරන ලද සභා ප්‍රතිසංස්කරණය, රෙපරමාදුවාදය යනුවෙන් හැඳින්වෙන නව ආගම සකස් වීමට හේතු විණි. රෙපරමාදුවාදයට ලූතර් දායාද කොට උරුම කළේ ඇදහිල්ල මගින් නිදොස් කිරීම සිදු වේය යන ප්‍රධාන ඉගැන්වීමයි. සියලුම ජර්මානු පාලන ප්‍රාන්තවල විසූ ජනයා රෙපරමාදුවාදයට හෝ කතෝලික විශ්වාසයට එකඟව ජීවත් වූහ. ස්කැන්ඩිනේවියාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය සහ නෙදර්ලන්තය යන රටවල රෙපරමාදුවාදය වේගයෙන් පැතිර ගියේ ජනප්‍රිය වෙමිනි. අද දින මිලියන සිය ගණනක් එම විශ්වාසයන් පිළිපදිති.

බොහෝදෙනෙක් ඔහුගේ විශ්වාසයන් පිළිගත්තේ නැතත් තවමත් ලූතර්ව උතුම් කොට සලකති. අයිස්ලේබන්, අර්ෆුවට්, විටන්බර්ග් සහ වෝර්ට්බර්ග් යන ප්‍රදේශ දේශ සීමාවන් ලෙස පැවතියාවූ කලින් ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව විසින් 1983දී ලූතර්ගේ 500වන උපන් දිනය සමරනු ලැබීය. මෙම සමාජවාදී රාජ්‍යය පිළිගත්තේ මොහු ජර්මානු ඉතිහාසයේ සහ සංස්කෘතියේ ඉතා කැපී පෙනෙන චරිතයක් වූ බවයි. එපමණක්ද නොව, 1980 ගණන්වල එක්තරා කතෝලික දේවධර්මාධරයෙක් ලූතර්ගෙන් ඇති වූ බලපෑම ගැන සමස්ත අදහස් කිහිපයක් පළ කළේ මෙසේයි. “ලූතර්ට පසුව ආ කිසිම කෙනෙකුව ඔහුට සම කරන්නට බැරිය.” මහාචාර්ය ආලාන්ට් ලීවේ මෙසේයි. “සෑම වසරකම, මාටින් ලූතර් පිළිබඳවත් ප්‍රතිසංස්කරණය පිළිබඳවත් නව ප්‍රකාශන අඩු තරමින් 500ක්වත් පළ කරනු ලැබේ. තවද ඒවා ලොවේ ප්‍රධාන භාෂා සියල්ලෙන්ම පාහේ පළ කෙරේ.”

මාටින් ලූතර්ට ඉතා තියුණු බුද්ධියක්ද, අතිවිශේෂ මතකයක්ද, පුළුල් වාග්මාලාවක්ද තිබූ අතර හේ දක්ෂ රචකයෙකුද විය. ඔහු නොඉවසිලිවන්ත හා සරදම්ශීලී පුද්ගලයෙකුද වූ අතර, ආගමික කුහකකම ලෙසට තමා විශ්වාස කළ දේට එරෙහිව තදින් ප්‍රතික්‍රියා කළේය. වර්ෂ 1546 පෙබරවාරි මස ඔහු සිය මරණ යහනේ සිටිද්දී, තමා අනුන්ට ඉගැන්වූ විශ්වාසයන්ට අනුකූලව තමා ජීවත් වුණාදැයි ඔහුගේ මිතුරන් ඔහුගෙන් ඇසූ විට, “එසේය” කියා ඔහු පිළිතුරු දුන්නේය. ලූතර් මිය ගියේය. නමුත් තවමත් බොහෝදෙනෙක් එවන් විශ්වාසයන්ට එකඟව ජීවත් වෙති.

[27වන පිටුවේ පින්තූරය]

පව් කමා පත් විකිණීම ගැන ලූතර් විරුද්ධ වූයේය

[හිමිකම් විස්තර]

Mit freundlicher Genehmigung: Wartburg-Stiftung

[28වන පිටුවේ පින්තූරය]

තමන් කී දේ වැරදිය කියා බයිබලයෙන් ඔප්පු කළොත් මිසක නැත්නම් තමා කී දේ ඉල්ලා අස් කර නොගන්නා බව ලූතර් ප්‍රකාශ කළේය

[හිමිකම් විස්තර]

The Story of Liberty, 1878 යන පොත ඇසුරෙනි

[29වන පිටුවේ පින්තූර]

ලූතර් බයිබලය පරිවර්තනය කළාවූ, වෝර්ට්බර්ග් බලකොටුවේ පිහිටි ලූතර්ගේ කාමරය

[හිමිකම් විස්තර]

රූප දෙකම: Mit freundlicher Genehmigung: Wartburg-Stiftung

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From the book Martin Luther The Reformer, 3rd Edition, published by Toronto Willard Tract Depository, Toronto, Ontario

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

The History of Protestantism (Vol. I) යන පොත ඇසුරෙනි