දෙමාපියන්ගෙන් විමසමු!

දෙමාපියන්ගෙන් විමසමු!

දෙමාපියන්ගෙන් විමසමු!

ඔබේ දරුවා වැඩෙන විට කීකරු වීමේ වැදගත්කම ඔවුන්ට කියා දිය යුතුයි. එය කරන්නේ කොහොමද? හොඳ ගුණාංග ඔවුන් තුළ පැළපදියම් කරන්නේ කොහොමද? ඒ ගැන දෙමාපියන් කිහිපදෙනෙකුගේ අද්දැකීම් දැන් අපි සලකා බලමු.

අන් අය සමඟ පෑහී වැඩ කිරීම

“අපි කෑම මේසෙදී දවසේ කරපු දේවල් ගැන කතා කරනවා. ඒ වෙලාවට දරුවන් කියන දේවලට අපි හොඳින් ඇහුම්කන් දෙනවා. දරුවන් ඒක බලලා අනික් අයට ඇහුම්කන් දෙන්න ඉගෙනගන්නවා.”—බ්‍රිතාන්‍යයේ රිචඩ්.

“දරුවන් අතර ඇති වන ප්‍රශ්න එයාලම විසඳගන්නවා. ඒක අපිටත් ලොකු සතුටක්. එයාලා වැඩිහිටියන් එක්කත් කතා කරන්න භය නැහැ.”—දකුණු අප්‍රිකාවේ ජෝන්.

“සමහර වෙලාවට මගේ අතිනුත් දරුවන්ගේ හිත රිදෙන දේවල් වෙනවා. ඒ වෙලාවට මම එයාලගෙන් සමාව ඉල්ලනවා. ඒක හරිම වැදගත්.”—ඕස්ට්‍රේලියාවේ ජැනෙල්.

“ගෙදරදොරේ වැඩ කරන්න අපි අපේ දරුවන්ව පුහුණු කරනවා. ගෙදර අයට උදව් කරන්න එයාලා ඉගෙනගන්න නිසා පවුලේ ප්‍රශ්න ඇති වෙනවා හරිම අඩුයි. යම් වැඩක් කරලා ඉවර වුණාම දරුවන්ට ලොකු සතුටකුත් දැනෙනවා.”—ඕස්ට්‍රේලියාවේ ක්ලයිව්.

“එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්නත් ගෞරවය පෙන්වන්නත් සමාව දෙන්නත් දරුවන්ව පුහුණු කරන්න ඕනේ. ඒක ලෙහෙසි වැඩක් නොවුණත් මම ඒක කොහොමහරි කරනවා.”—ජපානයේ යූකෝ.

ශරීර සෞඛ්‍යය

“පොඩි කාලේ ඉඳන්ම තනියම නාන්න අපි දරුවන්ව පුහුණු කළා. නාන වෙලාව විනෝදාත්මක දෙයක් කරගන්න අපි එක එක රූප තියෙන සබන් කෑලි, කාටුන් චරිත තියෙන ෂැම්පු බෝතල්, සතුන්ගේ හැඩයට තියෙන ස්පොන්ජි දරුවන්ට දුන්නා.”—මෙක්සිකෝවේ එඩ්ගා.

“ඉස්සර අපි හිටපු ගෙදර ටැප් වතුර තිබුණේ නැහැ. ඒ නිසා දරුවන්ට අත හෝදන්න සබන් කෑල්ලකුයි වතුර බේසමකුයි ගෙනත් තිබ්බා. එතකොට එයාලට ගේ ඇතුළට එනකොටම අත් හෝදගෙන එන්න පුළුවන්.”—නයිජීරියාවේ එන්ඩ්යෝරන්ස්.

“අපි දරුවන්ට හැමදාම පෝෂ්‍යදායී කෑම වේලක් දෙනවා. ඒකට හේතුවත් අපි එයාලට පැහැදිලි කරනවා. කෑම හදන වෙලාවට මම දරුවන්වත් එකතු කරගන්නවා. එතකොට අපිට නිදහසේ කතා කරන්නත් අවස්ථාව ලැබෙනවා.”—බ්‍රිතාන්‍යයේ සැන්ඩ්‍රා.

“ව්‍යායාම් කරන එක කාටත් හොඳයි. අපි පවුලක් හැටියට දුවන්න යනවා. බයිසිකලුත් පදිනවා. දරුවන් ඒකට හුඟක් කැමතියි. ව්‍යායාම් කිරීම වැදගත් කියන එක විතරක් නෙමෙයි ඒකෙන් විනෝදයක්ද ලැබෙනවා කියලා එයාලට තේරෙනවා.”—ඕස්ට්‍රේලියාවේ කෙරන්.

“දරුවන්ට අත්‍යවශ්‍යම දේ තමයි අම්මයි තාත්තයි එක්ක කාලය ගත කරන එක. සල්ලිවලින්වත් තෑගිවලින්වත් විනෝද ගමන් යැවීමෙන්වත් ඒ අඩුව පුරවන්න බැහැ. දරුවන් එක්ක කාලය ගත කරන්න ඕනේ නිසා මම උදේ වරුවේ විතරක් වැඩට යනවා. ඒ නිසා දරුවන් එක්ක ඉන්න මට හවස් වරුවම තියෙනවා.”—ඉතාලියේ රොමීනා.

හික්මවීම

“දරුවන් කරන හැම වරදකටම අපි එකම දඬුවම දෙන්නේ නැහැ. සමහර වෙලාවට ටිකක් කතා කරන එක ප්‍රමාණවත්. තවත් සමහර වෙලාවට දඬුවමක් හැටියට එයාලා හුඟක් කැමති දෙයක් අපි නොදී ඉන්නවා.”—නයිජීරියාවේ ඔග්බිටි.

“අපිට ඕනේ අපේ දරුවන්ට හොඳින් ඇහුම්කන් දෙන්නත් කීකරු වෙන්නත් උගන්වන්නයි. ඒ නිසා මොකක් හරි කරන්න කියලා එයාලට කිව්වොත් ඒක තේරුණාද කියලා දැනගන්න කියපු දේ නැවතත් අපිට කියන්න කියලා අපි එයාලට කියනවා. ලැබෙන දඬුවම ගැනත් කල් ඇතුව කියනවා. කියපු වැඩේ එයා කළේ නැත්නම් අපි එයාට දඬුවම් කරනවා.”—ඕස්ට්‍රේලියාවේ ක්ලයිව්.

“දරුවන්ට යම් මඟ පෙන්වීමක් දෙන කොට එයාලගේ ඇස් මට්ටමේ ඉඳන් කතා කරන එක වඩාත් සාර්ථකයි. එතකොට එයාලගේ අවධානය ගන්න පුළුවන්. අපේ මූණේ ඉරියව්වත් එයාලට පේනවා. ඒකත් හුඟක් බලපානවා.”—ඕස්ට්‍රේලියාවේ ජෙනිෆර්.

“‘මේ ළමයා කවදාවත් කියන දෙයක් අහන්නේ නැහැ’ වැනි දේවල් අපි අපේ දරුවන්ට කියන්නේ නැහැ. පවුලේ අනික් දරුවන් ඉස්සරහා එයාට කවදාවත් බණින්නෙත් නැහැ. ඒ වෙනුවට අපි කියන්න තියෙන දේ කනට කරලා කියනවා. නැත්නම් එයාව පැත්තකට අරන් ගිහින් එයත් එක්ක කතා කරනවා.”—මොසැම්බික්හි රූඩි.

“දරුවන් හරි කැමතියි අනික් අයව අනුකරණය කරන්න. ඒ නිසා ඉස්කෝලේ හරි, TV එකේ හරි, වෙනත් තැනකදී හරි දකින වැරදි දෙයක් වුණත් එයාලා ඉක්මනට ඉගෙනගන්නවා. ඒ නිසා වැරදි දෙයක් දකින කොට කරන්න ඕනේ හරි දේ මොකක්ද කියලා අපේ ආදර්ශයෙන් පෙන්වනවා. ඒකෙන් එයාලා හොඳ සදාචාර ප්‍රමිති ඉගෙනගන්නවා විතරක් නෙමෙයි නරක දේවල් ප්‍රතික්ෂේප කරන්නත් ඉගෙනගන්නවා.”—කොංගෝහි ග්‍රෙග්වර්.

“දරුවෙකුට හික්මවීමක් දෙන කොට කියන්න තියෙන දේ ඍජුවම කියන්න ඕනේ. එයාලා කැමති විදිහට අපි නීති වෙනස් කරන්නේ නැහැ කියලත් එයාලා තේරුම්ගන්න ඕනේ. අපි සාධාරණ වෙන්න ඕනේ වෙලාවලුත් තියෙනවා.”—එංගලන්තයේ ඔවන්.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ.”—කොලොස්සි 3:21

[15වන පිටුවේ කොටුව/පින්තූරය]

සැබෑ අද්දැකීමක්

තනිවම දරුවන් හදා වඩා ගන්නා මවක්

ලුසින්ඩා ෆෝස්ට සමඟ කළ සාකච්ඡාවක්

ඔබට තිබෙන ලොකුම අභියෝගය කුමක්ද?

දරුවන්ව පුහුණු කරන්න, ඔවුන් එක්ක විනෝදවෙන්න විතරක් නෙමෙයි ගෙදරදොරේ වැඩ කරන්නත් තියෙනවා. ඒ හැම දේටම කාලය වගේම වෙහෙසක් දැරීමත් අවශ්‍යයි. අම්මා කෙනෙක් හැටියට ඒ දේවල් තනියම කරන එක ලොකු අභියෝගයක්. සමහර වෙලාවට විවේක ගන්නවත් කාලයක් නැහැ.

නිවසේදී ඔබ දරුවන් සමඟ කටයුතු කරන්නේ කොහොමද?

දෙමාපියන් දික්කසාද වුණාම දරුවන්ට තරහක් වගේම භයක් දැනෙනවා. මම ඒක තේරුම් අරන්ඉන්නේ. ඒ නිසා මොකක් හරි ප්‍රශ්නයක් වුණාම එයාලා සන්සුන් වෙනකල් ඉඳලා, එයාලගේ හිතේ තියෙන දේ අවංකව කියන්න ඉඩ දෙනවා. ඒ වගේ වෙලාවට හොඳින් අහගෙන ඉන්න එකත් දරුවන්ගේ මූණ දිහා බලලා කතා කරන එකත් හරි වැදගත්. කොහොමවුණත් දුවලා දෙන්නට හුඟක් ආදරෙයි කියලා කියන්න මම අමතක කරන්නේ නැහැ. දරුවන්ගේ ඉස්කෝලේ වැඩකටයුතුත් හොයලා බලනවා. අපි කෑම කන්නේ එකට නිසා පවුලේ සන්සුන් වාතාවරණයක් ඇති කරගන්න ඒක ලොකු උපකාරයක් වෙලා තියෙනවා.

ඔබේ දරුවන්ට උපදෙස් දෙන්නේ කොහොමද?

දරුවන්ට නිශ්චිත සීමාවන් හා නීති දානවා වගේම ඒවට හේතුත් කියලා දෙන්න ඕනේ. ඒවා ආදරෙන් කියන්න ඕනේ වුණත් කෙළින් කියන්න වෙනවා. දරුවෙක් වරදක් කළාම දඬුවම් කරන්න කලින් එයා ඒ වරද කළේ ඇයි කියලා දැනගන්න මම උත්සාහ කරනවා. මගේ අතින් වරදක් වුණොත් මම සමාව ගන්නවා.

අනික් අයත් එක්ක සමාදානයෙන් වැඩ කරන්න දරුවන්ට උගන්වන්නේ කොහොමද?

අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ ඒ විදිහටම ඔවුන්ටත් කරන්න යන ප්‍රතිපත්තිය මම දරුවන්ට කියලා දීලා තියෙනවා. (ලූක් 6:31) හුඟක් වෙලාවට දරුවන්ගේ ප්‍රශ්න එයාලටම විසඳගන්න ඉඩහරිනවා. ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවකදී වුණත් සමාදානයෙන් ඒවා විසඳගන්නේ කොහොමද කියලා මම ඒ දෙන්නට කියලා දීලා තියෙනවා.

විවේකයක් ලැබුණම මොකද කරන්නේ?

ගොඩක් වියදම් කරලා විනෝද ගමන් යන්න අපිට අමාරුයි. ඒ නිසා අඩු වියදමින් කරන්න පුළුවන් දේවල් ගැන හොයලා බලනවා. සමහර වෙලාවට අපි ඇවිදින්න යනවා, නැත්නම් ළඟ තියෙන පාක් එකට යනවා. අපිටත් පොඩි ගෙවත්තක් තියෙන නිසා අපි හරි ආසයි පැළ තවාන් බලන්න යන්න. විනෝදය හා විවේකය අත්‍යවශ්‍ය නිසා අපි පුරුදු වෙලා තියෙන්නේ පුංචි දේවලින් හරි සතුටක් ලබාගන්නයි.

ඔබේ උත්සාහයට ලැබිලා තියෙන ප්‍රතිඵල මොනවාද?

පවුලේ ඉන්නේ අපි තුන්දෙනා විතරක් නිසා සමහර දේවල් කරගන්න අපිට ටිකක් අමාරුයි. ඒත් අපි අතර තියෙන බැඳීම නම් ගොඩක් ශක්තිමත්. අපිට තියෙන දේවල් ගැන අපි සතුටු වෙනවා. දුවලා දෙන්නා හොඳ ගතිගුණ ඇතුව හැදෙනවා දකින කොට මම ඒකෙන් ලොකු සතුටක් අද්දකිනවා. මගේ හැඟීම් එයාලට හොඳට තේරෙනවා. සමහර වෙලාවට මම දුකෙන් ඉන්නවා දැක්කොත් ළඟට ඇවිත් මාව බදාගන්නවා. එතකොට මට ලොකු සතුටක් දැනෙනවා. අමාරු කාලවලදී වුණත් දෙවි අපිව බලාගන්නවා කියලා අපිට දැනිලා තියෙනවා. මවක් හැටියට තනියම මගේ දුවලා දෙන්නා බලාගන්න අවශ්‍ය ප්‍රායෝගික මඟ පෙන්වීම් මට බයිබලයෙන් ලැබිලා තියෙනවා.—යෙසායා 41:13.

[පින්තූරය]

ලුසින්ඩා ඇගේ දියණියන් වන බ්‍රී සහ ෂේ සමඟ