Skip to content

පටුනට යන්න

 යොවුන් සිතේ ගැටලු

මම මොන වගේ කෙනෙක්ද?

මම මොන වගේ කෙනෙක්ද?

බ්‍රයන් ගැන මයිකල් දන්න නිසා ඔහු තමා වෙතට එනවා දැක්කම මයිකල්ට බයක් ඇති වෙයි. “ආ.. මයිකි! මෙන්න තියනවා නියම බඩු” කියා තම අතේ තිබූ සිගරට් එකක් බ්‍රයන් ඔහුට පෙන්වයි. බ්‍රයන්ව තරහ කරගැනීමට අකමැති වූ මයිකල් ඒ අවස්ථාවේදී මෙසේ පවසයි. “අද එපා. වෙන දවසක බලමු.”

බ්‍රයන් ගැන ජෙසිකා දන්න නිසා ඔහු තමා වෙතට එනවා දැක්කම ඔහුට නොබියව මුහුණ දීමට ඇය සූදානම්ව සිටියි. “ආ.. ජෙසී! මෙන්න තියනවා නියම බඩු” කියා තම අතේ තිබූ සිගරට් එකක් බ්‍රයන් ඇයට පෙන්වයි. ඒ මොහොතේම ඇය “මට එපා!” කියා ස්ථිරවම පවසයි. පසුව ඇය ඔහුට මෙසේද පවසයි. “ඕවා බීලා මට නම් මැරෙන්න ඕන නැහැ. මම හිතුවේ නැහැ ඔයා තාමත් සිගරට් බොනවා කියලා.”

කලින් සඳහන් කළ අවස්ථා දෙකේදී තම මිතුරාගේ බලපෑමට සාර්ථකව මුහුණ දීමට ජෙසිකාට හැකි වුණේ කොහොමද? තමන් මොන වගේ කෙනෙක්ද කියා ඇයට ස්ථිර විශ්වාසයක් තිබූ නිසයි. එවැනි පෞද්ගලිකත්වයක් ඔබටත් වර්ධනය කරගත හැකියි. එවිට ඔබට අනවශ්‍ය බලපෑම්වලින් වැළකී සිටින්න පුළුවන්. ඔබට ඔබ ගැනම එවැනි විශ්වාසයක් ඇති කරගැනීම සඳහා මෙම ප්‍රශ්න ගැන සලකා බලන්න.

1 මගේ හැකියාවන් සහ ගුණාංග මොනවාද?

හඳුනාගත යුත්තේ ඇයි: ඔබේ හැකියාවන් සහ ගුණාංග මොනවාද කියා දැනගැනීමෙන් ඔබට ඔබ ගැනම විශ්වාසයක් ඇති වෙයි.

මේ ගැන සිතන්න: එක් එක් කෙනාගේ හැකියාවන් විවිධයි. සමහර අය චිත්‍ර කලාවට, තව අය ක්‍රීඩාවට, තවත් අය සංගීතයට දක්ෂයි. යෞවනියක් වන රාකේල් මෙසේ පවසනවා. * “අවුරුදු 15දී මම තේරුම්ගත්තා මට වාහන හදන්න හැකියාවක් තියෙනවා කියලා.”

බයිබල් ආදර්ශයක්: බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පැවසුවා. “මා කතා කිරීමට දක්ෂ කෙනෙක් නොවුණත් මා දැනුමෙන් අඩු කෙනෙකු කියා කිසි ලෙසකින්වත් පැවසිය නොහැක.” (2 කොරින්ති 11:6) ඔහුට බයිබලයේ ඇති ඉගැන්වීම් ගැන හොඳ දැනුමක් තිබුණා. යම් අවස්ථාවලදී මිනිසුන්ගෙන් බලපෑම් එල්ල වුණත් ඔහු විශ්වාස කරන දේ සම්බන්ධයෙන් නොසැලී සිටීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි.—2 කොරින්ති 10:10; 11:5.

කල්පනා කර බලන්න: ඔබට තිබෙන හැකියාවක් පහත සඳහන් කරන්න.

․․․․․

ඔබට තිබෙන හොඳ ගුණාංගයක් සඳහන් කරන්න.  (උදාහරණයකට, ඔබ කරුණාවන්ත කෙනෙක්ද? වෙලාවට වැඩ කරන කෙනෙක්ද? විශ්වාසවන්ත කෙනෙක්ද?)

․․․․․

“අන් අය වෙනුවෙන් කාලය යොදවන්න මම කැමතියි. කාටහරි මාත් එක්ක කතා කරන්න ඕන වුණාම මට කොච්චර වැඩ තිබුණත් ඒවා නතර කරලා එයාට ඇහුම්කන් දෙනවා.”—බ්‍රියෑන්.

ඔබට තිබෙන හොඳ ගුණාංගයක් හඳුනාගැනීමට අපහසුද? එසේනම් කුඩා කාලයේ ඔබට නොතිබුණු මේ වන විට ඔබ දියුණු කරගෙන තිබෙන ගුණාංගයක් සඳහන් කරන්න.—“යෞවනයන් පවසන දේ” යන කොටුව බලන්න.

․․․․․

2 මගේ දුර්වලකම් මොනවාද?

හඳුනාගත යුත්තේ ඇයි: දම්වැලක දුර්වල පුරුකක් දිගටම තිබෙන්න ඉඩහැරියොත් එය කැඩී යා හැකියි. එලෙසම දුර්වලකමක් ඔබ තුළ දිගටම පැවතීමට ඉඩහැරියොත් එය ඔබේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කළ හැකියි.

මේ ගැන සිතන්න: කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. (රෝම 3:23) අපි හැමෝටම දියුණු විය යුතු පැති තිබෙනවා. “මට පොඩි දේකට වුණත් ඉක්මනටම තරහා යනවා” කියා සේජා නම් යෞවනිය පවසනවා.

බයිබල් ආදර්ශයක්: පාවුල්ටත් එවැනිම දුර්වලතාවක් තිබුණා. ඒ ගැන ඔහුම මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්නෙමි. නමුත් මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. ඒ නීතිය මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි.”—රෝම 7:22, 23.

කල්පනා කර බලන්න: ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ කුමන දුර්වලතාව ගැනද?

․․․․․

“ආදරය ගැන තියෙන චිත්‍රපටි බැලුවාම මට මං ගැනම දුක හිතෙනවා. ඊට පස්සේ මට හිතෙනවා මටත් ආදරය කරන්න කවුරු හරි ඕනේ කියලා. මගේ දුර්වලකම ගැන මම තේරුම්ගත්තා. ඊට පස්සේ මම ඒවගේ චිත්‍රපටි බලන එක නතර කළා.”—බ්‍රිජට්.

3 මගේ ඉලක්ක මොනවාද?

හඳුනාගත යුත්තේ ඇයි: ඔබටම කියා ඉලක්ක තිබෙනවා නම් ඔබේ ජීවිතයට අරමුණක් තිබෙනවා. ඒ වගේම එම ඉලක්කවලට බාධා වන දේවල් හඳුනාගෙන ඉන් වැළකී සිටීමටත් ඔබට හැකියි.

මේ ගැන සිතන්න: ගමනාන්තයක් ගැන සිතන්නේ නැතුව ඔබ වාහනයකට නැඟ ඉන්ධන ඉවර වන තුරු එහෙ මෙහෙ යනවාද? නැහැ. මන්ද එය ඔබේ කාලය පමණක් නොව මුදල් පවා නාස්ති කරන දෙයක්. ඔබේ ජීවිතේ ඉලක්ක නැත්නම් ඔබට සිදු වන්නේද එවැනිම දෙයක්.

බයිබල් ආදර්ශයක්: පාවුල් මෙසේ පැවසුවා. “මා දුවන්නේ අරමුණක් ඇතුව මිස දෙගිඩියාවෙන් නොවේ.” (1 කොරින්ති 9:26) පාවුල් ඔහුගේ ජීවිතය කිසිම අරමුණක් නැතුව ගත කළේ නැහැ. ඒ වෙනුවට ඔහු  ඉලක්ක තබා ඒවා අත් කරගැනීමටද දැඩි වෑයමක් දැරුවා.—ෆිලිප්පි 3:12-14.

කල්පනා කර බලන්න: ඔබ ඊළඟ වසර තුළ අත් කරගැනීමට අදහස් කරගෙන සිටින ඉලක්ක තුනක් පහත ලියන්න.

  1. ․․․․․

  2. ․․․․․

  3. ․․․․․

ඒ ඉලක්ක අතරින් මුල් තැන දිය යුත්තේ කුමන ඉලක්කයටද කියා හඳුනාගෙන දැන් සිටම ඒ සඳහා කළ හැකි දේ පහත සඳහන් කරන්න.

․․․․․

“ඉලක්ක තියෙන එක හුඟක් හොඳයි. නැත්නම් වෙන්නේ කාලය නිකම්ම නාස්ති වෙන එක විතරයි.”—හෝසේ.

4 මගේ අධිෂ්ඨාන මොනවාද?

හඳුනාගත යුත්තේ ඇයි: ඔබට ස්ථිර අධිෂ්ඨානයක් නැත්නම් කටුස්සෙක් පාට මාරු කරනවා හා සමානව ඔබත් ඔබේ මිතුරන් කියන කියන දේවලට අනුව ඔබේ තීරණ වෙනස් කරයි.

මේ ගැන සිතන්න: බයිබලයේ ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගන්න’ කියායි. (රෝම 12:2) ඔබ යම් දෙයක් සම්බන්ධයෙන් අධිෂ්ඨානයක් ගෙන තිබෙන්නේ එය හොඳින් වටහාගෙන නම් අනික් අය කුමන දේවල් කිව්වත් ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය වෙනස් කරන්නේ නැහැ.

බයිබල් ආදර්ශයක්: දානියෙල් පවුලේ අයගෙන් හා දෙවිට නමස්කාර කළ වෙනත් අයගෙන් වෙන්ව සිටියත් දෙවිගේ නීතිවලට කීකරුව සිටින්න ඔහු තරුණ වයසේදීම ‘තම හදවතින්ම අදිටන් කරගෙන’ සිටියා. (දානියෙල් 1:8) ඔහු තම අධිෂ්ඨානයට එකඟව ක්‍රියා කළා.

කල්පනා කර බලන්න: යම් දේවල් සම්බන්ධයෙන් ස්ථිර අධිෂ්ඨාන ඇති කරගැනීමට පහත සඳහන් ප්‍රශ්න ගැන කල්පනා කිරීම ඔබට උපකාරවත් වේවි.

  • සැබෑ දෙවි කෙනෙක් සිටිනවා කියා ඔබ විශ්වාස කරනවාද? ඔබේ පිළිතුර ඔව් නම් එසේ පැවසීමට ඔබට තිබෙන සාක්ෂි මොනවාද?

  • බයිබලයේ දෙවි නීති දී තිබෙන්නේ ඔබේම හොඳට කියා ඔබ සිතනවාද? ඔබේ පිළිතුර ඔව් නම් ඔබ එසේ සිතන්නේ ඇයි? උදාහරණයකට, ඔබේ මිතුරන් ලිංගික කාරණා සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් දැරුවත් ඒ ගැන දෙවි දී ඇති නීතිවලට කීකරු වීම ඔබට ප්‍රයෝජනවත් කියා ඔබ සිතනවාද?

ඉහත සඳහන් ප්‍රශ්නවලට ඉක්මන් වී පිළිතුරු දෙන්න එපා. කාලය ගෙන ඒවා ගැන සිතා බලන්න. එවිට ඔබේ විශ්වාසයන්ට අනුව ජීවත් වීමට ඔබ ගන්නා අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙයි.—හිතෝපදේශ 14:15; 1 පේතෘස් 3:15.

“බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ගැන මට එච්චර විශ්වාසයක් නැහැ කියලා යාළුවන්ට දැනුනොත් එයාලා මට විහිළු කරනවා. ඒ නිසා යාළුවන්ට ඒ දේවල් ගැන කියද්දී ‘අපේ ආගමේ උගන්නලා තියෙන්නේ එහෙමයි’ කියලා කියනවා වෙනුවට ඒ දේවල් ගැන මම විශ්වාස කරන්නේ ඒකට හොඳ පදනමක් තියෙන නිසයි කියලා මම එයාලට පෙන්නනවා.”—ඩැනියෙල්.

ඔබ කැමති පොඩි සුළං පහරකට ගසාගෙන යන කොළයක් මෙන් වන්නද නැත්නම් සුලි කුණාටුවකටවත් කඩා නොවැටෙන ගසක් මෙන් වන්නද? එසේනම් මුලින්ම ඔබ කළ යුත්තේ ඔබ මොන වගේ කෙනෙක්ද කියා හඳුනාගෙන පසුව අවශ්‍ය සකස් කිරීම් කරගැනීමයි. එසේ කරනවා නම් කිසි කෙනෙකුට සෙලවිය නොහැකි ගසක් හා සමාන වෙන්න ඔබටත් හැකි වෙනවා නොඅනුමානයි.

සුලි කුණාටුවකට වුණත් කඩා නොවැටෙන ගසක් මෙන් වන්න ඔබටත් හැකියි

^ 8 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.