Skip to content

පටුනට යන්න

ගබ්සාව විසඳුමක්ද?

ගබ්සාව විසඳුමක්ද?

ගබ්සාව විසඳුමක්ද?

ගබ්සාව වැරදි දෙයක් බව බොහෝදෙනෙක් පිළිගන්නවා. බිල් නමැති පුද්ගලයාද එය සැලකුවේ මිනි මැරුමක් හා සමාන පාපයක් ලෙසයි. නමුත් ඔහු කාලයක් පුරා ගෞරවයෙන් සැලකු ඒ ප්‍රතිපත්තිය වෙනස් වුණේ 1975දී අනපේක්ෂිත ලෙස ඔහුගේ පෙම්වතිය වන වික්ටෝරියා ගැබ්ගත් විටයි. ඒ අවස්ථාව වන විට ඔහු විවාහවීමටවත් පියෙකුගේ වගකීම් ඉසිලීමටවත් සූදානම්ව සිටියේ නැහැ. “මම සිතුවේ මෙයින් ගොඩ ඒමට තිබෙන පහසුම ක්‍රමය ගබ්සාවක් කරන එක කියලයි. ඒ නිසා මම ඇයට ගබ්සාවක් කරන්න කියා බල කළා.”

බිල් මෙන් අදත් බොහෝදෙනෙක් සිතන්නේ සැලසුම් නොකර බලාපොරොත්තු නොවන අවස්ථාවක දරුවෙකු පිළිසිදගත් විට එකම විසඳුම ගබ්සාව කියායි. වර්ෂ 2007දී ලෝක ව්‍යාප්තව කළ සමීක්ෂණයකදී සොයාගැනුණේ 2003දී ගබ්සාවන් මිලියන 42ක් සිදු කර තිබෙන බවයි. එම කාන්තාවන් විවිධ ආගම් ජාති පසුබිම් මෙන්ම විවිධ අධ්‍යාපන මට්ටම් හා වයස් කාණ්ඩයකට අයත් අයයි. ඔබට අනවශ්‍ය ගැබ්ගැනීමකට මුහුණ දීමට සිදු වූවානම් ඔබ ක්‍රියා කරන්නේ කොහොමද? බොහෝදෙනෙක් ගබ්සා කිරීමට පෙලඹෙන්නේ ඇයි?

“අපිට තිබුණු එකම විසඳුම”

“කලින් වතාවේ දරුවා ලැබෙන්න ඉන්න කොට මට ගොඩාක් අමාරුකම්වලට මුහුණ දෙන්න සිදු වුණා. දරුවා බිහි කරද්දිත් මට හුඟක් අමාරු වුණා. ඒ විතරක් නෙමෙයි අපිට මුදල් ගැටලු, වෙනත් ප්‍රශ්නත් තිබුණා. ඒ දරුවා ලැබිලා සති හයකට පස්සේ මම ආයෙත් ගැබ්ගත්තාම අපි හිතුවේ හොඳම දේ ගබ්සා කිරීම කියලයි. මම දන්නවා ඒක වැරදි කියලා. නමුත් අපිට තිබුණු එකම විසඳුම ගබ්සාවයි” කියා 35 හැවිරිදි කාන්තාවක් පැවසුවා.

විවිධ හේතු නිසා කාන්තාවන් ගබ්සා කිරීමට පෙලඹෙනවා. මුදල් ගැටලු හෝ යම් අතවරයක් සිදු වී තිබෙනවා නම් එවැනි තත්වයක් යටතේ දරුවෙකු හදාගැනීමට අකමැතියි. එසේත් නැත්නම් යුවළක් හෝ ඔවුන්ගෙන් එක් අයෙක් දරුවෙකු හදා වඩා ගැනීමට සුදානම් නැති තත්වයක සිටිනවා නම් ගබ්සා කිරීමට ඔවුන් තීරණය කළ හැකියි.

සමහරවිට ගබ්සා කිරීමට පෙලඹෙන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය රැකගැනීමටයි. ගබ්සාවක් කරගැනීමට පැමිණි එක් කාන්තාවකගේ අදහස් වෛද්‍යවරියක් වන සුසැන් වික්ලන්ඩ් විසින් ලියූ පොතක මෙසේ සඳහන් කර තිබුණා. “මගේ දෙමාපියන් ආගමට හරි ලැදියි. මම විවාහ නොවී දරුවෙක් බිහි කිරීම එයාලගේ නමට ලොකු කැළලක්. දෙමාපියන්ව දන්නා හැමෝම එයාලාගේ දුව ලොකු පාපයක් කරලා කියලා දැනගනියි.”

වෛද්‍යවරිය ඇගෙන් මෙසේ ඇසුවා. “ඒ අය හිතන්නේ ඔයා ලොකු පාපයක් කරලා කියලා නම් ගබ්සාවක් කිරීම ගැන ඒ අයට හැඟෙන්නේ කොහොමද?” එවිට ඇය මෙසේ පැවසුවා. “ගබ්සාව නම් සමාව නොලැබෙන පාපයක්. නමුත් එය රහසිගතව කළ හැකි නිසා මගේ අතින් වුණ වැරැද්ද කවුරුත් දැනගන්නේ නැහැ. මගේ දෙමාපියන්ගේ පල්ලියේ යහළුවන්ටත් මේ ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ.” එම පොත.—This Common Secret—My Journey as an Abortion Doctor.

කුමන හේතුවක් නිසා ගබ්සා කිරීමට තීරණය කළත් එය ඉතා වේදනාකාරී අද්දැකීමක්. ගබ්සා කිරීමෙන් සියලු ගැටලු විසඳෙයිද?

ඇති වන ගැටලු

වර්ෂ 2004දී ගබ්සා කරගත් රුසියානු කාන්තාවන් 331දෙනෙක් සහ ඇමරිකානු කාන්තාවන් 217දෙනෙක් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයෙන් හෙළි වූයේ එම කණ්ඩායම් දෙකේම කාන්තාවන්ගෙන් අඩක්ම තමන් ගත් තීරණය ගැන දුක් වූ බවයි. රුසියානු කාන්තාවන්ගෙන් සියයට 50කට හා ඇමරිකානු කාන්තාවන්ගෙන් සියයට 80කට “වරද සහිත” හැඟීමක් ඇති වුණා. ඇමරිකානු කාන්තාවන්ගෙන් සියයට 60කටම තමන් කළේ ‘සමාව නොලැබිය හැකි වරදක් බව හැඟුණා.’ වරද සහිත හැඟීමෙන් පහසුවෙන් මීදීමට හැකි වන්නේ නැහැ. ආගම දහමට එතරම් ඇල්මක් නොදක්වන අයට පවා එය එතරම් පහසු දෙයක් නොවෙයි. එසේනම් යොවුන් වියේ පසුවන කාන්තාවන් බොහෝදෙනෙක් ගබ්සා කරගැනීමට පෙලඹෙන්නේ ඇයි?

බොහෝවිට එවැනි තීරණයක් ගන්නේ එල්ල වන පීඩනය නිසයි. ගබ්සාවක් කරගැනීම දරුවා හදාගන්නවාට වඩා හොඳයි කියා ඔබගේ සහකරු, දෙමාපියන් හෝ ඔබේ හිත මිතුරන් පැවසිය හැකියි. මෙවැනි තත්වයක් යටතේ ඔබ කිසිවක් සොයා නොබලා හදිසි තීරණයක් ගැනීමට පෙළඹිය හැකියි. “එම බැරැම් තීරණය ගෙන ගබ්සාවක් කිරීමෙන් පසුව ගැටලුව විසඳුණා කියා සිතුවත් වරද සහිත බවක් වේදනාවක් හා පසුතැවිල්ලක් කඩින් කඩ මතු විය හැකියි” කියා වෛද්‍යවරියක් වන ප්‍රිසිලා කෝල්මන් පැවසුවා.

බොහෝවිට එවන් අයට මතු වන ප්‍රශ්නය නම් ඔවුන් නැති කළේ ජීවිතයක්ද යන්නයි. ගබ්සාවන් කිරීමට පෙලඹුණු කාන්තාවන් පිළිබඳව කළ පුළුල් අධ්‍යයනයකින් පෙනී ගියේ “ඔවුන්ට ගබ්සාව පිළිබඳව නිසි අවබෝධයක් නොතිබුණු බවයි. ඔවුන් සිතුවේ පටක ගොඩක් ඉවත් කරනවා කියායි. ඇත්තෙන්ම ඔවුන් එය ජීවිතයක් බව දැන සිටියා නම් ගබ්සාවක් නොකිරීමට ඉඩ තිබුණා.”

තවදුරටත් එම අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ කාන්තාවන් 1,940දෙනෙක් තමන් ගත් තීරණය ගැන අතීශයෙන් දුක් වන බවයි. “ඔවුන්ගෙන් බොහෝ කාන්තාවන් තමාගේ කුසේ සිටින්නේ ජීවයක් කියා තමන්ව දැනුවත් නොකිරීම ගැන දුකකින් හා කෝපයකින් පසු වෙනවා. තමන් මරණයට පත් කළේ තමාගේම දරුවා බව දැනගත් විට එය ඔවුන්ට දරාගත නොහැකි දුකක් වුණා.”—Report of the South Dakota Task Force to Study Abortion—2005.

ගබ්සා කිරීමකදී සිදු කරන්නේ පටක ගොඩක් ඉවත් කිරීමද නැත්නම් ජීවිතයක් විනාශ කිරීමද?

[4වන පිටුවේ කොටුව/පින්තූරය]

දරුවෙකු බිහි කිරීම හා ගබ්සා කිරීම අතර වෙනස

වර්ෂ 2006දී කළ අධ්‍යයනයකින් නව යොවුන් වියේ ගැබ්ගත් කාන්තාවන් පිරිසකගේ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කළා. මෙම සමීක්ෂණයට ලක් වූ කාන්තාවන්ගෙන් අඩක් දරුවන් බිහි කළ අතර අඩක් ගබ්සා කිරීමට තීරණය කළා. මෙම අධ්‍යයනයෙන් පෙනී ගියේ “දරුවන් බිහි කළ මව්වරුන්ට මානසික පීඩනය සමඟ කටයුතු කිරීමට එතරම් උපකාර අවශ්‍ය නොවූ බවයි. එමෙන්ම නින්ද නොයෑමේ ගැටලු, දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාවද ගබ්සා කළ මව්වරුන්ට වඩා අඩු බවයි.”—Journal of Youth and Adolescence.

පුළුල්ව කළ අධ්‍යයනයකින් පෙනී ගියේ “ගබ්සා කළ කාන්තාවන් විවිධ මානසික ගැටලුවලට ලක් වීමේ ප්‍රවණතාව එසේ නොකළ කාන්තාවන්ට වඩා වැඩි බවයි.”—Report of the South Dakota Task Force to Study Abortion—2005.