Skip to content

පටුනට යන්න

ඔබ මුදලට වහල් වෙලාද?

ඔබ මුදලට වහල් වෙලාද?

ඔබ මුදල් ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වෙනවාද? සමහරුන් කොතරම් මුදල් ගැන කරදර වෙනවාද කියනවා නම් එය රෝගයක් බවට පත් වී තිබෙනවා.

එංගලන්තයේ මානසික සෞඛ්‍ය විශේෂඥයෙක් වන රොජර් හෙන්ඩර්සන් පවසන්නේ යමෙක් මුදල් ගැන සිතමින් ඒ ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වෙනවා නම් පහත සඳහන් රෝග ලක්ෂණ ඔහු තුළ දැකිය හැකියි කියායි. හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, කැරකැවිල්ල, චර්ම රෝග, කෑම අරුචිය, අනිසි බිය සහ නිකරුණේ කෝප වීම යනාදියයි.

මෑත කාලවලදී මිනිසුන්ට ඇති වූ මුදල් ප්‍රශ්න නිසා කනස්සලු තත්වයන්ට පත් වී තිබෙනවා. බොහෝ රටවල ඇති වී තිබෙන ආර්ථික පරිහානිය නිසා රැකියා අහිමි වීම, නිවාස අහිමි වීම හා බැංකු වසා දැමීම නිසා තැන්පත් කළ මුදල් නොලැබීම වැනි ප්‍රශ්නවලට මුහුණ දෙනවා. විශාල මූල්‍ය ආයතන වැසී යනවා. දියුණු රටවල පවා මූල්‍ය ආයතන මුහුණ දී තිබෙන ආර්ථික කඩා වැටීම නිසා ඒවා නඟා සිටු වීමට රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම දියුණු වෙමින් පවතින රටවල ආහාර මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා එය ජනයාගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා.

අනෙක් අතට මුදල් වැඩිපුර තිබෙන විටදී පවා මිනිසුන් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. දකුණු අප්‍රිකාව ඊට එක් උදාහරණයක්. එම රටේ පුවත්පතක (The Witness) මෙසේ සඳහන් වුණා. “මිනිසුන් දැන් වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ රැස් කරගැනීමේ ආශාවෙන් දැවෙනවා. ඔවුන් වෙර දරන්නේ තමන්ගේ අවශ්‍යතාවන්ට වඩා වැඩියෙන් රැස් කරගැනීමටයි”. මෙය දකුණු අප්‍රිකාවේ වසංගතයක් වී තිබෙනවා. මෙම වැරදි ආකල්පය නිසා ඔවුන් “වැඩිපුර මුදල් ඉපයීමට, ණය වීමට, නාස්ති කිරීමට, සෑහීමට පත් නොවීමට හා අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කිරීමටද” පෙළඹී තිබෙනවා කියා එම පුවත්පතේ සඳහන් වෙනවා. මුදල් නිසා ඇති වන මෙම කනස්සල්ල අප්‍රිකාවේ ජනයාගේ ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් කිරීමට සමත් වී තිබෙනවා.

ඉන්දියාව දියුණු වෙමින් පවතින රටක්. එම රට මෑතකදී අද්දුටු ආර්ථික පරිහානියට පෙර මහත් සමෘද්ධියක් යම් කාලයක් අද්දැක්කා. පෙර වසරවලට වඩා 2007දී ඉන්දියානු වැසියන්ගේ අතේ මිල මුදල් බොහෝසෙයින් ගැවසුණු අතර ඔවුන්ගේ “මිල දී ගැනීමේ හැකියාව වැඩි වී තිබුණු බව” ඉන්දියානු සඟරාවක (India Today International) වාර්තා වෙනවා. නමුත් එහි බලධාරීන් බියට පත් වූයේ එවැනි සමෘද්ධිමත් තත්වය නොසන්සුන්කමට මෙන්ම සැහැසික ක්‍රියාවලටද මඟ පෑදිය හැකි බවයි.

එම කාල වකවානුවේදී ඇමරිකාවේ තත්වය ගැන දැන් සලකා බලමු. එහි තරුණ අයට ඇති තරම් මිල මුදල් තිබෙන නිසා අවශ්‍ය සෑම සුඛෝපභෝගී භාණ්ඩයක්ම මිල දී ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණා. නමුත් ඔවුන්ගේ ජීවිතවල කිසි සතුටක් තිබුණේ නැහැ. පර්යේෂකයන් පැවසුවේ බොහෝ මිල මුදල් තිබෙන පුද්ගලයන් මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඉක්මනින් ඇබ්බැහි වූ බවයි. ඒ නිසා සමහරෙක් තමන්ගේ ජීවිත නැති කරගැනීමට පවා පෙළඹුණා. එක් අධ්‍යනයකින් පෙන්නුම් කළේ ඇමරිකානුවන්ට කොතරම් මිල මුදල් තිබුණත් ‘තුනෙන් දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ අසතුටෙන්’ කියායි.

සතුට ලැබෙන්නේ මුදලින් නොවේ

ආර්ථික පරිහානියක් තිබෙන කාලයේදී මෙන්ම සමෘද්ධිමත් කාලයේදී ඔබ දුප්පත් වුණත් පොහොසත් වුණත් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකියි. ඒ කෙසේද?

ඊට පිළිතුර මෙම වාර්තාවෙන් (The Meaning of Money) සොයාගත හැකියි. පර්යේෂකයන්ගේ එම වාර්තාවට අනුව “මුදල් හම්බකිරීමට තම ජීවිතයම කැප කරන අයට අවසානයේදී අත් වන්නේ දුක හා මානසික පීඩනයයි. නමුත් මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරමින් ණය බරින් මිදී සිටින අය ගත කරන්නේ තෘප්තිමත් මෙන්ම ප්‍රීතිමත් ජීවිතයක්.”

මුදල් ගැන ඔබ දරන ආකල්පය කුමක්? ලෝකයේ ආර්ථික තත්වය සීඝ්‍රයෙන් වෙනස් වන විට එය ඔබට බලපාන්නේ කෙසේද? ඔබ මුදලට වහල් වෙලාද? ඇත්තයි, අපි හැමෝම කලින් කලට මුදල් පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන නිසා කනස්සල්ලට පත් වෙනවා. නමුත් ඔබ මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරගැනීමෙන් මුදල් පිළිබඳව අනවශ්‍ය ලෙස කනස්සලු වීම මඟහරවාගත හැකියි. එය ඔබේ ජීවිතයේ ප්‍රීතියට දායක වෙයි.