Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

පසුගිය වසර 20 තුළ ලොව පුරා ස්වාභාවික ආපදා සිදු වූ ප්‍රමාණය හතර ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. සෑම වසරකම මිනිසුන් මිලියන 250කට වැඩි ගණනක් ඒවාට ගොදුරු වෙනවා.—EL UNIVERSAL, MEXI.

▪ “වසර ගණනාවක් පුරා පැසිෆික් සාගරය හරහා හමන ප්‍රබල වෙළඳ සුළං නිසා අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සාගරය මතු පිට එකතු වෙමින් පවතිනවා.” ගොඩගැසී තිබෙන එම ප්‍රමාණය ඕස්ට්‍රේලියා මහද්වීපය තරම්ම විශාල වී තිබෙනවා.—LA DÉPÊCHE DE TAHITI, TAHITI.

▪ මෝටර් රථයකට අවශ්‍ය ජීව ඉන්ධන ලීටර් 50ක් නිෂ්පාදනය කිරීම සඳහා ඉරිඟු කිලෝග්‍රෑම් 200ක් අවශ්‍ය වෙනවා. “එම ප්‍රමාණය වසරකට එක් පුද්ගලයෙකුට ආහාර සඳහා සෑහෙනවා.”—GAZETA WYBORCZA, POLAND.

බයිබල් මුද්‍රණයේ තවත් පෙරළියක්

“ලෝකයේ බයිබල් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කරමින් සිටින රටවල් අතරට චීනයද එක් වෙනවා” කියා චීනයේ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධානියා වූ යේ ෂායූවන් පැවසුවා. ජියෑසු පළාතේ නැන්ජිං අගනුවරේ පිහිටා තිබෙන මුද්‍රණාලය මගින් සම්පූර්ණ බයිබලයේම පිටපත් මිලියන 50ක් තරම් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට හැකි වී තිබෙනවා. එක් පුවත්පතකට අනුව “මෑතක සිට සෑම වසරකම මිලියන තුනක් පමණ බයිබල් මුද්‍රණය කරනවා.” ඒ නිසා චීනයේ වෙසෙන ක්‍රිස්තියානීන් යයි කියාගන්නාවූ අයගේ වැඩි වීමක්ද දකින්න ලැබෙනවා.—People’s Daily Online.

රූප සොරාගන්නා සොරු

“රුසියාවේ පසුගිය වසර පහ ඇතුළත පල්ලි 1,000කට වැඩි ප්‍රමාණයක් මංකොල්ලකෑම්වලට ලක් වී තිබෙනවා” කියා එක් සඟරාවක සඳහන් වුණා. පල්ලිවල ඇති රූප 40,000ක් පමණ සොරාගෙන ඇති බව රුසියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට වාර්තා වුණා. එම අමාත්‍යාංශය හා ඕතඩොක්ස් පල්ලි සාමූහික එකඟත්වයෙන් සෑම පල්ලියකම ඇති රූපවලට විශේෂිත වූ ලකුණක් යෙදීමට තීරණය කළා. එලෙස රූපවලට දී ඇති ලකුණ හඳුනාගත හැක්කේ ඊට පාරජම්බුල කිරණ පතිත වුණොත් පමණයි. එමගින් එහි සැබෑ අයිතිකරුවන් කවුරුන්ද කියා දැනගත හැකියි. එම සඟරාවේ තවදුරටත් පවසන පරිදි “එම පූජකයනුත් එය කැමැත්තෙන්ම පිළිගත්තා. ඔවුන් පවසන්නේ ඒ ලකුණ යෙදූ පමණින් ඒවායේ ඇති හාස්කම් බලය නැති නොවන බවයි.”—Russky Newsweek.

අඳුරු මහද්වීපය එළිය කළ හැකිද?

“වර්ෂ 1990 සිට 2005 අතර කාලය තුළ අප්‍රිකාවේ ජාතීන් 23ක් අතර ඇති වූ ගැටුම් නිසා අමෙරිකානු ඩොලර් බිලියන 300ක් පමණ වැය වී තිබෙනවා” කියා එක් පුවත්පතක සඳහන් කර තිබුණා. ලයිබීරියාවේ ජනාධිපති එලන් ජාන්සන් සර්ලීෆ් මෙවන් දෙයක් පවසා තිබුණා. “ඒඩ්ස්, ජල අර්බුදය, ක්ෂය රෝගය හා මැලේරියාව වැනි රෝග මර්දනයට සහ ඊට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට මෙන්ම අධ්‍යාපනය සඳහා වැය වන්නාවූ මුදල් පියවාගැනීමට ගැටුම් සඳහා වියදම් කරන්නාවූ ඒ මුදල් කන්දරාව හොඳටම ප්‍රමාණවත්.” කලින් සඳහන් කළ පුවත්පතේ තවදුරටත් මෙසේ සඳහන් වී තිබුණා. “එම මුදල් භාවිත කර රෝහල්, පාසැල් හා මහා මාර්ග දහස්ගණනක් ඉදි කළ හැකියි. එසේ කළොත් අඳුරු මහද්වීපය ලොව සමෘද්ධිමත්ම මහද්වීපය බවට පත් කළ හැකි වෙයි.”—International Herald Tribune.

කෙටි නින්දත් හොඳ ඔසුවක්!

ග්‍රීක ජාතිකයන් 23,000ක් සමඟ කළ පරීක්ෂණයකින් හෙළි වූයේ සතියකට දින තුනක් දවල් කාලයේ ගන්නා කෙටි නින්දකින් හෘදයාබාධ ඇති වීමේ අවදානම සියයට 37කින් අවම කර ගත හැකි බවයි. අමෙරිකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ හාවඩ් පාසලේ, වසංගත පිළිබඳ අධ්‍යයනය කරන පර්යේෂකයෙක් වන ඩිමීට්‍රිස් ට්‍රීහොපූලොස් මෙසේ පවසනවා. “දරුණු මානසික පීඩනය හෘද රෝග වැලඳීමට මඟ පාදන බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. දවල් කාලයේ ගන්නා කෙටි නින්දෙන් මානසික පීඩනය මෙන්ම හෘද රෝගවලින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කරගැනීමටද හැකි වෙනවා.”