Skip to content

පටුනට යන්න

වෙනත් විකල්ප අවශ්‍ය වන්නේ ඇයි?

වෙනත් විකල්ප අවශ්‍ය වන්නේ ඇයි?

වෙනත් විකල්ප අවශ්‍ය වන්නේ ඇයි?

“අද ඛනිජ තෙල්වල අර්බුදයක් ඇති වෙලා තියෙනවා කියලා අපි හිතනවා නම්, තව අවුරුදු 20කින් මොනවා වෙයිද? එතකොට තත්වය මීටත් වඩා භයානක වෙයි.”—වර්ෂ 2003 අගෝස්තුවලදී වොෂිංටන් ඩී.සී.හිදී ආර්ථික ප්‍රවණතා පදනමේදී ජෙරමි රිෆ්කින්.

තව අවුරුදු 20කින් පමණ වාහනයක් පදවන්න හැකි වයසකට පුංචි මයිකා පැමිණේවි. ඒ වෙද්දී ලොව පුරා පරිභෝජනයට ගැනෙන බලශක්ති ප්‍රමාණය “සියයට 58කින් ඉහළ නඟීවි” කියා එක්සත් ජනපද රජයේ වාර්තාවක සඳහන් වෙයි (International Energy Outlook 2003, [IEO2003]). මෙම ඉහළ නැඟීම ගැන නිව් සයන්ටිස්ට් සඟරාවේ පවසන්නේ “ඉතිහාසයේ කෙදිනකවත් බලශක්තිය සඳහා මෙතරම් ඉල්ලුමක් තිබී නැහැ” කියායි. මෙම ඉල්ලුමට සරිලන සැපයුමක් දැනට යොදාගැනෙන බලශක්ති ප්‍රභවයන්වලින් ලබාගත හැකිද? මෙම සාධක සලකා බලන්න.

ගල් අඟුරු

▪ ෆොසිල ඉන්ධන අතුරින් බහුලවම පවතින්නේ ගල් අඟුරුයි. ඒවා තව වසර 1,000ක් පුරා භාවිත කිරීමට ප්‍රමාණවත්යයි ගණන් බලා තිබෙනවා. ලෝකය පුරා පරිභෝජනයට ගැනෙන විදුලි බලයෙන් සියයට 40ක් පමණ සපයාගන්නේ ගල් අඟුරු බලාගාරවලින්. ලෝකයේ ගල් අඟුරුවලින් විශාලතම ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඕස්ට්‍රේලියාවයි. එම ප්‍රමාණය ලොව පුරා විකිණෙන ගල් අඟුරුවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්.

එහෙත් වර්ල්ඩ්වොච් ආයතනය මගින් නිකුත් කළ ප්‍රවෘත්ති වාර්තාවක මෙසේ සඳහන් වෙයි. “වැඩිම කාබන් ප්‍රමාණයක් අඩංගු ෆොසිල ඉන්ධනය ගල් අඟුරුයි. ගල් අඟුරු බලශක්ති ඒකකයකින් මුදාහරින කාබන් ප්‍රමාණය ඛනිජ තෙල්වලට වඩා සියයට 29කින්ද, ස්වාභාවික වායුවලට වඩා සියයට 80කින්ද වැඩියි. වාර්ෂිකව ලොව පුරා මුදාහැරෙන කාබන්වලින් සියයට 43කට වගකිව යුත්තේද ගල් අඟුරුයි. එලෙස මුදාහැරෙන කාබන් ප්‍රමාණය ටොන් බිලියන 2.7ක් පමණ වෙනවා.” ගල් අඟුරු දහනයෙන් පරිසරයට වන බලපෑමට අමතරව මිනිසාගේ සෞඛ්‍යයට කුමන බලපෑමක් සිදු කළ හැකිද? එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පළ කළ මෑත වාර්තාවක මෙවැනි උදාහරණයක් සඳහන් වුණා. “ගල් අඟුරු දැවීමෙන් නිකුත් වන දුම හා කුඩා අංශු නිසා චීනයේ විශාල නගර 11ක වසරකට 50,000කට වැඩි පිරිසක් අකල් මරණවලට ගොදුරු වන අතර 4,00,000කට වැඩි සංඛ්‍යාවකට බ්‍රොන්කයිටිස් රෝගය (ශ්වාස නාලිකාවල ප්‍රදාහය) වැලඳෙයි.”—Global Environment Outlook 2000.

පෙට්‍රෝලියම්

▪ ලොව පුරා දැනටමත් දිනකට පෙට්‍රෝලියම් බැරල් මිලියන 75ක් පරිභෝජනයට ගැනෙනවා. ලොව වටා තිබෙන මුළු පෙට්‍රෝලියම් ප්‍රමාණය බැරල් ට්‍රිලියන 2ක් වන අතර දැනටමත් බැරල් බිලියන 900කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනයට ගෙන තිබෙනවා. මේ ආකාරයෙන් නොකඩවා භාවිතයට ගැනුණොත් පෙට්‍රෝලියම් ප්‍රමාණවත් වන්නේ තව වසර 40කට පමණයි.

කෙසේවුවද, කොලින් ජේ. කැම්බල් සහ ජාන් එච්. ලහරේ යන භූ විද්‍යාඥයන් දෙදෙනා 1998දී මෙසේ පැවසුවා. “ඊළඟ දශකයේදී ඉල්ලුමට සරිලන බොර තෙල් සැපයුමක් තිබෙන එකක් නැහැ.” ඛනිජ තෙල් පිළිබඳව හදාරන මෙම ප්‍රවීණයන් මෙසේ අනතුරු ඇඟෙව්වා. “දැනට පවතින පොදු මතයට අනුව, අද තෙල් ළිංවලින් තෙල් බැරල් තොග ගානේ ගන්න පුළුවන් වගේම කවදා හරි දිනක අවසාන තෙල් බිඳත් පොළොවෙන් විගස පිටතට ඇදගත හැකියි කියා උපකල්පනය කිරීම ලොකු වැරදීමක්. ඕනෑම තෙල් ළිඳක හෝ ඕනෑම රටක නිපදවෙන තෙල් ප්‍රමාණයේ වේගය උපරිමයකට පැමිණෙන අතර එම තෙල් ප්‍රමාණයෙන් අඩක් පමණ ඉවතට ගත් පසු ඉතිරි තෙල් ප්‍රමාණය ඇදගත හැකි වේගය ක්‍රම ක්‍රමයෙන් අඩු වී බින්දුවටම බසියි. මේ අනුව තෙල් සැපයුම කවදාද ඉවර වෙන්නේ කියන එකට වඩා තෙල් නිෂ්පාදන වේගය අඩු වෙන්න පටන්ගන්නේ කවදාද යන කාරණය තමයි වැදගත් වෙන්නේ. මිල ගණන්වලට බලපාන්නේ ඒ කාරණයයි.”

තෙල් නිෂ්පාදන වේගය අඩු වෙන්න පටන්ගන්නේ කවදා සිටද? පෙට්‍රෝලියම් පිළිබඳව හදාරන භූ විද්‍යාඥ ජෝසෆ් රිවා පවසන්නේ “ඛනිජ තෙල් නිෂ්පාදනය ලොව පුරා වැඩි කිරීමට ජගත් බලශක්ති සංවිධානය [IEA] මගින් සැලසුම් යොදා ඇතත් . . . 2010 වන විට තිබේයයි අපේක්ෂා කෙරෙන ඉල්ලුම අනුව බලන කල, සැපයිය හැකි වන්නේ සියයට 50කටත් අඩු ප්‍රමාණයක්” බවයි. නිව් සයන්ටිස්ට් සඟරාව මෙවැනි අනතුරු ඇඟවීමක් කරයි. “ඉල්ලුම එන්න එන්නම වැඩි වෙද්දී නිෂ්පාදන වේගය අඩු වේ නම් තෙල්වල මිල පාලනය කළ නොහැකි ලෙස අහස උසට නඟීවි. නැතහොත් මිල ගණන් අඩු වැඩි වෙමින් පවතීවි. මේ නිසා ආර්ථික අර්බුදයක් ඇති විය හැකි අතර ආහාරපාන සහ වෙනත් දේවල් ප්‍රවාහණය කිරීමද ගැටලුසහගත විය හැකියි. අනෙක් අතට, ඉතිරි වී ඇති සුළු තෙල් ප්‍රමාණය ලබාගැනීමට රට රටවල් අතර පොර කෑමක් ඇති වන නිසා යුධමය වාතාවරණයක් වුණත් ඇතිවීමටද ඉඩ කඩ තිබෙනවා.”

තෙල් සැපයුම අඩු වී යෑම ගැටලුවක් බව ඇතැම් විද්වතුන්ට පෙනී ගියත් තවත් අයට හැඟෙන්නේ හැකි තරම් විගස ඛනිජ තෙල්වලට විකල්පයක් සෙවීමෙන් කොයිකාටත් යහපතක් වේවි කියායි. එක්තරා සඟරාවකට ලිපියක් ලියූ ජෙරමයා ක්‍රීඩන් මෙසේ පවසනවා. “තෙල් අඩු වෙන එක ප්‍රශ්නයක් තමයි. නමුත් තෙල් අඩු වෙලා නොගියොත් ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. තෙල් දහනය කිරීමේදී මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් නිසා මුළු පෘථිවියේම උෂ්ණත්වය වැඩි වෙමින් පැවතීමත් සැමට බලපාන ප්‍රශ්නයක්. එහෙත් ඛනිජ තෙල් භාවිතය පරිසරයට බලපාන ආකාරය ගැන මිනිසුන් තවමත් බැරෑරුම්ව සලකන්නේ නැහැ.” (Utne Reader) ඛනිජ තෙල් මතම රඳා සිටින රටක ඇති වී තිබෙන ප්‍රතිඵල ගැන ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවෙන් ඉදිරිපත් කළ වාර්තාවක මෙසේ සඳහන් වෙයි. ‘එක්සත් රාජධානියේ ඇති වාහන මිලියන 26ක් මගින් එම රටේම මුළු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් තුනෙන් එකක් මුදාහැරෙයි. මෙය ලෝකයේ උෂ්ණත්වය වැඩි කිරීමටත් යම් ආකාරයකින් දායක වෙයි. එමෙන්ම මුළු රටේම ඇති වන වායු දූෂණයෙන් තුනෙන් එකකට වගකිව යුත්තේද එම වාහනමයි. වායු දූෂණය නිසා එම රටේ වසරකට මිනිසුන් 10,000ක් පමණ මරුමුවට පත් වෙයි.’

ස්වාභාවික වායු

ඊළඟ වසර 20ක පමණ කාල සීමාවකදී “ලොව පුරා පරිභෝජනයට ගැනෙන ප්‍රධාන බලශක්ති ප්‍රභවය වන්නේ පෘථිවි පෘෂ්ඨයෙන් ස්වාභාවිකව නිකුත් වන වායු” බව IEO 2003 වාර්තාවේ පවසයි. ෆොසිල ඉන්ධනවලින් අවම දූෂණයක් සිදු කරමින් දහනය වන්නේ ස්වාභාවික වායුයි. එමෙන්ම එම වායු විශාල ප්‍රමාණයක් පෘථිවියේ තැන්පත්ව ඇතැයි කියා විශ්වාස කෙරෙයි.

“ස්වාභාවික වායු කොතරම් ප්‍රමාණයක් තිබෙනවාදැයි කිසිවෙකුටත් හරි හැටි නිගමනය කළ නොහැකියි. විවිධ උපකල්පන මත පිහිටමින් ගණන් බැලීම් සිදු කරන නිසා . . . ස්වාභාවික වායු කෙතරම් ප්‍රමාණයක් තිබෙනවාද යන ප්‍රශ්නයට ස්ථිර පිළිතුරක් දීම අසීරු” බව වෙබ් අඩවියක සඳහන් වෙනවා.—ස්වාභාවික වායු සැපයුම් සංගමය, වොෂිංටන් ඩී.සී.

ස්වාභාවික වායු අතුරෙන් ප්‍රධාන තැනක් ගන්නේ මීතේන් වායුවයි. නමුත් එය “පෘථිවියේ උණුසුම වැඩි කිරීමට (හරිතාගාර ආචරණයට) බෙහෙවින් දායක වන වායුවක්. කාබන් ඩයොක්සයිඩ්වලට වඩා 21ක් ගුණයකින් වායුගෝලයේ උෂ්ණත්වය වැඩි කිරීමේ හැකියාව මීතේන්වලට තිබෙනවා” කියා කලින් සඳහන් කළ සංගමය පවසනවා. කෙසේනමුත් පාරිසරික ආරක්ෂක ඒජන්සිය සහ වායු පර්යේෂණ ආයතනය මගින් සිදු කළ විශාල අධ්‍යයනයකින් “නිගමනය කර තිබෙන්නේ මෙයයි. ස්වාභාවික වායු වැඩියෙන් භාවිත කළහොත් වෙනත් හානිකර ඉන්ධන භාවිතය අනිවාර්යයෙන්ම අඩු වෙයි. මේ නිසා මීතෙන් පරිභෝජනයෙන් යම් හානියක් සිදු වුණත්, ඉන් ඇති වන හානිය අනිත් ඒවාවලට වඩා බෙහෙවින් අඩුයි.”

පරමාණුක ශක්තිය

“ලොව පුරා තිබෙන විදුලි බලයෙන් සියයට 16ක් පමණ සපයන්නේ න්‍යෂ්ටික බලාගාර 430ක පමණ සංඛ්‍යාවකිනුයි” කියා සඟරාවක වාර්තා වෙයි. (Australian Geographic) දැනට පවතින න්‍යෂ්ටික බලාගාරවලට අමතරව “2003 පෙබරවාරි වන විට ලොව පුරා ඉදි කෙරෙමින් පවතින බලාගාර 35න් 17ක් ඉදි කරනු ලැබුවේ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවලයි” කියා IEO 2003 වාර්තාවේ සඳහන් වෙයි.

සෝවියට් සමූහාණ්ඩුව පැවති කාලයේදී චර්නෝබිල් නගරයේ පිහිටා තිබුණු බලාගාරය 1986දී පුපුරා ගියා. ඉදිරියේදී එවැනි ව්‍යසනයන් සිදුවීමේ ඉඩ කඩ ඇතත්, න්‍යෂ්ටික බලය මත රඳා සිටීමට සිදු වී තිබෙනවා. නිව් සයන්ටිස්ට් වාර්තාවට අනුව “අමෙරිකාවේ ඉදි කර තිබෙන බලාගාරවල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදු කරන ප්‍රතික්‍රියාකාරක ඉරිතැලීම්වලට හා මලබැඳීමට ලක් වී තිබෙනවා.” එමෙන්ම ඔහයෝහි ඉදි කර තිබෙන ඩේවිස්-බෙස් බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකය 2002 මාර්තුවලදී මලබැඳීම හේතුවෙන් “සම්පූර්ණයෙන්ම පුපුරා යෑමට ආසන්න තත්වයක් එහි හටගත්තා.”

දැනට පවතින ශක්ති ප්‍රභවයන්වල සීමිත ප්‍රමාණය හා ඒවායින් ඇති වන අහිතකර ප්‍රතිඵල ගැන සලකා බලන කල ප්‍රශ්නයක් පැන නඟියි. මිනිසා ඉමක් කොනක් නැති තම අවශ්‍යතාවන් සපුරාගැනීමට බලශක්තිය සොයා යන ගමනේදී, පොළොවේ සම්පත් සූරාකෑම හැර වෙනත් විකල්ප ඔවුන්ට නැද්ද? පරිසරයට හානි නොවන යෝග්‍ය විකල්පයන් අවශ්‍ය බව පැහැදිලියි. එවැනි විකල්ප තිබෙනවාද? ඒවා පහසු මිලකට ලබාගත හැකි වෙයිද?