ස්වේච්ඡා සේවකයන් හඳුනාගනිමු
ස්වේච්ඡා සේවකයන් හඳුනාගනිමු
බ්‍රසීලයේ වෙසෙන මැදි වියේ පසු වන ගුරුවරියක් වන සර්ලි හැම සිකුරාදා දහවලකදීම ඇගේ සාලය පංති කාමරයක් බවට පත් කරයි. පස්වරු දෙකට පමණ ඇගේ එක් ශිෂ්‍යාවක් වන ආමෙල්යා පැමිණේ. ඇය එක පාඩමක්වත් අතපසු නොකරන අතර, පාසැල් යන යෞවනයන් බොහෝදෙනෙකුට වඩා ඇගේ කියවීමේ හැකියාව හොඳය. ආමෙල්යාගේ වයස අවුරුදු 82කි.
සර්ලි තම ගමෙහි නොමිලේ අකුරු ඉගැන්වීමේ පංති පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මහලු ගම්වාසීන් 60දෙනෙකුට වඩා වැඩි ගණනක් අකුරු කියවීමට සමත්ව ඇත. ඉන් එක් අයෙකි ආමෙල්යා. මෑතකදී සර්ලි කරන ස්වේච්ඡා සේවය ගැන ජෝර්නාල් ඩූ සූඩොඑස්ටා යන බ්‍රසීල පුවත්පතක ලිපියක් පළ විය. සර්ලි “සමාජයට විශාල සේවයක් කර ඇති” බව සඳහන් කිරීමෙන් අනතුරුව එම ලිපිය සර්ලි යොදාගන්නා ක්‍රමය ගැන මෙසේ අදහස් පළ කළේය. මහලු වියේ පසු වන අය වෙනුවෙන් ඇය භාවිත කරන ක්‍රමය කොතරම් සාර්ථකද කිවහොත් “පංති සඳහා වැය වන්නේ පැය 120ක් වැනි සුළු කාලයක් පමණි. ඒ කාලය ඇතුළත ලිපි ලිවීමට, පුවත්පත් කියවීමට, ගණන් සෑදීමට සහ වෙනත් දෛනික කටයුතුවල නිරත වීමට ඉගෙනගන්න ඔවුන් සමත් වී ඇත.” එම ලිපියට අනුව, සර්ලි භාවිත කරන අත්පොත වන්නේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළියෙළ කර ඇති කියවීමට සහ ලිවීමට ඉගෙනගනිමු යන පොත් පිංචයයි. a
සැබෑ වෙනසක්
සර්ලිගේ තවත් ශිෂ්‍යාවක් වන 68වන වියේ පසු වන දෝනා ලූසියා පැවසුවේ, කියවීමට හා ලිවීමට හැකියාව ඉගෙනගන්නට කලින් අනුන් සමඟ කතා කරන්න පවා ඇය ලජ්ජාවෙන් සිටි බවය. කඩ සාප්පුවලට යෑම පවා ඇයට අභියෝගයක් විය. “දැන් වෙනත් ගම්වල සිටින මගේ නෑදෑයන්ට මම ලිපි ලියනවා. මුදලුත් මට පාලනය කරන්න පුළුවන්. දැන් මට කවුරුත් වංචා කරන්නේ නැහැ” කියා සිනාමුසු මුහුණින් ඇය පවසයි. මරියාටත් වයස අවුරුදු 68යි. ඇගේ විශ්‍රාම වැටුප ලෙස ලැබෙන චෙක්පතට අත්සන් කළ නොහැකි නිසා ඇඟිලි සලකුණ තැබූ ආකාරය ඇය මතකයට නඟයි. “ඒ වෙලාවට මට හරිම ලැජ්ජාවක්
දැනෙනවා. මම මුකුත් කරගන්න බැරි ලෙඩෙක් වගේ කියලා මට හිතුණා” කියා ඇය පවසයි. එනමුත් අකුරු කියවීමට හා ලිවීමට ඉගැන්වූ පංතිවලට ස්තුතිවන්ත වෙන්න, මරියා දැන් ඇගේම අතින් අත්සන් තබයි!සර්ලි නොමිලේ පවත්වන මෙම වැඩසටහනට දැනට සහභාගි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හා එයින් සමත් වූ අයගෙන් අසන්නට ලැබෙන ප්‍රශංසාව හේතුවෙන් ඇය ඉතා ප්‍රසිද්ධ කෙනෙකු බවට පත්ව ඇත. ඒ හේතුවෙන් ඇගේ සාලය අතුරු සිදුරු නැතුව පිරී යන අවස්ථා එමටය. ළඟදීම වඩා ඉඩ පහසුකම් ඇති ස්ථානයකට පංතිය මාරු කිරීමට සැලසුම් යොදා ඇත.
සම්මාන දිනූ වැඩසටහනක්
සර්ලි යෙහෝවාගේ සාක්ෂිකාරියකි. සමහරවිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ස්වේච්ඡා සේවයක්
වශයෙන් කරන බයිබල් අධ්‍යාපන සේවය ගැන ඔබට යම් අවබෝධයක් තිබිය හැක. මේ සේවයෙන් සර්ලි වැනි තවත් බොහෝ අය සාර්ථක ප්‍රතිඵල නෙළමින් සිටිති. උදාහරණයකට බ්‍රසීලය පුරාම රාජ්‍ය ශාලාවන් සිය ගණනක අකුරු කියවීමට හා ලිවීමට ඉගැන්වීමේ පංති පවත්වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් එම රටෙහි 22,000කට අධික ජන පිරිසකට කියවීමේ හා ලිවීමේ හැකියාව ලැබී තිබේ.යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලොවේ වෙනත් ස්ථානවල මීට සමානව පවත්වනු ලබන වැඩසටහන්වලින්ද හොඳ ප්‍රතිඵල ලැබී ඇත. නිදසුනකට බුරුන්ඩි නමැති අප්‍රිකානු රට සලකා බලන්න. සාක්ෂිකරුවන්ගේ සාක්ෂරතා වැඩසටහනෙන් ලද ප්‍රතිඵලවලින් ජාතික වැඩිහිටි සාක්ෂරතා කාර්යාලය කොතරම් සතුටට පත් වූවාද කිවහොත්, “අනුන්ට ඉගැන්වීම සඳහා වෙහෙස නොබලා දැරූ උත්සාහය” වෙනුවෙන් එම වැඩසටහනට සහභාගි වූ ගුරුවරුන් සිව්දෙනෙකුට සම්මානයක් ප්‍රදානය කරන ලදි. කියවීමට සහ ලිවීමට ඉගෙනගන්නා අය අතුරින් සියයට 75ක්ම වැඩිහිටි කාන්තාවන් වීම ගැන ආණ්ඩු නිලධාරීහු විශේෂයෙන් තම සතුට පළ කළහ. ඊට හේතුව, සාමාන්‍යයෙන් එම වයස් මට්ටමේ අය මෙවැනි වැඩසටහනකට සහභාගි වීමෙන් වැළකෙන නිසා විය යුතුය.
මොසැම්බික් රටේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂරතා පංතිවලට සිසුන් 4,000ක් පමණ සහභාගි වන අතර, පසුගිය වසර සතර පුරා කියවීමට හා ලිවීමට සිසුන් 5,000කට වැඩි පිරිසක් සමත් වී ඇත. එවන් සිසුවෙක් මෙසේ ලීවේය. “මගේ ගැඹුරු කෘතඥතාව පළ කරන්නට කැමැත්තෙමි. මෙම පාසැලට ස්තුතිවන්ත වෙන්න, දැන් මට කියවීමට හා ලිවීමට පුළුවන.”
සහනාධාර දෙන විට ප්‍රායෝගික පැත්ත සලකා බැලීම
යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් කරන තවත් ස්වේච්ඡා සේවයකි, සහනාධාර සැපයීම. මෑතකදී ප්‍රංශයේ පැරිස්හි විශාල ගබඩාවක් කඩිසර ස්වේච්ඡා සේවකයන්ගෙන් පිරුණු ස්ථානයක් බවට පත් විය. ස්වේච්ඡා සේවකයෝ 400ක් පමණ ඝන කඩදාසි පෙට්ටිවල ආහාර, ඇඳුම් පැළඳුම් සහ ඖෂධ ඇහිරීම සඳහා තම සති අන්තය කැප කළහ. එම සති අන්තය අවසන් වෙද්දී, ඩොලර් මිලියනයකට ආසන්න වටිනාකමක් ඇති සහනාධාර පිරි විශාල කන්ටේනර් නවයක් නැව්ගත කිරීමට සූදානම් කර තිබිණ. වැඩි කලක් නොගොස් නැව්ගත කළ ඒ සහනාධාර යුද්ධයෙන් දෙදරා ගිය මධ්‍යම අප්‍රිකාවට ළඟා විය. ඒවා ගොඩබැස්වූ වහාම එම රටෙහි යෙහෝවාගේ සාක්ෂිකාර ස්වේච්ඡා සේවකයෝ කඩිනමින් ක්‍රියාත්මක වී සහනාධාර බෙදාහැරියෝය. ඇත්තෙන්ම පරිත්‍යාග කරන ලද සහනාධාරවලින් වැඩි හරියක් දෙනු ලැබුවේද සාක්ෂිකරුවන්ය.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මානව හිතවාදී මෙහෙය “ප්‍රතිඵල නෙළාගත හැකි ප්‍රායෝගික වැඩ පිළිවෙළක්” ලෙස කොංගෝහි පළ වන පුවත්පතක පැසසුමට ලක් කෙරිණ. අනාථයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්හි නිලධාරීන්ද (UNHCR) මේ සඳහා තම සහයෝගය පළ කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ සිටින UNHCR නිලධාරිනියක් සාක්ෂිකරුවන්ගේ මෙහෙයවීම යටතේ පැවැත්වූ සහනාධාර වැඩ පිළිවෙළ ඉතා මැනවින් සංවිධානය කර තිබීම අගය කළ නිසා, එම ස්වේච්ඡා සේවකයන්ගේ පාවිච්චිය සඳහා ඇගේ වාහනය ලබා දුන්නාය. ඒ අවට ජනතාවත් ඔවුන්ගේ වැඩ අගය කළහ. අගහිඟකම්වලින් පෙළෙන අයට සහනාධාර ඉතා කඩිනමින් ලැබෙන්නට සලස්වන ආකාරය දුටු සමහරු පුදුමයෙන් මෙන් මෙසේ විමසූහ. “හැම කෙනෙකුටම උපකාර කරන්න පුළුවන් වෙන විදිහට ඔයගොල්ලන් කොහොමද ඔච්චර හොඳට සංවිධානය වුණේ?”
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සහනාධාර වැඩපිළිවෙළ සහ ඔවුන්ගේ සාක්ෂරතා වැඩසටහන් ලොව වටා දශක ගණනාවක් පුරා ඔවුන් සිදු කර ඇති සේවාවන්වලට උදාහරණ දෙකක් පමණි. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තවත් ආකාරයේ ස්වේච්ඡා සේවයකද නියැලෙති. ඒ සේවය කොතරම් වැදගත්ද කිවහොත් එයින් කල් පවතින ප්‍රයෝජන නෙළාගත හැකි වේ. මීළඟ ලිපිය මෙය සාකච්ඡාවට ලක් කරයි.
[පාදසටහන]
a කියවීමට සහ ලිවීමට ඉගෙනගනිමු (භාෂා 6කින්) යන පොත් පිංචය සහ වඩාත් මෑතකදී පළ වූ කියවීමට සහ ලිවීමට අවධානය දෙමු (භාෂා 29කින්) යන පොත් පිංචය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ප්‍රකාශන වේ. ඔබට නොමිලේ පිටපතක් ලබාගැනීමට කැමති නම් ළඟම ඇති රාජ්‍ය ශාලාවට යන්න. එසේ නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.
[20, 21වන පිටුවේ කොටුව⁄පින්තූර]
ස්වේච්ඡා සේවයේ නව මුහුණුවර
ජූලි ඉතා කාර්යබහුල ව්‍යාපාරික ස්ත්‍රියකි. ඇය නිතරම ඇගේ ව්‍යාපාර කටයුතු සඳහා ලොව වටා ගමන් කරයි. ඒ අතරතුරේදී පැයක් දෙකක් හෝ දවසක් හෝ ස්වේච්ඡා සේවය සඳහා වෙන් කිරීමට ඇය උත්සාහ දරයි. මෑතකදී, දකුණු අමෙරිකාවට ගිය ගමනකදී චිලි රටේ සාන්ටියාගෝ අසල පිහිටි අනාථ ළමා නිවාසයක වැඩ කරමින් ඇය දහවල් වරුවක් ගත කළාය. ඇගේ ගමන් බිමන් නිසා, ස්වේච්ඡා සේවය සඳහා “කදිම ප්‍රස්තාවක්” විවෘත වන බව ඇය කියා සිටියි.
ජූලි මෙන් බොහෝදෙනෙක් ස්වේච්ඡා සේවය සඳහා කෙටි වෙලාවකට වුවත් කාලය වෙන් කරති. ස්වේච්ඡා සේවය ගැන සංඛ්‍යා ලේඛන පිළියෙළ කරන පර්යේෂණ කණ්ඩායමක සභාපතිනිය ලෙස සේවය කරන සාරා මෙලෙන්ඩෙස් කියන්නේ “එය නව ප්‍රවණතාවක්” බවයි. “විවිධ අය ස්වේච්ඡා සේවය සඳහා ඉදිරිපත් වෙන බව ඇත්තයි. හැබැයි, ඔවුන් එය කෙටි-කාලීන පදනමක් මතයි කරන්නේ.” ප්‍රතිඵලයක් වශයෙන් සංවිධායකයන් පූර්ණ-කාලීන ස්වේච්ඡා සේවකයන්ගේ හිඟය ගැන තම කනගාටුව පළ කරන අතර, ඔවුන්ගේ වැඩසටහන් දිගටම කරගෙන යෑම දිනෙන් දින අසීරු වන බවක් පෙනේ.
“අවස්ථානුකූල ස්වේච්ඡා සේවය”
ඇතැම් සංවිධායකයන්ගේ මතය පරිදි, කෙටි කාලීන පදනමක් මත ස්වේච්ඡා සේවය සඳහා ඉදිරිපත් වීමේ අලුත් ප්‍රවණතාව දක්නට ලැබෙන්නේ ස්වේච්ඡා සේවකයන්ගේ ආකල්පවල වෙනසක් සිදුවීම හේතුවෙනි. “දැන් ආත්ම-පරිත්‍යාගශීලී ආකල්පයකින් ස්වේච්ඡා සේවය සඳහා ඉදිරිපත් වීමක් දකින්න නැහැයි” කියා ස්වේච්ඡා කණ්ඩායම්වලට උපදෙස් සපයන සූසන් එලිස් පවසයි. “දැන් මිනිස්සු ඉස්සර වගේ කැපවීමකින් වැඩ කරන්නේ නැහැ.” මාධ්‍යවේදිනියක් වන අයිලින් ඩැස්පින් මෙම අදහස්වලට එකඟ වෙයි. ස්වේච්ඡා සේවකයන්ගේ හිඟය පිළිබඳව ස්වේච්ඡා කණ්ඩායම්වල අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඇගේ නිගමනය වූයේ, “ස්වේච්ඡා සේවා ක්ෂේත්‍රයේ ඇප කැප වී වැඩ කරන්න මිනිසුන් තුළ විශාල බියක් පවතින” බවයි.
කෙසේවෙතත්, මෙම ලිපි මාලාවේ කලින් සඳහන් කළ නියූ යෝක් කෙයාර්ස් සංවිධානයේ අධ්‍යක්ෂිකා කැත්ලින් බේරන්ස් පවසන පරිද්දෙන්, කෙටි-කාලීන පදනමක් මත ස්වේච්ඡා සේවයෙහි නිරත වන අය එසේ කරන්නේ ඔවුන් කැපකිරීම් කිරීමට අකමැති නිසා නොව, ඔවුන්ට කාලය හිඟව පවතින නිසාය. මිනිසුන්ට සතියකට පැය 50ක් හෝ ඊට වැඩිය වැඩ කරන්නට සිදු වේ. ඒත් සමඟම තම දරු දැරියන් හෝ වයසක දෙමාපියන්වද රැකබලා ගැනීමට සිදු වේ. එමනිසා, දිගටම යම් ස්වේච්ඡා සේවයක යෙදීමට ඔවුන්ට අසීරුය. ඇය මෙසේ පවසයි. “මේ අය වැඩ බහුල වුණත්, යම් සේවයක් කිරීමට නැඹුරු වීමෙන් පෙනී යන්නේ ඔවුන් ඇත්තෙන්ම මහත් කැපවීමකින් කටයුතු කරන බවයි.”
එමනිසා වැඩ බහුල මෙවැනි ස්වේච්ඡා සේවකයන්ට පිළියම වන්නේ “අවස්ථානුකූල ස්වේච්ඡා සේවය” බව බේරන්ස් පවසයි. දැන් ස්වේච්ඡා සේවා සංවිධාන කිහිපයක්ම එක දවසකින් නිම කළ හැකි වැඩ පිළිවෙළවල් පවා සංවිධානය කරයි. “මේ නිසා විවිධ අයට අර්ථවත් ආකාරයකින් ස්වේච්ඡා සේවයෙහි නිරත විය හැකි අතර, පෞද්ගලික තත්වයන්ට අනුව එය සැලසුම් කරගැනීමටද ඉන් ප්‍රස්තාවක් සැලසේ.”
අනික් අතට, තවත් සමහරු තම නිවසේ ඇති පරිගණකය ආධාරයෙන් ස්වේච්ඡා සේවයෙහි නිරත වෙති. ඔවුහු දත්ත ඇතුළත් කරති. එසේ නැතහොත් වෙනයම් පර්යේෂණ පවත්වති. වෝල් ස්ට්‍රීට් ජර්නල් නමැති පුවත්පතට අනුව, “‘අවස්ථානුකූල ස්වේච්ඡා සේවය’ ලෙස හඳුන්වා ඇති නව ප්‍රවණතාවේ අමුතුම මෙන්ම වඩාත් සාර්ථකයයි පෙනෙන ක්ෂේත්‍රය වන්නේ පරිගණක ආධාරයෙන් කරන (මාර්ගගත) ස්වේච්ඡා සේවයයි.”
[22වන පිටුවේ කොටුව⁄පින්තූර]
කෝබේ නගරය සරණ ලැබූ දා
ජපානයේ කෝබේ නගරය 1995 ජනවාරි මාසයේදී භූමිකම්පාවකින් දෙදරා ගිය විට සිදු වූ විනාශය වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය. වර්ෂ 1923න් පසු ජපානයට පහර දුන් වඩාත් මාරාන්තික වූ මෙම භූමිකම්පාවෙන් 5,000කට අධික පිරිසක් විපතට පත් වූහ. ගොදුරු වූ අයට අවශ්‍ය සහනාධාර සැපයීමේ කාර්යය සඳහා ජපානයේ හා ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වහාම ක්‍රියාත්මක වූහ. සහනාධාර අරමුදලක් පිහිටෙවූ විට, වැඩ කරන දවස් තුනක් ඇතුළත ඩොලර් මිලියනයකට වැඩි මුදලක් එකතු කරගත හැකි විය. විවිධාකාර සහනාධාර කෝබේ නගරය වෙත යවන ලදි.
තම රාජ්‍ය ශාලාවේ සහනාධාර වුවමනාවටත් වඩා වැඩියෙන් ගබඩා කර තිබූ ආකාරය, සහනාධාර සපයන වැඩ පිළිවෙළට සහභාගි වූ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් දුටුවේය. එම අතිරික්තයට කරන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයක් විය. ඉන් සමහරක් ළඟපාත රෝහලකට ප්‍රදානය කරන මෙන් ඔහු යෝජනා කළේය. සාක්ෂිකරුවෝ මෙම සහනාධාර වෑන් රථයකට පටවා සුන් බුන් මැදින් රෝහල කරා ගියෝය. ඇත්තෙන්ම විනාඩි කිහිපයකින් නිම කළ හැකි වූ ඒ ගමනට පැය කිහිපයක්ම ගත විය. රෝහලට පැමිණි විට, ඔවුහු ප්‍රධාන වෛද්‍යවරයාට එම සහනාධාර ප්‍රදානය කළෝය. එම සහනාධාර අතර, බ්ලැන්කෙට්ටු, මෙට්ට, ඉණ කඩ, පලතුරු සහ වෙනත් සුළු සුළු ඖෂධ විය. මෙම පරිත්‍යාගයෙන් ප්‍රීතියට පත් වෛද්‍යවරයා කිව්වේ සාක්ෂිකරුවන් ප්‍රදානය කරන ඕනෑම දෙයක් සතුටින් භාරගන්නා බවයි. රෝගීන් සඳහා ප්‍රමාණවත් පලතුරු සැපයුමක් නොතිබුණු නිසා, ඔවුන් විශේෂයෙන් අගය කළේ දුන් පලතුරුය.
වෛද්‍යවරයාට හදිසි වැඩ කිහිපයක් තිබුණත්, එම සහනාධාර බාන තෙක් ඔහු නිශ්ශබ්දව බලාගෙන සිටියේය. අනතුරුව, ඔහු නිහතමානීව ඔවුන්ට ආචාර කරමින් සිය ස්තුතිය පුද කළේය. සාක්ෂිකරුවන් තම වාහනවලින් පිටව යද්දී පවා, තම කෘතඥතාව අඟවමින් ඔහු එතැනම සිටගෙන සිටියේය. ඉන්පසුව, මෙම රෝහලේ කාර්ය මණ්ඩලය රෝගී තත්වයේ පසු වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ප්‍රතිකාර කිරීමේදී සහයෝගයෙන් කටයුතු කළ බව ඉහත සඳහන් වැඩිමහල්ලා පැවසීය.
[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ස්වේච්ඡා සේවය—ප්‍රයෝජන ගෙන දෙන මෙහෙයකි
බුරුන්ඩි රටේ පිහිටි කුඩා ගම්මානයක් වන කාබේසිවලට පැමිණි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්වේච්ඡා සේවක කණ්ඩායමක් රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීමට කැමති වූ විට, ප්‍රාදේශීය පරිපාලකයා අමුතු ඉල්ලීමක් කළේය. රාජ්‍ය ශාලාව ඉදි කිරීමට බලාපොරොත්තු වූ භූමිය ළඟින් දිව ගිය පාර අලුත්වැඩියා කරන මෙන් එම පරිපාලකයා සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. අබලන් වූ මෙම මහ මාර්ගය අලුත්වැඩියා කිරීමට සතුටින් එකඟ වූ සාක්ෂිකරුවෝ සම්පූර්ණ කාර්යයම විශේෂ යන්ත්‍රෝපකරණවල උපකාරයක් නොමැතිව නිම කළෝය. මෙම ස්වේච්ඡා සේවකයන් කළ කාර්යය කොතරම් හොඳින් නිම කර තිබුණාද කිවහොත්, ඔවුන් වෙහෙස මහන්සි නොබලා දැරූ උත්සාහය හා දුන් සහයෝගය නිලධාරීන්ගේ පැසසුමට ලක් විය. ඉහත තිබෙන පින්තූරයේ දැක්වෙන රාජ්‍ය ශාලාව ගොඩනැඟුවේ ඉන්පසුවය. මෙම ස්වේච්ඡා සේවකයන්ගේ ප්‍රයත්නයට ස්තුතිවන්ත වෙන්න, දැන් බයිබල් අධ්‍යාපනයට මඟ සලසා දෙන අලංකාර මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් සතුය. මෙයින් පැහැදිලි වන්නේ විවිධාකාර මුහුණුවර ගන්නා ස්වේච්ඡා සේවයෙන් නොයෙකුත් කල් පවත්නා ප්‍රයෝජන නෙළාගත හැකි බවය.
[21, 22වන පිටුවේ පින්තූර]
වෙනත් අයට කියවීමට ඉගැන්වීමෙන් සර්ලි ඉමහත් සතුටක් ලබයි
[හිමිකම් විස්තර]
Nelson P. Duarte-Jornal do Sudoeste