Skip to content

පටුනට යන්න

උක්ගස—තණකොළ අතුරින් යෝධයෙක්

උක්ගස—තණකොළ අතුරින් යෝධයෙක්

උක්ගස—තණකොළ අතුරින් යෝධයෙක්

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

සීනි නොමැති ලොවක් ගැන ඔබට සිතන්නවත් පුළුවන්ද? සීනි නැතුව ලෝකය ක්‍රියා විරහිත වේවි කියා අපට කිව නොහැකි වුවත් බොහෝදෙනාගේ සුපුරුදු ආහාර වේල හාත්පසින්ම වෙනස් කිරීමට සිදු වන බව නම් පුදුමයට කාරණයක් වන්නේ නැත. ඔව්, සීනි අඩංගු ආහාර නිෂ්පාදනය අද ලොව සුපතළ වී ඇති අතර ඒවා අනුභව කිරීම සාමාන්‍ය පුරුද්දක් වී ඇත. ප්‍රතිඵලයක් වශයෙන් සීනි කර්මාන්තය සිව්දිග පැතිර ඇති විශාල ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

කියුබාවේ සිට ඉන්දියාව දක්වාද බ්‍රසීලයේ සිට අප්‍රිකාව දක්වාද මෙම කර්මාන්තය ව්‍යාප්ත වී ඇති අතර දශලක්ෂ ගණන් අය සීනි වගා කිරීමේ හා අස්වැන්න නෙළාගැනීමේ රැකියාවල නිරත වී සිටිති. එක් වකවානුවක සීනි නිෂ්පාදනය කිරීම ලොවෙහි විශාලතම කර්මාන්තය විය. සමස්තයක් වශයෙන් ගත් කල උක්ගස තරම් ලොවට බලපෑමක් ඇති කළ වෙනත් පැළයක් හෝ ශාකයක් නොමැති තරම්ය.

මෙම අරුම පුදුම පැළය ගැන ඔබ තවත් ඉගෙනගන්න කැමතිද? එසේ නම් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රදේශය බලා අපි යන මේ ගමනට සහභාගි වීමට ඔබටත් ඇරයුම් කරන්නෙමු. ලෝකයේ උක්ගස් වගා කරන අනෙකුත් ප්‍රදේශ හා සන්සන්දනය කරද්දී ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රදේශයේ උක් වගාව විශාල පරිමාණයෙන් සිදු නොකෙරුණද, උක් වගාව හා සීනි නිෂ්පාදනය සඳහා උපයෝගි කරගන්නාවූ කාර්යක්ෂම ක්‍රම නිසා, මෙය ලෝකයේ ඉතාමත්ම සාර්ථකව, ශුද්ධ නොකළ සීනි අපනයන කරන ප්‍රදේශයන්ගෙන් එකක් වී තිබේ.

උක් බහුල ප්‍රදේශයකට පා තැබීම

උණුසුම් වාතාශ්‍රයක් හා අධික ආර්ද්‍රතාවක් ඇති උෂ්ණ කලාපීය ප්‍රදේශවලට නිතර ගලා හැලෙන දැඩි හිරු රැස් මෝරපු උක්ගස් මත පතිත වෙයි. ඒ දර්ශනයේ විශාල උක් පඳුරු අතුරින් දැවැන්ත උක්ගස් කපන යන්ත්‍රයක් ටිකින් ටික මතු වෙයි. මෙම යන්ත්‍රය, දෙපස තිබෙන උක්ගස්වලින් දඬු කපමින් එයට යාබදව ගමන් කරන්නාවූ ට්‍රැක්ටරයක් පිටුපස ඇති ට්‍රේලරයකට දමයි. කැපූ දඬුවලින් යුෂ වෑස්සෙයි. ඒත් එක්කම ඒවායින් වාතය හා මුසු වූ පල් ගඳක්ද අපේ නාස් පුඩු වෙත හමා එයි. මෙලෙස මේ සුන්දර පරිසරයේ සිට ඔබේ ආහාර මේසයට සීනි වශයෙන් පැමිණීම සඳහා මෙම පුදුමසහගත තණකොළ පඳුරේ යුෂ ගමන් අරඹා ඇත.

ඕස්ට්‍රේලියාවේ උක්ගස් අතින් කැපීම අත්හැර එතරම් කාලයක් ගත වී නැත. නමුත් සමහර රටවල තවමත් උක් දඬු කපාගන්නේ අතිනි. දැන් අතින් උක් කපන අය සම්බන්ධයෙන් මනසේ චිත්‍රයක් ඇඳගන්න. දහඩියෙන් ගත තෙත් වූ විඩා බර නොසලකන්නාවූ මිනිසුන් ගණනාවක් පේළි ගැසී උක්ගස් කපමින් කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදී යයි. එක් එක්කෙනා එක් එක් උක් පඳුර ළඟට ගොස් එහි දඬු කිහිපයක් තදින් අල්ලාගෙන පැත්තකට අදියි. මෙසේ අදින විට මෙම දඬු නික්මෙන උක්ගසේ කඳ හා මුල් පද්ධතිය පැහැදිලිව දැකගත හැක. අපව පුදුමයට පත් කරමින් අනෙක් අතෙහි ඇති මන්න පිහියකින් ශක්තිමත් පහර දෙක තුනක් එල්ල කර ඔවුන් ඒ විශාල දඬු කපා දමයි. ඉන්පසු විගස ඒ දඬු නිසියාකාරව ගොඩ ගසා ඊළඟ උක් පඳුර වෙතට කඩිසරව පිය මනී. කෙසේවුවත් වර්තමානයේ බොහෝ රටවල අතින් උක් දඬු කපාගන්නවා වෙනුවට යන්ත්‍ර භාවිත කර උක් දඬු කැපීමට වැඩි කැමැත්තක් දක්වයි.

ඕස්ට්‍රේලියාවේ උක් වගා කරන ප්‍රදේශය, කිලෝමීටර් 2,100ක පමණ දුරක් දක්වා විහිදී යන වෙරළබඩ තීරයකට ආසන්න ප්‍රදේශයකි. බොහෝදුරට මෙම උක් වගා කරන තීරය ඕස්ට්‍රේලියාවේ අවට සයුරෙහි මහා බාධක පරය නම් සුප්‍රසිද්ධ ගල් පරයට සමාන්තරව දිව යයි. (වර්ෂ 1991 ජූනි 8, පිබිදෙව්! කලාපයේ “මහා බාධක පරයට ගිය සංචාරයක්” [ඉංග්‍රීසියෙන්] යන මාතෘකාව යටතේ ඇති ලිපිය බලන්න) මුළු වසර පුරාම පවතින නිවර්තන කලාපීය උණුසුම හා ආර්ද්‍රතාව උක් වගාවට ඉතා සුදුසුයි. මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ඇත්තේ පවුල් වශයෙන් හවුල් වී කුඩා පරිමාණයේ වතු පවත්වාගෙන යන ආකාරයයි. රැකියාවක් හැටියට මෙම ව්‍යාපාරයේ දළ වශයෙන් 6,500දෙනෙකු පමණ නිරත වන බව දත්ත මගින් පෙන්වයි. ඈත සිට මෙම පරිසරය නරඹන්නෙක්, මේ අයගේ එක් එක් වත්තේ පිහිටි නිවහන් දකින්නේ මිදි පොකුරු මෙනි.

විඩා බර දිගු ගමනකට පසු උක්සීනි නිෂ්පාදනයට ප්‍රසිද්ධත්වයක් උසුලන ක්වීන්ස්ලෑන්ඩ්හි බන්ඩබර්ග් නගරය අපට ඈතින් පෙනේ. ස්වල්ප මොහොතකට පසු කඳු බෑවුමක් දිගේ පහළට ගමන් කරද්දී අප ඉදිරියේ ඉතා චමත්කාර දසුනක් දක්නට තිබේ. හමන සනීපවත් සුළඟට ළෙල දෙන උක්ගස් බලන බලන සෑම තැනකම ඇත. මේ සුන්දර වටාපිටාවේ සරුවට වැවෙන උක්ගස් එකම කාලයකදී පැළ කර නැති බව අපට එක පාරටම වැටහිණ. මෙම ගස් විවිධ පැහැයන්ගෙන් යුක්තයි. මේ ප්‍රදේශය දෙස ඈත සිට බලන්නෙකුට මෙය කොතරම් බලා සිටියත් එපා නොවන දසුනකි. මේ මුළු පරිසරයම පෙනෙන්නේ කොළ සහ රන්වන් පැහැයෙන් හැඩගැන්වුණු මෝස්තරයක් ලෙසයි. ඇතැම් කොටස් දුඹුරු පැහැයෙන් දිස් වන්නේ ඒවායින් උක්ගස් ඉවත් කර ශුද්ධ කර ඇති නිසාය. එසේත් නැතහොත් මේ වාරයේ වගාවට භාවිත නොකළ බිම් පුරන් වී ඇති නිසාය.

මේ ප්‍රදේශයේ වඩාත්ම සිසිල් දේශගුණයක් ඇති මාසය ජූලි මාසයයි. මේ කාලයේදී උක් කපාගැනීම සහ යුෂ මිරිකාගැනීමේ වැඩ ඇරඹෙයි. විවිධ කාලවලදී වගා කළ උක්ගස් මෝරපු තත්වයකට පත් වන්නේ එකම කාලයකදී නොවෙයි. ඒ නිසා උක් දඬු කපාගැනීම සහ යුෂ මිරිකාගැනීම දෙසැම්බර් මාසය දක්වාම කරගෙන යෑමට සිදු වේ. දැන් ඇඹරුම් හලක් ඇතුළට ගොස් කපාගත් උක්වලට සිදු වන්නේ කුමක්ද කියා දැකබලා ගන්නා තෙක් අපට ඉවසිල්ලක් නැත. නමුත් ඒ ආශාව සංසිඳුවාගැනීමට පෙර උක් ගැන අප යම් මූලික දේවල් දැනගන්න කියා අපට යෝජනා කරයි. එහෙයින් මුලින්ම එම ප්‍රදේශයේ පිහිටි පරීක්ෂණාගාරයකට යෑම සුදුසුම දෙයයයි අපි තීරණය කරමු. එහි විද්‍යාඥයෝ නව උක් ප්‍රභේද වර්ධනය කිරීමට හා උක් වගාවත්, නිෂ්පාදනයත් තවත් දියුණු කිරීමට පර්යේෂණ පවත්වති.

සුල මුල සොයා

පර්යේෂණාගාරයේදී ශස්‍යවිද්‍යාඥයෙක් අපව සුහදව පිළිගෙන මහත් ආශාවෙන් උක්ගස හා එහි වගාව පිළිබඳව යමක් අපට විස්තර කරන්න වෙහෙසුණේය. මුලින්ම උක් සොයාගනු ලැබුවේ දකුණු ආසියාවේ හා නිව්ගිනීහි පිහිටි වර්ෂා වනාන්තරවල බවට ඓතිහාසික සාක්ෂි ඇත. උක්ගස යනු තෘණ කුලයට අයත් යෝධ පැළයකි. ධාන්‍ය වර්ග, සාමාන්‍ය තණකොළ සහ උණගස් මේ කුලයට අයත් තවත් පැළ වර්ග සමහරකි. මේ පැළ සියල්ලම ප්‍රභාසංස්ලේෂණය මගින් තම පත්‍රවල යම් ප්‍රමාණයකින් සීනි නිපදවයි. එහෙත් උක්ගස මේවායින් වෙනස් වන්නේ එය නිපදවන මහත් සීනි ප්‍රමාණය නිසාය. උක්ගස ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් සීනි නිපදවන අතර එම පැළයෙහි කෙඳි සහිත දඬුවල ඇති සෛලවල එය පැණිරස ද්‍රාවණයක් ලෙස ගබඩා කරයි.

උක්ගස් වගාව අතීතයේ සිටම ඉන්දියාවෙහි පැවත ඇති වගාවකි. පොදු යුගයට පෙර 327දී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ හමුදාවල සිටි ලේඛකයන්ගෙන් සමහරෙක් ඒ ගැන මෙසේ කියයි. ඉන්දියාවෙහි ස්වදේශිකයෝ “සිත්ගන්නා බටපඳුරකින් ගත් ඊයක් හපමින් සිටියෝය. ඒවායෙහි මී මැස්සන්ගේ මැදිහත් වීමක් නොමැතිව පැණි මෙන් යුෂයක් තිබිණ.” පහළොස්වන ශත වර්ෂයේ ගවේෂණ සංචාරයන්වල වැඩි වැඩියෙන් යෙදීම හා ලෝකයෙහි තාක්ෂණික දියුණුව නිසා උක්සීනි කර්මාන්තයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබිණ. වර්තමානයේ උක් ප්‍රභේද දහස් ගණනක් ඇති අතර ඒවා රටවල් 80කට වැඩි ගණනක වගා කෙරේ. වාර්ෂික උක් නිපැයුම ටොන් බිලියනයකට ආසන්න බව වාර්තා වේ.

උක් වගා කරන බොහෝ ප්‍රදේශයන්හි එම කර්මාන්තය රඳා පවතින්නේ මිනිස් ශ්‍රමය මතයි. ඔවුහු මෝරපු උක් දඬු සෙන්ටිමීටර් 40ක පමණ දිගකට කපාගනිති. ඉන් අනතුරුව මීටර් 1.5ක පමණ පරතරයකින් සකස් කළ හීවිටිවල එම දඬු කැබලි තබා පස්වලින් වසනු ලැබේ. මෙලෙස වගා කරන එක් දණ්ඩකින් දඬු 8කුත් 12කුත් අතර ඇති උක්ගසක් වැඩෙයි. මාස 12 සිට 16ක් පමණ ගත වූවාට පසු උක් දඬු කැපීම සුදුසුය. සාමාන්‍යයෙන් කැපීමට සුදුසු මෙවන් මේරූ විශාල පඳුරු අතරෙහි ඇවිදින විට භයංකාර තැතිගැන්මක් හිතට දැනෙන්නත් පුළුවන. අඩි 13ක් පමණ උසකට වැඩෙන මෙවන් දැවැන්ත පඳුරු ඔස්සේ ගමන් කරන විට භයක්, චකිතයක් ඇති කරමින් නැඟෙන සිහින් හඬක් අපට ඇසෙයි. ඒ නයෙක්ද? නැතහොත් එය හමන මද සුළඟ නිසා ඇති වන හඬක් පමණද? කෙසේවෙතත් පඳුරු අතරින් ඉක්මනටම එළියට පැමිණුණොත් හොඳයි වගෙයි.

උක්ගසකට වැළඳිය හැකි රෝග ගණනාවක් ඇත. එමෙන්ම එයට හානි කරන බොහෝ කෘමීහුද වෙති. මෙවැනි හේතුකාරක නිසා උක්ගසට ඇති විය හැකි හානි මැඩපවත්වා ගැනීම සඳහා පර්යේෂණ කෙරෙන බව අපට දැනගැනීමට ලැබිණ. සමහර අවස්ථාවලදී මෙම ප්‍රයත්නය සාර්ථක වී ඇති නමුත් අසාර්ථක වූ අවස්ථාද ඇත. නිදසුනකට 1935දී විනාශකාරි උක් කුරුමිණියා මර්දනය කිරීම සඳහා හවායි රටින් උක් මැඩියායයි නම් කරන ලද මැඩියෙකුද මෙම ප්‍රදේශයට ගෙනෙන ලදි. එහෙත් මෙම කුරුමිණියාව ආහාරයට ගන්නවා වෙනුවට මෙම මැඩියා වෙනත් ආහාර වර්ගවලට රුචියක් දැක්වූ අතර උන් ශීඝ්‍රයෙන් වර්ධනය විය. දැන් මෙම මැඩියා ඕස්ට්‍රේලියාවේ උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ මහත් හිසරදයක් වී ඇත.

කපාගැනීමට පෙර පිලිස්සීම

එදින රාත්‍රියේ නොසිතූ විරූ අන්දමේ පුදුම දනවන තවත් අපූරු සිද්ධියක් අපට දැකගැනීමට හැකි විය. එක් උක් වගා කරන ගොවියෙක් තමාගේ මුළු වගාවටම ගිනි තැබීය. කුඩාවට පටන්ගත් මෙම ගින්න විගසින්ම මහත් ගින්නක් බවට පත් විය. රාත්‍රිය ආලෝකවත් කරමින් මෙහි ගිනිදැල් බුර බුරා ඉහළට නැඟිණ. ඒත් මෙවන් ගිනි තැබීමකින් උක් වගාව විනාශ වන්නේ නැත. ඇත්තෙන්ම එය උක් කැපීමේදී හෝ මෝල යන්ත්‍රයට උක් දැමුවායින් පසු බාධාවක් විය හැකි අනවශ්‍ය පත්‍ර සහ වෙනත් ද්‍රව්‍ය විනාශ කිරීමට යොදාගන්නා පිළිගත් ක්‍රමයකි. නමුත් මෑතක සිට මෙම දැකුම්කලු ගිනි තැබීම වෙනුවට වෙන ක්‍රමයක් යොදාගැනෙයි. මෙම ක්‍රමය හඳුන්වන්නේ අමු කැපුම හෝ නොපිලිස්සූ උක් ලෙසයි. මෙම නව ක්‍රමය උපයෝගී කරගැනීමෙන් පසුව ඵලදාව වැඩි වී ඇති බවටත්, පස සේදී යෑම වළක්වන කොළ රොඩු ආදියෙන් සමන්විත ස්වාභාවික ආරක්ෂක ස්තරයක් පස තුළ රඳවාගැනීමට හැකි වී ඇති බවත්, වල් පැළවල වර්ධනය අඩු වී ඇති බවත් සොයාගෙන ඇත.

තවමත් බොහෝ රටවල උක් අස්වැන්න අතින් කපාගත්තත්, යන්ත්‍ර යොදාගෙන උක් කපාගැනීමට වැඩි කැමැත්තක් ඇති බව දක්නට තිබේ. මහත් බලයකින් යුක්ත මේ දැවැන්ත යන්ත්‍ර උස උක් පඳුරු අතරින් ගමන් කරමින් උක්ගස් කප්පාදු කර අනවශ්‍ය පත්‍ර කපා දමයි. ඒත් එක්කම එයින් උක්ගසේ දඬු ඇඹරුම් හලට ගෙන යෑමට හැකි වන පරිදි සුදුසු ප්‍රමාණයකට කපාගනු ලැබේ. මෙවැනි එක් යන්ත්‍රයක් මගින් දිනකට උක් ටොන් 300ක් පමණ කපාගත හැකි අතර ඕස්ට්‍රේලියාවේ උක් කපන්නෙකුට සාමාන්‍යයෙන් අතින් කපාගත හැකි වන්නේ උක් ටොන් 5ක් පමණක් බවට ගණන් බලා ඇත. එක් උක් වගාවකින් ලැබෙන සීනි ඵලදාව අඩු වී යෑමට පෙර එයින් අවුරුදු කිහිපයක් පුරා වර්ෂයක් වර්ෂයක් පාසා අස්වැන්න ලබාගත හැක. උක් වගාවෙන් ලැබෙන ඵලදාව අඩු වූ බව දැකගත් විට එම පැළ ඉවත් කොට අලුත් උක් දඬු පැළ කළ යුතුය.

කපාගත් උක් දඬුවල ගුණය ශීඝ්‍රයෙන් හීන වන නිසා හැකි ඉක්මනින් යුෂ මිරිකාගත යුතු වේ. ඇඹරුම් හල කරා විගස උක් දඬු ගෙන යෑමට හැකි වන පරිද්දෙන් ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රදේශයෙහි කිලෝමීටර් 4,100ක පමණ දුරක් දක්වා දිවෙන කුඩා පරිමාණයේ දුම්රිය පාරවල් තනා ඇත. ඒවා දිගේ ගමන් කරන්නාවූ මෙම කුඩා දුම්රියන්වල විවිධාකාර වර්ණ ගල්වා ඇති අතර, එහි පෙට්ටි උක්වලින් පුරවාගෙන ධාවනය කරන විට එය ඇත්තෙන්ම සිත්ගන්නාසුලු දර්ශනයකි.

ඇඹරුම් හලක් තුළදී

උක් සීනි ඇඹරුම් හලක් දැකබලා ගැනීමට ගිය විටදී එයට ආවේණික වූ සැලකිල්ලට ගත යුතු දේවල් බොහොමයක් ඇති බව අපට වැටහිණ. ඇඹරුම් හලට පැමිණෙනවාත් සමඟම අපේ නෙත් ගැටුණේ උක් පටවාගෙනවිත් තිබුණ රථ පේළි ගණනාවකි. ඒවායෙහි පටවා තිබූ උක් බාන තෙක් ඒවා නවත්වා තිබිණ. මේ අතර පසෙකින් ඇති විශාල පිහි කට්ටල සහ ෂ්‍රෙඩර් යන්ත්‍ර මගින් ඒවා කැබලි කර සිහින් තීරු බවට පත් කිරීමෙන් පසු ඇඹරුම් යන්ත්‍ර (මිල් රෝලර්) මගින් උක් දඬුවල තන්තුමය කොටස් මිරිකා යුෂ ගනියි. ඉතිරි වන උක් රොඩු වේළාගෙන ඇඹරුම් හලට අවශ්‍ය බලය සැපයීමට ඉන්ධන හැටියට භාවිත කරයි. ඉන්පසුවත් මෙම රොඩුවල අතිරික්තයක් ඇති වුවහොත් ඒවා කඩදාසි නිෂ්පාදනයට හෝ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා යොදාගන්නා අමු ද්‍රව්‍ය සාදාගැනීමට වෙනත් ආයතනවලට විකුණයි.

අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන්නේ පිරිසිදු යුෂයකි. උක් යුෂවලින් වෙන් කරන ලද අපද්‍රව්‍ය අහක දමනවා වෙනුවට ඒවා පොහොර ලෙස භාවිත කරයි. මෙය හඳුන්වන්නේ ෆිල්ටර් මඩ ලෙසයි. මෙම ක්‍රියාවලියේ තවත් අතුරු ඵලයකි ඉක්ෂුපාක (මොලැසස්) යන ද්‍රව්‍යය. මෙලෙස උක් පැණි මණ්ඩියෙන් ගන්නාවූ ඉක්ෂුපාක අරක්කු, රම්, බ්රැන්ඩි වැනි මත්පැන් රාශියක් සෑදීම සඳහා යොදාගනු ලැබේ. ඉක්ෂුපාක සත්වයන්ට ආහාර පිණිසද භාවිත කරයි. උක් වගාවෙන් මෙපමණ දේවල් සෑදිය හැකි බව දැනගන්න ලැබීමෙන් හා උක් ඇඹරුම් හලක කාර්යක්ෂමතාව දැකීමෙන් අපි ඉමහත් සේ පුදුමයට පත් වුණෙමු.

පිරිසිදු කළ යුෂ උණු කිරීමෙන් එය තුළ ඇති අතිරික්ත ජලය වාෂ්ප වීමට ඉඩහරියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පැණි තුළ සීනි ස්ඵටික (කැට) සෑදේ. අවශ්‍ය කරන ප්‍රමාණයෙන් මෙම ස්ඵටික සෑදී වැඩුණ පසු ඒවා පැණි ද්‍රාවණයෙන් ඉවත් කෙරෙයි. දැන් ඉතිරිව ඇත්තේ එම කැට වේළාගැනීමයි. ටික වේලාවකට පසුව අප මෙම වේළුණු කැට සෝදිසි කළ විට ඒවා ශුද්ධ නොකළ දුඹුරු සීනි බවට පත්ව ඇති බව අපි දුටුවෙමු. තවත් පිරිසිදු කිරීමකට භාජනය වූ පසු මෙම සීනි සාමාන්‍යයෙන් අපගේ කෑම කන මේසවල දැකගත හැකි සුපුරුදු ශුද්ධ කළ සුදු සීනි බවට පත් වෙයි.

හද බඳින මෙම අසාමාන්‍ය කරුණු දැනගැනීමෙන් පසුව ඔබ මින් ඉදිරියට පානය කරන සෑම තේ හෝ කෝපි කෝප්පයකම රස වඩාත් මිහිරි වීමට ඉඩ ඇත. නමුත් ඔබ දියවැඩියා රෝගියෙක් නම් පරෙස්සම් වීම සුදුසුයි. සීනි වෙනුවට පැණිරස ඇති වෙනත් යෝග්‍ය විකල්පයක් ඔබට භාවිත කිරීමට සිදු විය හැකියි.

ඇත්තෙන්ම අප වඩාත් මවිත වන්නේ විවිධාකාර සමර්ථකම් ඇති මෙම පුදුමාකාර උක්ගසේ නිර්මාණකරුගේ නිර්මාණශීලිත්වය සහ බුද්ධිය ගැනයි. ඔහු උක්ගස බහුල ලෙස බෝවීමට සැලැස්වීමෙන් අස්සක් මුල්ලක් නෑර මුළු ලෝකයටම එහි රසය විඳීමට ප්‍රස්තාව සපයා දී ඇත. ඔව් ඇත්තෙන්ම උක්ගස තණකොළ අතුරින් යෝධයෙකි.

[22වන පිටුවේ කොටුව]

එය බීට්වලින්ද නැත්නම් උක්වලින්ද?

සීනි නිෂ්පාදනය සඳහා ලොව සුපතළ බෝග දෙකක් යොදාගැනේ. ලෝකයේ සීනි නිෂ්පාදනයන් අතුරින් අඩුම තරමින් සියයට 65ක් පමණ උක් සීනිය. උක් වැවීමට සුදුසු ස්වාභාවික වාතාවරණයක් සහිත බොහෝ නිවර්තන කලාපවල උක් කර්මාන්තය දියුණු වී ඇත. සීනි නිෂ්පාදනය සඳහා භාවිත කරන අනෙක් බෝගය බීට්ය. මෙයට වඩාත් සුදුසු සිසිල් දේශගුණය නැඟෙනහිර හා බටහිර යුරෝපයේද උතුරු අමෙරිකාවේද දක්නට ලැබෙන හෙයින් මේ වගාවෙන් කෙරෙන සීනි නිෂ්පාදනය එම ප්‍රදේශවල සුලභව දක්නට ලැබේ. එනමුත් මෙම බෝගවලින් නිෂ්පාදනය කරන සීනිවල රසායනික ව්‍යූහය සලකා බැලූ කල ඒ දෙක අතර කිසිදු වෙනසක් නැත.

[23වන පිටුවේ පින්තූරය]

කපාගැනීමට පෙර උක්ගස්වලට ගිනි තැබීම

[23වන පිටුවේ පින්තූරය]

උක් කැපීමේ යන්ත්‍රයක්. ට්‍රැක්ටරයක් මගින් ට්‍රේලරයක් ඇදගෙන එන ආකාරය

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පිටු 21-4හි තිබෙන සියලුම ඡායා රූප Queensland Sugar Corporationහිදී ගත් ඒවාය