Skip to content

ගුවන් ටිකට්පත් 19,000ක්!

ගුවන් ටිකට්පත් 19,000ක්!

වෙනත් රටවල සේවය කරන පූර්ණකාලීන සේවයකයන්ට සහ මිෂනාරිවරුන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයෙන් 2013 ජූලි මාසේදී සතුටුදායක ලියුමක් ලැබුණා. ඒ ලියුමේ තිබුණේ වෙන රටවල සේවය කරන අයට 2014, 2015 පැවැත්වෙන තුන්දින සහ ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වෙන්න අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා දෙන්න සැලසුම් කරනවා කියලයි.

වෙන රටවල සේවය කරන අයට සමුළුවලට සහභාගි වෙන්න උදව් කිරීම විතරක්ම නෙමෙයි මේ සැලසුමේ අරමුණ. එයාලට පවුලේ අය සහ මිතුරන් එක්ක කාලය ගත කරන්න අවස්ථාව ලබා දීමත් ඒකට ඇතුළත් වුණා. ඒ ලිපියේ සඳහන් වුණේ යන්නයි එන්නයි අවශ්‍ය ගුවන් ටිකට්පත් සංවිධානයෙන් ලබා දෙනවා කියලයි.

ඊට කලිනුත් මේ වගේ සැලැස්මක් තිබුණා. ඒත් මේ අලුත් සැලැස්මේ වෙනස තමයි ගුවන් ටිකට්පත් මිල දී ගැනීම සිදු කෙරුවේ පාලක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ තියෙන ඉගැන්වීම් කමිටුව විසින් අලුතින් පත් කරපු අංශය මඟින්.

ඒ ලිපිය සභාවලට යැව්වාට පස්සේ ගුවන් ටිකට්පත් අවශ්‍ය අය ලෝක මූලස්ථානයට දැනුම් දුන්නා. මුලදී එච්චර ඉල්ලුමක් තිබුණේ නැතත් 2014 ජනවාරි වෙද්දී හුඟදෙනෙක් වැල නොකැඩී ඉල්ලුම් කරන්න පටන්ගත්තා. ලෝකේ පුරාම ඉන්න විදෙස් රටවල සේවය කරන පූර්ණකාලීන සේවකයන්ට ගුවන් ටිකට්පත් ලබා දීම සහ ගමනට අදාළ සියළුම කටයුතු සැලසුම් කෙරුවේ පත් කරපු ඒ අංශයේ සහෝදරයනුයි.

සමහර ගුවන් ගමන් සැලසුම් කිරීම ලේසි වුණේ නැහැ. සමහර අය හිටියේ අයිස්ලන්තයේ රේක්ජැවික්වල. එයාලට බොලිවියාවේ කොචබම්බාවලට යන්න ටිකට්පත් ගන්න වුණා. තවත් අයට නව කැලිඩෝනියාවේ නූමේයාවල ඉඳන් මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝවලට යන්න ඕන වුණා. පැපුවා නිව් ගිනියාවේ පෝට් මොරිස්බිවල හිටපු අයට ඇමරිකාවේ වොෂිංටන්වලට යන්න ඕන වුණා. ඒ වගේම බර්කිනා ෆාසෝවල ඉඳන් කැනඩාවේ විනිපෙග්වලට ගමන් කරන අයත් හිටියා.

ලෝක මූලස්ථානයේ ගුවන් ගමන් සැලසුම් කරන අංශයේ වැඩ කරපු සහෝදරයන් පස්දෙනා ගුවන් ටිකට්පත් 19,000ක් වෙන් කරන්න කටයුතු කළා. ඒ අය සභාවලින් මේ සැලසුම සඳහාම දුන්න සම්මාදම්වලින් ලොව පුරා රටවල් 176ක සේවය කරන පූර්ණකාලීන සේවකයන් 4,300දෙනෙක්ට ගුවන් ටිකට්පත් මිල දී ගත්තා.

මේ සැලසුම හුඟදෙනෙක් අගය කළා. එක මිෂනාරි යුවළක් මෙහෙම කිව්වා. “ආසියාවේ ගිනිකොන පැත්තට වෙන්න තියෙන රටේ අපේ පැවරුමට අද අපි ආයෙත් යනවා. එංගලන්තයේ ඉන්න අපේ පවුලේ අය එක්ක කාලේ ගත කරන්න අවස්ථාවක් ලබා දුන්නට ගොඩක් ස්තුතියි. අපි මෙහෙට ආවේ අවුරුදු පහකට පස්සේ. ඔයාලා උදව් කෙරුවේ නැත්නම් අපිට එන්න ලැබෙන්නේ නෑ. අපි ඔයාලට ස්තුති කරන්නේ මුළු හදවතින්මයි.”

පැරගුවේ ඉන්න මිෂනරි සේවකයෙක් මෙහෙම කිව්වා. “ඇමරිකාවේ නිව් ජර්සිවල තිබුණු ජාත්‍යන්තර සමුළුවට යන්න මටයි මගේ බිරිඳටයි අවස්ථාවක් ලබා දුන්න එක ගැන මම ගොඩක් ස්තුති කරනවා. 2011දී අපි හිතුවා ලෝක මූලස්ථානය බලන්න යන්න ඕනේ කියලා. ඒකට අපි සල්ලි ටිකක් එකතු කරකරයි හිටියේ. ඒත් ඒ අවුරුද්දේ ජූනි මාසෙදී පැරගුවේ සංඥා භාෂාව කතා කරන සභාවට උදව් කරන්න කියලා අපිට කිව්වා. ඒ සභාව තිබුණේ ගොඩක් දුර. ඒ නිසා අපි හිතුවා ඇමරිකාවට යන්න තියෙන සල්ලිවලින් කාර් එකක් ගත්තොත් මේ සේවෙට උදව්වක් වෙයි කියලා. ඒ එක්කම වගේ තමයි අපිට ජාත්‍යන්තර සමුළුවට යන්න ආරාධනාවක් ලැබුණේ. අපේ සිහිනය සැබෑ වුණා! යෙහෝවා දෙවිගේ යහපත්කමට, අපිට පෙන්නපු ආදරේට අපි ගොඩක් ස්තුති කරනවා.”

“අපි මේ ඊ-මේල් එක එවන්නේ ස්තුති කරන්නයි. අපිට හිතාගන්න පුළුවන් මේ ගුවන් ගමන් සැලසුම් කරන්න කොයි තරම් කාලයක්, මහන්සියක්, කොයි තරම් වියදමක් දරන්න ඇද්ද කියලා. ඒ හැම දේකටම අපි ස්තුති කරනවා. ඒ ඔක්කෝටම වඩා අපි ස්තුති කරන්නේ අපේ මව් රටට ගිහින් ජාත්‍යන්තර සමුළුවට සහභාගි වෙලා, අපේ පවුලේ අයයි යාළුවොයි එක්ක කාලේ ගත කරන්න අවස්ථාවක් ලබා දීලා දෙවිගේ සංවිධානය පෙන්නපු ත්‍යාගශීලීකමට.” එහෙම කිව්වේ මලාවිවල ඉන්න යුවළක්.

ලෝක මූලස්ථානයේ ගුවන් ගමන් සැලසුම් කරන අංශයේ වැඩ කරන සහෝදරයන් ඒ වැඩකටයුතු කරන්නේ හුඟක් ආසාවෙන්. “මිෂනාරිවරුන්ට තමන්ගේ මව් රටට ගිහින් පවුලේ අය සහ යාළුවෝ එක්ක කාලය ගත කරන්න අවස්ථාවක් ලබා දෙන එක ගොඩක් වටිනවා” කියලා මිලාවී කියනවා. “වෙන රටකට ගිහින් සේවය කරන පූර්ණකාලීන සේවකයන්ට දෙවිගේ සංවිධනය කොච්චර ආදරෙයිද කියලා මං තේරුම්ගත්තා.” එහෙම කිව්වේ ඩොරිස්. ඒ අංශයේ වැඩකටයුතු බලාගන්න රොඩ්නි මෙහෙම කියනවා. “මේ වැඩවලට උදව් කරන්න ලැබුණු එක ලොකු සතුටක්.”

වෙන රටකට ගිහින් වෙහෙස මහන්සි නොබලා, කැපවීමෙන් සේවය කරන සහෝදර සහෝදරියන්ව හුඟක් අගය කරනවා. ඒ අය වෙනුවෙන් කරන මේ ප්‍රේමණීය සැලැස්මට ලොව පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දායක වෙන්නේ සතුටෙන්.