Skip to content

මධ්‍යම ඇමරිකාවේ ශාඛා කාර්යාලය නැරඹීමට අමුත්තන් වැල නොකැඩී එයි

මධ්‍යම ඇමරිකාවේ ශාඛා කාර්යාලය නැරඹීමට අමුත්තන් වැල නොකැඩී එයි

2015 වසරේ මධ්‍යම ඇමරිකාවේ ශාඛා කාර්යාලය නරඹන්න 1,75,000ක් විතර ආවා. ඒ කියන්නේ සතියේ දවසක සාමාන්‍යයක් විදිහට පැමිණි අමුත්තන්ගේ සංඛ්‍යාව 670ක් විතර වෙනවා. හුඟක් අය කණ්ඩායම් විදිහට එකතු වෙලා සංචාරක බස්රථවල දවස් ගණන් ගමන් කරලා තමයි ශාඛා කාර්යාලයට ඇවිත් තිබුණේ. ආපු අය අතරේ මාස ගාණක් තිස්සේ ගමනට සූදානම් වුණ අයත් හිටියා.

බෙතෙල් යෑම සඳහා දියත් කළ වැඩපිළිවෙළ

බෙතෙල් කියාද හඳුන්වන ශාඛා කාර්යාලය නරඹන්න එන්න සැලසුම් කරන එක හුඟදෙනෙක්ට ලේසි වුණේ නැහැ. උදාහරණයකට මෙක්සිකෝවේ වෙරකෘස්වල තිබුණ සභාවේ වැඩිදෙනෙක්ට කිලෝමීටර් 550ක් දුර, මේ ගමන යන්න මුදල් තිබුණේ නැහැ. ඒ නිසා සහෝදරයන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කළා. එයාලා එක එක ජාතියේ කෑම හදලා විකුණුවා. සමහර අය ප්ලාස්ටික් බෝතල් එකතු කරලා විකුණුවා. ඒ විදිහට එයාලා මාස තුනකින්, ගමනට ඕනෙ කරන මුදල් හොයාගත්තා.

එයාලා වුණ මහන්සිය අපතේ ගියේ නැහැ. ඒ සභාවේ ඉන්න තරුණයෙක් වන ලුසියෝ බෙතෙල් එක බලන්න ආපු ගමන ගැන කිව්වේ මෙහෙමයි. “දෙවියන්ට කරන සේවය තව වැඩි කරන්න මේ ගමන මට ගොඩක් උදව් වුණා.” අවුරුදු 18ක් වයස එලිසබෙත් මෙහෙම කිව්වා. “බෙතෙල් එකට ගියාම මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා යෙහෝවා දෙවියන්ට සේවය කරන අය අතර තියෙන සැබෑ ආදරය. ඒ ගමනින් පස්සේ මම තීරණය කළා දෙවියන්ට තවත් වැඩියෙන් සේවය කරන්න.”

දහස් ගණන් ඇදී ආවා

සමහර දවස්වල ශාඛා කාර්යාලය බලන්න එක දවසක් ඇතුළත දහස් ගණන් අය ඇවිත් හිටියා. කාර්යාලය නරඹන්න ආපු අයව කණ්ඩායම් විදිහට සංවිධානය කරන්න සහෝදරයන් පියවර ගත්තා. ලිසී කියන සහෝදරිය ඒ ගැන මෙහෙම කිව්වා. “මෙච්චර අය බෙතෙල් එක බලන්න ආපු එක ගැන මට හරිම සතුටුයි. හුඟක් අය මෙහෙ එන්න කරපු කැපකිරීම් ගැන අහනකොට මගේ විශ්වාසය ශක්තිමත් වුණා. බෙතෙල් එකට එන්න එයාලා දරපු වෑයම හුඟක් වටිනවා.”

ආපු අයව කාර්යාලය නරඹන්න එක්කන් යන පැවරුම භාරව ඉන්න සහෝදරයන්ට අමතරව බෙතෙල් එකේ වෙනත් පැවරුම් ඉටු කරන සහෝදරයන් පවා ආපු අයට මඟ පෙන්වන්න සහාය දුන්නා. ජුවාන් කියන සහෝදරයා මෙහෙම කියනවා. “කාර්යාලය නරඹන්න කට්ටියව අරන් ගියාට පස්සේ එයාලාගේ මුහුණුවල තිබුණ හිනාව දැක්කාම මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ.”

“ආපු දරුවන් ගොඩක් සතුටු වුණා”

මේ කාර්යාලය නරඹන්න ආපු දරුවන් හැමෝම ගොඩක් සතුටු වුණා. නොරිකෝ කියන්නේ පරිගණක අංශයේ වැඩ කරන සහෝදරයෙක්. එයා මෙහෙම කිව්වා. “මම ආපු දරුවන්ගෙන් ඇහුවා බෙතෙල් එකේ වැඩ කරන්න ආසද කියලා. එතකොට එයාලා කෑගහලා ‘ඔව්’ කියලා කිව්වා. ආපු දරුවන් ගොඩක් සතුටු වුණා.” එක දරුවෙක් කිව්වා ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන වීඩියෝ මාලාවේ ඉන්න කාටූන් චරිත දෙකක් වන දුලේන් සහ නෙත්මිගේ පින්තුර තියෙන තැනට තමයි එයා වැඩියෙන්ම කැමති කියලා.

මෙක්සිකෝවලින් ආපු හෙන්රි කියන චූටි පුතා කාලයක් තිස්සේ කැටේකට එකතු කරපු සල්ලි බෙතෙල් එක බලන්න ආපු වෙලාවේ ගෙනත් සහෝදරයන්ට දුන්නා. ඒ සල්ලිත් එක්ක එයා දීපු පුංචි ලියුමක මෙහෙම ලියලා තිබ්බා. “මේ සල්ලිවලින් තවත් සඟරා හදන්න. ඔයාලා යෙහෝවා දෙවිට සේවය කරනවාට ස්තුතියි.” බෙතෙල් එකේ කරන වැඩකටයුතු ගැන දරුවන්ට කොයි තරම් අගයක් තියෙනවාද කියලා ඒකෙන් පැහැදිලියි.

ඔයාලාටත් එන්න කියලා අපි ආරාධනා කරනවා

ලෝකේ පුරා තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල, කිසිම අය කිරීමකින් තොරව නරඹන්න පුළුවන්. ඔයාටත් එන්න කියලා අපි ආරාධනා කරනවා. වැඩි විස්තර දැනගැනීම සඳහා මේ වෙබ් අඩවියේ අපි ගැන > කාර්යාල සහ කාර්යාල නැරඹීම යටතේ බලන්න.