Skip to content

දේශගුණ විපර්යාස නැති කාලයක් ගැන පැරීසියේදී දේශනා කරයි

දේශගුණ විපර්යාස නැති කාලයක් ගැන පැරීසියේදී දේශනා කරයි

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (COP21) ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 නොවැම්බර් 30වෙනිදා ආරම්භ වුණා. දෙසැම්බර් 12වෙනිදා දක්වා පැවතුණු මේ සමුළුවට රටවල් 195ක් නියෝජනය කරමින් රජයේ නිලධාරීන්, විද්‍යාඥයන්, පරිසරවේදීන් සහ ව්‍යාපාර ලෝකයේ සුප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළු 38,000දෙනෙක් සහභාගි වුණා. ගෝලීය උෂ්ණත්වය වැඩි වීම ඇතුළු දේශගුණික විපර්යාසවලට මිනිස් ක්‍රියාකාරකම් බලපාලා තියෙන විදිහ ගැනත් ඒවා අවම කරගන්න පුළුවන් විදිහ ගැනත් මේ සමුළුවේදී සාකච්ඡා කළා. දේශගුණ විපර්යාසයන් ගැන උනන්දුව දක්වපු තවත් දහස් ගාණක් ඒ ප්‍රදේශයට ඇවිත් හිටියා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ සමුළුවට සහභාගි වුණේ නැතත් ඒ අය පරිසරයට ආදරය කරන සෙනඟක්. ඒ වගේම මේ පොළොව පරිසර දූෂණයක් නැති ලස්සන පාරාදීසයක් වෙනවා කියලා බයිබලයේ දීලා තියෙන පොරොන්දුව එයාලා විශ්වාස කරනවා. ඒ නිසා සාක්ෂිකරුවන් සිය ගාණක් එකතු වෙලා පැරිස් නුවරට ආපු අයට ඒ කාලය ගැන කතා කරන්න විශේෂ වෑයමක් ගත්තා.

සාක්ෂිකරුවෙක් පොදු ප්‍රවාහන සේවයක ගමන් කරද්දී පේරූ රටේ කෙනෙක් එක්ක කතා කළා. එයා මෙහෙම කිව්වා. “මට නම් කිසිම ලෙඩක් නැහැ. මගේ ගෙවල් තියෙන්නෙත් ලස්සන කඳුකර පළාතක. හැබැයි ඉතිං පරිසරය දූෂණය වෙන විදිහ දැක්කාම නම් ඉස්සරහාට ජීවත් වෙන්න පොළොවක් තියෙයි කියලා හිතන්න අමාරුයි.” ඒක අහලා මේ පොළොව සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන සාක්ෂිකරුවා එයාට කිව්වා. මේ මුළු පොළොවම පරිසර දූෂණයක් නැති පාරාදීසයක් වෙන්න යනවා කියලා දැනගත්තාම එයා ගොඩක් සතුටු වුණා. www.jw.org වෙබ් අඩවිය ගැන සඳහන් කන්ටැක්ට් කාඩ් එකකුත් එයාට දුන්නා.

සාක්ෂිකරුවන් දෙන්නෙක්ට ඇමරිකානු පරිසර විද්‍යාඥයෙක් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. ඇමරිකාවේ වෝල්කිල්වල තියෙන සාක්ෂිකරුවන්ගේ ගොඩනැඟිලි දෙකක් පරිසරයට හිතකර විදිහට ඉදි කිරීම සම්බන්ධයෙන් දෙවතාවක්ම අගය කිරීමට ලක් වෙලා තියෙනවා කියලා එයාට කිව්වාම එයා පුදුම වුණා. එයාත් සාක්ෂිකරුවන්ගෙන් කන්ටැක්ට් කාඩ් එකක් ලබාගන්න සතුටු වුණා.

සාක්ෂිකරුවන් පරිසරය ආරක්ෂා කරගන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා කියලා දැනගත්තාම හුඟක් අය සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවිය ගැන හොයලා බලන්න කැමති වුණා. සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය වෝර්වික් ප්‍රදේශයේ ඉදි කරද්දී බ්ලූබර්ඩ් කුරුල්ලන්ගේ කූඩුවලට හානි වෙන එක වළක්වන්න ගත්ත පියවර ගැන කැනඩාවෙන් සමුළුවට සහභාගි වුණු අමුත්තෙක්ට කිව්වා. ඒ ගැන එයා පුදුම වුණා. එයා මෙහෙම කිව්වා. “මම පරිසරය ආරක්ෂා කරන වැඩවලට හවුල් වෙන්න කලින් පක්ෂි විද්‍යාඥයෙක් විදිහටයි වැඩ කළේ. වන ජීවීන්ව ආරක්ෂා කරන්න ඔයාලා උනන්දු වෙන එක ගැන මං ඇත්තටම අගය කරනවා. මම කියවලා බලන්නම් ඔයාලාගේ පොත් පත්. ඔයාලාගේ වෙබ් සයිට් එකෙනුත් තව තොරතුරු හොයලා බලන්නම්.”