Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

අතීතයෙන් බිදක්

“යෙහෝවා දෙවි ඔයාලව ප්‍රංශයට ගෙනාවේ සත්‍යය කියලා දෙන්නයි”

“යෙහෝවා දෙවි ඔයාලව ප්‍රංශයට ගෙනාවේ සත්‍යය කියලා දෙන්නයි”

පතලකට යට වෙලා තාත්තා බරපතළ විදිහට තුවාල වෙද්දී ඇන්ටෝනි ස්කැලෙකි කොලු ගැටයෙක්. එදා ඉඳලා පවුල රැකබලා ගන්න වගකීම වැටුණේ ඇන්ටෝනිගේ කරපිට. රැකියාව විදිහට එයා කළේ පතල්වල ගල් අඟුරු ප්‍රවාහනය කරපු එක. ඒකට එයාට උදව් කළේ එයාගේ පෝනියා. පොළොව මට්ටමේ ඉඳලා අඩි 1,600ක් ගැඹුරු අඳුරු උමං දිගේ එයා පෝනියාත් එක්ක දවසකට පැය 9ක් විතර ගල් අඟුරු ප්‍රවාහනය කළා.

1. පෝලන්ත ජාතික පතල්කරුවන් පාවිච්චි කරපු ආයුධ; 2. ප්‍රංශයේ සැන්ලනෝබ්ලවලට කිට්ටුව තියෙන පතලක්

පතල්කරුවන් පාවිච්චි කරපු ආයුධ. සැන්ලනෝබ්ලවලට කිට්ටුව තියෙන ඇන්ටෝනි ස්කැලෙකි වැඩ කරපු පතල

ඇන්ටෝනි ඉපදුණේ ප්‍රංශයේ වුණත් එයාගේ දෙමාපියෝ පෝලන්ත ජාතිකයන්. 1920 ගණන්වල සහ තිස් ගණන්වල පෝලන්තයේ ඉඳන් ප්‍රංශයේ පදිංචියට ආපු හුඟක් අය අතරේ ඇන්ටෝනිගේ දෙමාපියොත් හිටියා. ඒ අය ප්‍රංශයට ආවේ ඇයි? පළවෙනි ලෝක මහා යුද්දෙන් පස්සේ පෝලන්තයේ ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒත් ප්‍රංශයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්. පිරිමින් මිලියන ගණනක් යුද්දෙන් මිය ගිය නිසා ගල් අඟුරු පතල්වල වැඩ කරන කම්කරුවන්ගේ ලොකු හිඟයක් තිබුණා. ඒ නිසා 1919දී ප්‍රංශය සහ පෝලන්තය අතර ඇති කරගත්ත ගිවිසුමක ප්‍රතිඵලයක් විදිහට හුඟක් පෝලන්ත ජාතිකයන් ප්‍රංශයේ පදිංචියට ආවා. 1931 වෙනකොට ප්‍රංශයේ පෝලන්ත ජාතිකයන් 5,07,800ක් හිටියා. ඒ අයගෙන් වැඩිදෙනෙක් පදිංචි වෙලා හිටියේ පතල් කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රංශයේ උතුරුකරයේ.

ප්‍රංශයේ හිටියත් ඔවුන්ගේ සංස්කෘතිය නම් වෙනස් කරගත්තේ නැහැ. ඔවුන් ආගම දහමට හරිම ළැදි අය. දැන් වයස 90ක් වන ඇන්ටෝනි ඒ ගැන මෙහෙම කියනවා. “මගේ සීයාට බයිබලේ ගැන ලොකු ගෞරවයක් තිබුණා. ඒක එයාගේ හිතට දාලා තිබුණේ එයාගේ තාත්තා.” තිබුණ හොඳම ඇඳුම් ඇඳගෙන හැම ඉරිදාම පල්ලි යන එක පතල් වැඩට ආපු පෝලන්ත ජාතිකයන් නොවරදවාම කරපු දෙයක්. ඒත් සල්ලි පස්සේ දුවපු ප්‍රංශ ජාතිකයන් නම් ඒ ගැන සතුටු වුණේ නැහැ.

බයිබල් ශිෂ්‍යයන් 1904 ඉඳන් නොර්-පට්-කැලේ කියන පළාතේ උද්‍යෝගයෙන් දේශනා කරමින් හිටියා. පෝලන්ත ජාතිකයන්ට ඔවුන්ව මුලින්ම මුණගැහෙන්නේ එහෙදී. 1915දී ‘මුරටැඹ’ සඟරාවත් 1925දී ‘පිබිදෙව්!’ සඟරාවත් පෝලන්ත භාෂාවෙන් නිකුත් කළා. ඒ සඟරා වගේම පෝලන්ත භාෂාවෙන් නිකුත් කරපු ‘දෙවිගේ වීණාව’ කියන පොත හුඟදෙනෙක් පිළිගත්තේ හරිම සතුටෙන්.

ඇන්ටෝනිගේ පවුලේ අයට සත්‍යය ගැන දැනගන්න ලැබුණේ ඔහුගේ මාමා කෙනෙක්ගෙන්. එයා මුලින්ම රැස්වීමකට ගිහින් තිබුණේ 1924. බයිබල් ශිෂ්‍යයන් මුලින්ම පෝලන්ත භාෂාවෙන් සමුළුවක් පැවැත්තුවෙත් ඒ අවුරුද්දෙමයි. සමුළුව පවත්වලා මාසයක් යන්නත් කලින් ලෝක මූලස්ථාන නියෝජිත ජෝසෆ් එෆ්. රදෆර්ඩ් සහභාගි වුණ විශේෂ රැස්වීමක් සමුළුව පවත්වපු ප්‍රදේශයේම තිබුණා. ඒකට ආපු 2,000ක විතර පිරිසකගෙන් වැඩිදෙනෙක් පෝලන්ත ජාතිකයන්. ඔවුන්ව දැකලා සහෝදර රදෆර්ඩ් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි ඔයාලව ප්‍රංශයට ගෙනාවේ සත්‍යය කියලා දෙන්නයි. දැන් ඔයාලටත් ඔයාලගේ දරුවන්ටත් කරන්න ලොකු වැඩක් තියෙනවා. ඒ ප්‍රංශ ජාතිකයන්ට දෙවි ගැන කියලා දෙන එක. ඒ දේ කරන්න දෙවි ඔයාලට උදව් කරයි.”

කිව්ව විදිහටම යෙහෝවා දෙවි එයාලට උදව් කළා. පතල්වල මහන්සි වෙලා වැඩ කරනවා වගේම ඒ අය දේශනා කරන කාර්යයෙත් වෙහෙස නොබලා හවුල් වුණා. ඉගෙනගත්ත සත්‍යය ගැන කියලා දෙන්න ආයෙත් පෝලන්තයට ගිය අයත් ඔය අතරේ හිටියා. ටෙඕෆිල් පිඇස්කෝස්කයි, ෂ්ටෙපෑන් කෝසිඇක්, යාන් සාබූඩා කියන්නේ එහෙම ගිය අයගෙන් කීපදෙනෙක්.

ඒත් පෝලන්ත භාෂාව කතා කරපු හුඟදෙනෙක් ප්‍රංශයේම නැවතිලා දිගටම උද්‍යෝගයෙන් දේශනා කරමින් හිටියා. 1926දී සැන්ලනෝබ්ලවල පවත්වපු සමුළුවේ ප්‍රංශ භාෂාව කතා කරන කොටසේ 300දෙනෙක් ඉද්දී පෝලන්ත භාෂාව කතා කරන කොටසේ 1,000ක පිරිසක් හිටියා. ‘1929 වාර්ෂික පොතේ’ සඳහන් වුණේ “මේ අවුරුද්දේදී පෝලන්ත ජාතිකයන් 332දෙනෙක් බව්තීස්ම වුණා” කියලයි. දෙවෙනි ලෝක යුද්ධය පටන්ගන්නකොට ප්‍රංශයේ තිබුණ සභා 84න් 32ක්ම පෝලන්ත භාෂාව කතා කරන සභාවන්.

ප්‍රශංයේ හිටපු පෝලන්ත ජාතික සහෝදරයන් සමුළුවකට යමින්

පෝලන්ත ජාතික සහෝදරයන් සමුළුවකට යමින්. බස් එකේ ගහලා තියෙන්නේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියලා

1947දී පෝලන්ත ආණ්ඩුව ආයෙමත් තමන්ගේ රටට එන්න කියලා ප්‍රංශයේ හිටපු පෝලන්ත ජාතිකයන්ට ආරාධනා කළා. ඒක පිළිගත්ත සාක්ෂිකරුවන්ගෙන් හුඟදෙනෙක් ආයෙත් පෝලන්තයට ගියා. ඔවුනුත් ප්‍රංශ භාෂාව කතා කරපු සහෝදරයොත් දේශනා කරන්න දරපු වෙහෙසේ ප්‍රතිඵල ඔවුන් ගියාට පස්සෙත් දකින්න ලැබුණා. ඒ අවුරුද්දේ ප්‍රංශයේ ප්‍රචාරකයන්ගේ ගණන හුඟක් වැඩි වුණා. ඒක කලින් අවුරුද්දට වඩා 10%ක වැඩි වීමක්. ඒ වර්ධනය 1948-1950 දක්වාම දකින්න තිබුණා. ඒ අවුරුදු තුනේදී 20%කින්, 23%කින් සහ 40%කින් වර්ධනය වුණා. අලුත් ප්‍රචාරකයන්ට උදව් කරන්න 1948දී ප්‍රංශ ශාඛා කාර්යාලයෙන් මුල්ම වතාවට චාරිකා සේවකයන් පස්දෙනෙක්ව පත් කළා. ඒ අයගෙන් හතරදෙනෙක්ම පෝලන්ත ජාතිකයන්. ඇන්ටෝනි ඒ 4දෙනාගෙන් කෙනෙක්.

ප්‍රංශයේ ඉන්න සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් පැවතෙන්නේ ගල් අඟුරු පතල්වල වගේම දේශනා සේවයේ එදා වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු පෝලන්ත ජාතිකයන්ගෙන්. අදත් විවිධ රටවලින් ප්‍රංශයට ඇවිත් ඉන්න බොහෝදෙනෙක්ට සත්‍යය ගැන දැනගන්න ලැබිලා තියෙනවා. ප්‍රංශයේදී සත්‍යය ඉගෙනගත්ත සමහරු ආයෙත් තමන්ගේ රටට ගිහින්. තවත් අය ප්‍රංශයේම පදිංචි වෙලා. ඒ කොහේ හිටියත් ඒ අය දිගටම උද්‍යෝගයෙන් දේශනා කරනවා. ඔවුනුත් හරියට අතීතයේ හිටපු පෝලන්ත ජාතිකයන් වගේ.—ප්‍රංශයේ අතීතයෙන් බිඳක්.