යේසුස්ට දේවපුත්‍රයා කියන්නේ ඇයි?

යේසුස්ට දේවපුත්‍රයා කියන්නේ ඇයි?

බයිබලයෙන් පිළිතුරක්

යේසුස්ට දේවපුත්‍රයා කියන්නේ ඇයි?

“ඔබ ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවිගේ පුත්‍රයාය” කියා පේතෘස් දැඩි විශ්වාසයකින් යේසුස්ට පැවසුවා. (මතෙව් 16:16) මෙලෙස දෙවිගේ පුත්‍රයා කියා යේසුස්ව හැඳින්වූ අවස්ථා බොහොමයක් බයිබලයේ සඳහන් වෙනවා. එම යෙදුම ආගම දහමට ලැදි බොහෝදෙනෙකුගේ කුතුහලය අවුස්සා තිබෙනවා.

යේසුස් ක්‍රිස්තුස් දෙවියයි විශ්වාස කරන හුඟදෙනෙකුට අසීරුයි යේසුස්ව දේවපුත්‍රයා ලෙස හඳුන්වන්නේ ඇයි කියා පැහැදිලි කිරීමට. ඊට හේතුව ඔහු එක්කෙනෙක් මිස දෙදෙනෙක් විය නොහැකි නිසයි. තවත් අය යේසුස්ව සලකන්නේ ඉතිහාසයේ සිටි වැදගත් පුද්ගලයෙක්, නැණවතෙක් හෝ දෙවිගේ අනාගතවක්තෘ කෙනෙක් මිස ඊට වඩා විශේෂත්වයක් නැති කෙනෙක් හැටියටයි. එහෙත් බයිබලයෙන් මෙයට පිළිතුරක් ලැබෙයිද? ඔබ විශ්වාස කරන දේ එතරම් වැදගත්ද?

දෙවිගේ කුලුඳුල් පුත්‍රයා

දෙවි තනියම සිටි කාලයක් තිබුණ බව බයිබලයේ පෙන්වනවා. ඔහු ප්‍රේමණීය කෙනෙකු නිසා තවත් කෙනෙකුට ජීවිතය දීමේ තම හැකියාව පාවිච්චි කරන්න ඔහු තීරණය කළා. නමුත් මිනිසෙකු තවත් මිනිසෙකු බිහි කරන ආකාරයෙන් නොවෙයි. ‘දෙවි තම මැවිල්ලේ පටන්ගැන්මේදී’ කළේ තම අසාමාන්‍ය නිර්මාණශීලී බලය පාවිච්චි කර ජීවමාන බුද්ධිමත් පුද්ගලයෙක්ව මැවීමයි. දැන් අපි ඔහුව හඳුන්වන්නේ යේසුස් ක්‍රිස්තුස් කියායි. (එළිදරව් 3:14; හිතෝපදේශ 8:22) දෙවි තනිවම සිටියදී මැවූ මුල්ම තැනැත්තා යේසුස් නිසා ඔහුට “ඒකජාතක පුත්‍රයා” සහ “මුළු මැවිල්ලේම කුලුඳුලා” කියා පැවසීම වරදක් නොවෙයි.—යොහන් 1:14; කොලොස්සි 1:15.

මෙයින් පැහැදිලි වන්නේ දෙවිගේ මැවිලිවල මුල්ම තැනැත්තා යේසුස් නම් ඔහු “එකම දෙවි” වන මැවුම්කරු විය නොහැකි බවයි. (1 තිමෝති 1:17) දෙවි තම පුතාව මැව්වා පමණක් නොව ඔහුට වරප්‍රසාද රැසකුත් දුන්නා. උදාහරණයකට, දේවදූතයන් ඇතුළු අන් “සියල්ල” දෙවි මැව්වේ යේසුස් මාර්ගයෙන්. මෙම දේවදූතයන්ව හඳුන්වන්නේ “දෙවිගේ පුත්‍රයන්” කියායි. මෙසේ පැවසීමට හේතුව ඔවුන්ටත් ජීවිතය දුන්නේ යෙහෝවා නිසයි.—කොලොස්සි 1:16; යෝබ් 1:6; 38:7.

මිනිස් වාසය සඳහා පොළොව සූදානම් කිරීමෙන් පසු දෙවි තම කුලුඳුල් පුත්‍රයාට කතා කරමින් මෙසේ පැවසුවා. “අපගේ රූපය මෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ.” (උත්පත්ති 1:26; හිතෝපදේශ 8:22-31) ඉන්පසු ස්වර්ගයේ සිටි තම ඒකජාතක පුත්‍රයා මාර්ගයෙන් යෙහෝවා පළමු මනුෂ්‍යයා වන ආදම්වත් මැව්වා.—ලූක් 3:38.

යේසුස් මෙලොවෙදීත් දෙවිගේ පුත්‍රයායි

ස්වර්ගයේ සිටි මෙම දේවපුත්‍රයා නියමිත කාලයේදී “මාංසවත් වී අප අතරෙහි වාසය කළේය” කියා යොහන් හෙළි කළා. (යොහන් 1:14) යේසුස්ගේ ස්වර්ගික ජීවිතය මනුෂ්‍යය ජීවිතයක් බවට පරිවර්තනය කිරීමට දෙවි ප්‍රාතිහාර්යයක් කළා. යුදෙව් ජාතික කන්‍ය මරියාගේ කුස තුළ යේසුස්ගේ ජීවිතය ප්‍රාතිහාර්යමය ලෙස තැන්පත් කිරීමට දෙවි වගබලා ගත්තා. එමනිසා ඔහු මනුෂ්‍යයෙකු වුණත් දෙවිගේ පුත්‍රයා හැටියටම සිටියා. එමෙන්ම යේසුස්ට ජීවිතය දානය කළේ දෙවි මිස මිනිසෙකු නොවන නිසා ඔහු ඉපදුණේ වැරදි කිරීමේ නැඹුරුවාව නැතුවයි. “උපදින තැනැත්තා ශුද්ධයයිද, දෙවිගේ පුත්‍රයායයිද කියනු ලබන්නේය” කියා මරියාට ගාබ්‍රියෙල් දේවදූතයා පැවසුවා.—ලූක් 1:35; හෙබ්‍රෙව් 7:26.

මිනිසෙකු ලෙස සිටියදී පවා යේසුස් තමාගේ පුත්‍රයා බව දෙවි තහවුරු කළා. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී අහස විවර වෙනවා යොහන් බව්තීස්ත දැක්කා. එමෙන්ම ස්වර්ගයෙන් පැමිණි හඬක් “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියා පවසනවාද ඇසුණා. (මතෙව් 3:16, 17) යොහන් තම ගෝලයන්ට “මම එය දුටුවෙමි. එහෙයින් ඔහු දෙවිගේ පුත්‍රයායයි සාක්ෂි දැරුවෙමි” කියා පැවසූ දේ පුදුමයට කරුණක් නොවෙයි.—යොහන් 1:34.

පොළොවේ සිටියදී යේසුස් තමා දෙවිගේ පුත්‍රයා වන මෙසියස් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ. (මාක් 8:29, 30) තම ඉගැන්වීම්වලට සවන් දීමෙන්, තමා ජීවිතය ගත කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන්, බොහෝ ප්‍රාතිහාර්යයන් ප්‍රසිද්ධියේ සිදු කර ඔවුන්ට ඒවා දැක බලාගැනීමට සැලැස්වීමෙන් නිගමනයකට එළඹීමට යේසුස් ජනයාට ඉඩහැරියා. උදාහරණයකට ඔහු “අසාධ්‍ය තත්වයේ සිටි සියල්ලන්වද, විවිධාකාර රෝගවලින් හා වේදනාවලින් පීඩිතව සිටි අයවද” සුව කළා. (මතෙව් 4:24, 25; 7:28, 29; 12:15) අන්ධ, ගොළු, බිහිරි, කොර අය මෙන්ම රෝගීන් යේසුස් ළඟට ආ විට ඔහු ඔවුන්ව සුව කළා. මළවුන්ව පවා නැවත නැඟිට්ටෙව්වා. (මතෙව් 11:4-6) දරුණු කුණාටුවක් ඇති වූ අවස්ථාවකදී තම ගෝලයන්ගේ ඇස් පනා පිටම යේසුස් වතුර පිට පයින් ඇවිද කුණාටුව නැවැත්තුවා. මෙම බලය දුටු ගෝලයන් මෙසේ පැවසුවා. “සැබවින්ම ඔබ නම් දෙවිගේ පුත්‍රයාය.”—මතෙව් 14:24-33.

ඔබට දේවපුත්‍රයාගෙන් ආශීර්වාද රැසක්

දෙවි තම ඒකජාතක පුත්‍රයාගේ ස්වර්ගික ජීවිතය පොළොවේ ජීවිතයකට පරිවර්තනය කර, කෲර මරණයක් විඳින්න ඔහුට ඉඩහැරියේ මන්ද? “එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) “බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමට” යේසුස්ට හැකි වුණේ මිය යෑමෙන් පමණයි. (මතෙව් 20:28) ඇත්තෙන්ම ඉතිහාසයේ සිටි කවරෙකු හෝ යෙහෝවා හා ඔහුගේ ඒක ජාතක පුත්‍රයා පෙන්වූ ප්‍රේමය තරම් ප්‍රේමයක් මිනිස් වර්ගයාට පෙන්වා නැහැ.—රෝම 8:32.

යේසුස් මිය ගියායින් පසු දෙවි ඔහුව ‘නැවත නැඟිටුවීම මාර්ගයෙන්’ ස්වර්ගික ජීවිතයක් ලබා දුන්නා. මෙම විශේෂිත මෙන්ම බලවත් ක්‍රියාවෙන් නැවතත් යේසුස්ව “දෙවිගේ පුත්‍රයා ලෙස ප්‍රකාශ කරනු ලැබුවා.” (රෝම 1:4; 1 පේතෘස් 3:18) පසුව සියවස් 19ක් වැනි කාලයක් යේසුස් ඉවසිලිවන්තව සිය පියාගේ දකුණු පැත්තේ සිටීමෙන් අනතුරුව දෙවිගේ පාලන ක්‍රමයේ රජු ලෙස දෙවි ඔහුව පත් කළා. ස්වර්ගයේ පිහිටා තිබෙන එම අදෘශ්‍යමාන ආණ්ඩුව ළඟදීම මුළු පොළොවම පාලනය කරාවි.—ගීතාවලිය 2:7, 8; දානියෙල් 7:13, 14.

දෙවිගේ මෙම බලවත් පුත්‍රයාගේ අනුමැතිය දිනාගන්න ඔබ කැමතිද? එසේනම් ඔහුගේ ඉගැන්වීම් ගැන සෝදිසි කර ඒවා පිළිපදින්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි. යේසුස්ම මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) මේ අනුව බලද්දී දෙවිගේ පුත්‍රයා ගැන කෙනෙක් විශ්වාස කරන දේ ඇත්තෙන්ම වැදගත්, තීරණාත්මක දෙයක්!—යොහන් 3:18; 14:6; 1 තිමෝති 6:19.

මේ ගැන සිතුවාද?

▪ යේසුස් දෙවිගේ ඒකජාතක පුත්‍රයා වන්නේ කෙසේද?—යොහන් 1:3, 14; එළිදරව් 3:14

▪ යේසුස් දෙවිගේ පුත්‍රයා බව විශ්වාස කළ හැක්කේ මන්ද?—මතෙව් 3:16, 17

▪ යේසුස් දෙවිගේ පුත්‍රයා බව විශ්වාස කිරීමෙන් ඔබට කිනම් ප්‍රයෝජන ලැබෙයිද?—යොහන් 3:16; යොහන් 14:6; 17:3

[12, 13වන පිටුවේ පින්තූර]

යේසුස්ගේ නැණවත් ඉගැන්වීම් හා බලවත් ප්‍රාතිහාර්යයන් ඔහු සාමාන්‍ය මිනිසෙක් නොවන බව ඔප්පු කළා