දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

අලි සහ වලාකුළු

වලාකුළක බර කොතරම්ද? අමෙරිකානු ගුවන් විදුලි ප්‍රවෘත්ති සේවාව වාර්තා කරන්නේ එක කැටි වලාකුළක ජලය ටොන් 550ක් පමණ තිබිය හැකි බවයි. “එසේ නැතහොත් සරලව කියනවා නම් . . . , අලි රංචුවක් ගැන සිතන්න.” එවන් දෙයක් පැවසුවේ කාලගුණ විද්‍යාඥයෙකු වන පෙගී ලමොන්ය. අලියෙකුගේ බර ටොන් හයක් බව අප සිතුවහොත්, සාමාන්‍යයෙන් එක කැටි වලාකුළක බර අලි 100දෙනෙකු තරම්ය. වායුගෝලයේ ඉහළ නඟින උණුසුම් වාතය ආධාරයෙන් පාවෙන මෙම දැවැන්ත ජල කන්දරාව පවතින්නේ කුඩා ජල බින්දු ලෙසයි. පුළුන් බඳු කැටි වලාකුළක් හා සසඳද්දී කැටි වැහි වලාකුළක අලි 2,00,000කගේ තරම් බර ජල කන්දරාවක් තිබේ. චණ්ඩ මාරුතයකදී වලාකුළක බර කොතරම්ද? ලමොන්ගේ තක්සේරුවට අනුව චණ්ඩ මාරුතයක එක් වලාකුළක ගන මීටරයක තිබෙන ජලයේ බර සමස්ත චණ්ඩ මාරුතයේ වලාකුළුවල ප්‍රමාණයෙන් වැඩි කළ යුතුය. ප්‍රතිඵලය? අලි මිලියන හතළිහක් තරම් බරින් විශාල වලාකුළකි. ඉහත කී වාර්තාවෙහි මෙසේ සැල වේ. “මින් අදහස් වන්නේ එක චණ්ඩ මාරුතයකදී ඇද හැලෙන ජලය මිහිපිට සිටින සියලුම අලීන්ගේ බරට වඩා වැඩි බවයි. සමහරවිට මෙතෙක් ජීවත් වූ සියලුම අලින්ගේ බරට වඩා වැඩි විය හැකියි.”

ඔබ දත් මැදිය යුතු වේලාව

ඇඹුල් රස කෑම හා බීම ගැනීමෙන් පසුව ඔබේ දත් වහාම මැදීම දත්වල ඉනැමලයට හානිකර බව මෙක්සිකෝ නගරයේ පුවත්පතක් වන මිලෙන්යෝ සඳහන් කරයි. ගර්ටිංගන්හි පිහිටි ජර්මානු සරසවියේ කරන ලද අධ්‍යයනයක් ගැන වාර්තා කරමින් එම පුවත්පත අනතුරු ඇඟෙව්වේ ඇඹුල් රස කෑම ගැනීමෙන් “දත්වල ඉනැමලය තාවකාලිකව දුර්වල වන” බවයි. එමනිසා දවල් කෑම කෑ වහාම දත් මැදීම හානිකර විය හැකියි. වඩාත් හොඳ දේ නම්, “දත් ප්‍රකෘති තත්වයට පැමිණෙන තෙක් විනාඩි කිහිපයක් බලා සිටීමයි.”

වාසභූමිය අහිමි වූ සැණින් අලුත් කුරුලු විශේෂයක් සොයාගැනේ

වෙනිසුවේලාහි කාරනි නදියේ ජනශුන්‍ය දූපතක් වන කාරිසාල් දූපතේ අලුත් වේල්ලක් තැනීම සඳහා එහි වනාන්තර එළි පෙහෙළි කළ විට, මීට පෙර හඳුනා නොගත් කුරුලු විශේෂයක් සොයාගත් බව කරාකාස්හි පළ වන ඩේලි ජර්නල් පුවත්පතෙහි සඳහන් විය. වනාන්තර එළි පෙහෙළි කිරීමට පෙරාතුව එහි විසූ කුරුලු වර්ග ආරක්ෂා කිරීම සඳහා කළ ගවේෂණයේදී හෙළි වූයේ නිල් ලප සහිත කුඩා පිංචි වර්ගයක් එහි සිටි බවය. උන් වාසය කළේ එම දූපතේ ගන උණ පඳුරු අතරය. ජීව විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම දූපතට ආසන්නව පිහිටි වෙනත් වාසභූමිවල මෙම අලුතින් සොයාගත් කුරුලු විශේෂයේ තවත් සාමාජිකයන් සොයාගැනීමයි. ඒ අතරවාරයේදී “කාරිසාල් ඇටබුදින්නා සොයාගත්තද මෙම කුරුලු විශේෂය මෙතුවක් කල් සැඟවී සිටි වාසභූමිය අප දැන් විනාශ කර හමාරයි. එමනිසා එය දුකට කාරණයක් බව” රොබින් රෙස්ටොල් නමැති පර්යේෂකවරයා පවසයි.

කපන ලෑල්ල පිරිසිදුව තබාගන්න!

වඩාත් ආරක්ෂා සහිත වන්නේ ලීවලින් සෑදූ කපන ලෑල්ලක්ද? ප්ලාස්ටික් කපන ලෑල්ලක්ද? UC බර්ක්ලි වෙල්නස් ලෙටර් නමැති පුවත් සංග්‍රහය මෙසේ පවසයි. “කවර ලෑල්ලක් භාවිත කළත් කමක් නැහැ. වැදගත් දේ වන්නේ එය පිරිසිදුව තබාගැනීමයි. අමු මස් හා කුකුල් මස් කැපීම සඳහා ලීවලින් සෑදූ කපන ලෑල්ලක් හෝ ප්ලාස්ටික් එකක් භාවිත කළත්, භාවිතයෙන් පසු සබන් දමා උණු වතුරෙන් එය හොඳටම අතුල්ලා පිරිසිදු කරන්න.” ලෑල්ලේ ගැඹුරු පිහි පහරවල් ඇත්නම්, එසේ නැතහොත් එහි තෙල් තැවරී ඇත්නම්, එය හොඳට පිරිසිදු කිරීමට විශේෂ උත්සාහයක් දරන්න. ඉහත සඳහන් පුවත් සංග්‍රහයේ පවසන්නේ මෙලෙසයි. “වතුර ලීටරයකට බ්ලීච් මිලිලීටර් 5ක් දමා එයින් ලෑල්ල සේදීමෙන්ද කපන ලෑල්ල පිරිසිදු කරගත හැකිය.” දෑත් මෙන්ම පිහිද හොඳින් සෝදා පිසදමාගත යුතුය.

පෙර පාසැල් ළමුන්ට පරිගණක බලපාන අයුරු

“අතීතයේ කළාක් මෙන් දරුවන්ට සෙල්ලම් කරන්නට ප්‍රස්තාවක් දෙනවා වෙනුවට, එක දිගටම පරිගණක භාවිත කිරීමට ඉඩ දීමෙන්” පෙර පාසැල් ළමුන්ට එතරම් ප්‍රයෝජනයක් නොවන බව ඇතැම් පර්යේෂකයන්ගේ අදහසයි. ඔවුන් කියන්නේ “එසේ කිරීම හේතුවෙන් ළමයින් සමාජයෙන් වෙන් වී හුදෙකලාව සිටීමට පෙලඹෙන අතර, සිත එක්තැන් කර තබාගැනීම ගැටලුවක් වන බවය. අනික් අතට ඔවුන්ගේ නිර්මාණ ශක්තිය හීන වන බවත් මානසික අවපීඩනය හා කනස්සල්ල ඇති වන බවත්” සඳහන් වේ. මෙම වාර්තාව සඳහන් වූයේ වැන්කූවර් සන් නමැති පුවත්පතෙහිය. මනෝවිද්‍යාඥ ෆාර්නා ඔල්ෆ්මාන් පවසන පරිදි පරිගණකවලින් සිදු වන්නේ දරුවෙකු දකින සැබෑ ත්‍රිමාන රූපවලින් යුත් ලෝකය, තිරයක දකින ව්‍යාජ ලෝකයක් බවට පරිවර්තනය වීමය. දරුවන්ට “වචන, වර්ණ, හැඩ, අංක, හොඳ ගතිපැවතුම් හා දෛනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා දීමට දෙමාපියන් සමඟ සෙල්ලම් කිරීම හා චරිත මවන ක්‍රීඩා කිරීම” වැදගත් බව පර්යේෂකයෝ අවධාරණය කරති. උපන් දා සිට වයස අවුරුදු හතක් වන තුරු මෙලෙස සෙල්ලම් කිරීම ඉතාමත් වැදගත් බව මනෝවිද්‍යාඥ ජේන් හීලි පෙන්වා දෙයි. මෙලෙස සෙල්ලම් කිරීමෙන් දරුවන්ට අවධානය එක තැනක තබාගැනීමේ වැදගත්කම ඉගෙනගත හැක. අනික් අතට පරිගණක ආධාරයෙන් කරන සෙල්ලම්වල බලපෑම ඊට හාත්පසින්ම වෙනස් විය හැකිය.

රූපවාහිනිය නැරඹීම ‘ප්‍රබල ඇබ්බැහි වීමකි’

ස්පාඤ්ඤයේ පළ වන ලා බාන්ගාඩ්යා පුවත්පතෙහි මෙම වාර්තාව දක්නට ලැබේ. “දිනකට පැය දෙකකට වැඩියෙන් රූපවාහිනිය නරඹන දරුවෝ පාසැලේදී අඩුවෙන් දස්කම් දක්වති.” අධ්‍යාපනයක් ලබා දීම සඳහා රූපවාහිනිය බලගතු ආයුධයක් විය හැකි බව ළමා වෛද්‍ය ෆ්‍රාන්සිස්කෝ මූන්යොස් පෙන්නුම් කළත් රූපවාහිනිය නැරඹීමෙන් අහිතකර ප්‍රතිඵලද අත් වන බව ඔහු අවධාරණය කරයි. මූන්යොස් පවසන අන්දමට රූපවාහිනිය අධික ලෙස නරඹන අයගේ දුර්වල අධ්‍යාපන මට්ටමට හේතුව ඔවුන් “මේරූ වීමට ප්‍රමාද වීමත්, සංකල්ප ඔස්සේ කල්පනා කිරීමේ හැකියාවේ අඩුවක් ඔවුන් තුළ දක්නට ලැබෙන නිසාය. එමෙන්ම නහඹරයන් නරඹන ඇතැම් වැඩසටහන්, ප්‍රචාරක දැන්වීම් සහ පසුබිම් දර්ශන ඇතුළත් ගීත හා මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතය අතර පැහැදිලි සම්බන්ධයක්” ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. රූපවාහිනිය නැරඹීමෙන් දකින වැරදි දේවල් ක්‍රියාවට නැංවීම සඳහා සියලුම තරුණ තරුණියන් පියවර නොගන්නා බව පිළිගන්නා අතරේදී, ළමා වෛද්‍ය පවුලීනෝ කාස්ටෙල්ස් රූපවාහිනිය හඳුන්වන්නේ “ප්‍රබල ඇබ්බැහි වීමක්”ලෙසය. ඊට හේතුව “ඉතාමත් සියුමැලි අවදියක පසු වන ළපටි මනස්වලට එය දරුණු ලෙස බලපාන බැවිනි.”

ඝෝෂාකාරී පංති කාමර

සිසු සිසුවියන්ට පංති කාමරවලදී ඇහුම්කන් දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි ඩෙර් ෂ්පීගල් නමැති ජර්මන් සඟරාව සඳහන් කරයි. ඊට හේතුව පංති කාමර තුළ දෝංකාර හා වෙනත් ශබ්ද නිතරම ඇසෙන්නට ලැබීමය. මනෝවිද්‍යාඥ මාරියා ක්ලාටේ පවසන්නේ “දරුවන්ට යමක් තේරුම්ගැනීම අමාරු වන තරමට එය මනසෙහි තැන්පත් කරගැනීම අසීරු වන” බවයි. ජර්මනියේ ඇතැම් පාසැල්වල ශබ්ද මට්ටම ඩෙසිබෙල 70ත් 90ත් අතර වන බවට ගණනය කර තිබේ. “ගැඹුරින් කල්පනා කිරීමට සිදු වන රැකියා ස්ථානවල ශබ්ද මට්ටමේ සීමාව ඩෙසිබෙල 55ක්” බව ශබ්ද මට්ටම් ගැන පර්යේෂණ පවත්වන ගේහාර්ට් ටීස්ලර් පැහැදිලි කරයි. “කර්මාන්ත ශාලාවක ඩෙසිබෙල 85ක මට්ටමකට වැඩිය ශබ්ද පිට වේ නම්, කන්වලට යම් ආරක්ෂක වැස්මක් භාවිත කිරීම නිර්දේශ කෙරේ.” එපමණක්ද නොව, කතාබහ කරන විට, පුටු එහෙ මෙහෙ තල්ලු කරන විට හෝ කෙනෙකු කහින විට ඇති වන ශබ්දය කාමරයක් තුළ දෝංකාර දෙන වේලාව වැඩි වන තරමට, සිත එක්තැන් කරගැනීමද අසීරු වේ. එවැනි ශබ්ද හා දෝංකාර දීම් අවම කිරීමට ශබ්දය අවශෝෂණය කරගන්නා සිවිලිම් සවි කිරීම ප්‍රයෝජනවත්ය. එය ගුරුවරුන් හා සිසුන් යන දෙපාර්ශ්වයේම මානසික සුවයට බෙහෙවින් දායක වනු ඇත. ඔවුන්ට එතරම් කෑ ගසන්නට සිදු වන්නේ නැත. එනමුත් එවන් සිවිලිම් සවි කිරීමට තරම් වත්කමක් බොහෝ පාසැල්වලට නැත.

සුපුරුදු කඩ සාප්පු වෙනුවට සුපිරි වෙළඳසැල්

“නැඟෙනහිර හා දකුණුදිග අප්‍රිකාව පුරාම හතු පිපෙන්නාක් මෙන් ඇති වන සුපිරි වෙළඳසැල් හේතුවෙන් කුඩා පරිමාණයේ සාප්පුවලට ප්‍රබල තර්ජනයක් එල්ල වී තිබේ. ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය ප්‍රදේශවල ගොවීන්ගේ ජීවිකාවට ප්‍රබල ලෙස පහර වැදී ඇත.” මෙම අදහස් පළ වූයේ විසන්ෂාෆ්ට්-ඔන්ලයින් නමැති ජර්මානු විද්‍යා පුවත් සංග්‍රහයකය. කෙන්යාවේ සිල්ලර වෙළඳපොළේ අලෙවි වන ආහාර ද්‍රව්‍යවලින් සියයට 30ක්ම සුපිරි වෙළඳසැල් 200ක හා අධිසුපිරි වෙළඳ ගොඩනැඟිලි සංකීර්ණ 10ක අලෙවි වේ. එසේ අලෙවි වන ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය කුඩා සාප්පු 90,000ක අලෙවි වන ප්‍රමාණයට සමානය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ සේවය කරන කෝස්ටාස් ස්ටාමූලිස් පවසන්නේ නාගරීකරණයේ හා ගෝලීයකරණයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ “සංවර්ධිත රටවලට වඩා ප්‍රබල වෙනස්කම් අප්‍රිකාවේ ආහාර සැපයුම් පද්ධතිය තුළ සිදු වන” බවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදු විය හැකි විනාශකාරී බලපෑම් මඟහැරීමට නම් සමුපකාර පිහිටුවිය යුතුයයි ප්‍රවීණයන්ගේ මතයයි. එමගින් දේශීයව නිපදවූ ආහාර විකුණාගැනීමට හා සිදු වන වෙනස්කම්වලට මුහුණ දීම සඳහා අවශ්‍ය පුහුණුව ගොවීන් හට ලබා දීමට හැකි වේ.