නිවසේදී දේවභක්තිය විදහාපෙන්වන්න

නිවසේදී දේවභක්තිය විදහාපෙන්වන්න

දහහත්වන පරිච්ඡේදය

නිවසේදී දේවභක්තිය විදහාපෙන්වන්න

1. දෙවිගේ වචනයේ මඟ පෙන්වීම අදාළ කරගැනීම විවාහයට බලපා තිබෙන්නේ කෙසේද?

 විවාහයේ නිර්මාතෘ යෙහෝවාය. පවුලකට අවශ්‍ය හොඳම මඟ පෙන්වීම සපයන්නේ ඔහුගේ වචනයයි. එම මඟ පෙන්වීම අදාළ කරගැනීමේ ප්‍රතිඵලයක් හැටියට, බොහෝදෙනෙක් සාර්ථක විවාහ ජීවිත ගොඩනඟා ගෙන ඇත. විවාහ නොවී එකට ජීවත් වූ අය ඔවුන්ගේ විවාහ නීත්‍යනුකූල ලෙස ලියාපදිංචි කරගෙන තිබීම ප්‍රශංසනීයයි. තවත් සමහරු විවාහයෙන් පිටත පැවැත්වූ ලිංගික සම්බන්ධකම් පවා නවතා දමා සිටිත්. තම භාර්යාවන්ට හා දරුවන්ට අයුතු ලෙස සැලකූ සැහැසික මිනිසුන් කරුණාවන්තකම හා මුදු මොළොක්කම ඉගෙනගෙන තිබේ.

2. ක්‍රිස්තියානි පවුල් ජීවිතයට ඇතුළත් වන්නේ මොනවාද?

2 ක්‍රිස්තියානි පවුල් ජීවිතයට බොහෝ දේ අයත් වේ. විවාහයේ කල්පැවැත්ම අප සලකන අයුරු, පවුලේ වගකීම් ඉටු කිරීමට අප කරන දේ හා පවුලේ සාමාජිකයන් සමඟ කටයුතු කරන අයුරු වැනි කාරණා ඉන් සමහරකි. (එපීස 5:33–6:4) පවුල් ජීවිතය සම්බන්ධයෙන් බයිබලය කියන්නේ කුමක්දැයි අප දන්නවා විය හැකි නමුදු, එම උපදෙස් අදාළ කරගැනීම සෑහෙන අභියෝගයකි. යේසුස් විසින් හෙළා දුටු දෙවිගේ ආඥාවලින් පිට පනින කෙනෙකු මෙන් වීමට අප කිසිවෙකුට ඕනෑ නැත. එවැනි අය ආගමික භක්තිය පමණක් සෑහේයැයි වැරදිසහගත ලෙස තර්ක කළෝය. (මතෙව් 15:4-9) පවුල තුළ දේවභක්තිය පෙන්වන්නේ නැතුව නිකම්ම දේවභක්තියේ වේසය පමණක් දැරීමට අපට ඕනෑකමක් නැත. ඒ වෙනුවට, අපට වුවමනා කරන්නේ සැබෑ දේවභක්තිය විදහාපෑමටය. මන්ද එය “මහත් ලාභයක්” වන නිසාමය.—1 තිමෝති 5:4; 6:6; 2 තිමෝති 3:5.

විවාහය කොපමණ කල් පවතීද?

3. (අ) බොහෝ විවාහයන්වලට සිදු වන්නේ කුමක්ද? එහෙත්, අපේ අධිෂ්ඨානය කුමක් විය යුතුද? (ආ) මේ ඡේදය යටින් සඳහන් කර ඇති ප්‍රශ්නවලට ඔබේ බයිබලය පාවිච්චි කරමින් උත්තර දෙන්න.

3 විවාහ බන්ධන එන්ට එන්ටම දෙදරුම්කමින් පවතී. සමහර විවාහක යුවළයෝ අවුරුදු ගණනාවක් එකට සිට, වෙනත් කෙනෙකු හා විවාහ වීම සඳහා දික්කසාද වෙති. දැන් දැන් තරුණ යුවළයන් විවාහ වී ටික කාලයකින් වෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. අනිත් අය කුමක් කළත්, අපට වුවමනා වන්නේ යෙහෝවාව සතුටු කිරීමටය. විවාහයේ කල් පැවැත්ම ගැන දෙවිගේ වචනය කියන්නේ කුමක්දැයි මීළඟට සඳහන් කර ඇති ප්‍රශ්න හා බයිබල් පද ඇසුරින් සලකා බලමු.

 පුරුෂයෙක් හා ස්ත්‍රියක් විවාහ වූ විට, ඔවුන් කොතරම් කලක් එකට විසිය යුතුද? (මාර්ක් 10:6-9; රෝම 7:2, 3)

 යළි විවාහ වීමට දෙවි ඉදිරියේ වලංගුකමක් ඇති දික්කසාදය සඳහා තිබෙන එකම පදනම කුමක්ද? (මතෙව් 5:31, 32; 19:3-9)

 යෙහෝවාගේ වචනයෙන් අනුබල දී නැති දික්කසාද සම්බන්ධයෙන් ඔහුට හැඟෙන්නේ කෙසේද? (මලාකී 2:13-16)

 වෙන්වීම බයිබලයෙහි හඳුන්වා දෙන්නේ විවාහ ගැටලු විසඳාගැනීමට මඟක් හැටියටද? (1 කොරින්ති 7:10-13)

 වෙන්ව සිටිය හැක්කේ කිනම් තත්වයන් යටතේද? (ගීතාවලිය 11:5; ලූක් 4:8; 1 තිමෝති 5:8)

4. සමහර විවාහයන් බොහෝ කාලයක් පුරා පැවත තිබෙන්නේ මන්ද?

4 සමහර විවාහ සාර්ථකයි. ඒවා කල් පැවත ඇත. ඒ මන්ද? දෙපක්ෂයම විවාහ වීමට තරම් මේරුභාවයක් ලබන තුරු සිටීම සාර්ථකත්වය සඳහා වැදගත්ය. එහෙත්, යමෙකු තමන්ට ගැළපෙන අදහස් ඇති, කාරණා විවෘතව සාකච්ඡා කළ හැකි කලත්‍රයෙකුව සොයාගැනීමත් වැදගත්ය. කෙසේවෙතත්, යෙහෝවාට ප්‍රේම කරන, ගැටලු හැසිරවීමේ පදනම හැටියට ඔහුගේ වචනයට ගරු කරන කලත්‍රයෙකුව සොයාගැනීම ඊටත් වඩා වැදගත්ය. (ගීතාවලිය 119:97, 104; 2 තිමෝති 3:16) කාරණා කටයුතු රිසි ලෙස සිදු නොවුණොත්, ඕනෑම වෙලාවක වෙන් වෙන්ට හෝ දික්කසාද වෙන්ට හැකිය යන ආකල්පය එවැනි කෙනෙකු විසින් දරන්නේ නැත. ඔහු තම වගකීම් කර ඇරීම සඳහා ඔහුගේ කලත්‍රයාගේ අඩුපාඩුකම් නිදහසට කරුණක් කරගන්නේ නැත. ඒ වෙනුවට, ඔහු ගැටලුවලට මුහුණ දෙමින් වැඩදායක විසඳුම් සොයාගනියි.

5. (අ) යෙහෝවාට පක්ෂපාතකම දැක්වීම විවාහයේදී අදාළ වන්නේ කෙසේද? (ආ) විරෝධතා පැනනැඟුණු විටදී පවා, යෙහෝවාගේ ප්‍රමිති රැකගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

5 දුක් විඳින විට අප යෙහෝවාගේ මාර්ග අත්හරින බව සාතන් තරයේම කියා සිටියි. (යෝබ් 2:4, 5; හිතෝපදේශ 27:11) එහෙත්, තම නමස්කාරයට විරෝධතා ගෙනා කලත්‍රයන් නිසා දුක් විඳ ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බහුතරයක් තම විවාහ ගිවිසුම දිගටම රැකගෙන ඇත. ඔවුහු යෙහෝවාටත් ඔහුගේ ආඥාවලටත් දිගටම පක්ෂපාතව සිටිති. (මතෙව් 5:37) නොපසුබස්නා උත්සාහයෙන් යුතුව කටයුතු කළ බොහෝදෙනෙකු, වසර ගණනාවක් පුරා විරෝධතා ගෙනා තම කලත්‍රයන් සමඟ පසු කාලයේදී යෙහෝවාට හවුලේ නමස්කාර කිරීමේ ප්‍රීතිය භුක්ති විඳ ඇත. (1 පේතෘස් 3:1, 2) යෙහෝවාට සේවය කිරීම හේතුවෙන් තම කලත්‍රයා විසින් අතහැර දමා සිටින හෝ වෙනස් වන බවට කිසිම ලකුණක් නැති විරෝධය පාන කලත්‍රයන් සිටින ක්‍රිස්තියානීන් පවා, නිවස තුළදී දේවභක්තිය පෙන්වීමෙන් තමන් ආශීර්වාද ලබනු ඇති බව දනී.—ගීතාවලිය 55:22; 145:16.

එක් එක් කලත්‍රයා තමාගේ කොටස කිරීම

6. සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට නම්, ගරු කළ යුතු විධිවිධානය කුමක්ද?

6 එකට ජීවත් වීමට වඩා වැඩි යමක් සාර්ථක විවාහයකට අයත් වේ. මූලිකත්වය පිළිබඳව යෙහෝවාගේ විධිවිධානයට ගරු කිරීම සෑම කලත්‍රයෙකුගෙන්ම අපේක්ෂා කෙරෙන මූලිකම දෙයකි. පවුලේ විනයට හා සුරක්ෂිතභාවයට මෙය දායක වන්නේය. පළවෙනි කොරින්ති 11:3හි [NW] මෙසේ කියයි. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්, ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.”

7. පවුලේ මූලිකත්වය හෙබවිය යුත්තේ කෙසේද?

7 එම බයිබල් පදයේ මුලින්ම සඳහන් කරන්නේ කුමක්ද කියා ඔබ දුටුවාද? ඔව්, සෑම මිනිසෙකුටම තමන් විසින් යටත් විය යුතු හිසක් හෝ මූලිකයෙකු සිටී. ඔහු යේසුස්ය. මෙයින් අදහස් කරන්නේ, ස්වාමිපුරුෂයන් විසින් යේසුස්ගේ ගුණාංග පිළිබිඹු වන ආකාරයෙන් තම මූලිකත්වය හෙබවිය යුතුය යන්නයි. ක්‍රිස්තුස් යෙහෝවාට යටත්ය. සභාවට ගැඹුරු ලෙස ප්‍රේම කරන ඔහු එහි අවශ්‍යතා ඉටු කරන්නේය. (1 තිමෝති 3:15) ඔහු සභාව ‘උදෙසා තමන්වම පාවා දුන්නේය.’ යේසුස් උඩඟු, අනුකම්පා විරහිත කෙනෙකු නොව, “මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති” කෙනෙකි. ඔහුගේ මූලිකත්වය යටතට පැමිණෙන අය ‘තම ජීවිතවලට ප්‍රබෝධවත්බවක් එක් කරගනු’ ඇත. ස්වාමිපුරුෂයෙක් පවුල තුළ මේ ආකාරයට ක්‍රියා කරන විට, තමා ක්‍රිස්තුස්ට යටත් වන බව පෙන්වයි. එවිට ක්‍රිස්තියානි භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ සහයෝගයෙන් වැඩ කිරීම හා ඔහුගේ මූලිකත්වයට යටත් වීම වැඩදායක මෙන්ම ප්‍රබෝධවත් දෙයක් බව අද්දකියි.—එපීස 5:25-33; මතෙව් 11:28, 29, NW; හිතෝපදේශ 31:10, 28.

8. (අ) සමහර නිවෙස්වල ක්‍රිස්තියානි ක්‍රමයට දේවල් කිරීමෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල අත් නොවිය හැක්කේ මන්ද? (ආ) එවන් තත්වයන්ට මුහුණ දීමට අපටත් සිදු වුවහොත් කුමක් කළ යුතුද?

8 කෙසේවෙතත්, ගැටලු පැනනඟිනු ඇත. බයිබල් සත්‍යතා අදාළ කරගැනීමට පෙර පවුලේම වෙනත් අයගේ අණසකට නතුවීමට සිදුවීම නිසා ඔවුනොවුන් කෙරෙහි දැඩි නුරුස්නා ගතියක් ඇති වී තිබුණා වන්ට ඇත. එමනිසා කාරුණික ඉල්ලීම් හා ආදරයෙන් යමක් කරවාගැනීමට දරන වෑයම්ද නිෂ්ඵල විය හැකිය. “කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත්” පහ කරන්නැයි බයිබලය කියන බව අපි දනිමු. (එපීස 4:31) එහෙත්, යමෙකු පුරුදු වී සිටින්නේ කෑ කෝ ගසා කෝපයෙන් කටයුතු කිරීමට නම්, අපට කුමක් කළ හැකිද? යේසුස් තමන්ට තර්ජනය කළ හා වෛර කළ අය මෙන් ක්‍රියා කිරීමට ගියේ නැත. ඔහු තම පියා කෙරෙහි රඳා සිටියේය. (1 පේතෘස් 2:22, 23) එබැවින් නිවස තුළ මෙවැනි පරීක්ෂණාත්මක තත්වයන් පැනනැඟුණු විට, ලෝකයේ ක්‍රම අනුගමනය නොකර යෙහෝවාගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීම මගින් දේවභක්තිය ඇති බවට සාක්ෂි පෙන්වන්න.—හිතෝපදේශ 3:5-7.

9. වැරදි සොයනවා වෙනුවට බොහෝ ක්‍රිස්තියානි පුරුෂයන් ඉගෙනගෙන තිබෙන්නේ කුමක් කිරීමටද?

9 එක රැයකින් වෙනස්කම් වේයැයි බලාපොරොත්තු විය නොහැකිය. එහෙත්, ඉවසීමෙන් හා උනන්දුවෙන් යුතුව බයිබල් උපදෙස් අදාළ කරගතහොත් වෑයම නිසැකවම මල් ඵල ගැන්වෙනු ඇත. ක්‍රිස්තුස් සභාව සමඟ කටයුතු කළ ආකාරය අගය කරන්ට පටන්ගත් විට තමන්ගේ විවාහ ජීවිතයද සාර්ථක වන්ට පටන්ගත් බව බොහෝ ස්වාමිපුරුෂයන් තේරුම්ගෙන ඇත. එම සභාව සෑදී තිබෙන්නේ පරිපූර්ණ මිනිසුන්ගෙන් නොවේ. එහෙත්, යේසුස් එයට ප්‍රේම කරන්නේය. එය වෙනුවෙන් නිවැරදි ආදර්ශය තබන්නේය. එහි අභිවෘද්ධිය තකා ශුද්ධ ලියවිල්ලෙන් උපකාර සපයන්නේය. ඔහු සභාව වෙනුවෙන් තම ජීවිතය පවා පිදුවේය. (1 පේතෘස් 2:21) ඔහුගේ ආදර්ශය බොහෝ ක්‍රිස්තියානි පුරුෂයන්ට පවුල තුළ හොඳින් මූලිකත්වය ගැනීමට හා එහි දියුණුව උදෙසා ප්‍රේමනීය උපකාර සැපයීමටත් දිරිගැන්වීමක් වී තිබේ. වැරදි සෙවීමෙන් හා කතා නොකර සිටීමෙන් නොලැබෙන යහපත් ප්‍රතිඵල මෙමගින් ලැබී තිබේ.

10. (අ) ක්‍රිස්තියානියැයි කියාගන්නාවූ ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක් පවා පවුලේ අනිත් අයගේ ජීවිතය දුෂ්කර කරවිය හැක්කේ කිනම් අන්දමින්ද? (ආ) තත්වය හොඳ අතට හැරවීම සඳහා කුමක් කළ හැකිද?

10 පුරුෂයෙක් තම පවුලේ අයගේ චිත්තවේගීය අවශ්‍යතා ගැන සංවේදී නොවන්නේ නම් හෝ පවුලේ බයිබල් සාකච්ඡාව හා වෙනකුත් ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට මූලිකත්වය නොගන්නේ නම් තත්වය කුමක්ද? එසේත් නැතිනම්, භාර්යාව සහයෝගය දක්වන්නේ හා දේවයටත්කම පෙන්වන්නේ නැත්නම් කුමක් කිව හැකිද? ප්‍රශ්න ගැටලු ගැන ගෞරවාන්විත ලෙස පවුලක් වශයෙන් සාකච්ඡා කිරීමෙන් සමහරුන් හොඳ ප්‍රතිඵල අත් කරගෙන තිබේ. (උත්පත්ති 21:10-12; හිතෝපදේශ 15:22) බලාපොරොත්තු වූ තරම්ම ප්‍රතිඵල අත් නොවුණත්, පවුලේ සෙසු සාමාජිකයන් කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීමෙන්, අපගේ ජීවිතය තුළ දෙවිගේ ආත්මයේ ඵල නිපදවීමට ඉඩ කඩ සැලසේ. එසේ ගෙදර දොරේ වාතාවරණය දියුණු කරගැනීමට අප සැමදෙනාටම පෞද්ගලිකව දායක විය හැක. (ගලාති 5:22, 23) ප්‍රගතිය පැමිණෙන්නේ අනිත් පුද්ගලයා දේවල් කරන තුරු බලා සිටීමෙන් නොව, අප විසින්ද අපේ කොටස කිරීමෙනි. මෙසේ අපි දේවභක්තිය අපගේ ක්‍රියා තුළින් විදහාපාන බව පෙන්වන්නෙමු.—කොලොස්සි 3:18-21.

උත්තර ලබාගත හැකි තැන

11, 12. සාර්ථක පවුල් ජීවිතයක් සඳහා යෙහෝවා සපයා ඇති උපකාර මොනවාද?

11 මිනිස්සු පවුල් ගැටලු සඳහා උපදෙස් පතමින් විවිධ මූලාශ්‍ර වෙත යොමු වෙති. එහෙත්, හොඳම උපදෙස් අඩංගු වන්නේ දෙවිගේ වචනයේ බව අපි දනිමු. ඒවා අදාළ කරගැනීමට උපකාර කිරීම සඳහා දෙවි ඔහුගේ දෘශ්‍යමාන සංවිධානය දී තිබීම ගැනද අපි කෘතඥපූර්වක වන්නෙමු. එම උපකාරයෙන් ඔබ සම්පූර්ණ ප්‍රයෝජන ගන්නවාද?—ගීතාවලිය 119:129, 130; මීකා 4:2.

12 ක්‍රිස්තියානි රැස්වීම්වලට යනවාට අමතරව, පවුලේ බයිබල් පාඩම සඳහා ඔබ නිතිපතා වේලාවන් වෙන් කරගෙන තිබේද? එසේ කරන පවුල්වලට ඔවුන්ගේ නමස්කාරයේ එක්සත්කම කර ළඟා විය හැකිය. දෙවිගේ වචනය ඔවුන්ගේ තත්වයන්ට අදාළ කරගනිද්දී එම පවුල් ජීවිතයේ ගුණය ඉහළ නැංවෙයි.—ද්විතීය කථාව 11:18-21.

13. (අ) පවුලේ කාරණා ගැන අපට ප්‍රශ්න තිබේ නම්, බොහෝ අවස්ථාවලදී අවශ්‍ය උපකාරය සොයාගත හැක්කේ කොහෙන්ද? (ආ) අප ගන්නා සෑම තීරණයකදීම පිළිබිඹු විය යුත්තේ කුමක්ද?

13 පවුලේ කාරණා පිළිබඳව ඔබට ප්‍රශ්න තිබිය හැකිය. උදාහරණයක් හැටියට, උපත් පාලනය ගැන කුමක් කිව හැකිද? යම් තත්වයන් යටතේ, ගබ්සාව සාධාරණීකරණය කළ හැකිද? දරුවෙකු ආත්මික කාරණා කෙරෙහි දක්වන්නේ මද උනන්දුවක් නම්, පවුලේ නමස්කාරය සඳහා ඔහුව හවුල් කරගැනීමට කොතරම් වෑයමක් දැරිය යුතුද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත පොත් පත්වල මෙවැනි ප්‍රශ්න බොහොමයක් ගැන සාකච්ඡා කර තිබේ. පිළිතුරු සොයාගැනීම සඳහා සූචි ඇතුළු බයිබල් පාඩම් ආධාරක පාවිච්චි කිරීමට ඉගෙනගන්න. සූචියකින් යොමු දක්වන ප්‍රකාශන ඔබ ළඟ නැත්නම්, රාජ්‍ය ශාලාවේ තිබෙන පුස්තකාලය පරීක්ෂා කර බලන්න. එසේ නැත්නම් සමහරවිට මේ ප්‍රකාශන ඔබේ පරිගණකය ඔස්සේ ලබාගත හැකිය. මේරු ක්‍රිස්තියානි පුරුෂයන් හා ස්ත්‍රීන් සමඟ ඔබේ ප්‍රශ්න සාකච්ඡා කිරීමටත් ඔබට හැකිය. එහෙත්, සෑම ප්‍රශ්නයකටම සෑමවිටම ඔව් හෝ නැහැ වැනි උත්තරයක් අපේක්ෂා නොකරන්න. බොහෝ අවස්ථාවලදී, තනිව හෝ විවාහක යුවළක් හැටියට තීරණය ගත යුත්තේ ඔබ විසින්මය. එසේ කිරීමට සිදු වන විට, ඔබ ප්‍රසිද්ධියේ පමණක් නොව නිවසේදීද දේවභක්තිය ඔබේ ක්‍රියා තුළින් විදහන බව ඔබ ගන්නා තීරණවලින් පෙන්වන්න.—රෝම 14:19; එපීස 5:10.

පුනරීක්ෂණ සාකච්ඡාව

• තම කලත්‍රයාට විශ්වාසවන්තව සිටීම යෙහෝවාට පක්ෂපාතව සිටීම සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?

• පවුල් ගැටලු හේතුවෙන් පීඩනයකට ලක්ව සිටින විටදී, දෙවිට ප්‍රසන්න දේ කිරීමට අපට උදව් වනු ඇත්තේ කුමක්ද?

• පවුලේ අනිත් අය වැරදි කළත්, පවුල් වාතාවරණය වඩා යහපත් අතට හරවාගැනීම සඳහා අපට කුමක් කළ හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[155වන පිටුවේ පින්තූරය]

ස්වාමිපුරුෂයෙකුගේ මූලිකත්වයෙන් යේසුස්ගේ ගුණාංග පිළිබිඹු විය යුතුය

[157වන පිටුවේ පින්තූරය]

නිතිපතා කෙරෙන බයිබල් පාඩමක් තිබීම පවුලේ එක්සත්කමට දායක වේ