සිංහල
ඩැරල් ශාප්: ඉස්සරහට තිබ්බ අඩිය අපි කවදාවත් පස්සට ගත්තේ නෑ
https://cms-imgp.jw-cdn.org/img/p/502400103/univ/art/502400103_univ_sqr_xl.jpg
lfs 3 ලිපිය

ඩැරල් ශාප් | ජීවිත කතාව

ඉස්සරහට තිබ්බ අඩිය අපි කවදාවත් පස්සට ගත්තේ නෑ

ඉස්සරහට තිබ්බ අඩිය අපි කවදාවත් පස්සට ගත්තේ නෑ

“එයා නං ඕක මාසයක්වත් කරයි කියලා ෂුවර් නෑ.” මං සහායක පුරෝගාමි පටන්ගද්දී අපේ සභාවේ හිටපු සමහර සහෝදරයෝ මං ගැන කිව්වේ අන්න එහෙමයි. ඒ 1956දී. එතකොට මට අවුරුදු 16යි. ඊට අවුරුදු හතරකට කලින් තමයි මං බව්තීස්ම වුණේ. ඒකත් මගේ වුවමනාවකට නෙවෙයි, මට ගොඩක් හිතවත් සහෝදරයෙක් කියපු නිසා. ඒ කාලේ කෙනෙක් බව්තීස්ම වෙද්දී අද වගේ එයා බව්තීස්මෙට සුදුසුද නැද්ද කියලා වැඩිමහල්ලෝ හොයලා බලන සැලැස්මක් තිබුණේ නෑ.

 මගේ සභාවේ හිටපු සහෝදරයෝ මං ගැන අර වගේ දෙයක් කියපු එක පුදුමයකුත් නෙවෙයි. මොකද අවංකවම කිව්වොත් ඒ කාලේ මං දේවල් කළේ ඔහේ කරන්නන් වාලේ. සේවේ යනවා කියන්නේ මාව මරන්න ගෙනියනවා වගේ වැඩක්. ඉතින් මං ඉස්සර යාච්ඤා කරනවා “අනේ කොහොමහරි ඉරිදාට වහින්න” කියලා. මොකද එතකොට සේවේ යන්න ඕනෙ නෑනේ. අනික සේවේ ගියත් මං කවදාවත් බයිබල් පදයක් පෙන්නලා කෙනෙක්ට කතා කරන්නේ නෑ. නිකං ඔහේ සඟරාවක් දීලා එනවා. කොටින්ම කිව්වොත් රැස්වීමේදී බයිබලේ කියවන්න පැවරුමක් ලැබුණාමත් ඒක කරන්නේ අම්මා මොනා හරි අරන් දෙන්නම් කිව්වොත් විතරයි. ඒ කාලේ බයිබලේ කියවන්න මට කිසිම ආසාවක් තිබ්බේ නෑ. අනික සේවේ වැඩි කරගන්න ඉලක්කයක් තිබුණෙත් නෑ.

 සැරයක් වේල්ස්වල තුන්දින සමුළුවක් තිබුණා. ඒක තමයි මගේ ජීවිතේ වෙනස් කරපු සමුළුව. එක දේශනයකදී කථිකයෙක් හිතලා බලන්න ඕනෙ ප්‍රශ්න වගයක් ඇහුවා. එයා ඇහුවා “ඔයා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණ කෙනෙක්ද?” මං හිතින් කිව්වා ‘ඔව්.’ ඊටපස්සේ එයා ඇහුවා “ඔයා ඔයාගේ මුළු ශක්තියෙන්ම, හදවතින්ම යෙහෝවාට සේවේ කරන්න පොරොන්දු වෙලා තියෙනවාද?” මං කිව්වා ‘ඔව්.’ “අසනීපයක් නිසා නැත්නම් පවුලේ වගකීමක් නිසා ඔයාට පුරෝගාමි සේවේ පටන්ගන්න බැරිද?” “නෑ.” “පුරෝගාමි නොකර ඉන්න ඔයාට සාධාරණ හේතු මොනා හරි තියෙනවාද?” ‘නෑ.’ අන්තිමේදී ඒ කථිකයා මෙහෙම ඇහුවා. “ඒ අන්තිමට අහපු ප්‍රශ්නෙට ඔයාගේ උත්තරේ ‘නෑ’ නං ඇයි තාම ඔයා පුරෝගාමි සේවේ පටන්ගත්තේ නැත්තේ?”

 ඒක ඇහුවාම මට දැනුණේ මෙච්චර කල් නිදාගෙන හිටපු මාව කවුරු හරි කෙනෙක් ඇවිත් ඇහැරෙව්වා වගේ. ඉතින් මං හිතුවා ‘මං නිකං මගේ ජීවිතේ නාස්ති කරගන්නවනේ. මං කැපවීමට එකඟව ජීවත් වෙන්නේ නෑ. මං දෙවියන්ට සේවේ කරන්නේ මුළු හදවතින්ම නෙවෙයිනේ’ කියලා. මට හිතුණා ‘යෙහෝවා මං වෙනුවෙන් වුණ පොරොන්දු ඉෂ්ට කරන්න නම් මං මුලින්ම ඔහු වෙනුවෙන් වුණ පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෙ’ කියලා. ඉතින් 1956 ඔක්තෝබර්වල මං සහායක පුරෝගාමි පටන්ගත්තා.

1959දී මට විශේෂ පුරෝගාමියෙක් විදිහට ඇබර්ඩින් නගරයේ සේවේ කරන්න පැවරුමක් ලැබුණා

 ඊළඟ අවුරුද්දේ මං ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා. ඊටපස්සේ ප්‍රචාරකයන් 19ක් ඉන්න පුංචි සභාවකට මාරු වුණා. එහේ ගියත් හරි මට හැම සතියෙම දේශන දෙන්න වුණා. දේශනයක් තර්කානුකූලව ගොඩනඟන්න, ඒක අනිත් අයගේ හිතට වදින විදිහට දෙන්න එහේ හිටපු සහෝදරයෝ මට ගොඩක් ඉවසීමෙන් උදව් කළා. ඊට අවුරුදු දෙකකට පස්සේ ඒ කියන්නේ 1959දී මට විශේෂ පුරෝගාමියෙක් විදිහට පැවරුමක් ලැබුණා. ඒ උතුරු ස්කොට්ලන්තයේ කෙළවරට වෙන්න තිබුණ ඇබර්ඩින් නගරයට. කොහොමහරි ඊට මාස කීපයකට පස්සේ මට ලන්ඩන් බෙතෙල් එකේ සේවේ කරන්න එන්න කිව්වා. මං අවුරුදු හතක් එහේ මුද්‍රණ අංශයේ වැඩ කළා.

 බෙතෙල් සේවේට මං ආසයි. හැබැයි මගේ හිත වැඩිපුරම තිබ්බේ පුරෝගාමි සේවේට. ඒ කාලේ මං තරුණයි. හොඳට දුවලා පැනලා මහන්සි වෙලා වැඩ කරන්නත් පුළුවන්කම තිබුණා. ඉතින් මං යෙහෝවාට කිව්වා කැමති දිහාවකට මාව යවන්න කියලා. මිෂනාරි සේවේ කරන්න හිතාගෙන මං 1965 අප්‍රියෙල්වල ගිලියද් පාසැලට අයදුම් කළා.

 ඒ අවුරුද්දෙම මායි, මාත් එක්ක බෙතෙල් එකේ එක කාමරේ හිටපු සහෝදරයායි සමුළුවකට ජර්මනියේ බර්ලින්වලට ගියා. ඊට අවුරුදු කීපයකට කලින් හදපු බර්ලින් තාප්පේ බලන්නත් අපි දෙන්නාට ලොකු ආසාවක් තිබුණා.

 සමුළුව තිබුණ කාලේ අපිට එහේ සහෝදරයෝ එක්ක සේවේ යන්නත් ලැබුණා. මට වැඩ කරන්න ලැබුණේ සුසෑන් බ්‍රැන්ඩ්රොක් කියන සහෝදරියත් එක්ක. 1966දී අපි දෙන්නා කසාද බැන්දා. ඊට අවුරුදු දෙකකට පස්සේ අපිට 47වෙනි ගිලියද් පාසැලට ආරාධනාවක් ලැබුණා. ඒක අපි දෙන්නාට යෙහෝවාගෙන් ලැබුණ පුදුම ආශීර්වාදයක්! ඒ මාස පහ හරිම ඉක්මනට ගෙවිලා ගියා, අපිට දැනුණෙවත් නෑ. ගිලියද් පාසැලෙන් අපිට පැවරුම ලැබුණේ සයිරේවලට. සයිරේ කියන්නේ කොංගෝවලට ඉස්සර කියපු නම. ඒ රට ගැන අපි මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ. ඒ නිසා අපි දෙන්නාගේ හිතට පුදුම බයක් දැනුණේ. හැබැයි අපි තිබ්බ අඩිය ආපස්සට ගත්තේ නෑ. යෙහෝවා දෙවියන්ගේ අතට අපේ ජීවිත භාර දීලා අපි පැවරුම බාරගත්තා.

1969දී සුසෑන්ටයි, මටයි ගිලියද් පාසැලෙන් පැවරුම් ලැබුණා

 පැය ගාණක් ප්ලේන් එකෙන් ගිහිල්ලා අන්තිමේදී අපි පතල් කර්මාන්තයට ප්‍රසිද්ධ පුංචි නගරෙකට ගොඩ බැස්සා. ගියාට මොකෝ අපිව පිළිගන්න එක සහෝදරයෙක්වත් ගුවන් තොටුපොළට ඇවිත් හිටියේ නෑ. හැබැයි අපි පස්සේ තමයි දැනගත්තේ එවපු ටෙලිග්‍රෑම් එක එයාලට ලැබිලා තියෙන්නේ අපි ඇවිත් දවස් දෙකකට පස්සේ කියලා. ගුවන් තොටුපොළේදී එක නිලධාරියෙක් අපි ළඟට ඇවිල්ලා ප්‍රංශ භාෂාවෙන් මොන මොනවදෝ දෙඩෙව්වා. අපිට නං කිසිම දෙයක් තේරුණේ නෑ. ඊටපස්සේ එතන හිටපු ගෑනු කෙනෙක් කිව්වා ඒ නිලධාරියා කියන්නේ “ඔයාලව අත්අඩංගුවට ගන්නවා කියලා.”

 අපිව අත්අඩංගුවට ගත්ත නිලධාරියා එතන හිටපු මනුස්සයෙක්ට බල කළා අපිව එයාගේ කාර් එකේ දාගෙන යන්න කියලා. ඒක හද්ද පරණ, සීට් දෙකක් විතරක් තිබුණ ලගඩං වාහනයක්. අපි දෙන්නායි, ඒ නිලධාරියායි, වාහනේ අයිතිකාරයායි ඒ සීට් දෙකේ කොහොම ඉඳගෙන ගියාද කියලා අපිටම හිතාගන්න බෑ. ඒක හරියට කොමඩි ෆිල්ම් එකක් වගේ. ඒ කාර් එකේ එන්ජිම තිබුණේ පිටිපස්සේ. ඒ නිසා අපි අපේ බඩු ටික දැම්මේ කාර් එකේ ඉස්සරහා. වාහනය වළවල්වලින් යද්දී ඒ ගැස්සෙන ගැස්සිල්ලට බොනට් එකේ පියන ඇරෙන්නේ වැහෙන්නේ නිකං මාළුවෙක් චුයින්ගම් එකක් හපනවා වගේ.

 අපිව වාහනේට දාගත්තට මොකද මිෂනාරි නිවස තියෙන්නේ කොහෙද කියලා අපි දෙන්නාම දැනන් හිටියේ නෑ. හැබැයි ඒ නිලධාරියා දැනන් හිටියා. අපි එහෙට යද්දී කවුරුත් හිටියේ නෑ. ගේට්ටුවත් ලොක් කරලා. සමහර මිෂනාරිවරු ජාත්‍යන්තර සමුළුවකට ගිහින්. අනිත් අය නිවාඩු ගිහින්. ඊටපස්සේ ඉතින් අර කට්ට අව්වේ තැම්බී තැම්බී ඊළඟට මොනාද කරන්නේ කියලා අපි දහ අතේ කල්පනා කළා. ටික වෙලාවකින් එතනට සභාවේ සහෝදරයෙක් ආවා. අපිව දැකලා එයා කට පුරා හිනා වුණා. එයාව දැක්කාට පස්සේ තමයි අපේ ඇඟටත් ලේ ටිකක් ඉණුවේ. පස්සේ තමයි අපි දැනගත්තේ ඒ නිලධාරියා අපිව අත්අඩංගුවට අරන් තියෙන්නේ අපෙන් සල්ලි කඩාගන්න කියලා. කොහොමහරි අපේ සහෝදරයා එයාත් එක්ක කතා කරලා එයාව පිටත් කරලා යැව්වා. ඔන්න ඔය විදිහට තමයි අපි කොංගෝවල අපේ පැවරුම පටන්ගත්තේ.

1971දී සහෝදර නේතන් නෝර් කොංගෝවලට ආපු වෙලාවේ මිෂනාරි නිවස ඉස්සරහා ගත්ත පින්තූරයක්

බය වෙලා අත්හැරලා දැම්මේ නෑ

 කොංගෝවල ඉන්න සහෝදර සහෝදරියෝ අනිත් අයට කොච්චර ආදරේද, එයාලා කොච්චර දේවල් විඳදරාගන්නවාද කියලා තේරුම්ගන්න අපිට වැඩි කාලයක් ගියේ නෑ. එහේ අවුරුදු දහයක් තිස්සේ ගොඩක් කලබල ඇති වෙලා තිබුණා. පස්සේ 1971දී කොංගෝවල සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා. අපිට හිතාගන්න බැරි වුණා තහනම තියෙද්දී කොහොමද වැඩකටයුතු ඉස්සරහට කරගෙන යන්නේ කියලා.

 ඒ කාලේ සහෝදරයන්ට ගොඩක් පීඩා ආවා. හැබැයි එක් කෙනෙක්, දෙන්නෙක් ඇරෙන්න හැමෝම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ආණ්ඩුවෙන් හැමෝටම බල කළා තම තමන්ගේ පක්ෂයෙන් දෙන බැජ් එක ගහලා එයාලා දෙන හැඳුනුම්පත ළඟ තියාගන්න කියලා. ඒක අපේ සහෝදරයන්ට ලොකු පීඩනයක් වුණා. කවුරු හරි කෙනෙක් ඒ බැජ් එක ගහන් හිටියේ නැත්තං රජයෙන් දෙන කිසිම සේවාවක් එයාට ලැබුණේ නෑ. ඒ වගේම හමුදාවේ, පොලිසියේ හුඟක් අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නත් වුණා. අපේ සහෝදරයන්ගේ රස්සා නැති වුණා. දරුවන්ව ඉස්කෝලවලින් අස් කළා. සහෝදරයන් සිය ගාණක්ව හිරේ දැම්මා. ඒක ඇත්තටම ගොඩක් අමාරු කාලයක්! හැබැයි ඒ මොන දේ වුණත් සහෝදරයෝ බය වෙලා හැම දේම අත්හැරලා දැම්මේ නෑ. එයාලා දිගටම ධෛර්යවන්තව ශුභාරංචිය දේශනා කළා.

ගොඩක් විඳදරාගන්න වුණා

 කොංගෝවල මිෂනාරි කරන කාලේ අතරතුර අපි වැඩියෙන්ම කළේ චාරිකා සහ දිස්ත්‍රික් සේවය. ඒ වෙනුවෙන් අපි දෙන්නාට දුර ඈත පැතිවලට යන්න සිද්ධ වුණා. පිටිසර පැතිවල ඉද්දී අපිට මුහුණ දෙන්න වුණේ කවදාවත් හිතපු නැති අභියෝගවලට. එහේ ගෙවල් හරිම පුංචියි. සමහර වෙලාවට හොඳට දිග ඇරිලා නිදාගන්නවත් ඉඩක් නෑ. ඒ ගෙවල්වල උළුවහු තිබුණේ හුඟක් පාතින්. උළුවහුවල මගේ ඔළුව කීසැරයක් වැදිලා තියෙනවාද කියලා මටවත් මතක නෑ. අපිට ඇළදොළවල්වලින් වතුර ඇඳලා තමයි ඇඟපත හෝදගන්න වුණේ. රෑට පොතක් පතක් කියවගන්නෙත් ඉටිපන්දම් එළියෙන්. කෑම ඉව්වේ ගල් අඟුරුවලින්. හැබැයි කොච්චර දුෂ්කර වුණත් අපි ඒ ජීවිතේට හරිම ආසයි. මොකද ඒක තමයි නියම මිෂනාරි ජීවිතේ. ඒ වගේ අමාරුකම් තිබ්බේ නැත්නම් අපි දෙන්නාට කීයටවත් එහෙම දැනෙන එකක් නෑ. අපිට හිතුණේ නිකං අපි යුද්දෙක ඉස්සරහා පේළියේ ඉඳන් සටන් කරන සොල්දාදුවෝ දෙන්නෙක් වගේ කියලා.

 ඉස්සර නං අපිට අතට පයට හැම දේම තිබුණා. කෑමද වතුරද ඇඳුම් පැලඳුම්ද ඉන්න තැනක්ද ඒ කිසිම දේකින් අඩුවක් තිබ්බේ නෑ. (1 තිමෝති 6:8) හැබැයි එහෙට ගියාට පස්සේ තමයි තේරුණේ ඒ සහෝදරයෝ ඒ දේවල් ගන්න වුණත් කොච්චර සටනක් කරනවාද කියලා. ඒ මූලික දේවල් ටික තියෙනවා කියන්නේ එයාලා හරියට රජ සැප විඳිනවා වගේ තමයි. ඇත්තටම එයාලා තමයි අපිට ඉගැන්නුවේ තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙන්නේ කොහොමද කියලා. ඒ පාඩම අදටත් අපිට අමතක වෙලා නෑ.

 අපි මොන තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් අපිට පාවුල්ට තරම් නං ප්‍රශ්න තිබ්බේ නෑ. හැබැයි ඒ දුෂ්කරතා නිසා අපේ විශ්වාසය, අපි සේවේ කරන චේතනාව සෝදිසියට ලක් වුණා. ඒ කාලේ ඉතින් සේවේ කරන්න නිතරම වගේ එහෙට මෙහෙට යන්න වුණානේ. ඒ පාරවලුත් හොඳ, කාපට් පාරවල් නෙවෙයි. ඒවා හරිම අබලන්. සමහර තැන්වලට යන්න හරිහමන් පාරවල් තිබුණෙත් නෑ. වළවල් තියෙන පාරවල්වල වාහනෙන් ගැස්සි ගැස්සි යද්දී බාගෙට පණ යනවා. වාහනේ උඩ යද්දී අපිත් උඩ තමයි! සමහර දවස්වලට වාහනේ වැල්ලේ එරෙනවා. වැහි දවස්වලට මඩේ එරෙනවා. ඒක ගොඩ ගද්දී ඉතින් ඉතුරු පණ ටිකත් යනවා. මට මතකයි දවසක් අපි මුළු දවසම ගිහිල්ලත් අපිට යන්න පුළුවන් වුණේ කිලෝමීටර් 70ක් (සැතපුම් 43ක්) විතරයි. එදා වාහනේ දොළොස් වතාවක්ම එරිලා අපිට ඒකත් එක්ක ඔට්ටු වෙන්න වුණා.

අබලන් වුණ පාරවල් නිසා පැවරුම කරන එක ලේසි වුණේ නෑ

 කොංගෝවල ගෙවුණ ඒ ජීවිතේ ඇත්තටම අමාරු එකක්. හැබැයි අමාරු වෙන්න වෙන්න අපි දෙන්නා තව තවත් යෙහෝවාට ළං වුණා කියලා අපිට දැනුණා. ඊට කලින් කවදාවත් අපිට එහෙම දැනිලා තිබුණේ නෑ. ඇත්ත, අපිට බැහැ අපි මුහුණ දෙන තත්වයන් වෙනස් කරන්න. හැබැයි යෙහෝවාගේ උදව්වෙන් ඒ ඕනම දේකට සතුටින් මුහුණ දෙන්න පුළුවන් කියලා අපි අපේ ජීවිතෙන්ම අද්දැක්කා. මගේ නෝනා ගොඩක් කට්ට කාපු කෙනෙක් නෙවෙයි. එයා ගෙටම වෙලා හැදුණ කෙනෙක්. හැබැයි එයා කවදාවත් කන්කෙඳිරි ගෑවේ නෑ. ඒ කාලේ අපි දෙන්නා හිටියේ ඇත්තටම සතුටින්. ඒ වගේම මුහුණ දුන්න දේවල්වලින් අපි හුඟක් වටිනා පාඩම් අපේ ජීවිතේට එකතු කරගත්තා.

 කොංගෝවල ඉන්න කාලේ පුරාම කීප සැරයක්ම මාව අත්අඩංගුවට ගත්තා. මට මතකයි එක සැරයක් නීති විරෝධී දියමන්ති ජාවාරමකට හවුල් වුණා කියලත් මාව අල්ලන් ගියා. ඒ වගේ දේවල් වෙද්දී අපේ හිතට බයක් නොදැනුණාම නෙවෙයි. ඒත් එහෙම වුණාම අපි දෙන්නා මතක් කරගත්තා යෙහෝවාට ඕනෙ අපි ලවා ඔහුගේ අරමුණ ඉටු කරගන්න නම් ඔහු අනිවාර්යයෙන්ම අපිට උදව් කරයි කියලා. ඇත්තටම ඒ දේම තමයි යෙහෝවා කළේ.

ආපස්ස හැරිලා බැලුවේ නෑ

 1981දී කොංගෝවල කින්ෂාසා ශාඛා කාර්යාලයේ සේවේ කරන්න අපිට පැවරුමක් ලැබුණා. ඊට අවුරුද්දකට කලින් සාක්ෂිකරුවන්ට දාලා තිබ්බ තහනම අයින් කරලයි තිබුණේ. ඒ නිසා අපේ සහෝදරයෝ සැලසුම් කළා ශාඛා කාර්යාලය තව ලොකු කරන්න. ඒ වෙනුවෙන් අලුතින් ඉඩමකුත් අරගෙනයි තිබුණේ. හැබැයි හිතපු නැති විදිහට 1986 මාර්තුවල ආයෙත් සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා. ඉදි කිරීමේ කටයුතු එහෙම්මම ඇණහිටියා. ඊට ටික කාලෙකට පස්සේ ගොඩක් මිෂනාරිවරුන්ටත් ඒ රටෙන් යන්න සිද්ධ වුණා.

අපි අවුරුදු කීපයක්ම කොංගෝ ශාඛා කාර්යාලයේ සේවේ කළා

 හැබැයි අපි දෙන්නාට තව ටික කාලයක් එහේ ඉන්න පුළුවන් වුණා. ඒත් බලධාරීන් අපි ගැන ඇහැගහගෙනයි හිටියේ. ඉතින් අපිට පරෙස්සම් වෙන්න වුණා. හැබැයි කොච්චර පරෙස්සම් වුණත් දවසක් බයිබල් පාඩමක් කරකර ඉද්දී මාව අත්අඩංගුවට ගත්තා. ඊටපස්සේ එයාලා මාව බිංගෙයක් වගේ අඳුරු හිර කුටියකට ගිහින් දැම්මා. ඒකේ හිරකාරයෝ පිරිලා. ඒකේ තිබුණේ එකම එක කවුළුවක් විතරයි, ඒකත් හුඟක් උඩින්. ඉතින් ඒ කුටියට ඉර එළිය වැටෙන්නේ නැති තරම්. ඒකේ තිබුණ රස්නේ මට දරාගන්න බැරි වුණා. ඒ මදිවට ගන්දස්සාරේ බෑ. පෙළක් වෙලාවට හුස්ම ගන්නත් අමාරුයි. ඒ හිරකාරයෝ අතරේ ලොක්කෙක් හිටියා. එයාලා මාව ඒ ලොක්කා ගාවට ඇදගෙන ගියා. ඒ ලොක්කා මට කිව්වා “ජාතික ගීය කියන්න” කියලා. මං කිව්වා “මං ඒක දන්නේ නෑ” කියලා. ඊටපස්සේ එයා කිව්වා “හරි. එහෙනං ඔහේගේ රටේ ජාතික ගීය කියනවාකෝ” කියලා. මං කිව්වා “මං ඒක දන්නෙත් නෑ” කියලා. ඊටපස්සේ එයා මාව බිත්තිය ළඟ විනාඩි 45ක් හිට්ටවලා තිබ්බා. අන්තිමේදී කොහොමහරි සහෝදරයෝ ඇවිත් මාව හිරෙන් නිදහස් කරගත්තා.

1987දී සැම්බියා ශාඛා කාර්යාලයට ආවාට පස්සේ ගත්ත පින්තූරයක්

 තත්වේ හොඳ අතට හැරෙන පාටක් පේන්න තිබුණේ නෑ. ඒ නිසා අපිව සැම්බියාවට යැව්වා. කොංගෝවල දේශ සීමාව පහු කරගෙන සැම්බියාවට යද්දී ලොකු සහනයක් වගේම අපිට අමුතු දුකකුත් දැනුණා. මොකද ඒ වෙද්දී අපි කොංගෝවලට ඇවිල්ලා අවුරුදු 18ක් ගෙවිලයි තිබුණේ. එහේ හිටපු විශ්වාසවන්ත මිෂනාරිවරු එක්ක, සහෝදර සහෝදරියන් එක්ක අපි හරි හරියට සේවේ කළා. එයාලා අපේම පවුලේ අය වගේ. එහේ මොන තරම් අඩුපාඩුකම් තිබුණත් ආශීර්වාදවලින් නම් අපිට කිසිම අඩුවක් වුණේ නෑ. අපි දැනන් හිටියා යෙහෝවා දෙවියන් අපි ළඟින්ම ඉන්නවා කියලා. එහෙදී අපි දෙන්නා ස්වහීලී භාෂාවයි, ප්‍රංශ භාෂාවයි ඉගෙනගත්තා. සුසෑන් ලිංගාලා ටිකකුත් ඉගෙනගත්තා. එහේ සේවේ කරපු කාලේ මතක් වෙද්දිත් ආසයි. අපි පාඩම් කරපු අයගෙන් 130කට වඩා බව්තීස්ම වුණා. කොංගෝවල සාක්ෂිකරුවන්ගේ අනාගතයට අත්තිවාරමක් දාන්න පුළුවන් වුණ එක ගැන අපිට දැනෙන්නේ පුදුම සතුටක්! 1993දී කොංගෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා සාක්ෂිකරුවන්ට පනවලා තිබුණ තහනම අයින් කරන්න. දැන් එහේ ප්‍රචාරකයන් 2,40,000කටත් වඩා ඉන්නවා.

 සැම්බියාවට ආවාට පස්සේ එහේ අලුත් ශාඛා කාර්යාලයක් වගේම තවත් ගොඩනැඟිලි කීපයක්ම ඉදි කරන විදිහ දකින්න අපිට අවස්ථාව ලැබුණා. 1987දී අපි සැම්බියාවට එද්දී මෙහේ හිටියේ ප්‍රචාරකයන් ටිකදෙනයි. දැන් ඒ වගේ තුන් ගුණයකටත් වඩා ඉන්නවා.

සැම්බියා ශාඛා කාර්යාලය

 ‘මාසයක්වත් පුරෝගාමි කරන එකක් නෑ’ කියලා සමහර අය හිතපු ඒ තරුණ සහෝදරයාට අන්තිමට මොකද වුණේ? එයා තාමත් එයාගේ බිරිඳත් එක්ක හරිම සතුටින් දෙවියන්ට සේවේ කරනවා. යෙහෝවා දෙවියන්ගේ සහ මගේ ආදරණීය නෝනාගේ උදව්වෙන් මං මේ වෙද්දී අවුරුදු 65ක්ම පූර්ණකාලීන සේවේ කරලා තියෙනවා. ඒ කාලේ පුරාම යෙහෝවා දෙවියන්ගේ යහපත්කම මං රස බැලුවා.—ගීතාවලිය 34:8.

 අපි ලොකු ලොකු වැඩ කරපු විශේෂ අය නෙවෙයි. ඒ වෙනුවට අපි කළේ කැප වෙද්දී යෙහෝවාට වුණ පොරොන්දුව ඉටු කරන්න අපේ උපරිමය කරපු එක විතරයි. බය වෙලා යෙහෝවාව අත්හරින්නේ නැතුව අන්තිමය වෙන කල්ම විශ්වාසය රැකගන්න යෙහෝවා අපිට අනිවාර්යයෙන්ම උදව් කරයි කියලා අපිට සැකයක් නෑ!—හෙබ්‍රෙව් 10:39.

සුසෑනුයි, මායි දිගටම සැම්බියා ශාඛා කාර්යාලයේ සේවේ කරනවා