සෝදිසියෙන් ඉන්න!

ක්‍රිස්තියානියෙක් ජීවත් වෙන විදිහ - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ක්‍රිස්තියානියෙක් ජීවත් වෙන විදිහ - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 අද ලෝකේ ඉන්න හුඟදෙනෙක් හරිම ආඩම්බරෙන් කියනවා ‘අපිත් ක්‍රිස්තියානීන්’ කියලා. හැබැයි එයාලා අනිත් අයව රිද්දනවා. අනිත් අයට අකාරුණික විදිහට සලකනවා. හොර, බොරු, වංචා කරනවා. සමහරු තමන් ගැන විතරයි හිතන්නේ. තවත් අය තමන් විවාහ වෙලා ඉන්න කෙනාට ද්‍රෝහි වෙනවා. ඒ දේවල් දකිද්දී හුඟදෙනෙක් කල්පනා කරනවා ‘ඇත්තටම ක්‍රිස්තියානියෙක් කියන්නේ කාටද’ කියලා.

ඇත්තටම ක්‍රිස්තියානියෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ටද?

 ‘මං ක්‍රිස්තියානියෙක්’ කියලා කියන්න ලේසියි. හැබැයි ඒක කිව්වාට විතරක් මදි. කෙනෙක් වැඩ කරන විදිහෙනුත් ඒක පේන්න ඕනේ. බයිබලේ කියනවා ක්‍රිස්තියානියෙක් කියන්නේ යේසුස්ව අනුගමනය කරන කෙනෙක් කියලා. (ක්‍රියා 11:26) යේසුස් සැරයක් මෙහෙම කිව්වා. “ඔයාලා මගේ ඉගැන්වීම්වලට කීකරු වෙනවා නම් ඔයාලා ඇත්තටම මගේ ගෝලයන්.” (යොහන් 8:31) ඇත්ත, කිසි කෙනෙක්ට යේසුස් කියපු දේවල් සීයට සීයක්ම කරන්න බැහැ. හැබැයි ඇත්තටම යේසුස්ව අනුගමනය කරන ක්‍රිස්තියානියෙක් හැම දවසකම යේසුස් කියපු දේවල් පිළිපදින්න ලොකු උත්සාහයක් ගන්නවා. දැන් අපි ක්‍රිස්තියානියෙක් වැඩ කරන්න ඕනෙ විදිහ ගැන උදාහරණ බලමු.

හදවතින්ම ආදරේ කරනවා

 යේසුස් කියපු දේ: “මම දැන් ඔයාලට අලුත් ආඥාවක් දෙනවා. ඔයාලා එකිනෙකාට ආදරේ කරන්න. මම ඔයාලට ආදරේ කරපු විදිහටම ඔයාලත් එකිනෙකාට ආදරේ කරන්න. ඔයාලා අතරේ ආදරේ තියෙනවා නම් ඔයාලා මගේ ගෝලයන් කියලා හැමෝම දැනගනියි.”—යොහන් 13:34, 35.

 යේසුස් කරපු දේ: යේසුස් කෙනෙක්ගේ තත්වය, පසුබිම බලන්නේ නැතුව හැමෝටම එක වගේ ආදරේ කළා. ඔහු අසනීපෙන් හිටපු අයව සුව කළා. බඩගින්නේ හිටපු අයට කන්න දුන්නා. ඒ විතරක් නෙමෙයි හැමෝම වෙනුවෙන් ජීවිතෙත් දුන්නා.—මතෙව් 14:14-21; 20:28.

 ක්‍රිස්තියානියෙක් වැඩ කරන විදිහ: ක්‍රිස්තියානීන් අනිත් අය වෙනුවෙන් කැමැත්තෙන්ම දේවල් කරනවා. එයාලා එක් එක් කෙනාට එක එක විදිහට සලකන්නේ නැහැ. ඒ වගේම අනිත් අයට සමාව දෙනවා. එයාලා උදව් ඕනෙ අයට උදව් කරනවා වගේම අනිත් අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන්නත් ලෑස්තියි. ඒ විදිවලින් එයාලා පෙන්නනවා එයාලා අනිත් අයට හදවතින්ම ආදරේ කරනවා කියලා.—1 යොහන් 3:16.

අවංකව වැඩ කරනවා

 යේසුස් කියපු දේ: ‘සත්‍යය මමයි.’—යොහන් 14:6.

 යේසුස් කරපු දේ: යේසුස් කරපු කියපු හැම දේකදීම අවංකව වැඩ කළා. ඔහු කවදාවත් අනිත් අයව රවට්ටලා තමන්ට ඕනෙ දේ කරගන්න හැදුවේ නැහැ. බොරු උගන්නලා මිනිස්සුන්ව නොමඟ යැව්වෙත් නැහැ. කොයි වෙලාවෙත් අවංකව වැඩ කරපු කෙනෙක් විදිහටයි හැමෝම යේසුස්ව දැනන් හිටියේ. අඩුම තරමේ ප්‍රශ්නයක් වුණ වෙලාවක ඇඟ බේරගන්න හිතාගෙනවත් යේසුස් බොරුවක් කිව්වේ නැහැ.—මතෙව් 22:16; 26:63-67.

 ක්‍රිස්තියානියෙක් වැඩ කරන විදිහ: ක්‍රිස්තියානීන් බොරු කියන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වරද්දන්නේ නැතුව බදු ගෙවනවා. ඒ වගේම එයාලා රස්සාව කරන පැය ගාණ අවංකව වැඩ කරනවා. (රෝම 13:5-7; එෆීස 4:28) එයාලා මිනිස්සුන්ට වංචා කරන්නේ නැහැ. විභාගවලදී හොර කරන්නේ නැහැ. ජොබ් එකක් ගන්න තොරතුරු ඉදිරිපත් කරද්දී කාවත් නොමඟ යවන්නේ නැහැ. ඒ වගේම හොර ලේඛන හදන්නෙත් නැහැ.—හෙබ්‍රෙව් 13:18.

කරුණාවන්තව සලකනවා

 යේසුස් කියපු දේ: “දරාගන්න බැරි බරකින් පීඩා විඳින, වෙහෙසට පත් වෙලා ඉන්න හැමෝම, මං ළඟට එන්න. මම ඔයාලාගේ වෙහෙස නිවලා ඔයාලට අලුත් පණක් දෙන්නම්. මම හරිම කරුණාවන්ත, යටහත්පහත් කෙනෙක්. ඒ නිසා මම ඔයාලා පිට තියන වියගහ පිළි අරන් මගෙන් ඉගෙනගන්න. එතකොට ඔයාලට ලොකු සහනයක් ලැබෙයි. මොකද මං ඔයාලා පිට තියන වියගහ දරාගන්න පහසුයි. මං ඔයාලට උස්සගෙන යන්න දෙන බරත් සැහැල්ලුයි.”—මතෙව් 11:28-30.

 යේසුස් කරපු දේ: යේසුස් හරිම කරුණාවන්ත කෙනෙක්. ඒ නිසා ඔහු ළඟට ඕන කෙනෙක්ට යන්න පුළුවන් වුණා. යේසුස් පොඩි දරුවන්වත් ළඟට ගත්තා. මානසිකව වැටිලා හිටපු අයව ඔහු සැනසුවා. යේසුස් මිනිස්සුන්ට සැලකුවේ හරිම ගෞරවයෙන්.—මාක් 10:13-15; ලූක් 9:11.

 ක්‍රිස්තියානියෙක් වැඩ කරන විදිහ: ක්‍රිස්තියානීන් අනිත් අයගේ හිත් රිදෙන විදිහට කතා කරන්නෙවත් නරක වචන පාවිච්චි කරලා එයාලට බනින්නෙවත් අනිත් අයට නපුරු විදිහට සලකන්නෙවත් නැහැ. (එෆීස 4:29, 31, 32) ක්‍රිස්තියානීන් අනිත් අය ගැන හොයලා බලලා උදව් ඕනෙ අයට උදව් කරනවා.—ගලාති 6:10.

විවාහ වෙලා ඉන්න කෙනාට විශ්වාසවන්තව ඉන්නවා

 යේසුස් කියපු දේ: “දෙවියන් එකතු කරපු දෙයක් කිසිම මිනිසෙක් වෙන් නොකළ යුතුයි.”—මාක් 10:9.

 යේසුස් කරපු දේ: යේසුස් විවාහ වෙලා හිටපු කෙනෙක් නොවුණත් ඔහු විවාහ වෙලා හිටපු අයට කිව්වේ එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න කියලයි. (මතෙව් 19:9) විවාහයක් දෙදරලා යන්න හේතු වෙන දේවල් ගැන ඔහු අනතුරු ඇඟෙව්වා.—මතෙව් 5:28.

 ක්‍රිස්තියානියෙක් වැඩ කරන විදිහ: ක්‍රිස්තියානියෙක් තමන් විවාහ වෙලා ඉන්න කෙනාට අගෞරවයක් වෙන විදිහේ කිසිම දෙයක් කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 13:4) එයාලා එකිනෙකාට සලකන්නේ ආදරෙන්, ගෞරවයෙන්.—එෆීස 5:28, 33.