Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

කියවීමේ සහ ලිවීමේ හැකියාව දියුණු කරන්න අත්වැලක්

කියවීමේ සහ ලිවීමේ හැකියාව දියුණු කරන්න අත්වැලක්

බ්‍රසීලයේ ජීවත් වෙන ආගොස්ටීනෝ මෙහෙම කියනවා. “මං හැදුණේ වැඩුණේ ගොවිපොළක. ඒ කාලේ අපි හරි දුප්පත්. ඒ නිසා ඉස්කෝලෙන් අයින් වෙලා මට රස්සාවක් කරන්න සිද්ධ වුණා.” ආගොස්ටීනෝ කියවන්න, ලියන්න ඉගෙනගත්තේ අවුරුදු 33දී. එයා කියනවා “කියවන්න, ලියන්න ඉගෙනගත්තු නිසා මට මං ගැනම ලොකු විශ්වාසයක් ඇති වුණා” කියලා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමයි ආගොස්ටීනෝට කියවන්න, ලියන්න ඉගැන්නුවේ. පහුගිය අවුරුදු 70 පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිසුන් 2,50,000කටත් වඩා වැඩි පිරිසකට කියවන්න, ලියන්න උගන්වලා තියෙනවා. සාක්ෂිකරුවන් එහෙම කරන්නේ ඇයි? ඒකෙන් මිනිසුන් ලබලා තියෙන ප්‍රයෝජන මොනවාද?

කියවන්න, ලියන්න බැරි එක ඉගෙනගන්න බාධාවක්

1935 වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 115ක ශුභාරංචිය දේශනා කරමින් හිටියා. සේවේ යද්දී මිෂනාරිවරුන්ට විවිධ භාෂා කතා කරන අයව මුණගැහුණා. මිෂනාරිවරුන් ඒ අයට පණිවිඩය දෙන්න ඒ අයගේ භාෂාවලින්ම පටිගත කරපු බයිබල් දේශන වාදනය කළා. සමහර අවස්ථාවලදී ඒ අයට පුළුවන් වුණා මුණගැහුණු අයගේ භාෂාවලින් ප්‍රකාශන ලබා දෙන්න. බයිබලයේ තියෙන තොරතුරු දැනගන්න හුඟක් අය කැමති වුණත් කියවන්න, ලියන්න ඉගෙනගෙන තිබුණේ නැති එක එයාලට ලොකු බාධාවක් වුණා.

බයිබලය තනියෙන් කියවලා තේරුම්ගන්න බැරි නිසා සමහර අයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න එක ලොකු අභියෝගයක් වුණා. (යොෂුවා 1:8; ගීතාවලිය 1:2, 3) ඒ වගේම ක්‍රිස්තියානීන් හැටියට කරන්න තිබුණු වගකීම් ඉටු කරන එකත් එයාලට ලේසි වුණේ නැහැ. උදාහරණෙකට බයිබලයේ තියෙන දේවල් දරුවන්ට උගන්වන්න දෙමව්පියන්ට ලොකු වෙහෙසක් දරන්න වුණා. (ද්විතීය කතාව 6:6, 7) ඒ වගේම බයිබලය පාවිච්චි කරලා අනිත් අයට උගන්වන එක අලුතෙන් සාක්ෂිකරුවන් වුණු අයටත් හුඟක් අමාරු දෙයක් වුණා.

කියවීමේ සහ ලිවීමේ හැකියාව දියුණු කරන්න දියත් කළ වැඩසටහනක්

1940ත් 1950ත් අතර කාලයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරපු සහෝදරයන් දෙන්නෙක් වන නේතන් එච්. නෝර් සහ මිල්ටන් ජී. හෙන්ෂල් දේශනා සේවයේ වැඩකටයුතු සංවිධානය කරන්න විවිධ රටවලට ගියා. සාක්ෂරතාව අඩු රටවල තියෙන ශාඛා කාර්යාලවල සහෝදරයන්ට එයාලා දිරිගැන්නුවා කියවන්න, ලියන්න උදව් කරන පන්ති සභාවල පවත්වන්න කියලා.

1954දී සැම්බියාවේ චින්ගෝලාවල පවත්වපු සමුළුවකදී කියවන්න ඉගෙනගන්න උදව් වෙන ප්‍රකාශනයක් සින්යන්ජා භාෂාවෙන් මුදාහැරියා

පන්ති පවත්වන්නේ කොහොමද කියලා ශාඛා කාර්යාලවලින් සභාවලට මඟ පෙන්වීම් ලබා දුන්නා. සමහර රටවල රජය මගින් කියවීමේ සහ ලිවීමේ හැකියාව දියුණු කරන්න වැඩසටහන් දියත් කරලා තිබුණු නිසා සාක්ෂිකරුවන් ඒ දේවලිනුත් ප්‍රයෝජන ගත්තා. උදාහරණෙකට බ්‍රසීලයේ ශාඛා කාර්යාලය සාක්ෂරතා පන්ති පවත්වන්න ඕන කරන අච්චු පොත් සහ වෙනත් දේවල් රජයෙන් ලබාගෙන ඒවා සභාවලට යැව්වා. තවත් රටවල සහෝදරයන්ට සිද්ධ වුණා කියවීමේ සහ ලිවීමේ හැකියාව දියුණු කරන්න උදව් වෙන වැඩසටහන් අලුතින්ම සකස් කරන්න.

ගැහැනු, පිරිමි, බාල, මහලු ඕනම කෙනෙක්ට ඒ පන්තිවලට එන්න අවසර තිබුණා. ඒ පන්ති පවත්වන එකේ අරමුණ වුණේ කෙනෙක්ට තමන්ගේම මව් භාෂාවෙන් කියවන්න උගන්වන එකයි. ඒ නිසා සමහර අවස්ථාවලදී එකම සභාවේ භාෂා කිහිපයකින්ම පන්ති පවත්වන්න සිද්ධ වුණා.

ලැබිලා තියෙන ප්‍රයෝජන

ඒ පන්තිවලට සහභාගි වෙන එකෙන් ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද? මෙක්සිකෝවේ සාක්ෂිකරුවෙක් මෙහෙම කියනවා. “කියවන්න ඉගෙනගත්තු නිසා මට දැන් බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න පුළුවන්. ඒක මට ලොකු සතුටක්. ඒ විතරක් නෙවෙයි කියවන්න ඉගෙනගත්තු නිසා අහළ පහළ අයත් එක්කත් බයක් සැකක් නැතුව කතා කරන්න මට පුළුවන්. බයිබලයේ තියෙන පණිවිඩය ගැන හුඟදෙනෙක්ට කියලා දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.”

ලැබුණු තවත් ප්‍රයෝජනයක් ගැන බුරුන්ඩිවල ජීවත් වෙන අයිසැක් මෙහෙම කියනවා. “කියවන්න, ලියන්න ඉගෙනගත්තු එක ඉදි කිරීම් ක්ෂේත්‍රය ගැන හොඳ දැනුමක් ලබාගන්න මට උදව් වුණා. දැන් මං ඉදි කිරීම් ව්‍යාපෘති කීපයකම වැඩකටයුතු අධීක්ෂණය කරනවා.”

2014දී මලාවි රටේ ලිලොංවේවල නමස්කාර මධ්‍යස්ථානයක චිචේවා භාෂාව උගන්වමින්

පේරූවල ජීවත් වෙන හෙසූසා කියවන්න, ලියන්න උගන්වන පන්තියකට ගියේ අවුරුදු 49දී. එයා මෙහෙම කියනවා. “ඉස්සර කාලේ කඩේකට ගියාම බඩුවල නම්, ගණන් දැනගන්න එක මට ලොකු අභියෝගයක් වුණා. හැබැයි මං දැන් කියවන්න දන්න හින්දා ඕනම කඩේකට ගිහින් මට ඕන බඩු ටික ගන්න මට දැන් පුළුවන්.”

අවුරුදු ගාණක් තිස්සේ මිනිසුන්ට කියවන්න, ලියන්න උගන්වන්න දරන වෑයම ගැන හුඟක් රටවල නිලධාරීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අගය කරලා තියෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අදටත් කියවන්න, ලියන්න උගන්වන පන්ති පවත්වනවා. එයාලා ඉස්සරට වඩා දියුණු ක්‍රම සහ මෙවලම් දැන් පාවිච්චි කරනවා. මිනිසුන්ට කියවන්න, ලියන්න උගන්වන්න එහෙමත් නැත්නම් අඩු අධ්‍යාපනයක් ලබලා තියෙන අයට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භාෂා 720කින් සඟරා මිලියන 224ක් විතර මුද්‍රණය කරලා තියෙනවා. *

^ 11 ඡේ. උදාහරණෙකට ‘කියවීමට සහ ලිවීමට අවධානය දෙමු’ (සිංහලෙන් නැහැ) කියන සඟරාව භාෂා 123කිනුත් ‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාව භාෂා 610කිනුත් දැන් තියෙනවා.