Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

දැන් අනිත් අයටත් උදව් කරන්න මට පුළුවන්

දැන් අනිත් අයටත් උදව් කරන්න මට පුළුවන්
  • ඉපදුණ අවුරුද්ද: 1981

  • රට: ග්වාතමාලාව

  • අතීතයේදී: දුක්බර ළමා වියක්

මගේ අතීතය:

මම ඉපදුණේ ග්වාතමාලාවේ බටහිර කඳුකරයේ තියෙන ආකූල් කියන පුංචි නගරයේ. මගේ පවුලේ අය මායාවරුන්ගෙන් පැවත එන අයිසිල් ගෝත්‍රයටයි අයිති. පුංචි කාලෙදී ස්පාඤ්ඤ භාෂාවට අමතරව මගේ ගෝත්‍රයේ භාෂාව කතා කරන්නත් පුරුදු වුණා. අවුරුදු 36ක් තිස්සේ ග්වාතමාලාවේ සිවිල් යුද්ධ තිබුණ කාලෙදියි මං ඉපදුණේ. ඒ යුද්දෙන් අයිසිල් ගෝත්‍රිකයන් හුඟදෙනෙක් මැරුණා.

දවසක් අයියා අත් බෝම්බයක් එක්ක සෙල්ලම් කරකර හිටියා. හදිසියෙම ඒක පිපිරිලා අයියාගේ ජීවිතේ නැති වුණා. ඒ ළඟ හිටපු මගේ ඇස් දෙකත් අන්ධ වුණා. එතකොට අයියාට 7යි, මට 4යි. ඊටපස්සේ මට බ්‍රේල් උගන්වන්න ග්වාතමාලා නගරයේ අන්ධ විදුහලක මාව නැවැත්තුවා. එහෙදී ගුරුවරුන් මම අනිත් ළමයි එක්ක කතා කරන එක වැළැක්වුවා. ඒකට හේතුව මං දන්නේ නැහැ. ඒ ළමයිනුත් මාව කොන් කෙරුවා. නිතරම තනියෙන් හිටිය මම ඇඟිලි ගැණගැණ හිටියේ අවුරුද්දකට ලැබෙන මාස දෙකේ නිවාඩුවේදී මට ආදරය කරපු අම්මා ළඟට යන්නයි. හැබැයි මට අවුරුදු 10ක් වෙද්දී අම්මා මැරුණා. මට ආදරය කරන්න හිටිය එකම කෙනාත් නැති වුණාම දැනුණේ මුළු ලෝකෙම කඩා වැටුණා වගේ.

අවුරුදු 11දී ආපහු මං ගමට ආවාම මාව බලාගත්තේ අයියායි එයාගේ පවුලේ අයයි. එයා තාත්තාගේ කලින් කසාදේ දරුවෙක්. ඒ අය කන්න බොන්න දුන්නත් මගේ හිතට සහනයක් දෙන්න කාටවත් බැරි වුණා. “ඇයි මගේ අම්මා මැරුණේ, ඇයි මාව අන්ධ වුණේ” කියලා මම අඬමින් දෙවියන්ගෙන් අහලා තියෙනවා. මේ වගේ දේවල් වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත නිසා කියලයි අනිත් අය කිව්වේ. ඒ නිසා දෙවියන් හිතක් පපුවක් නැති අසාධාරණ කෙනෙක් කියලයි මම හිතුවේ. මම දිවි නහගන්න හිතුවත් ඒක කරගන්නවත් විදිහක් තිබුණේ නැහැ.

අන්ධ මම අන්ත අසරණ වුණා. ලිංගික අතවරයට ගොදුරු වුණ අවස්ථාත් තිබුණා. ඒත් ඒ අපරාධ ගැන කිව්වේ නැත්තේ ඒකෙන් වැඩක් වෙන එකක් නැහැ කියලා හිතුව නිසයි. කවුරුත් මා එක්ක වැඩිය කතා කළේ නැහැ. මමත් කා එක්කවත් කතා කළේ නැහැ. තනි වෙලා, කලකිරිලා හිටිය මම කාවවත් විශ්වාස කෙරුවේ නැහැ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

ක්‍රීඩා කරන්න වෙන් කරලා තිබුණ වෙලාවේ සාක්ෂිකාර යුවළක් ඉස්කෝලෙට ආවා මාව හම්බ වෙන්න. එතකොට මට අවුරුදු 13යි. මං ගැන අනුකම්පා කරපු ගුරුවරියක් තමයි එයාලට එන්න කියලා තිබුණේ. මැරුණ අයව නැවත නැඟිටුවනවා කියලත් අන්ධ අයට පෙනීම ලැබෙනවා කියලත් බයිබලයේ  තියෙන පොරොන්දුව ගැන එයාලා මට කිව්වා. (යෙසායා 35:5; යොහන් 5:28, 29) ඉගැන්නුව දේට ආස වුණත් කතාබහ කරන පුරුද්ද මට තිබුණේ නැති හින්දා එයාලා එක්ක කතා කරන්න බැරි වුණා. ඒත් එයාලා මගේ ගෙදරට ඇවිල්ලා කරුණාවෙන්, ඉවසීමෙන් බයිබලය ගැන ඉගැන්නුවා. ඒ දෙන්නාට කඳු පල්ලම් පහු කරලා කිලෝමීටර් 10කට වඩා දුරක් එන්න සිද්ධ වුණා.

අයියා මට කිව්වේ ඒ දෙන්නාට එච්චර සල්ලි නැතත් පිළිවෙළට ඇඳ පැළඳගෙන එනවා කියලයි. එයාලා මං ගැන සැලකිලිමත් වුණා. පුංචි පුංචි තෑගිත් අරගෙන ආවා. මෙච්චර කැප කිරීමක් කරන මේ අය සැබෑ ක්‍රිස්තියානීන් වෙන්නම ඕන කියලා මට හිතුණා.

බ්‍රේල් පොත් පත්වලින් බයිබලයේ තියෙන දේවල් මම ඉගෙනගත්තා. ඒවා තේරුම්ගන්න පුළුවන් වුණත් සමහර ඒවා පිළිගන්න එක අමාරු වුණා. මොකද මං හිටියේ මානසිකව තැළිලා පොඩි වෙලා. දෙවියන් මං ගැන සැලකිල්ලක් දක්වනවා කියලත් දෙවියන් වගේ අනිත් අයත් මං ගැන සැලකිලිමත් වෙනවා කියලත් විශ්වාස කරන්න ගොඩක් අමාරු වුණා. යෙහෝවා දෙවියන් තාවකාලිකව දුෂ්ට දේවලට ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලා තේරුම්ගත්තත් ඔහු ප්‍රේමණීය පියෙක් කියලා හිතන්න ලේසි වුණේ නැහැ. *

බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා මගේ ආකල්ප ටිකෙන් ටික හදාගන්න මට පුළුවන් වුණා. දුක් විඳින අය ගැන දෙවියන්ට ලොකු කැක්කුමක් තියෙනවා කියලා මං දැනගත්තා. අසාධාරණකම්වලට ලක් වුණ ඔහුගේ නමස්කාරකයන් ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. . . . ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.” (නික්මයාම 3:7) යෙහෝවා දෙවියන්ගේ ගුණාංග අගය කරන්න පටන්ගත්තාම මගේ ජීවිතය ඔහුට කැප කරන්න මං පෙලඹුණා. 1998දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට මම බව්තීස්ම වුණා.

මාව බලාගන්න පවුලේ සහෝදරයා එක්ක

බව්තීස්ම වෙලා අවුරුද්දකට විතර පස්සේ මම එස්කියුන්ටලා නගරයට කිට්ටුව අන්ධ අය වෙනුවෙන් තිබුණ පාඨමාලාවක් හැදෑරුවා. ගෙදර ඉඳලා මම රැස්වීම්වලට එන්නේ හුඟක් අමාරුවෙන් කියලා වැඩිමහල්ලෙක් දැනගත්තා. මොකද මගේ සභාවට මට යන්න තිබුණේ මගේ පාඩම කරන්න ආපු යුවළ කඳු පල්ලම් පහු කරගෙන ආපු පාරෙන්මයි. ඒ නිසා මාව තියාගන්නත් රැස්වීම්වලට එක්කරගෙන යන්නත් කැමති සාක්ෂිකාර පවුලක් ඒ වැඩිමහල්ලා මට හොයලා දුන්නා. එස්කියුන්ටලාවල ඉන්න එයාලා මේ වෙන කල් මාව බලාගන්නේ ඒගොල්ලන්ගෙම පවුලේ කෙනෙක් වගේ.

සභාවේ ඉන්න අය මට පෙන්නුව අවංක ආදරය ගැන හුඟක් උදාහරණ දෙන්න මට පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට මම ඉන්නේ සැබෑ ක්‍රිස්තියානීන් අතරේ කියන එක ඒ උදාහරණවලින් හොඳටම පැහැදිලියි.—යොහන් 13:34, 35.

මං දැන් අද්දකින ආශීර්වාද:

මගේ කිසි වටිනාකමක් නැහැ, මට බලාපොරොත්තුවක් නැහැ කියලා දැන් නම් මට හිතෙන්නේ නැහැ. මගේ ජීවිතේට දැන් හොඳ අරමුණක් තියෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන දේවසේවකයෙක් හැටියට සේවය කරන මම මගේ අබාධිත තත්වය ගැන හිතනවාට වඩා අනිත් අයට බයිබලයේ තියෙන වටිනා දේවල් උගන්වන්නයි සම්පූර්ණ අවධානය දෙන්නේ. සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන්නත් බයිබල් දේශන දෙන්නත් මට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි දහස් ගණන් රැස් වෙන සමුළුවල බයිබල් දේශන දෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.

මගේ බ්‍රේල් බයිබලය පාවිච්චි කරලා දේශනයක් දෙද්දී

2010දී එල් සැල්වදෝරයේ තිබුණ දේවසේවා පුහුණු පාසැලට (දැන් ඒක ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල) මම සහභාගි වුණා. සභාවේ වගකීම් හොඳින් දරන්න ඒකෙන් මට ලැබුණේ හොඳ පුහුණුවක්. ඕනම කෙනෙක්ව තමන්ගේ සේවයට පුහුණු කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. ඔහු මට හුඟක් ආදරෙයි, ඔහුට මාව හුඟක් වටිනවා කියලා මට තේරෙනවා.

යේසුස් කිව්වා “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා. (ක්‍රියා 20:35) අද මම ඉන්නේ හුඟක් සතුටින්. ඒ වගේ සතුටක් ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. දැන් අනිත් අයටත් උදව් කරන්න මට පුළුවන්.

^ 13 ඡේ. දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.