Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

ඕනෑවටත් වඩා දේවල් යෙහෝවා දෙවියන් මට දීලා තියෙනවා

ඕනෑවටත් වඩා දේවල් යෙහෝවා දෙවියන් මට දීලා තියෙනවා

මට ඒ වෙද්දී අවුරුදු 17යි. අනිත් යෞවනයන්ට වගේ ආසාවන්, බලාපොරොත්තු මටත් තිබුණා. යාළුවෝ එක්ක කාලේ ගත කරන්න, පීනන්න, ෆුට්බෝල් ගහන්න හුඟක් කැමතියි. ඒත් දවසක් මගේ ජීවිතේ කණපිට පෙරළුණා. මෝටර් සයිකලයේ යද්දී වුණ දරුණු අනතුරක් හින්දා මගේ බෙල්ලෙන් පහළ පණ නැතුව ගියා. ඒ මීට අවුරුදු 30කට කලින්. මගේ ජීවිතෙන් වැඩි කාලයක් ගත වුණේ ඇඳේ.

මං හිටියේ ස්පාඤ්ඤයේ අලිකන්ටේ නගරයේ. මගේ පවුලේ අය අතර කිසි බැඳීමක් තිබුණේ නැහැ. යෞවන කාලේ හිතෙන හිතෙන විදිහට මං රස්තියාදුවේ ගියා. අපේ ගෙවල් ළඟ තිබුණ ටයර් කඩේ වැඩ කරපු හොසේ මාරියා මගේ යාළුවෙක් වුණා. ගෙදර අයගෙන් ලැබුණේ නැති ආදරය, කරුණාව මට ලැබුණේ එයාගෙන්. එයා මට වඩා අවුරුදු 20ක් වැඩිමල්. මං කරදරෙන් හිටපු වෙලාවලදී මගේම සහෝදරයෙක් වගේ මට උදව් කරපු එයා ඇත්තටම හොඳ යාළුවෙක්.

හොසේ මාරියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන් අරන් තිබුණා. එයා බයිබලය ආසාවෙන් ඉගෙනගත්තා විතරක් නෙවෙයි මාත් එක්කත් ඒවා කිව්වා. මං එයාට හොඳින් ඇහුම්කන් දුන්නත් ඒ ගැන උනන්දුවක් දැක්වුවේ නැහැ. යෞවනයෙක් හැටියට මගේ ඔළුවේ තිබුණේ වෙන වෙන දේවල්. ඒත් ඔක්කොම වෙනස් වුණා.

රිය අනතුරකින් ජීවිතේම කණපිට

පාරෙදී වුණ ඒ අනතුර ගැන කතා කරන්න මම කැමති නැහැ. හැබැයි මං එක දෙයක් කියන්නම්. ඒක මගේ නොසැලකිල්ලෙන් කරගත්ත මෝඩ වැඩක්. එක දවසකින් මගේ මුළු ජීවිතේම කණපිට පෙරළුණා. ශක්තිමත් යෞවනයා හදිසියේම අබ්බගාතයෙක් වුණා. සෑහෙන කාලයක් ඉස්පිරිතාලේ හිටියා. ‘මෙහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවාද’ කියලා මම හිතන්න පටන්ගත්තා.

හොසේ මාරියා මාව බලන්න ආවා. එයා එයාගේ සභාවේ අනිත් සාක්ෂිකරුවන්ට මාව බලන්න එන්න ඉක්මනින්ම සැලැස්මක් යෙදුවා. ඒගොල්ලන් නිතරම ආපු එක මම හුඟක් අගය කළා. දැඩි සත්කාර ඒකකයෙන් එළියට ආව ගමන්ම මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මිනිසුන් දුක් විඳලා මැරිලා යන්නේ ඇයි, දුෂ්ට දේවල් වෙන්න දෙවියන් ඉඩ ඇරලා තියෙන්නේ ඇයි කියන එකට හේතුව දැනගන්න පුළුවන් වුණා. අනාගතය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැනත් දැනගත්තා. පරිපූර්ණ අයගෙන් මුළු ලෝකෙම පිරුණු දාට කවුරුත් “මා ලෙඩින්” කියලා කියන්නේ නැහැ. (යෙසායා 33:24) ලස්සන අනාගතයක් ගැන මට බලාපොරොත්තුවක් ඇති වුණේ මුල් වතාවටයි.

ඉස්පිරිතාලෙන් ආවාට පස්සේ බයිබලය ගැන ඉගෙනගන්න මං ගොඩක් උනන්දු වුණා. විශේෂ රෝද පුටුවක් පාවිච්චි කරලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත්, දේශනා සේවයෙත් ගියා. මං වෙනුවෙන්ම සැලසුම් කරපු වතුර ටැංකියක ගිල්වලා 1988 නොවැම්බර් 5වෙනිදා මාව බව්තීස්ම කළා. එතකොට මට වයස අවුරුදු 20යි. ජීවිතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න යෙහෝවා දෙවියන් මට  උදව් කළා. ඒත් ඒක අගය කරනවා කියලා පෙන්නන්න මට මොනවාද කරන්න පුළුවන් වුණේ?

ආබාධිත වුණත් පසුබට වුණේ නැහැ

මගේ තත්වය නිසා යෙහෝවා දෙවියන්ට සේවය කරන එකෙන් මාව වළක්වන්න ඉඩ නොදී දිගටම දියුණු වෙන්න මං අධිෂ්ඨාන කරගත්තා. (1 තිමෝති 4:15) මම බයිබලය ගැන ඉගෙනගන්නවාට මගේ පවුලේ අය අකමැති වුණ නිසා ඒක ලේසි වුණේ නැහැ. ඒත් සාක්ෂිකාර සහෝදර සහෝදරියන් මට උදව් කළා. ඒ අය මට එක රැස්වීමක්වත් දේශනා සේවයවත් අතපසු වෙන්න ඉඩ තිබ්බේ නැහැ.

කල් යද්දී සාත්තුවට කවුරු හරි මං ළඟින්ම ඉන්න අවශ්‍ය වුණ නිසා සෑහෙන වෑයමක් දැරුවට පස්සේ සාත්තු නිවාසයක් හොයාගත්තා. ඒක තියෙන්නේ අලිකන්ටේවලින් කිලෝමීටර් 160ක් උතුරෙන් තියෙන වැලෙන්සියා නගරයේ. ඒක මගේ ස්ථිර පදිංචි ස්ථානය වුණා.

ඇඳේම හිටියත් දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරන්නයි මට ඕනේ

ඇඳේම හිටියත් දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරන්නයි මට ඕනේ. ආබාධිත අයට දෙන විශ්‍රාම වැටුපයි, වෙනත් දීමනායි එකතු කරලා කොම්පියුටරයක් අරගෙන මගේ ඇඳ ළඟින්ම තියාගත්තා. ෆෝන් එකකුත් ගත්තා. හැමදාම උදේට මට සාත්තු කරන කෙනා ඒවා දාලා දෙනවා. මං කොම්පියුටරය පාවිච්චි කරන්නේ ජොයිස්ටික් එකෙන්. ඒක පාලනය කරන්නේ මගේ නිකටෙන්. කූරක් වගේ එකකුත් තියෙනවා. ඒක කටෙන් අල්ලගෙන තමයි යතුරු පුවරුවේ යතුරුත් ෆෝන් එකේ අංකත් ඔබන්නේ.

කූරක් වගේ එකකින් ෆෝන් එකේ අංක ඔබන්න මට පුළුවන්

තාක්ෂණය මට හුඟක් උදව් වෙලා තියෙනවා. jw.org වෙබ් අඩවියටත් වොච්ටවර් ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකටත් මට යන්න පුළුවන්. බයිබලයේ තොරතුරු ඇතුළත් පොත් පත් අධ්‍යයනය කරන්නත් පර්යේෂණය කරන්නත් හැම දවසෙම මං පැය ගාණක් ගත කරනවා. ඒ නිසා දෙවියන් ගැනත් ඔහුගේ පුදුමාකාර ගතිලක්ෂණ ගැනත් ඉගෙනගන්න පුළුවන් වෙලා තියෙනවා. මට තනිකමක් දැනෙන වෙලාවට, මං අධෛර්යය වෙලා ඉන්න වෙලාවට ඒකෙන් මිදෙන්න මේ වෙබ් අඩවිය උදව් වෙනවා.

මගේ කොම්පියුටරයෙන් සභා රැස්වීම්වලට ඇහුම්කන් දෙන්නත් සහභාගි වෙන්නත් මට පුළුවන්. අදහස් දක්වන්න, යාච්ඤා ඉදිරිපත් කරන්න, කතා දෙන්න, ‘මුරටැඹ’ පාඩමේ ලිපිය කියවන්න පුළුවන්. රැස්වීම තියෙන තැනට යන්න බැරි වුණත් ඒ විදිහට සහභාගි වෙන එකෙන් මමත් සභාවේ කෙනෙක් කියලා හැඟෙනවා.

ෆෝන් එකයි කොම්පියුටරයයි තියෙන හින්දා දේශනා සේවයේ හොඳින් හවුල් වෙන්න මට පුළුවන්. අනිත් සාක්ෂිකරුවන් වගේ ගෙයින් ගෙට යන්න බැරි වුණත් මගේ සේවය නැවතෙන්නේ නැහැ. මේ උපකරණ පාවිච්චි කරලා මගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන්න මට පුළුවන්. ෆෝන් එකෙන් කරන සාකච්ඡාවලින් මං සතුටක් ලබන හින්දා ෆෝන් එකෙන් සාක්ෂි දරන එක සංවිධානය කරන්න වැඩිමහල්ලන් මට පවරලා තියෙනවා. ගෙවල්වලටම කොටු වෙලා ඉන්න සභාවේ අයට සේවය කරන්න ඒක මට ලොකු උදව්වක්.

බයිබල් පාඩමක් කරනවා

 ඒත් මං කාලය ගත කරන්නේ කොම්පියුටරයයි ෆෝන් එකයි එක්ක විතරක් නෙවෙයි. මගේ යාළුවෝ හැමදාම මාව බලන්න එනවා. ඒ එද්දී බයිබලය ගැන උනන්දුවක් දක්වන නෑදෑයන්වයි, යාළුවන්වයි එක්කගෙන එනවා. හුඟක් වෙලාවට ඒ අය එක්ක සාකච්ඡාව පටන්ගන්න කියන්නේ මට. තවත් අවස්ථාවලදී මාව බලන්න පවුල් පිටින්ම ඇවිත් එයාලගේ පවුලේ නමස්කාරයට මාව හවුල් කරගන්නවා. පුංචි අය මගේ ඇඳ ළඟට ඇවිත් යෙහෝවා දෙවියන්ට ආදරේ ඇයි කියලා කියනවා අහන්න මං හරි ආසයි.

යාළුවන් එක්ක පවුලේ නමස්කාරයට හවුල් වෙනවා

කට්ටිය මාව බලන්න එනවාට මං හරි කැමතියි. හුඟක් වෙලාවට මගේ කාමරේ සෙනඟ පිරිලා. ළඟපාත අය වගේම දුර ඈත ඉන්න අයත් එනවා. මෙච්චර සැලකිල්ලක් දක්වන එක ගැන සාත්තු සේවකයන්ට හරි පුදුමයි. මේ වගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන්ව දුන්න එක ගැන යෙහෝවා දෙවියන්ට මං ස්තුති කරනවා.

සටන අත්හරින්නේ නැහැ

කවුරු හරි ‘ඔයාට කොහොමද’ කියලා මගෙන් ඇහුවාම මම කියන්නේ “හොඳින් ඉන්නවා, සටන අත්හැරලා නෑ” කියලයි. මොකද සටන් කරන්නේ මං විතරක් නෙවෙයි. මොන තත්වයේ හිටියත් හැම ක්‍රිස්තියානි කෙනෙක්ටම ‘විශ්වාසවන්තව කටයුතු කරන්න සටන් කරන්න’ වෙනවා. (1 තිමෝති 6:12) හැමදාම යාච්ඤා කරන එකත් අනාගත බලාපොරොත්තුව ගැන යෙහෝවා දෙවියන්ට ස්තුති කරන එකත් අවුරුදු ගාණක් තිස්සේ සටන් කරන්න මට උදව් වුණා. පුළුවන් තරම් දෙවියන්ට සේවය කරන්නයි මං උත්සාහ කරන්නේ. මං හැම තිස්සෙම හිතන්නේ අනාගත බලාපොරොත්තු ගැනයි.

හොසේ මාරියා

පාරාදීසයේදී දුවලා පැනලා සතුටින් ඉන්න එක ගැන මං නිතරම හිතනවා. පෝලියෝ හැදිලා ඉන්න හොසේගෙන් සමහර වෙලාවට මං විහිළුවට අහනවා “රේස් එකක් දිව්වොත් අපි දෙන්නාගෙන් කවුද දිනන්නේ” කියලා. එතකොට එයා කියනවා “කවුරු දින්නත් කමක් නෑ. හැබැයි වැදගත්ම දේ අපි පාරාදීසයට යන එකනේ. එතකොටනේ රේස් දුවන්න පුළුවන්” කියලා.

ආබාධිත තත්වය එක්ක කටයුතු කරන එක ලේසි නැහැ. යෞවන කාලේ කරපු මෝඩ වැඩේ හින්දයි මං අද දුක් විඳින්නේ. ඒ වුණත් යෙහෝවා දෙවියන් මාව අත්හැරියේ නැති එක ගැන ඔහුට ස්තුති කරනවා. ඔහු මට හොඳ බැඳීමක් තියෙන ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ඉන්න පවුලක්, ජීවත් වෙන්න ආසාවක්, අනිත් අයට උදව් කරන්න පුළුවන්කමක්, අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් දීලා තියෙනවා. මට හැඟෙන දේ එක වාක්‍යයකින් කියනවා නම්, ඕනෑවටත් වඩා දේවල් යෙහෝවා දෙවියන් මට දීලා තියෙනවා.