Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

මගේ ජීවිතේ වෙනස් කළේ ප්‍රශ්න තුනක්!

මගේ ජීවිතේ වෙනස් කළේ ප්‍රශ්න තුනක්!
  • ඉපදුණ අවුරුද්ද: 1949

  • රට: එක්සත් ජනපදය

  • අතීතයේදී: ජීවිතයේ අරමුණ හෙව්වා

මගේ අතීතය:

මම හැදුණේ වැඩුණේ ඇමරිකාවේ නිව් යෝර්ක්වල උතුරේ තියෙන පුංචි නගරයක. ඒ නගරයේ වැඩි හරියක් තිබුණේ සත්ව ගොවිපොළවල්. ඇත්තෙන්ම කියනවා නම් මිනිස්සුන්ට වඩා හිටියේ එළදෙන්නු!

අපේ නගරයේ තිබුණු එකම පල්ලියටයි අපි ගියේ. ඉරිදා ඉස්කෝලෙට යන්න කලින් සීයා මගේ සපත්තු මැදලා දුන්නා. ඊටපස්සේ ආච්චි දුන්න පුංචි බයිබලෙත් අරන් මම ඉරිදා ඉස්කෝලෙට ගියා. මහන්සි වෙලා වැඩ කරන්න, අනිත් අයට ගරු කරන්න, අසල්වැසියන්ට උදව් කරන්න, අපිට ලැබිලා තියෙන දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න මටයි නංගිටයි මල්ලිටයි පුරුදු කරලා තිබුණා.

මම ලොකු වුණාට පස්සේ ගෙදරින් ගියා. පාසැල් ගුරුවරියක් හැටියට සේවය කළා. දෙවියන් ගැනයි ජීවිතය ගැනයි මගේ හිතේ ගොඩක් ප්‍රශ්න ඇඳිලා තිබුණා. මගේ සමහර ශිෂ්‍යයන්ට දක්ෂතා තිබුණා. ඒත් සමහර අයට ඉගෙනගන්න හුඟක් මහන්සිවෙන්න වුණා. සමහරුන්ට ආබාධ තිබුණා. අනිත් අය හොඳට දුවලා පැනලා දේවල් කළා. මේක නම් හරිම අසාධාරණයි කියලා මට හිතුණා. දක්ෂතා තිබුණේ නැති සමහර ළමයින්ගේ දෙමව්පියන් කිව්වේ “මගේ ළමයාට එහෙම වුණේ දෙවියන්ගේ කැමැත්ත හින්දා” කියලයි. සමහර දරුවන්ට ආබාධිත වෙන්න දෙවියන් ඉඩහරින්නේ ඇයි කියලා මං කල්පනා කළා. ඒ දරුවන් කිසි වරදක් කරලා නෑනේ!

‘මගේ ජීවිතේ අර්ථවත් එකක් කරගන්නේ කොහොමද’ කියලාත් මම හිතුවා. මගේ ජීවිතේ ඔහේ ගෙවිලා යනවා කියලයි මට දැනුණේ. හොඳ පවුලක හැදිලා, හොඳ ඉස්කෝලවලට ගිහිල්ලා, ආස කරන හොඳ රස්සාවකුත් ලැබිලා තිබුණත් ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතද්දී හිස්බවක් දැනුණා. ඉතුරු කාලේ ඕන නම් විවාහ වෙලා, ලස්සන ගේක පදිංචි වෙලා, දරුමල්ලෝ ටිකක් හදාගෙන ඉඳියි. ඊටපස්සේ විශ්‍රාම යනකම් වැඩ කරලා, අන්තිමේදී මහලු නිවාසෙකට යයි. ඊට වඩා මගේ ජීවිතේට අරමුණක් තියෙනවාද කියලා දැනගන්න මට ලොකු වුවමනාවක් තිබුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

එක නිවාඩුවකදී මායි තවත් ගුරුවරියන් කීපදෙනෙකුයි යුරෝපයේ සංචාරයකට ගියා. අපි ලන්ඩන්වල, පැරිසියේ, වතිකානුවේ තිබුණ ප්‍රසිද්ධ දේවස්ථානවලටත් අනිත් පොඩි පොඩි පල්ලිවලටත් ගියා. ඒ හැම තැනකදීම මගේ හිතේ තිබුණ ප්‍රශ්න ඇහුවා. ආපහු නිව් යෝර්ක්වලට  ආවට පස්සේ එහේ තිබුණ පල්ලි කීපයකටත් ගියා. හැබැයි ඒ එක තැනකින්වත් හරි උත්තර හම්බ වුණේ නැහැ.

දවසක් අවුරුදු 12ක ශිෂ්‍යාවක් ඇවිත් මගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. මුලින්ම ඇහුවා එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් කියන එක මම දැනගෙන හිටියාද කියලා. මම ඔව් කිව්වා. ඊටපස්සේ ඇහුවා සාක්ෂිකරුවන් ගැන තවත් දැනගන්න කැමතිද කියලා. එතකොටත් මම ඔව් කිව්වා. ආපහු ඇහුවා මම ඉන්නේ කොහෙද කියලා. මං ඉන්න තැන කිව්වාම දැනගත්තා ඒ දැරියත් ඉන්නේ අපේ ගෙවල් කිට්ටුවම කියලා. ඒ පුංචි දැරියගේ ප්‍රශ්න තුනෙන් මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙයි කියලා නම් මං කවදාවත් හිතුවේ නැහැ.

ඊටපස්සේ එයා බයිසිකලේ පැදගෙන මගේ ගෙදරට ඇවිත් මට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න පටන්ගත්තා. ආගමික නායකයන්ගෙන් අහපු ප්‍රශ්න ටික එයාගෙනුත් මං ඇහුවා. හැබැයි එයා නම් පැහැදිලිව මගේම බයිබලයෙන් උත්තර දුන්නා. ඒක මගේ හිතට ගොඩක් ඇල්ලුවා. ඒ වගේ උත්තර කලින් නම් ලැබුණේ නැහැ.

බයිබලෙන් ඉගෙනගත්ත දේවල් නිසා මට සැනසීමක් ලැබුණා. 1 යොහන් 5:19 කියන්නේ ‘මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙනවා’ කියලා. ඒක කියෙව්වාම දුක් වේදනා ඇති කරන්නේ දෙවියන් නෙමෙයි සාතන් කියලත් දෙවියන් ළඟදිම දුක් වේදනා නැති කරනවා කියලත් දැනගත්තා. ඒක හිතට ලොකු සහනයක් වුණා. (එළිදරව් 21:3, 4) තර්කානුකූලව පැහැදිලි කරලා දුන්නාම බයිබලයේ තියෙන්නේ සත්‍යය කියලා මං දැනගත්තා. මට ඒ දේවල් කියලා දුන්නේ අවුරුදු 12ක දැරියක් වුණත් එයා උගන්වන්නේ සත්‍යය නම් ඒ සත්‍යය පිළිගන්න ඕන කියලා මං තේරුම්ගත්තා.

ඒත් සාක්ෂිකරුවන් උගන්වන දේවල් පිළිපදිනවාද කියලා බලන්නත් මට ඕන වුණා. ඒ දැරිය කිව්වේ සැබෑ ක්‍රිස්තියානීන් නම් ඉවසීම, කරුණාව වගේ ගතිගුණ තියෙන අය කියලයි. (ගලාති 5:22, 23) මට හිතුණා මේ දැරියත් ඒ වගේ කෙනෙක්ද කියලා බලන්න. ඒ නිසා දවසක් මං ඕනකමින්ම පරක්කු වෙලා ආවා. මං හිතුවා ‘එයා මං එනකම් බලාගෙන ඉඳියිද? නැත්නම් මං පරක්කු වුණ හින්දා කේන්ති යයිද’ කියලා. මං කාර් එක ඇතුළට ගන්නකොට එයා මගේ ගෙදර ඉස්සරහ පඩිය ළඟ බලාගෙන හිටියා. මාව දැකලා දුවලා ඇවිත් කිව්වා “මං බය වෙලා හිටියේ මොකක් හරි කරදරයක්වත් වෙලාද කියලා. මං හැදුවේ ගෙදර ගිහින් අම්මාට කියලා ඉස්පිරිතාලෙටයි පොලිසියටයි කතා කරලා බලන්න. මොකද කවදාවත් ටීචර් පාඩමට පරක්කු වෙලා ඇවිත් නෑනේ.”

තවත් දවසක අවුරුදු 12ක පොඩි ළමයෙක්ට උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් මං එයාගෙන් ඇහුවා. මට ඕන වුණේ එයා මොකක් හරි ගොතලා කියයිද කියලා බලන්න. ප්‍රශ්නේ ඇහුවාම එයා මං දිහා බලලා හොඳට හිතලා මෙහෙම කිව්වා. “ඒකට නම් උත්තර දෙන්න අමාරුයි. මං ඒක ලියාගෙන ගිහින් අම්මලාගෙන් අහගෙන එන්නම්.” ඊළඟ දවසේ පාඩමට ආවාම ප්‍රශ්නෙට උත්තරේ තියෙන ‘මුරටැඹ’ සඟරාවක් එයා මට දුන්නා. සාක්ෂිකරුවන්ගේ පොත් පත්වල මගේ ප්‍රශ්න හැම එකකටම උත්තර තිබුණා. ඒවාවල තිබුණේ බයිබලයේම තියෙන දේවල්. සාක්ෂිකරුවන් ගැන පැහැදීමක් ඇති වෙන්න ඒකත් හේතුවක් වුණා. ඒ දැරිය එක්ක දිගටම පාඩම කරලා ඊළඟ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් හැටියට මම බව්තීස්ම වුණා. *

මං දැන් අද්දකින ආශීර්වාද:

මගේ ප්‍රශ්නවලට සතුටුදායක උත්තර ලැබුණ නිසා අනිත් අයටත් ඒවා ගැන කියන්න මට ඕන වුණා. (මතෙව් 12:35) මුලින් නම් මගේ පවුලේ අය මට විරුද්ධ වුණත් පස්සේ ටික ටික වෙනස් වුණා. අම්මාගේ ජීවිතේ අන්තිම දවස්වල අම්මා බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒත් බව්තීස්ම වෙන්න නම් හම්බ වුණේ නැහැ. ඊට කලින් එයා මැරුණා. ඒත් එයා යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණය කරලා තිබුණා කියන එක නම් මට විශ්වාසයි.

1978දී මම ඉලායස් කාසාන් එක්ක විවාහ වුණා. එයාත් සාක්ෂිකරුවෙක්. 1981දී අපි දෙන්නාට එක්සත් ජනපදයේ බෙතෙල් පවුලේ සාමාජිකයන් වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. * ඒත් අපි එහේ අවුරුදු හතරක් සේවය කළාට පස්සේ ඉලායස් මැරුණා. වැන්දඹුවක් වුණ මම දිගටම බෙතෙල් නිවසේ සේවය කළා. ඒ පැවරුමට අවධානය දුන්න එක දුක තුනී කරගන්න උපකාරයක් වුණා.

2006දී මම රිචඩ් එල්ඩ්‍රඩ් එක්ක විවාහ වුණා. එයාත් බෙතෙල් සාමාජිකයෙක්. අපි දෙන්නාම තාමත් බෙතෙල් එකේ සේවය කරනවා. දෙවියන් ගැන සත්‍යය දැනගත්ත නිසා මගේ ප්‍රශ්නවලට උත්තර ලැබුණා විතරක් නෙමෙයි මගේ ජීවිතේට නියම අරමුණකුත් ලැබුණා. මේ ඔක්කොම ලැබුණේ ඒ පුංචි දැරිය අහපු ප්‍රශ්න තුන හින්දයි.

^ 16 ඡේ. ඇයත් ඇගේ අයියලා අක්කලාත් ගුරුවරුන් පස්දෙනෙකුට බයිබලය පාඩම් කරලා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න උදව් කරලා තියෙනවා.

^ 18 ඡේ. “බෙතෙල්” කියන්නේ “දෙවිගේ ගෘහයයි.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා තිබෙන ඔවුන්ගේ ශාඛා කාර්යාල හඳුන්වන්නේ ඒ නමින්. (උත්පත්ති 28:17, 19, පාදසටහන) බෙතෙල් පවුලේ සාමාජිකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපනික වැඩසටහනට සහයෝගය දෙන්න විවිධ සේවාවන් කරනවා.