Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන් | දේවරාජ්‍යය ගැන ඔබ උනන්දු විය යුතුද?

දේවරාජ්‍යය ගැන කියන්න යේසුස් උනන්දු වුණේ ඇයි?

දේවරාජ්‍යය ගැන කියන්න යේසුස් උනන්දු වුණේ ඇයි?

යේසුස් මේ පොළොවේ හිටපු කාලේ විවිධ විෂයන් ගැන කතා කළා. යාච්ඤා කරන විදිහ, දෙවියන්ගේ සිත සතුටු කරන විදිහ, සැබෑ සතුට හොයාගන්න පුළුවන් විදිහ වගේ දේවල් ඔහු ඉගැන්නුවා. (මතෙව් 6:5-13; මාක් 12:17; ලූක් 11:28) ඒත් වෙන කිසිම දේකට වඩා යේසුස් වැඩියෙන්ම කතා කළේ දේවරාජ්‍යය ගැනයි.—ලූක් 6:45.

කලින් ලිපියේ බලපු විදිහට යේසුස් ලොකු උනන්දුවක් දැක්වුවේ “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා” කරන්නයි. (ලූක් 8:1) ඔහු දේවරාජ්‍යය ගැන කියලා දෙන්න මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම සැතපුම් සිය ගාණක් ඇවිද්දා. සුවිශේෂවල සිය වාරයකට වඩා දේවරාජ්‍යය ගැන සඳහන් වෙනවා. ඒ අතරින් දේවරාජ්‍යය ගැන වැඩියෙන් සඳහන් කරලා තියෙන්නේ යේසුස්. ඒත් සුවිශේෂවල තියෙන්නේ යේසුස් දේවරාජ්‍යය ගැන කියපු වදන්වලින් ටිකක් විතරයි.—යොහන් 21:25.

යේසුස් මේ පොළොවේ ඉද්දී දේවරාජ්‍යය ගැන ඒ තරම් උනන්දුවක් දැක්වුවේ ඇයි? දේවරාජ්‍යයේ රජු හැටියට දෙවියන් තමාව පත් කරනවා කියලා යේසුස් දැනගෙන හිටියා. (යෙසායා 9:6; ලූක් 22:28-30) ඒත් ඒ ගැන ඔහු උනන්දු වුණේ බලය හෝ ගෞරවය ලැබෙන නිසා නෙමෙයි. (මතෙව් 11:29; මාක් 10:17, 18) යේසුස් දේවරාජ්‍යය ගැන උනන්දු වුණේ දේවරාජ්‍යයෙන් ඔහුගේ ප්‍රේමණීය දෙවි පියාණන්ටත් විශ්වාසවන්ත අනුගාමිකයන්ටත් ඉටු වෙන දේ නිසයි. ඔහු තවමත් දේවරාජ්‍යය සම්බන්ධ කාරණා ගැන උනන්දුවක් දක්වනවා. *

යේසුස්ගේ පියාණන්ට . . .

යේසුස්ට ඔහුගේ පියාණන් ගැන ලොකු ආදරයක් තියෙනවා. (හිතෝපදේශ 8:30; යොහන් 14:31) ප්‍රේමය, යුක්තිය, අනුකම්පාව වගේ පියාණන්ගේ ලස්සන ගුණාංග යේසුස් හුඟක් අගය කරනවා. (ද්විතීය කතාව 32:4; යෙසායා 49:15; 1 යොහන් 4:8) මිනිසුන් විඳින වේදනා ගැන දෙවියන් ගණන් ගන්නේ නැහැ කියලත් මිනිසුන් දුක් විඳිනවාට දෙවියන් කැමතියි කියලත් චෝදනා කරලා තියෙනවා. ඒ විදිහට තමන්ගේ පියාණන්ට බොරු චෝදනා කරනවාට යේසුස් කොහෙත්ම කැමති වුණේ නැහැ. “රාජ්‍යයේ ශුභාරංචිය” ගැන කියන්න යේසුස් දක්වපු උනන්දුවට ඒක එක හේතුවක්. (මතෙව් 4:23; 6:9, 10) ඒත් පියාණන්ට කරලා තියෙන චෝදනා බොරුයි කියලා දේවරාජ්‍යය මගින් ඔප්පු වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් ඔහුගේ ආණ්ඩුව මගින් මේ පොළොව පාලනය කරන කාලයේදී මිනිසුන්ට හුඟක් ආශීර්වාද ලබා දෙනවා. දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයගේ “ඇස්වලින්” ඔහු ‘සියලු කඳුළු පිස දමනවා.’ ඒ කියන්නේ දුකක් ඇති වෙන්න හේතු වෙන හැම දෙයක්ම නැති කරනවා. ඒ නිසා ‘මරණයත් වැලපීමත් හැඬීමත් වේදනාවත් නැති වෙනවා.’ (එළිදරව් 21:3, 4) ඒකෙන් පැහැදිලි වෙන්නේ දේවරාජ්‍යය පාලනය කරන කාලයේදී දෙවියන් මිනිසුන්ගේ හැම දුක් වේදනාවක්ම නැති කරනවා කියලයි. *

එහෙමනම් දේවරාජ්‍යය ගැන යේසුස් එච්චර උනන්දු  වුණ එක පුදුමයක් නෙමෙයි. ඔහුගේ පියාණන් මොන තරම් ගැඹුරු ස්නේහයක් තියෙන දයාන්විත දෙවි කෙනෙක්ද කියලත් ඔහුට මොන තරම් බලයක් තියෙනවද කියලත් දේවරාජ්‍යය පාලනය කරන කාලයේදී හැමෝම දැනගනියි. (යාකොබ් 5:11) ඒ කාලයේදී දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අය හුඟක් ආශීර්වාද ලබනවා කියලත් යේසුස් දැනගෙන හිටියා.

විශ්වාසවන්ත අනුගාමිකයන්ට . . .

යේසුස් පොළොවට එන්න කලින් හුඟ කාලයක් ස්වර්ගයේ ඔහුගේ පියාණන් එක්ක හිටියා. ඉර, හඳ, තරු සහ සතුන් ඇතුළු පොළොවේ හැම දේම නිර්මාණය කරන්න පියාණන් යේසුස්ව හවුල් කරගත්තා. (කොලොස්සි 1:15, 16) ඒ නිර්මාණ අතරින් යේසුස් “බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ට” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—හිතෝපදේශ 8:31.

මිනිසුන් ගැන යේසුස්ට මොන තරම් ප්‍රේමයක් තිබුණද කියලා ඔහු මේ පොළොවේ ඉන්නකොට පෙන්නුවා. ඔහු පොළොවට ආවේ ශුභාරංචිය අහන්න කැමති හැමෝටම “ශුභාරංචිය ප්‍රකාශ කරන්න” කියලා ඔහු කිව්වා. (ලූක් 4:18) යේසුස් මිනිසුන්ට ප්‍රේමය පෙන්නුවේ රාජ්‍යය ගැන ශුභාරංචිය කියන එකෙන් විතරක් නෙමෙයි. උදාහරණයකට එක අවස්ථාවකදී යේසුස් තමාගෙන් ඉගෙනගන්න ආපු අය ගැන “අනුකම්පාවක් ඇති වූ නිසා ඔවුන් අතරේ සිටි රෝගීන්ව සුව කළා.” (මතෙව් 14:14) තවත් දවසක, දරුණු රෝගයක් නිසා වේදනාවෙන් හිටපු කෙනෙක් යේසුස් කැමති නම් ඔහුව සුව කරන්න යේසුස්ට පුළුවන් කියලා කිව්වාම ඔහු ගැන අනුකම්පාවක් දැනිලා “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියලා යේසුස් කිව්වා. රෝගියා සුව වුණා. (ලූක් 5:12, 13) යේසුස්ගේ මිත්‍රයෙක් වුණ ලාසරුස් මැරුණු වෙලාවේ ලාසරුස්ගේ සහෝදරිය වන මරියා හඬා වැලපෙනවා දැක්කාම යේසුස්ට ‘මහත් ශෝකයක් හා වේදනාවක්’ දැනුණා. ඔහුගේ “දෑස් කඳුළින් පිරී ගියා.” (යොහන් 11:32-36) ඒ වෙලාවේ කවුරුත් හිතුවේ නැති දෙයක් ඔහු කළා. දවස් 4කට කලින් මිය ගිය ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වා.—යොහන් 11:38-44.

ඒ මොන දේ කළත් තමා මිනිසුන්ට දුන්න සහනය තාවකාලිකයි කියලා යේසුස් දැනගෙන හිටියා. ඔහු සුව කළ අය ආපහු අසනීප වෙනවා කියලත් ඔහු නැවත නැඟිටවපු අය ආපහු මැරෙනවා කියලත් ඔහු දැනගෙනයි හිටියේ. දුක් වේදනාවලට සම්පූර්ණ විසඳුමක් ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් කියලා ඔහු දැනගෙන හිටියා. ඒ නිසයි ආශ්චර්යයන් කරන්න මූලික අවධානය දෙනවා වෙනුවට උද්‍යෝගයෙන් “රාජ්‍යයේ ශුභාරංචිය” දේශනා කළේ. (මතෙව් 9:35) ඔහු කරපු ආශ්චර්යයන් කීපයෙන් පෙන්නුවේ දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී මුළු පොළොවෙම ඉන්න අය වෙනුවෙන් ඔහු කරන දේයි. ඒ කාලයේ ඉටු වෙන පොරොන්දු කීපයක් බලමු.

  • ලෙඩ රෝග නැහැ.

    “ඒ කාලයේදී අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය. කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.” ඒ වගේම “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24; 35:5, 6.

  • මරණය නැහැ.

    “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

    “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.”—යෙසායා 25:8.

  • මැරුණු අය ආපහු ජීවත් වෙනවා.

    “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී . . . නැවත නැඟිටීමක් ලබනවා.”—යොහන් 5:28, 29.

    ‘නැවත නැඟිටීමක් තියෙනවා.’—ක්‍රියා 24:15.

  • නිවාස හා රැකියා ප්‍රශ්න නැහැ.

    “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. . . . මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.”—යෙසායා 65:21, 22.

  • යුද්ධ නැහැ.

    “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.”—ගීතාවලිය 46:9.

    “එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—යෙසායා 2:4.

  • ආහාර හිඟයක් නැහැ.

    “අපේ දෙවි අපට ආශීර්වාද කරන්නේය. එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.”—ගීතාවලිය 67:6.

    “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

  • දිලිඳුකම නැහැ.

    “දිලිඳුන්ව සදහටම අමතක කරනු නොලැබේ.”—ගීතාවලිය 9:18.

    “උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය.”—ගීතාවලිය 72:12, 13.

දේවරාජ්‍යය යටතේ ඉටු වෙන ඒ පොරොන්දු ගැන හිතද්දී යේසුස් දේවරාජ්‍යය ගැන උනන්දුවක් දැක්වුවේ ඇයි කියලා තේරුම්ගන්න පුළුවන් නේද? දේවරාජ්‍යය ගැන අහන්න කැමති හැමෝටම යේසුස් ඒ ගැන කිව්වා. එහෙම කළේ හැම ප්‍රශ්නෙකටම විසඳුම ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් කියලා දැනගෙන හිටිය නිසයි.

ඒ පොරොන්දු ඉටු වෙනවා දකින්න ඔයා ආසද? ඔයාට ඒ ගැන ඉගෙනගන්න පුළුවන් කොහොමද? දේවරාජ්‍යයේ ආශීර්වාද භුක්ති විඳින්න ඔයා මොනවද කරන්න ඕනේ? ඊළඟ ලිපියෙන් ඒ ගැන දැනගන්න පුළුවන්.

^ 5 ඡේ. ඔහු දැනටත් ස්වර්ගයේ ජීවමානව ඉන්නවා.—ලූක් 24:51.

^ 8 ඡේ. දෙවියන් යම් කාලෙකට දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.