Skip to content

පටුනට යන්න

 ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? (1වෙනි කොටස)

දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? (1වෙනි කොටස)

පහත සඳහන් වෙන්නේ ජෝන් කියන පුද්ගලයා හා මයිකල් කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවා අතර ඇති වුණු සංවාදයක්. මේ සංවාදය සිදු වෙන්නේ ජෝන්ගේ නිවසෙදියි.

අවබෝධය ලබාගන්න ‘දිගටම සොයන්න’

මයිකල්: ඔයා වගේ බයිබලය ගැන උනන්දුවක් තියෙන කෙනෙක් එක්ක දිගටම සාකච්ඡා කරන්න ලැබුණු එක ගැන මං සතුටු වෙනවා. * මං ගිය සැරේ ආපු වෙලේ ඔයා අහපු ප්‍රශ්නේ මතකද? දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ 1914 කියලා සාක්ෂිකරුවන් හරියටම කියන්නේ කොහොමද? ඒක නේද ප්‍රශ්නේ?

ජෝන්: ඔව්, මම ඔයාලගේ සඟරාවක් කියෙව්වා. ඒකේ තිබුණා දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ 1914 කියලා. එහෙම කියන්නේ කොහොමද? ඔයාලා විශ්වාස කරන හැම එකක්ම බයිබලයට එකඟයි කියලානේ කියන්නේ.

මයිකල්: ඔව්, අපි විශ්වාස කරන්නේ බයිබලේ තියෙන දේ විතරයි.

ජෝන්: මම මුළු බයිබලයම කියවලා තියෙනවා. ඒත් 1914 කියලා ඒකේ කොහේවත් නැහැ. මම ඉන්ටර්නෙට් එකටත් ගිහිල්ලා බැලුවා බයිබලයේ 1914 තියෙනවාද කියලා. ඒකෙත් නැහැ.

මයිකල්: ඔයාට බයිබලය ගැන ලොකු උනන්දුවක් තියෙනවා. ඔයා මුළු බයිබලයම කියෙව්වෙත් ඒ නිසානේ.

ජෝන්: ඔව්.

මයිකල්: ඔයා කරන තව හොඳ දෙයක් තමයි ජෝන්, ඔයාට ප්‍රශ්නයක් ආවම ඒකට උත්තර බයිබලයෙන්ම හොයන්න උනන්දු වෙන එක. ඒක ගොඩක් වටිනවා. ඔයා කරලා තියෙන්නේ බයිබලේ කරන්න කියලා තියෙන දේමයි. ඒකේ කියලා තියෙන්නේ අවබෝධය ලබාගන්න ‘දිගටම සොයන්න’ කියලයි. *

ජෝන්: මං බයිබලය ගැන ඉගෙනගන්න ආසයි. අපි පාඩම් කරන පොතේ 1914 ගැන තියෙන තොරතුරු ටිකත් කියෙව්වා. ඒකේ තිබුණේ රජ කෙනෙක් දැකපු හීනයක් ගැන. එයා දැක්ක ලොකු ගහක් ගැනයි ඒක කපලා දැම්මට පස්සේ ආයෙත් වැවුණා කියලයි ඒකේ තිබුණා. තවත් විස්තර වගයකුත් තිබුණා.

මයිකල්: ඔව් ජෝන්. ඒක දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ තියෙන අනාවැකියක්. එතන විස්තර කරන්නේ පුරාණ බැබිලෝනියේ හිටපු නෙබුකද්නෙෂර් කියන බලවත් රජ දැකපු හීනයක් ගැන.

ජෝන්: ඒ අනාවැකිය මං දෙතුන් පාරක්ම කියෙව්වා. ඒත් මට හිතාගන්න බැහැ ඒක කොහොමද දේවරාජ්‍යයට හරි 1914ට හරි සම්බන්ධ වෙන්නේ කියලා?

මයිකල්: ඔයා විතරක් නෙමෙයි ජෝන්, ඒක ලියපු දානියෙල්වත් ඒකේ සම්පූර්ණ තේරුම දැනං හිටියේ නැහැ.

ජෝන්: ඇත්තට?

මයිකල්: බලන්න, දානියෙල් 12:8 කියන දේ. “ඔහුගේ වචන ඇසූ නමුත් මම ඒවා තේරුම් නොගත්තෙමි.”

ජෝන්: මං හිතුවා මට විතරයි තේරුම්ගන්න බැරි වුණේ කියලා.

මයිකල්: දානියෙල්ට ඒක තේරුම්ගන්න බැරි වෙන්න හේතුවක් තිබුණා. මොකද අනාවැකිවල අර්ථය සම්පූර්ණයෙන් වටහාගන්න දෙවියන් නියම කරපු  කාලය ඒක නෙමෙයි. ඒත් දැන් අපිට ඒ අනාවැකිය සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න පුළුවන්.

ජෝන්: ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ?

මයිකල්: බලන්න දානියෙල් 12:9 කියන දේ. “අවසාන කාලය දක්වා ලියවිල්ල වසා මුද්‍රා කර තිබේ.” ඒ කියන්නේ මේ අනාවැකි තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ‘අවසාන කාලයේ’ කියන එකයි. අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියලා කියන්න තියෙන සාක්ෂි අපි මේ පොතෙන් පාඩම් කරගෙන යද්දී බලමු. *

ජෝන්: මං ආසයි දානියෙල් පොතේ තියෙන අනාවැකිය ගැන දැනගන්න.

මයිකල්: හරි අපි කියවලා තේරුම්ගන්න උත්සාහ කරමු.

නෙබුකද්නෙෂර් රජ දැකපු හීනය

මයිකල්: නෙබුකද්නෙෂර් රජ දැකපු හීනය මං කෙටියෙන් කියන්නම්. ඊටපස්සේ ඒ හීනේ තේරුම බලමු.

ජෝන්: හරි.

මයිකල්: නෙබුකද්නෙෂර් දැක්කා අහස උසට වැඩුණු ලොකු ගහක්. එයාට ඇහුණා ගහ කපලා දාන්න, ඒත් ගහේ කඳ කොටස ඉතුරු කරන්න කියලා දෙවියන්ගේ පණිවිඩකරුවෙක් කියනවා. ‘කාලවල් හතකට’ පස්සේ ඒක ආයෙත් වැවෙනවා කියලත් අනාවැකියේ තියෙනවා. * මේ අනාවැකියට ඉටු වීම් දෙකක් තියෙනවා. පළවෙනි ඉටු වීම අදාළ වුණේ නෙබුකද්නෙෂර් රජට. ගහ අහස උසට වැඩිලා තිබුණා වගේ එයාට ලොකු ප්‍රසිද්ධියක් තිබුණත් එයාගේ රජකම ‘කාලවල් හතකට’ නැති වෙනවා. ඊටපස්සේ මොකද වෙන්නේ කියලා ඔයාට මතකද?

ජෝන්: නෑ.

මයිකල්: කමක් නෑ. බයිබලයේ කියනවා අවුරුදු 7ක් නෙබුකද්නෙෂර්ගේ සිහි විකල් වුණා කියලා. ඒ කාලෙදී එයාට රජකමත් නැති වුණා. ඒත් අවුරුදු 7කට පස්සේ ආයෙත් පියවි සිහියට ආවම එයාට රජකම ලැබුණා. *

ජෝන්: හරි මට ඒ ටික තේරුණා. ඒත් දේවරාජ්‍යයටයි 1914ටයි ඒකේ තියෙන සම්බන්ධය මොකක්ද?

මයිකල්: දානියෙල්ගේ අනාවැකියට ඉටු වීම් දෙකක් තියෙනවා කියලා මං කිව්වා මතකද? අපි බලපු විදිහට පළවෙනි ඉටු වීමෙදී නෙබුකද්නෙෂර්ගේ පාලනය යම් කාලයකට නතර වුණා. දෙවෙනි ඉටු වීමේදී දෙවියන්ගේ පාලනයත් යම් කාලයකට නතර වුණා. ඒ කියන්නේ දෙවෙනි ඉටු වීම දෙවියන්ගේ පාලනයට සම්බන්ධයි කියන එකයි.

ජෝන්: දෙවෙනි ඉටු වීම දෙවියන්ගේ පාලනයට සම්බන්ධයි කියලා ඔයා හරියටම කියන්නේ කොහොමද?

මයිකල්: ඒක ඒ අනාවැකියෙම කියලා තියෙනවා. බලන්න දානියෙල් 4:17 කියන දේ. “මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා වන්නේ මහෝත්තම දෙවියි. දෙවි තමා කැමති කෙනෙකුට පාලනය භාර දෙන්නේය. . . . ලෝකයේ ජීවත් වන සියලු ජනයා ඒ කාරණා දැනගන්නා පිණිස ඒ තීන්දුව දී තිබේ.” එතන කියන විදිහට “මනුෂ්‍ය ආණ්ඩුවලට” ඉහළින් ඉන්නේ කවුද?

ජෝන්: දෙවියන්නේ.

මයිකල්: ඔව්, ඒ අනාවැකිය නෙබුකද්නෙෂර් රජ ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ නේද? එතන “මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින්” ඉන්න දෙවියන් ගැන කතා කරනවා. අවට බයිබල් පද කියවද්දී පැහැදිලි වෙනවා එතන කතා කරන්නේ දෙවියන්ගේ පාලනය ගැන කියලා.

ජෝන්: ඒ කිව්වේ?

දානියෙල් පොතේ තේමාව

මයිකල්: දානියෙල් පොත පුරාම කතා කරන තේමාවක් තියෙනවා. යේසුස්ගේ නායකත්වය යටතේ පිහිටුවන දේවරාජ්‍යය ගැන දිගින් දිගටම ඒකේ කතා කරනවා. ඒක ගැන දැනගන්න අපි බයිබල් පද කීපයක් දානියෙල් පොතෙන් බලමුද? ජෝන් ඔයාට පුළුවන්ද දානියෙල් 2:44 කියවන්න?

ජෝන්: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”

මයිකල්: මේ බයිබල් පදයේ කතා කරන්නේ දේවරාජ්‍යය ගැන කියලා ඔයාට හිතෙනවාද?

ජෝන්: ම් . . . හරියටම කියන්න බැහැ.

 මයිකල්: බලන්න එතන රාජ්‍යයක් ගැන කියනවා. පස්සේ කියනවා ඒ රාජ්‍යය “සදහටම පවතියි” කියලා. මිනිසුන්ගේ ආණ්ඩු සදහටම තියෙන්නේ නැහැනේ. එහෙමනම් එතන කියන්නේ දේවරාජ්‍යය ගැන නෙමෙයිද?

ජෝන්: ඔව් එහෙම බලද්දි නම් හරි.

මයිකල්: දේවරාජ්‍යය ගැන කියලා තියෙන තවත් බයිබල් පදයක් බලමු. බලන්න, අනාගත රජ ගැන දානියෙල් 7:13, 14 කියලා තියෙන දේ. “සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස රාජ්‍යයද බලයද ගෞරවයද ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.” අපි දානියෙල් පොතෙන් කලින් කියවපු දෙයක් මේ බයිබල් පදයෙත් කියලා තියෙනවාද?

ජෝන්: ඔව්, රාජ්‍යයක් ගැන නේද?

මයිකල්: හරියට හරි. දැක්කද ඒ රාජ්‍යයට මොන තරම් බලයක් තියෙනවාද කියලා. ඒ පදයේ කියන්නේ “සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන්ව” පාලනය කරන්න ඒ රාජ්‍යයට බලය තියෙනවා කියලා. වෙන විදිහකින් කියනවා නම් මේ රාජ්‍යය මුළු ලෝකෙම පාලනය කරනවා.

ජෝන්: ඔව්, මං ඒක ගැන එච්චර හිතුවේ නැහැ. දැන් මට තේරෙනවා.

මයිකල්: ඒ අනාවැකියේ මෙහෙමත් කියලා තියෙනවා. “ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.” ඒක අපි දානියෙල් 2:44 කියවපු අනාවැකියට සමානයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

ජෝන්: ඔව්, සමානකමක් තියෙනවා.

මයිකල්: මෙච්චර වෙලා කතා කරපු දේවල් ගැන අපි දැන් ටිකක් බලමු. දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු අපිට ප්‍රයෝජනවත් වෙනවා “මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා වන්නේ මහෝත්තම දෙවියි” කියලා තේරුම්ගන්න. ඒ වචනවලින් පැහැදිලි වෙනවා දානියෙල් පොතේ තියෙන අනාවැකිය නෙබුකද්නෙෂර් රජ ගැන විතරක් නෙමෙයි තවත් ඉටු වීමක් ගැනත් කියලා තියෙනවා කියලා. ඒ වගේම යේසුස්ගේ නායකත්වය යටතේ පිහිටුවන දේවරාජ්‍යයක් ගැනත් දානියෙල් පොත පුරාම කතා කරලා තියෙනවා. එහෙමනම් දැන් ඔයාට තේරෙනවාද දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ තියෙන අනාවැකියේ කතා කරන දේ දේවරාජ්‍යයට සම්බන්ධයි කියලා?

ජෝන්: ඔව්, ඒත් මට තාම තේරෙන්නේ නෑ ඒ අනාවැකිය කොහොමද 1914ට සම්බන්ධ වෙන්නේ කියලා?

“කාලවල් සතක් පසු වන තුරු”

මයිකල්: ඒකට උත්තරේ දැනගන්න අපි ආයෙත් නෙබුකද්නෙෂර් ගැන කියලා තිබුණු අනාවැකිය ගැන බලමු. පළවෙනි ඉටු වීමේදී ලොකු ගහෙන් නියෝජනය කෙරුවේ නෙබුකද්නෙෂර් රජුවයි. ඒ ගහ කපලා දාලා කාලවල් හතක් පහු වෙනකම් තියෙන්න ඉඩහරින්න කියපු එකෙන් අදහස් කළේ ඔහුගේ පාලනය ටික කාලෙකට නවතිනවා කියන එකයි. ඔහුගේ සිහිය විකල් වුණාම ඇත්තටම ඒ දේ සිද්ධ වුණා. ඒත් කාලවල් හත අවසන් වුණාම ඔහු ආපහු පියවි සිහියට ආවා. ඔහු ආයෙත් පාලනය කරන්න පටන්ගත්තා. දැන් ඒ අනාවැකියේ දෙවෙනි ඉටු වීම බලමු. දෙවියන්ගේ පාලනයත් ටික කාලෙකට නතර වෙනවා. හැබැයි එහෙම වෙන්නේ දෙවියන්ගේ වැරැද්දක් නිසා නෙමෙයි.

ජෝන්: ඒ කියන්නේ?

මයිකල්: දෙවියන් පත් කරපු රජවරුන් ඊශ්‍රායෙල් ජාතිය පාලනය කරපු කාලෙදී ඊශ්‍රායෙලයේ අගනුවර වන යෙරුසලම හැඳින්නුවේ “දෙවිගේ පාලනය නියෝජනය කරන සිංහාසනය” කියලයි. * ඒ රජවරුන් දෙවියන්ව නියෝජනය කෙරුවා. ඒත් කාලයක් යද්දී දෙවියන් පත් කරපු රජවරුන් දෙවියන්ට අකීකරු වුණා. රජවරුන්ගේ නරක ආදර්ශය නිසා අනිත් අයත් අකීකරු වුණා. දෙවියන්ට අකීකරු වුණ හින්දා ක්‍රිස්තු පූර්ව 607දී ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියේ වහල්කමට  ගෙනියන්න දෙවියන් ඉඩහැරියා. එදා ඉඳන් දෙවියන්ව නියෝජනය කරන රජ කෙනෙක් යෙරුසලමේ හිටියේ නැහැ. ඒ කියන්නේ දෙවියන්ගේ පාලනය යම් කාලයකට තිබුණේ නැහැ. ඔයාට ඒ ටික පැහැදිලිද?

ජෝන්: ඔව්.

මයිකල්: දෙවියන්ගේ පාලනය නතර වුණේ ක්‍රිස්තු පූර්ව 607නේ. කාලවල් හත පටන්ගත්තේ ඒ කාලයේ. කාලවල් හත අවසන් වුණාට පස්සේ දෙවියන්ව නියෝජනය කරන අලුත් රජ කෙනෙක්ව දෙවියන් පත් කරයි. හැබැයි මේ සැරේ දෙවියන් පත් කරන්නේ ස්වර්ගයේ ඉන්න කෙනෙක්ව. දානියෙල් පොතේ අපි කියවපු අනිත් අනාවැකි ඉටු වෙන්නේ ස්වර්ගයේ රජ පත් වුණාට පස්සේ. දැන් ඔයා කල්පනා කරනවා ඇති කාලවල් හත අවසන් වුණේ කවදාද කියලා. කාලවල් හත අවසන් වුණ කාලය දැනගත්තොත් දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තු කාලය දැනගන්න පුළුවන්.

ජෝන්: ආ, ඒ කියන්නේ කාලවල් හත අවසන් වුණේ 1914. එහෙමද?

මයිකල්: ඔව්.

ජෝන්: ඒත් කාලවල් හත කොච්චර දිග කාලයක්ද කියලා අපි දැනගන්නේ කොහොමද?

මයිකල්: කාලවල් හත ඉවර වෙලා නැහැ කියලා යේසුස් මේ පොළොවේ ඉද්දී කිව්වා. * ඒකෙන් පේන්නේ ඒ කාලවල් හත දිග කාලයක් කියලයි. කාලවල් හත පටන්ගත්තේ යේසුස් පොළොවට එන්න අවුරුදු සිය ගාණකට කලින්. ඒ වගේම යේසුස් ජීවිතය පූජා කරලා ස්වර්ගයට ගියාට පස්සෙත් ඒ කාලවල් අවසන් වෙලා තිබුණේ නැහැ. ඔයාට මතකද අපි දානියෙල් පොතේ කියෙව්වා “අවසාන කාලය දක්වා ලියවිල්ල වසා මුද්‍රා කරලා” තියෙනවා කියලා. * 1800 ගණන්වල අගභාගයේදී බයිබල් අනාවැකි ගැන හොයලා බලපු කණ්ඩායමක් හිටියා. බයිබලයේ තියෙන දේවල් ගැඹුරට හොයපු ඒ කණ්ඩායම මේ අනාවැකියයි බයිබලයේ තියෙන අනිත් අනාවැකියි අධ්‍යයනය කෙරුවා. ඒ අය තේරුම්ගත්තා කාලවල් හත අවසන් වෙන්නේ 1914දී කියලා. ලෝක සිද්ධීන්වලින් පැහැදිලි වෙනවා ඒ අවුරුද්දේදී දේවරාජ්‍යය පාලනය ස්වර්ගයේ ආරම්භ වුණා කියලා. අවසාන කාලය පටන්ගත්තේ ඒ කාලයේදියි. මං දන්නවා ඔයාට මේ හැම තොරතුරක්ම එක පාරටම තේරුම්ගන්න අමාරුයි කියලා.

ජෝන්: ඔව්, මේ ටික පැහැදිලි කරගන්න මම ආයෙත් තොරතුරු ටික හොඳින් කියවලා බලන්න ඕනේ.

මයිකල්: මටත් කාලයක් ගියා මේ අනාවැකි සම්පූර්ණෙන් තේරුම්ගන්න. ඔයාටත් කාලයක් යයි. දැන් ඔයාට පැහැදිලිද දේවරාජ්‍යය ගැන සාක්ෂිකරුවන් කියන තොරතුරු බයිබලයට එකඟයි කියලා?

ජෝන්: ඔව්, ඒ ගැන සැකයක් නැහැ. ඔයගොල්ලන් විශ්වාස කරන හැම දෙයක්ම බයිබලයට එකඟයි කියලා මං දන්නවා.

මයිකල්: ඔයාත් බයිබලයෙන් තොරතුරු හොයන්න ආස කෙනෙක්නේ. ඒත් මේ වගේ දෙයක් එකපාරටම තේරුම්ගන්න අමාරුයි. සමහර වෙලාවට අපි සාකච්ඡා කරපු දේවල් ගැන ඔයාට තවත් ප්‍රශ්න ඇති. මම කිව්වානේ කාලවල් හත පටන්ගත්තේ ක්‍රිස්තු පූර්ව 607දී කියලා. හැබැයි කාලවල් හත අවසන් වුණේ 1914 කියලා හරියටම කියන්නේ කොහොමද කියලා ඔයා හිතනවා ඇති. *

ජෝන්: මමත් ඒ ගැන හිතුවා.

මයිකල්: අපිට කාලවල් හත කොච්චර දීර්ඝද කියලා බයිබලයෙන්ම දැනගන්න පුළුවන්. ඔයා කැමතිද ඊළඟ සැරේ ඒක ගැන සාකච්ඡා කරන්න. *

ජෝන්: ඔව්.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔයාට යම් ප්‍රශ්නයක් තියෙනවාද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔයාට ප්‍රශ්න තියෙනවාද? එහෙමනම් සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න. ඒ ගැන ඔයාට පැහැදිලි කරලා දෙන්න එයාලා කැමතියි.

^ 5 ඡේ. නොමිලේ පවත්වන බයිබල් පාඩම් මගින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන දේවල් උගන්වනවා.

^ 21 ඡේ. වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 9වෙනි පරිච්ඡේදය බලන්න.

^ 61 ඡේ. අන්තිම දවස් ගැන යේසුස් මෙහෙම අනාවැකියක් කිව්වා. “[දෙවියන්ගේ පාලනය නියෝජනය කරන] යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.” (ලූක් 21:24) යේසුස් පොළොවේ හිටපු කාලෙදිත් කාලවල් හත ඉවර වෙලා තිබුණේ නැහැ. ඒ කාලවල් 1914 දක්වාම දිව ගියා.

^ 65 ඡේ. ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ උපග්‍රන්ථයේ ඇති “සුවිශේෂී වසරක් වන 1914” යන කොටස බලන්න.

^ 67 ඡේ. කාලවල් හත කොච්චර දිගද කියලා මේ ලිපි මාලාවේ ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.