Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

අයුක්තිය වෙනුවෙන් මම තනියම සටන් කළා

අයුක්තිය වෙනුවෙන් මම තනියම සටන් කළා
  • ඉපදුණ අවුරුද්ද: 1960

  • රට: ලෙබනනය

  • ඉතිහාසය: කුං ෆු ශූරයෙක්

මගේ අතීතය:

මම හැදී වැඩුණේ ලෙබනනයයි ඊශ්‍රායෙලයයි වෙන් වෙන මායිමේ තියෙන රමේෂ් කියන ගමේ. සිවිල් යුද්ධයක් තිබුණු ඒ කාලේ බිම්බෝම්බ පුපුරපු හැටිත් ඒ නිසා අහිංසකයන්ගේ අත් කකුල් අහිමි වුණු හැටිත් තාම මතකයි. සැහැසියාව හැම තැනම පැතිරිලා තිබුණා. ඒ කාලේ ජීවත් වෙන එක ලේසි වුණේ නැහැ.

අපේ පවුලේ 12දෙනාට කන්න බොන්න හොයන්න තාත්තා හරියට මහන්සි වුණ හින්දා වෙන දෙයක් කරන්න වෙලාව තිබුණේ නැහැ. ඒත් අපි කතෝලික අය නිසා අම්මා අපිව නොවරදවාම පල්ලි යැව්වා. කාලයක් යද්දී මං තේරුම්ගත්තා සමාජයවත් පල්ලියවත් අසරණ අයට පිහිට වෙලා නෑ කියලා.

කොලු වයසෙදී කුං ෆු ඉගෙනගන්න මට ලොකු ආසාවක් ඇති වුණ නිසා දිගටම පුහුණුවක් ලැබුවා. අතින් පයින් පහරවල් දෙන්නත් ඒ වගේ සටන් ක්‍රමවල පාවිච්චි කරන ආයුධ දක්ෂ විදිහට හසුරුවන්නත් මට පුළුවන් වුණා. ‘යුද්දේ නවත්තන්න බැරි වුණත් දරුණු වැඩ කරන මිනිස්සුන්ව හරි නවත්තන්න පුළුවන් කියලා’ මම හිතුවා. ඒ නිසා කවුරු හරි ගහගන්නවා දැක්කොත් ඒකට මැදිහත් වුණා. මම කුකුල් කේන්තිකාරයෙක් හින්දා පොඩි දේකටත් තරහ ගියා. ඒ ප්‍රදේශයේ හිටපු හැමෝම වගේ මට බය වුණා. සමාජයේ සිද්ධ වෙන අයුක්තිය වෙනුවෙන් මම තනියම සටන් කළා.

1980දී කුං ෆු ඉගෙනගන්න බීරූට් නගරයේ පැවැත්තුව පංතිවලට ගියා. හැම දවසකම නගරයට බෝම්බ, ෂෙල් වෙඩි, මිසයිල දැම්මත් පංති යන එක නතර කළේ නැහැ. මං කෑවේ, බිව්වේ, නිදාගත්තේ, කොණ්ඩේ කැපුවේ, ඇවිද්දේ, මේ හැම දෙයක්ම කෙරුවේ බෲස් ලී වගේ. ඔහු සටන් කරද්දී කෑගහපු විදිහටම මාත් කෑගැහුවා. බෲස් ලීගේ වගේ මගේ මූණෙත් හිනාවක් තිබුණේ නැහැ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

මගේ එකම අරමුණ වුණේ චීනයට ගිහින් කුං ෆු ශූරයෙක් වෙන්නයි. ඒ නිසා මහන්සි වෙලා පුහුණු වුණා. දවසක් හැන්දෑවේ පුහුණු වෙද්දී මගේ යාළුවෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් එක්ක ගෙදරට ආවා. මම ඒ අයට කිව්වා “මං නම් බයිබලය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ” කියලා. මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙයි කියලා එදා මට හිතුණේ නැහැ.

 මිනිස්සුන්ට කවදාවත් තමන්ගෙම හැකියාවෙන් සමාජයේ සිද්ධ වෙන අයුක්තිය, අපරාධය නැති කරන්න බැහැ කියලා සාක්ෂිකරුවන් මට බයිබලයෙන් පෙන්නුවා. ඒ හැම දේටම හේතුව යක්ෂයා කියලත් පැහැදිලි කෙරුවා. (එළිදරව් 12:12) සාක්ෂිකරුවන්ගේ සන්සුන්කමටයි ඒ අයගේ නිසැකකමටයි මට ආස හිතුණා. ඒ අය දෙවිට නමක් තියෙනවා කියලා බයිබලයෙන් පෙන්නුවාම ඒක මගේ හිතට තදින්ම කාවැදුණා. (ගීතාවලිය 83:18) මට මේ බයිබල් පදයත් පෙන්නුවා. “ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණත් ඔහුට එයින් ලැබෙන ප්‍රයෝජන අල්පය. නමුත් දෙවි සඳහා භක්තිය ඇති කරගන්නා කෙනෙක් සෑම අතින්ම ප්‍රයෝජන ලබයි. එමගින් ඔහුට දැන් භුක්ති විඳින ජීවිතයේදීත් අනාගත ජීවිතයේදීත් බොහෝ ආශීර්වාද ලබාගැනීමට මඟ විවෘත වෙයි.” (1 තිමෝති 4:8) ඒ වචන මගේ ජීවිතේට ලොකු බලපෑමක් වුණා.

මගේ පවුලේ අය සාක්ෂිකරුවන්ට එන්න එපා කියලා කියපු නිසා මට ඒ අයව ඊටපස්සේ හම්බ වුණේ නැහැ. ඒත් කුං ෆු නවත්තලා බයිබලය ඉගෙනගන්න මම තීරණය කළා. මගේ සහෝදරයෝ ඒකට අකමැති වුණත් කොහොම හරි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හොයාගෙන බයිබලය පාඩම් කරන්න මම තීරණයක් ගත්තා.

සාක්ෂිකරුවන්ව හෙව්වත් මට ඒ අයව හම්බ වුණේ නැහැ. මේ අතරේදී තාත්තා හදිසියේම නැති වුණා. පවුලේ තවත් කනගාටුදායක දේවලුත් සිද්ධ වුණා. ඒ වෙද්දී මම රැකියාවක් කරන්න පටන් අරගෙනයි තිබුණේ. දවසක් මාත් එක්ක වැඩ කරපු කෙනෙක් දුකෙන් ඉන්නේ ඇයි කියලා මගෙන් ඇහුවා. එයා මට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන බයිබලයෙන් පෙන්නුවා. ඊළඟ මාස 9 පුරාම ඒ කරුණාවන්ත සාක්ෂිකරුවා ඉවසීමෙන් මට බයිබලය ඉගැන්නුවා.

බයිබලය ඉගෙනගද්දී තේරුම්ගත්තා ගොඩක් වෙනස්කම් කරන්න ඕන කියලා. ඉක්මනින්ම කේන්ති ගිය නිසා ඒක ලේසි වුණේ නැහැ. කේන්තිය පාලනය කරගන්නත් හැම පුංචි කාරණයකදීම ඕනෑවට වඩා කලබල නොවී ඉන්නත් මම බයිබලයෙන් ඉගෙනගත්තා. යේසුස් මෙහෙම කිව්වා. ‘ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.’ (මතෙව් 5:44) බයිබලයේ මෙහෙමත් කියනවා. “පළිගැනීමෙන් වළකින්න. . . . ලියවිලිවල සඳහන් ආකාරයට, ‘යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.’” (රෝම 12:19) ඒ බයිබල් පදත් තවත් හුඟක් බයිබල් පදත් මට උදව් වුණා ටිකෙන් ටික සන්සුන් කෙනෙක් වෙන්න.

මං දැන් අද්දකින ආශීර්වාද:

මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවාට පවුලේ අය විරුද්ධ වුණත් දැන් ඔවුන්ට ගරු කරනවා. දැන් මගේ අයියා කෙනෙකුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. අම්මා ජීවත් වෙලා ඉන්නකම්ම අපේ ආගමික විශ්වාසයන් ගැන කවුරු හරි දොස් කිව්වොත් ඒ වෙනුවෙන් කතා කළා.

මගේ ආදරණීය භාර්යාව ඇනීටා ඇත්තටම ආශීර්වාදයක්. අපි දෙන්නා පූර්ණකාලීනව දේවසේවය කරනවා. 2000 ඉඳලා ස්විඩනයේ එස්කිල්ස්ටුනා ප්‍රදේශයේ අරාබි භාෂාව කතා කරන අයට අපි බයිබලයේ තියෙන සත්‍යයන් කියලා දෙනවා.

අපරාධ නිසා මිනිස්සු දුක් විඳිනවා දැක්කාම මගේ හිත උණු වෙනවා. ඒත් අපරාධ වෙන්නේ ඇයි කියලත් දෙවියන් ඉක්මනටම ඒකට විසඳුමක් ගේනවා කියලත් දන්න නිසා මම දැන් ඉස්සර වගේ කලබල වෙන්නේ නැහැ.—ගීතාවලිය 37:29.

මගේ භාර්යාවයි මමයි අනිත් අයට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙන්නේ හරිම සතුටින්