Skip to content

පටුනට යන්න

දරුවන්ව හික්මවන්න ඕන කොහොමද?

දරුවන්ව හික්මවන්න ඕන කොහොමද?

“පාරේ යන හැම වාහනයකම සද්දේ අහගෙන හිටියා. ජෝඩන් දැන් එයි දැන් එයි කියලා හිතුවා. පුතා ගෙදර එන්න ඕන වෙලාව පහු වෙලා. එයා මේ පරක්කු වුණු තුන්වෙනි වතාව. ‘මේ ළමයා කොහෙද, කරදරයක්වත් වෙලාද, අපි එයා ගැන කොච්චර හිතනවද කියලා එයා දන්නවාද’ කියලා මම හිතුවා. පුතා පරක්කු වෙලා ආවාම මගේ කේන්තිය ඉහවහ ගියා.”ජෝර්ජ්.

“දුව එකපාරටම යටිගිරියෙන් කෑගැහුවා. මම හොඳටම බය වුණා. හැරිලා බලද්දී දුව ඔළුව අල්ලගෙන හයියෙන් අඬනවා. චූටි පුතා එයාට ගහලා. පුතාට අවුරුදු හතරයි.”නිකෝල්.

“අපේ දුව නැටලිට අවුරුදු හයයි. ‘මං මුද්ද හොරකං කළේ නෑ. මට ඒක හම්බ වුණා’ කියලා දුව කිව්වා. එයාගේ නිල් පාට ඇස් දෙකේ තිබුණේ අහිංසක පෙනුමක්. එයා මුද්ද ගත්තෙම නෑ කියලා කියද්දී අපිට ගොඩක් දුක හිතුණා. අපිට ඇඬුණා. එයා කියන්නේ බොරු කියලා අපි දන්නවා.”ස්ටීවන්.

දෙමව්පියන් හැටියට ඔබට ඒ අයගේ හැඟීම් තේරෙනවාද? ඒ වගේ තත්වයන්ට ඔබ මුහුණ දුන්නා නම් දරුවාව හික්මවන්නේ කොහොමද, හික්මවන්න ඕනමද කියලා කල්පනා කරලා ඇති. දරුවන්ව හික්මවන එක වැරදිද?

හික්මවනවා කියන්නේ මොකක්ද?

බයිබලයේ “හික්මවනවා” කියන වචනයෙන් අදහස් කරන්නේ දඬුවම් කරනවා කියන එක නෙමෙයි. ඒකට උපදෙස් දෙන එක, දැනුවත් කරන එක සහ නිවැරදි කරන එක ඇතුළත්. ඒත් කුරිරු විදිහට සලකනවා කියන එක නම් අදහස් වෙන්නේ නැහැ.හිතෝපදේශ 4:1, 2.

වගා කරන කෙනෙක් පස සකස් කරනවා. පැළේට වතුර, පොහොර දානවා විතරක් නෙමෙයි කෘමීන්ගෙන් හා වල් පැළෑටිවලින් පැළේ ආරක්ෂා කරනවා. ඒක ටිකෙන් ටික වැඩෙද්දී අතු රිකිලි කපලා හරි අතට වැඩෙන්න සලස්වනවා. ඒ වගේ විවිධ ක්‍රම පාවිච්චි කරන්නේ පැළේ සරුවට වැවෙන්නයි. දෙමව්පියන් දරුවන්ට දෙන හික්මවීමත් ඒ වගෙයි. දෙමව්පියනුත් දරුවන්ට හුඟක් පැතිවලින් උපකාර කරනවා. සමහර අවස්ථාවලදී පැළයක අතු රිකිලි කපනවා වගේ යම් යම් හික්මවීම් දෙනවා. එහෙම කරන්නේ දරුවන්ගේ වැරදි සිතුවිලි හා නැඹුරුවාවන් මුල් කාලයේදීම අයින් කරලා ඔවුන්ව හරි මාර්ගයේ යන්න පුහුණු කරන්නයි. පැළේට හානියක් නොවෙන විදිහට පැළයක අතු රිකිලි කපන්න ඕන වගේ දරුවන්ව හික්මවන්න ඕනෙත් ප්‍රේමණීයවයි.

යෙහෝවා දෙවියන් දෙමව්පියන්ට කදිම ආදර්ශයක්. දෙවියන් තම සෙනඟට දෙන හික්මවීම් මොන තරම් ප්‍රයෝජනවත්ද කියනවා නම් ඔවුන් “හික්මවීමට ප්‍රිය” කරනවා. (හිතෝපදේශ 12:1) ඒ “උපදෙස් හා හික්මවීම් හදවතින්ම” පිළිගන්න නිසා ඔවුන් ‘කිසිදා ඒවා අත්හරින්නේ නැහැ.’ (හිතෝපදේශ 4:13) ඔබේ දරුවාත් ඔබ දෙන හික්මවීම් පිළිගන්න නම් ඔබත් දෙවියන් හික්මවීම් දෙන විදිහ අනුකරණය කරන්න ඕනේ. ඒක කරන්න ප්‍රයෝජනවත් වෙන කරුණු 3ක් බලමු. (1) ප්‍රේමණීය වෙන්න. (2) සාධාරණ වෙන්න. (3) කියන දේ කරන්න.

 ප්‍රේමණීය වෙන්න

යෙහෝවා දෙවියන් හික්මවන්නේ ප්‍රේමය නිසයි. බයිබලයේ මෙහෙම කියනවා. “පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.” (හිතෝපදේශ 3:12) ඒ වගේම දෙවියන් “දයාන්විත, කරුණාවන්ත හා කෝප වීමට ඉක්මන් නොවන” දෙවි කෙනෙක්. (නික්මයාම 34:6) ඒ නිසා දෙවියන් කවදාවත් කුරිරු විදිහට ක්‍රියා කරන්නේ නැහැ. ඔහු කෙනෙක්ව දිගටම විවේචනය කරන්නෙවත් හිත රිදෙන වචන කියන්නෙවත් නැහැ. මොකද ඒවායින් “කඩුවෙන් අනින්නාක් මෙන්” වේදනාවක් ඇති වෙනවා.හිතෝපදේශ 12:18.

සවන් දෙන්න

දෙවියන්ට තරම් දෙමව්පියන්ට ඉවසීමක් නැති එක ඇත්තයි. සමහර අවස්ථාවලදී ඔබේ ඉවසීමේ සීමාව පනින අවස්ථාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ දරුණු විදිහට දඬුවම් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අනික් අතට තරහෙන් දෙන දඬුවමක් හික්මවීමක් නෙමෙයි. ඔබ එහෙම කරන්නේ ඔබවම පාලනය කරගන්න බැරි නිසයි.

ඒත් ප්‍රේමය හා ආත්ම දමනය ඇතුව හික්මවීම් දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන බොහෝයි. ලිපිය ආරම්භයේ සඳහන් කරපු ජෝර්ජ් හා නිකෝල් කාරණය හැසිරුව විදිහ බලන්න.

යාච්ඤා කරන්න

“ජෝඩන් පරක්කු වෙලා ගෙදර ආපු වෙලේ අපි දෙන්නා හිටියේ පුදුම කේන්තියකින්. ඒත් අපි පුතා නිදහසට කියපු දේවල් ඉවසීමෙන් අහගෙන හිටියා. ගොඩක් රෑ වෙලා නිසා අපි ඒ ගැන පහුවෙනිදාට කතා කරන්න තීරණය කළා. පස්සේ අපි තුන්දෙනා යාච්ඤා කරලා නිදාගන්න ගියා. පහුවෙනිදා අපේ කේන්තිය නිවිලා තිබුණු නිසා පුතාට කාරණා තේරුම් කරලා දෙන්න අපිට ලේසි වුණා. පුතාත් එයාගේ වැරැද්ද පිළි අරං හික්මවීම පිළිගත්තා. කේන්තියෙන් ඉද්දී කරන දේවල් සාර්ථක වෙන්නේ නෑ කියලා අපිට තේරුණු එක ලොකු දෙයක්. මුලින්ම ඇහුම්කන් දෙනවා නම් අපි ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා.”ජෝර්ජ්.

කතා කරන්න

“දුවට පුතා ගහලා කියලා දැක්කම මට හොඳටම තරහ ගියා. ඒ වෙලාවේ හරි තීරණයක් ගන්න බැරි නිසා මම පුතාට කාමරේට යන්න කිව්වා. චණ්ඩි වැඩ කරන එක කොච්චර බරපතළද කියලත් අක්කාට ඒක කොච්චර වේදනාවක්ද කියලත් මම සන්සුන් වුණාට පස්සේ පුතාට පැහැදිලි කළාම පුතා අක්කගෙන් සමාව ඉල්ලලා එයාව ආදරයෙන් බදාගත්තා.”නිකෝල්.

හික්මවීමක් හැමවිටම දෙන්න ඕන ප්‍රේමය නිසයි.

සාධාරණ වෙන්න

යෙහෝවා දෙවියන් හැමවිටම හික්මවීම් දෙන්නේ “සුදුසු ප්‍රමාණයටයි.” (යෙරෙමියා 30:11; 46:28) ඔහු හැම කාරණයක් ගැනම සැලකිලිමත් වෙනවා.  දෙමව්පියන්ට ඔහුව අනුකරණය කරන්න පුළුවන් කොහොමද? ලිපියේ මුලින් අදහස් දක්වපු ස්ටීවන් මෙහෙම කියනවා. “නැටලී මුද්ද ගත්තෙම නැහැ කියලා කිව්වේ ඇයි කියලා අපිට තේරුණේ නැහැ. අපිට ගොඩක් දුක හිතුණත් එයාගේ වයස ගැනයි එයාට තේරුම්ගන්න පුළුවන් තරම ගැනයි අපි හිතුවා.”

නිකෝල්ගේ ස්වාමිපුරුෂයා වන රොබට් කරන්නෙත් එහෙමයි. දරුවන් අතින් වැරැද්දක් වුණාම හැම කාරණයක් ගැනම සැලකිලිමත් වෙනවා. එයා මෙහෙම හිතනවා. ‘මීට කලින් දරුවා මේ වගේ දෙයක් කරලා තියෙනවාද? නැත්නම් මේක පළවෙනි වතාවද? දරුවා මෙහෙම හැසිරෙන්නේ මහන්සි නිසාද අසනීපයක් නිසාද නැත්නම් වෙන ප්‍රශ්නයක් නිසාද?’

සාධාරණව හිතන දෙමව්පියෙක් දරුවන් වැඩහිටියන් නෙමෙයි කියලා තේරුම්ගන්නවා. බයිබල් ලේඛකයෙක් වන පාවුල් කිව්වෙත් ඒ වගේ දෙයක්. “මා කුඩා දරුවෙකුව සිටි කාලයේදී මා කතාබහ කළෙත් යම් දේවල් ගැන සිතුවෙත් අවබෝධ කරගත්තෙත් කුඩා දරුවෙකු ලෙසය.” (1 කොරින්ති 13:11) රොබට් මෙහෙම කියනවා. “දරුවන් මොනවා හරි කළාම මං මගේ පොඩි කාලේ මතක් කරගන්නවා. එතකොට ඕනෑවට වඩා කලබල නොවී ඉන්න මට පුළුවන්.”

සාධාරණ වෙන්න ඕන වුණත් දරුවන් කරන වැරදි හා ඔවුන්ගේ වැරදි ආකල්ප අනුමත කරන්න හොඳ නෑ. ඒ නිසා දරුවාගේ හැකියාවන්, සීමාවන් හා තත්වයන් තේරුම්ගත්තොත් ඔබ දෙන හික්මවීම සාධාරණ එකක් වෙයි.

කියන දේ කරන්න

“මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (මලාකි 3:6) ඒ සත්‍යය දැනගෙන ඉන්න එක දෙවිගේ සේවකයන්ට ආරක්ෂාවක්. දෙමව්පියනුත් යමක් කිව්වොත් ඒක කරනවා කියන නිසැකකම දරුවන්ට තියෙන එක ආරක්ෂාවක්. ඔවුන් හිතෙන හිතෙන වෙලාවට නීති වෙනස් කරනවා නම් දරුවන්ට ඒක ලොකු ගැටලුවක්.

යේසුස් මෙහෙම කිව්වා. “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.” (මතෙව් 5:37) ඒ උපදෙස දෙමව්පියන්ටත් අදාළයි. ඔබ දඬුවමක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් දඬුවමක් දෙනවා කියලා කියන්න කලින් දෙපාරක් හිතන්න. දරුවෙක්ගේ වරදකට දඬුවම් කරනවා කිව්වොත් දඬුවම් කරන්න.

දරුවන්ව හික්මවද්දී දෙමව්පියන් අතර හොඳ අදහස් හුවමාරුවක් තියෙන්න ඕනේ. රොබට් ඒ ගැන මෙහෙම කියනවා. “මගේ භාර්යාව එපා කියලා කියපු දේකට ළමයි සමහර වෙලාවට මගෙන් අවසර ඉල්ලනවා. මම දන්නේ නැතුව කැමැත්ත දුන්නත් දැනගත්තාට පස්සේ මං තීරණය වෙනස් කරනවා.” දරුවන්ගේ කාරණයක් ගැන දෙමව්පියන් වෙනස් මත දරනවා නම් දරුවන් නැති තැන ඒ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්න එක හොඳයි.

හික්මවීම අත්‍යවශ්‍යයි

යෙහෝවා දෙවියන් දෙන හික්මවීම් සාධාරණයි, ප්‍රේමණීයයි. ඒ වගේම කියන දේ කරනවා. දෙමව්පියෙනි ඔබත් දෙවියන් හික්මවන විදිහට හික්මවීම් දුන්නොත් ඔබේ දරුවන් ප්‍රයෝජනයක් ලබයි. ඔබ ප්‍රේමණීයව අවශ්‍ය මඟ පෙන්වීම් දෙනවා නම් දරුවන් දැනුම් තේරුම් ඇති, වගකීමෙන් වැඩ කරන, සාධාරණව හිතන වැඩිහිටියන් වෙයි. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”හිතෝපදේශ 22:6.