Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

දුර්වලව හිටියත් ශක්තිමත්

දුර්වලව හිටියත් ශක්තිමත්

රෝද පුටුවේ ඉන්න මාව දැක්කොත් කවුරුත් හිතන්නේ නැහැ මම ශක්තිමත් කෙනෙක් කියලා. මගේ බර කිලෝග්‍රෑම් 29යි. මට තියෙන්නේ හරිම දුර්වල ශරීරයක්. දවසින් දවස මම ගතින් දුර්වල වුණත් හිතින් ශක්තිමත්ව ඉන්නේ කොහොමද කියලා කියන්නම්.

අවුරුදු හතරේදී

මගේ ළමා කාලයේ සමහර මතකයන් හරිම සුන්දරයි. අපි හිටියේ දකුණු ප්‍රංශයේ ගම්බද පළාතක පුංචි ගේක. වත්ත පුරා දුවලා පැනලා මං සෙල්ලම් කෙරුවේ හරිම ආසාවෙන්. තාත්තා මට ඔන්චිල්ලාවකුත් බැඳලා දීලා තිබුණා. 1966දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවා. තාත්තා එයාලා එක්ක හුඟක් දේවල් ගැන කතා කළා. මාස හතකට පස්සේ තාත්තා සාක්ෂිකරුවෙක් වුණා. වැඩි කල් යන්න කලින් අම්මත් සාක්ෂිකරුවෙක් වුණා. සෙනෙහස පිරුණු ඒ වගේ කැදැල්ලක තමයි මම හැදුණේ.

ඊටපස්සේ අපි ස්පාඤ්ඤයේ පදිංචියට ගියා. මගේ අම්මගෙයි තාත්තගෙයි උපන් රට ඒක. එහෙ ඉද්දී මගේ අත්වලයි වළලුකරවලයි තද වේදනාවක් ආවා. හරියට පිහියකින් අනිනවා වගේ. අවුරුදු දෙකක් තිස්සේ හුඟක් වෛද්‍යවරු ළඟට ගියා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ටිකක් ප්‍රසිද්ධ රක්තවාත වෛද්‍යවරයෙක් ළඟට ගියාම එයා කිව්වා “දැන් පරක්කු වැඩියි” කියලා. ඒත් එක්කම අම්මා අඬන්න ගත්තා. වෛද්‍යවරයා කිව්වා මට හැදිලා තියෙන්නේ “ජුවනයිල් පොලිආතරයිටිස්” * රෝගය කියලා. වයස අවුරුදු දහයක ළමයෙක් හැටියට ඒ වචන තේරුණේ නැතත් ඒක නරක ආරංචියක් කියලා මට තේරුණා.

දොස්තර කිව්වා මාව සාත්තු නිවාසයක නතර කරන්න කියලා. එහෙම තැනකට අම්මලා මාව එක්කගෙන ගියා. ඒක බාරව හිටිය කන්‍යා සොහොයුරියන් මගේ කොණ්ඩේ කපලා කිසිම ලස්සනක් නැති ඇඳුමක් මට ඇන්දුවා. එහෙ නීති හරි තදයි. මට මතකයි ඇස් දෙකේ කඳුළු පුරවගෙන “මේ ජීවිතේට කොහොම හුරු වෙන්නද” කියලා මං කල්පනා කළා.

යෙහෝවා දෙවියන් මා එක්කම හිටියා

පුංචි සන්දියේ ඉඳලම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න දෙමව්පියන් මට උගන්නලා තිබුණු නිසා සාත්තු නිවාසයේ කතෝලික චාරිත්‍ර වාරිත්‍රවලට මම හවුල් වුණේ නැහැ. ඒත් මම එහෙම හවුල් වුණේ නැත්තේ ඇයි කියලා කන්‍යා සොහොයුරියන්ට ප්‍රහේලිකාවක් වුණා. මාව තනි කරන්න එපා කියලා මම දෙවියන්ට කන්නලව් කළා. එතකොට මට දැනුණා තාත්තා කෙනෙක් දරුවෙක්ව තුරුළට අරගෙන ආරක්ෂාව දෙනවා වගේ දෙවියන් මාව ආරක්ෂා කරනවා.

සෙනසුරාදාට විතරක් මාව ටිකකට බලලා යන්න අම්මලාට අවසර ලැබුණා. ඒ එනකොට මගේ  විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උදව් වුණ පොත් පත් සඟරා එයාලා මට ගෙනත් දුන්නා. අනිත් ළමයින්ට තමන්ගේ පොත් පත් තියාගන්න අවසර තිබුණේ නැතත් බයිබලය හා අනිත් පොත් පත් තියාගන්න මට අවසර ලැබුණා. මම හැමදාම ඒවා කියෙව්වා. ඒ වගේම කිසිම අසනීපයක් නැතුව පාරාදීස පොළොවක හැමදාම ජීවත් වෙන්න ලැබෙන එක ගැන මම අනිත් ළමයින්ට කියලා දුන්නා. (එළිදරව් 21:3, 4) සැරින් සැරේ දුක වේදනාව වගේ දේවල් අද්දැක්කත් දෙවියන් ගැන මට තියෙන විශ්වාසය දවසින් දවස ශක්තිමත් වෙනවා මට දැනුණා.

මාස හයකට පස්සේ මට ගෙදර එන්න ලැබුණා. ඒ මාස හය මට දැනුණේ ලොකු කාලයක් වගෙයි. මගේ ලෙඩේ හොඳ වෙලා තිබුණේ නැතත් ගෙදර එන්න ලැබුණු එක මට ලොකු සතුටක්. එන්නම එන්නම මගේ සන්ධි තවත් විකෘති වුණා. කැක්කුමත් වැඩි වුණා. මම යොවුන් වියට පා තැබුවේ දුර්වල ළමයෙක් විදිහට. මගේ පියාණන් වන යෙහෝවා දෙවියන්ට පුළුවන් උපරිමයෙන් සේවය කරන්න මට ඕන වුණු නිසා මොන අමාරුකම් තිබුණත් මම අවුරුදු 14දී බව්තීස්ම වුණා. ඒත් සමහර වෙලාවට මම දෙවියන්ට මෙහෙම කිව්වා. “ඇයි මටම මේක වුණේ? මගේ දුක ඔබට පේන්නේ නැද්ද? අනේ මාව සනීප කරන්න.”

තරුණ කාලයත් මට අමාරු කාලයක්. මගේ ලෙඩේ සනීප වෙන්නේ නැහැ කියලා මම තේරුම්ගත්තා. මගේ වයසේ ඉන්න යාළුවෝ විනෝදයෙන් ඉන්නවා දැක්කම මට හරියට දුක හිතුණා. මගේ ජීවිතෙන් කිසිම වැඩක් නැහැ කියලා මට හිතුණා. මට ඕන වුණේ නිතරම මුලු ගැන්වෙලා ඉන්න. ඒත් මගේ පවුලේ අය සහ යාළුවෝ මට ලොකු හයියක් වුණා. මට වඩා අවුරුදු 20කින් වැඩිමල් ආලීස්යාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ ලෙඩේ ගැනම හිතහිත ඉන්නේ නැතුව අනිත් අය ගැන හිතන්න එයා මට උදව් කළා.

මගේ ජීවිතය අර්ථවත් කළ දෙයක්

ටිකක් හොඳ වෙලා තිබුණු මගේ ලෙඩේ අවුරුදු 18දී ආයෙත් වැඩි වුණා. රැස්වීම්වලට යන එකත් අමාරු දෙයක් වුණා. ඒත් වෙලාවක් ලැබුණු හැම අවස්ථාවකම මම බයිබලය අධ්‍යයනය කළා. යෝබ් හා ගීතාවලිය පොත් කියවද්දී මම තේරුම්ගත්තා මේ කාලයේදී දෙවියන් අපිව ලෙඩ දුක්වලින් ආරක්ෂා කරන්නේ නැති වුණාට අපිව දිරිගන්වලා ශක්තිමත් කරනවා කියලා. මම නිතරම දෙවියන්ට යාච්ඤා කරපු නිසා “සාමාන්‍යය ඉක්මවූ බලය” හා කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි “දෙවි ලබා දෙන සමාදානය” මට ලැබුණා.—2 කොරින්ති 4:7; ෆිලිප්පි 4:6, 7.

අවුරුදු 22දී මම රෝද පුටුවට සීමා වුණා. එතකොට මම දුක් වුණා අනිත් අය මාව රෝද පුටුවක ඉන්න ලෙඩෙක් විදිහට සලකයි කියලා. ඒත් රෝද පුටුව නිසා මට පුංචි නිදහසකුත් ලැබුණා. ඒ නිසා ඒක හිතපු තරම් නරක දෙයක් වුණේ නැහැ. ඉසාබෙල් කියලා යාළුවෙක් මට කිව්වා එක මාසයක් එයත් එක්ක පැය 60ක් දේවසේවය කරන්න එන්න කියලා.

මට මුලින් හිතුණේ ඒක නම් කරන්න බැහැ කියලයි. ඒත් මං දෙවියන්ගෙන් උපකාර ඉල්ලුවා. පවුලේ අයයි යාළුවොයි උදව් කරපු නිසා මට ඒක කරන්න පුළුවන් වුණා. කාර්යබහුල ඒ මාසේ මට දැනුණේ හරිම ඉක්මනට ගෙවුණා වගෙයි. මට තිබුණු ලැජ්ජාවෙන් ගොඩ එන්න ඒක මට උදව් වුණා. ඒ සේවයෙන් කොච්චර සතුටු වුණාද කියනවා නම් 1996 ඉඳන් ස්ථාවර පුරෝගාමියෙක් විදිහට මාසෙකට පැය 90ක් සේවය කරන්න මම පටන්ගත්තා. ඒක මම ගත්ත හොඳම තීරණවලින් එකක්. ඒ සේවයෙන් මං දෙවියන්ට ළං වුණා විතරක් නෙවෙයි මගේ ශරීර සෞඛ්‍යයටත් යහපතක් වුණා. ඒ වගේම මගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන්නත් සමහර අයට දෙවිගේ මිතුරන් වෙන්න උදව් කරන්නත් මට පුළුවන් වුණා.

යෙහෝවා දෙවියන් මාව තනි කළේ නැහැ

2001දී රිය අනතුරකින් මගේ කකුල් දෙකම කැඩුණා. දරාගන්න බැරි වේදනාවකින් ඇඳේ ඉද්දී “අනේ, දෙවියනි මාව අත්හරින්න එපා” කියලා මම හිතින් යාච්ඤාවක් කළා. ඒ වෙලාවෙම අල්ලපු ඇඳේ හිටපු ගෑනු කෙනා මගෙන් ඇහුවා “ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ද” කියලා. ඔව් කියන්නවත් මට පණක් තිබුණේ නැති නිසා මං ඔළුව හෙලෙව්වා. “ඔයාලගේ කට්ටියව මං දන්නවා. ඕගොල්ලන්ගේ සඟරාත් මම කියවනවා” කියලා එයා කිව්වා. ඒ වචනවලින් මට දැනුණේ ලොකු සහනයක්. ඒ වගේ අමාරු වෙලාවක වුණත් යෙහෝවා දෙවියන් ගැන සාක්ෂියක් දරන්න මට පුළුවන් වුණා.

ටිකක් සනීප වුණ ගමන්ම මම තවත් සාක්ෂි දරන්න පටන්ගත්තා. අම්මා මගේ රෝද පුටුව තල්ලු කරගෙන මාව වාට්ටුවෙන් වාට්ටුවට ගෙනිච්චා. මගේ කකුල් දෙකටම ප්ලාස්ටර් දාලයි තිබුණේ. දවස ගානේ අසනීපෙන් ඉන්න අයව මුණගැහිලා මං එයාලගේ සුව දුක් ඇහුවා. අපේ පොත් පත් සඟරාත් දුන්නා. එහෙම කරන එකෙන් ලොකු මහන්සියක් දැනුණා තමයි ඒත් දෙවියන් මට ශක්තිය දුන්නා.

2003දී අම්මයි තාත්තයි එක්ක

පහුගිය කාලේ මගේ ඇඟේ වේදනාව තවත් වැඩි වෙලා තියෙනවා. තාත්තගේ මරණයත් මට දරාගන්න බැරි වේදනාවක් වුණා. මොනවා වුණත් සුබවාදීව හිතන්න මං උත්සාහ කරනවා. පුළුවන් හැම වෙලාවකම යාළුවන් එක්කයි නෑදෑයන් එක්කයි ඉන්න මං උත්සාහ කරනවා. ප්‍රශ්න ගැටලු ටිකකට හරි අමතක කරන්න ඒක මට උදව්වක්. ඒ වගේම තනියෙන් ඉන්න  හැම වෙලාවකම මං බයිබලය අධ්‍යයනය කරනවා නැත්නම් ෆෝන් එකෙන් අනිත් අයට දෙවියන් ගැන කියලා දෙනවා.

හුඟක් වෙලාවට මං මගේ ඇස් දෙක වහගෙන දෙවියන් පොරොන්දු වෙලා තියෙන අලුත් පොළොව හිතින් මවාගන්නවා

සුළං පොදක් මගේ මුහුණේ දැවටෙන එක මල්වල සුවඳ විඳින එක වගේ පුංචි පුංචි දේවලින් පවා මං සතුටු වෙන්න උත්සාහ කරනවා. දෙවියන්ට ස්තුති කරන්න මට කොච්චර හොඳ හේතු තියෙනවාද කියලා එතකොට මට හිතෙනවා. පුංචි විහිළුවකට වුණත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. දවසක් මායි මගේ යාළුවෙකුයි සේවයේ යද්දී එයා පොඩි දෙයක් ලියාගන්න මගේ රෝද පුටුව ටිකකට අතහැරියා. එතන බෑවුමක් තිබුණු නිසා රෝද පුටුව පල්ලමට ගියා. මාව නතර වුණේ නවත්තලා තිබුණ කාර් එකක වැදිලා. අපි දෙන්නා බය වුණත් මට ලොකු අනතුරක් වුණේ නැහැ කියලා දැනගත්තම අපි හොඳටම හිනා වුණා.

කරන්න ආසාව තිබුණත් කරගන්න බැරි හුඟක් දේවල් මට තියෙනවා. මං ඒවා සලකන්නේ අනාගතේදී ඉටු වෙන්න තියෙන ආසාවන් විදිහටයි. හුඟක් වෙලාවට මං මගේ ඇස් දෙක වහගෙන දෙවියන් පොරොන්දු වෙලා තියෙන අලුත් පොළොව හිතින් මවාගන්නවා. (2 පේතෘස් 3:13) නිරෝගීව හැම තැනම ඇවිදඇවිද මම සතුටින් ඉන්න විදිහ එතකොට මගේ හිතේ මැවෙනවා. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න. ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න” කියලා දාවිත් කියපු දේ මං නිතරම මතක් කරගන්නවා. (ගීතාවලිය 27:14) එන්න එන්නම මගේ ශරීරය ගොඩක් දුර්වල වුණත් දෙවියන් මාව ශක්තිමත් කරලා තියෙනවා. ඒ නිසා මම දුර්වලව හිටියත් ශක්තිමත්.

^ 6 ඡේ. මෙය දරුවන්ට හැදෙන නිදන්ගත ආතරයිටිස් රෝගයක්. මෙම රෝගයේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ශරීරයට අවශ්‍ය පටක විනාශ කර දමයි. ඒ නිසා අධික වේදනාව සහ සන්දිපත් ඉදිමුම ඇති වෙනවා.