Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

ලොවම වෙනස් කළ යුද්ධයක්

ලොවම වෙනස් කළ යුද්ධයක්

දේශානුරාගී හැඟීම්වලින් මත් වූ තරුණයන් ලක්ෂ ගණනක් මීට සියවසකට කලින් ගම්බිම් හැර දා යුද්ධයට ගියා. තරුණ ඇමරිකානු සොල්දාදුවෙක් 1914දී කිව්වේ මේ වගේ දෙයක්. “මම යුද්දෙට යන්නේ හරිම සැහැල්ලුවෙන්. ඉදිරි දවස් ගැන හිතද්දී මට දැනෙන්නේ පුදුම සතුටක්.”

ඒත් ඒ සතුට වැඩි කල් පැවතුණේ නැහැ. සටන් බිමේ කොටු වූ සියදහස් ගණන් සොල්දාදුවන් අවුරුදු ගණනක් බෙල්ජියමේ හා ප්‍රංශයේ දුක් විඳියි කියා කවුරුත් නොසිතන්න ඇති. අද ඒ යුද්ධය පළවෙනි ලෝක මහා යුද්ධය කියා හැඳින්නුවත් එදා බොහෝදෙනෙක් එය හැඳින්නුවේ “මහා යුද්ධය” කියායි.

පළවෙනි ලෝක මහා යුද්ධයේදී මිය ගිය හා තුවාල ලැබූ අයගේ ගණන විශාලයි. සංඛ්‍යා ලේඛනයකට අනුව මිලියන 10ක් මිය ගිය අතර තවත් මිලියන 20ක් දරුණු ලෙස තුවාල ලැබුවා. ඒ දුක්ඛිත තත්වය උදා වුණේ අනුවණ ක්‍රියාකලාප නිසයි. රට රටවල් අතර පැවති නොසන්සුන් වාතාවරණය දරුණු ලෝක යුද්ධයකට පෙරළීම වළක්වන්න යුරෝපීය පාලකයන්ට නොහැකි වුණා. ඒ යුද්ධය කෙතරම් බිහිසුණු එකක් වූවාද කියනවා නම් අදටත් අපි එහි බලපෑමට හසු වී සිටිනවා.

 විශ්වාසය බිඳී ගියා

එක් පොතක මෙවැනි දෙයක් සඳහන් වුණා. ‘තමන් ගත් වැරදි තීරණ නිසා 1914දී පළවෙනි ලෝක මහා යුද්ධය ඇති වී මුළු ලොවම උඩු යටිකුරු වන බව යුරෝපීය නායකයන් නොසිතන්න ඇති.’—The Fall of the DynastiesThe Collapse of the Old Order 1905-1922.

යුරෝපීය බලවතුන් නොසිතූ විරූ ලෙස යුද්ධයක පැටලුණේ ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයාගේ ඝාතනය සිදු වී සති කිහිපයක ඇවෑමෙනුයි. යුද්ධය ඇරඹී දවස් කීපයකට පසුව “කොහොමද මේ වගේ දෙයක් වුණේ” කියා ජර්මානු රාජ්‍ය නායකයාගෙන් ඇසූ විට ඔහු කනගාටුවෙන් පැවසුවේ “හිතාගන්නවත් බෑ” කියායි.

තමන් ගත්ත තීරණ නිසා ඇති වූ යුද්ධයෙන් එතරම් ව්‍යසනයක් වෙයි කියා පාලකයන්ට අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් යුධ බිමේ සටන් වදිමින් සිටි සොල්දාදුවන්ට නම් එය තේරුම්ගන්න වැඩි කාලයක් ගියේ නැහැ. පාලකයන්ගේ තීරණ වැරදි බවත් පූජකයන් තමන්ව රැවටූ බවත් ජෙනරාල්වරුන් තමන්ව පාවා දුන් බවත් සෙබළුන් තේරුම්ගත්තා.

පාලකයන්ගේ තීරණ වැරදි බවත් පූජකයන් තමන්ව රැවටූ බවත් ජෙනරාල්වරුන් තමන්ව පාවා දුන් බවත් සෙබළුන් තේරුම්ගත්තා

පාලකයන් පැවසුවේ මේ යුද්ධය මාර්ගයෙන් දීප්තිමත් හෙට දවසක් උදා වෙයි කියලයි. “අපි සටන් වදින්නේ ජාතියක් ලෙස අත් කරගෙන තියෙන දේවල් හා අපේ උරුමය රැකගන්නත් අනාගතය සාර්ථක කරගන්නත්” කියා එවකට සිටි ජර්මානු රාජ්‍ය නායකයා පැවසුවා. ඇමරිකාවේ ජනාධිපති වුඩ්රෝ විල්සන් පැවසුවේ මේ යුද්ධය “ප්‍රජාතන්ත්‍රවාදය රජයන ලොවක් බිහි කිරීමට” ඉවහල් වෙයි කියලයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් සිතුවේ “මෙය යුද්ධවලට අවසානයක් ගෙනෙන යුද්ධයක්” කියලයි. ඒත් ඒ හැමෝම වැරදියි.

පූජකයන් පළවෙනි ලෝක මහා යුද්ධයට සහයෝගය දුන්නේ හරිම උද්‍යෝගයෙන්. ඒ ගැන පොතක සඳහන් වෙන්නේ මෙහෙමයි. “දේවවචනය මිනිසුන්ට පහදා දීමේ වගකීම අමතක කළ පූජකයන් මහජනයාව උනන්දු කළේ යුද්ධයට සහභාගි වෙන්න කියලයි. ඔවුන් මිනිසුන්ගේ හිත්වල තිබුණු වෛරයේ ගිනි දැල් තව තවත් ඇවුළුවා. සාමාන්‍ය ජනයාත් යුධ භටයන් හා එක්ව යුධ වැදුණා.” (The Columbia History of the World) තවත් පොතක මෙහෙම සඳහන් වුණා. “දේශානුරාගී හැඟීම් නැති කරලා ක්‍රිස්තියානීන් ලෙස ජීවත් වෙන හැටි මිනිසුන්ට කියා දෙන්න පූජකයන්ට බලයවත් වුවමනාවක්වත් තිබුණේ නැහැ. ක්‍රිස්තියානි යුධ භටයන්ව ඔවුන් දිරිගැන්වූයේ ස්වාමීන්ගේ නාමයෙන් එකිනෙකාව මරා දමන්න කියායි.”—A History of Christianity.

ජෙනරාල්වරුන් යුධ භටයන්ට කියා සිටියේ පහසුවෙන් හා ඉක්මනින් යුද්ධය ජය ගන්න පුළුවන් කියායි. ඒත් එහෙම වුණේ නැහැ. දිගින් දිගටම සටන් වැදුණත් කිසිම පිලක් ජය ගන්න සේයාවක්වත් තිබුණේ නැහැ. ඒ අතරවාරයේදී යුධ භටයන් මුහුණ දුන් තත්වය එක් ඉතිහාසඥයෙක් විස්තර කළේ “ශාරීරිකව හා මානසිකව මිනිසුන් විඳ ඇති කුරිරුතම අද්දැකීම” හැටියටයි. මරණය පෙනි පෙනීත් දහස් ගණන් සෙබළුන්ව ජෙනරාල්වරුන් යුධ පිටියට යැව්වා. ඒ වගේ වාතාවරණයක් මැද සෙබළුන් කැරලිගැසීමට පටන්ගැනීම පුදුමයක් නෙමෙයි.

පළවෙනි ලෝක මහා යුද්ධය මිනිස් සමාජයට බලපෑවේ කොහොමද? බොහෝ කාලයක් හමුදා සේවයේ නියැලුණු නිලධාරියෙක් පැවසූ දෙයක් එක් ඉතිහාසඥයෙක් මේ විදිහට උපුටා දැක්වුවා. “ඒ කාලයේ ජීවත් වුණු මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ගතිපැවතුම් සම්පූර්ණයෙන්ම පිරිහුණා.” සමහර අධිරාජ්‍යයන් නැති වෙලාම ගියා. පළවෙනි ලෝක මහා යුද්ධය ලෙයින් නැහැවුණු යුගයක ආරම්භයක් පමණයි. එදා සිට විප්ලව හා වැඩ වර්ජන මිනිස් සමාජයේ සාමාන්‍ය අංගයක් බවට පත් වුණා.

පළවෙනි ලෝක මහා යුද්ධය මුළු ලෝකයම උඩු යටිකුරු කළ එකක් කියා පවසන්නේ ඇයි? එය අහම්බෙන් ඇති වුණු යුද්ධයක්ද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමෙන් අපේ අනාගතය ගැන යමක් හෙළි වෙයිද?