Skip to content

පටුනට යන්න

ඔබත් සාන්තුවරුන්ට යාච්ඤා කරනවද?

ඔබත් සාන්තුවරුන්ට යාච්ඤා කරනවද?

අපේ හිතට දුකක් දැනෙද්දී නැත්නම් මොකක් හරි ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉද්දී ඒ ගැන කාට හරි කියලා සහනයක් ලබන්න අපි කැමතියි. හැබැයි ඒ වගේ වෙලාවක අපි කැමති අපිව තේරුම්ගන්න පුළුවන්, අපි මුහුණ දෙන ප්‍රශ්නවලටම මුහුණ දීලා තියෙන ළෙන්ගතු මිතුරෙකුට ඒ ගැන කියන්නයි. ඒ වගේ මිතුරෙක් අපිට ලොකු ශක්තියක්.

සමහර අය ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී දෙවියන්ට යාච්ඤා නොකර සාන්තුවරුන්ට යාච්ඤා කරන්නෙත් ඒ හේතුව නිසයි. එයාලා හිතන්නේ දෙවියන් හුඟක් උසස් නිසා ඔහුට කෙළින්ම යාච්ඤා කරන්න බැහැ කියලයි. හැබැයි සාන්තුවරුන් මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙන නිසා ඒ අයට මිනිසුන්ගේ දුක තේරෙනවා කියලා හිතලා එයාලා සාන්තුවරුන්ට යාච්ඤා කරනවා. උදාහරණෙකට වටිනා කියන දෙයක් නැති වුණොත් නැත්නම් සොරාගත්තොත් සාන්ත අන්තෝනිට කන්නලව් කරන්න මිනිසුන් කැමතියි. සතෙක් ලෙඩ වුණොත් සමහරු යාච්ඤා කරන්නේ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස්ටයි. ඒ වගේම නොයෙක් ප්‍රශ්න ගැටලු නිසා කලකිරිලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න අය සාන්ත ජූඩ්ට කන්නලව් කරනවා.

නමුත් අපි මේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න ඕනේ. සාන්තුවරුන්ට යාච්ඤා කරන එක බයිබලයේ අනුමත කරලා තියෙනවද? සාන්තුවරුන්ට යාච්ඤා කරන්නේ ඒ අය අප උදෙසා දෙවියන්ට කන්නලව් කරයි කියලා හිතලා නම් ඒ අයැදීම්වලට ඇත්තටම දෙවියන් සවන් දෙනවද? ඒ ගැන දෙවි පියාණන්ට හැඟෙන්නේ කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

සාන්තුවරුන් මිනිසුන් වෙනුවෙන් දෙවිට කන්නලව් කරනවා කියලා කතෝලික සභාවේ උගන්නලා තියෙනවා. සාන්තුවරුන්ට යාච්ඤා කරන එක ආරම්භ වුණේ ඒ ඉගැන්වීම නිසයි. විශ්වකෝෂයක ඒ ඉගැන්වීම ගැන මෙහෙම සඳහන් වෙනවා. “තවත් කෙනෙක් වෙනුවෙන් දෙවිගේ දයාව ඉල්ලා කන්නලව් කරන්න දෙවියන් සමඟ ඉන්න කෙනෙක්ට හැකියි.” (New Catholic Encyclopedia) සාන්තුවරුන් දෙවියන් ඉදිරියේ ස්වර්ගයේ ශුද්ධව ඉන්නවා කියලා විශ්වාස කරන නිසා ඒ අයට යාච්ඤා කරලා දෙවිගේ දයාව ලබාගන්න පුළුවන් කියලා හුඟක් අය හිතනවා.

ඒත් බයිබලයේ ඒ වගේ දෙයක් උගන්නලා තියෙනවද? සාන්තුවරුන්ට යාච්ඤා කරන එක සුදුසුයි කියලා සමහරු කියන්නේ පාවුල් බයිබලයේ මෙහෙම සඳහන් කරලා තියෙන නිසයි. “සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබ තුළ තිබෙන විශ්වාසයද දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔබ තුළ ඇති වී තිබෙන ප්‍රේමයද මතක් කරමින් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා වෙනුවෙන් යාච්ඤා කිරීමට වෑයම් කරන ලෙසය. මන්ද මමද එසේ යාච්ඤා කරමින් සිටිමි.” (රෝම 15:30) පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු වෙනුවෙන් මැදිහත් වී දෙවිට කන්නලව් කරන්න කියලද? නැහැ. ඔහු පැවසුවේ දෙවිට යාච්ඤා කරද්දී ඔහු ඇතුළුව සෙසු සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් යාච්ඤා කිරීම සුදුසු දෙයක් කියලයි. නමුත් ස්වර්ගයේ සිටින බවට විශ්වාස කරන සාන්තුවරුන්ට යාච්ඤා කිරීමට එය පදනමක් නෙමෙයි. සෙසු අය වෙනුවෙන්  දෙවිට යාච්ඤා කිරීමත් දෙවිට කන්නලව් කරන්න කියලා සාන්තුවරුන්ට යාච්ඤා කිරීමත් අතර ලොකු වෙනසක් තියෙනවා.

යේසුස් කිව්වේ “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියලයි. (යොහන් 14:6) යේසුස් මෙහෙමත් කිව්වා. “මගේ නාමයෙන් ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු ඔබට ලබා දෙයි.” (යොහන් 15:16) යේසුස් අදහස් කළේ අපි යේසුස්ට යාච්ඤා කළොත් ඔහු අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරනවා කියලා නෙමෙයි. ඒ වෙනුවට දෙවියන් අපේ යාච්ඤාවලට සවන් දෙන්න නම් අපේ යාච්ඤා දෙවිට ඔප්පු කරන්න ඕනේ යේසුස්ගේ නාමයෙන් කියලයි.

යාච්ඤා කරන විදිහ කියලා දෙන්න කියලා යේසුස්ගේ නියෝජිතයන් කියපු වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. “යාච්ඤා කරන විට මෙසේ කියන්න. ‘පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!” (ලූක් 11:2) “යාච්ඤා කරන විට” කියලා යේසුස් කිව්ව දෙයින් පැහැදිලි වෙනවා අපි මොන අවස්ථාවේ යාච්ඤා කළත් අපි කෙළින්ම යාච්ඤා කරන්න ඕනේ දෙවි පියාණන්ට කියලා. අපි යාච්ඤා කරන්න ඕනේ සාන්තුවරුන්ටවත් යේසුස්ටවත් නෙමෙයි.

යාච්ඤාව අපේ නමස්කාරයේ වැදගත් අංගයක්. ඒ නිසා දෙවියන් හැර වෙන කිසිම කෙනෙකුට යාච්ඤා කිරීම බයිබලයට එකඟ නැහැ. අපි නමස්කාර කරන්න ඕනේ දෙවිට විතරක් නිසා අපි යාච්ඤා කරන්න ඕනෙත් ඔහුට විතරමයි.—යොහන් 4:23, 24; එළිදරව් 19:9, 10.

දෙවියන්ට කෙළින්ම යාච්ඤා කරන්න භයද?

බඩගින්නට කන්න දෙයක් ඉල්ලපු දරුවෙක් ගැන යේසුස් උපමාවක් කිව්වා. දරුවා තාත්තගෙන් රොටියක් ඉල්ලුවොත් තාත්තා එයාට ගලක් දෙයිද, මාළුවෙක් ඉල්ලුවොත් එයාට සර්පයෙක් දෙයිද කියලා යේසුස් ඇහුවා. (මතෙව් 7:9, 10) දරුවෙකුට ආදරේ කරන තාත්තා කෙනෙක් කවදාවත් එහෙම දෙයක් කරන්න හිතන්නෙවත් නැහැ.

ආදරණීය තාත්තා කෙනෙක් වගේ දෙවි පියාණනුත් ආසයි අපි ඔහු එක්ක කතා කරනවට

ටිකක් හිතන්න ඔබ පියෙක් නැත්නම් මවක් කියලා. ඔබේ දරුවට ඔබ හුඟක් ආදරේ කරනවා. වෙහෙස මහන්සි නොබලා දරුවගේ අවශ්‍යතාවන් ඔබ ඉටු කර තිබෙනවා. දරුවා එක්ක හොඳ බැඳීමක් තියෙන නිසා කිසිම භයක් සැකක් නැතුව ඔබ එක්ක ඕනෑම වෙලාවක කතා කරන්න දරුවට පුළුවන්. ඒත් දරුවට යම් දෙයක් ඕන වුණු වෙලාවක එය ඔබෙන් කෙළින්ම ඉල්ලන්නේ නැතුව දරුවා වෙන කෙනෙක් මාර්ගයෙන් ඒ දේ ඔබෙන් ඉල්ලනවා. ඒකට හේතුව දරුවට ඔබ ගැන අනවශ්‍ය භයක් ඇති වෙලා තියෙන නිසයි. මේ විදිහට හැම අවස්ථාවකම වෙන අය මාර්ගයෙන් දරුවා ඔබ එක්ක කතා කරන්න උත්සාහ කළොත් ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? ඔබ කීයටවත් ඒ ගැන සතුටු වෙන එකක් නැහැ. දෙමාපියන් කැමති දරුවන් භය නොවී අවශ්‍ය දේවල් ඔවුන්ගෙන් කෙළින්ම ඉල්ලනවටයි.

කෑම ඉල්ලපු දරුවා ගැන කියපු උපමාවේ මූලික පාඩම යේසුස් මේ විදිහට විස්තර කළා. “ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳම දේ දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා. එසේනම් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් හොඳම දේ දෙයිද!” (මතෙව් 7:11) දරුවන්ට ආදරේ කරන දෙමාපියන් තම දරුවන්ට හොඳම දේ දෙන්න කැමතියි. ඒත් යේසුස් කියන්නේ අපේ යාච්ඤාවලට සවන් දීලා ඒවාට පිළිතුරු දෙන්න දෙවි පියාණන් ඊටත් වඩා මහත් ආශාවකින් ඉන්නවා කියලයි.

අපේ යාච්ඤාවලට සවන් දෙන්නේ දෙවි පියාණන් පමණයි. ඒ කාර්යය දෙවියන් වෙන කිසි කෙනෙකුට පවරලා නැහැ. අපි අතින් වැරදි, අඩුපාඩුකම් සිද්ධ වෙද්දී අපිට හිතෙන්න පුළුවන් දෙවියන් අපේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැහැ කියලා. හැබැයි බයිබලයේ කියන්නේ “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය” කියලයි. (ගීතාවලිය 55:22) ඒ නිසා අප උදෙසා දෙවියන්ට කන්නලව් කළ මැනව කියා සාන්තුවරුන්ගෙන් හෝ වෙනත් අයගෙන් ඉල්ලනවා වෙනුවට භය නැතුව කෙළින්ම දෙවි පියාණන්ට යාච්ඤා කරමු.

දෙවි පියාණන් අපි එක් එක්කෙනා ගැන සැලකිලිමත්. අපේ ප්‍රශ්න ගැටලුවලදී අපිට උදව් කරන්න ඔහු කැමතියි. ඒ වගේම ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔහු සියලුදෙනාටම අවස්ථාව දීලා තියෙනවා. (යාකොබ් 4:8) ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ වන දෙවි පියාණන්ට අපේ හිතේ තියෙන හැම දෙයක්ම යාච්ඤාවෙන් කියන්න අවස්ථාව ලැබිලා තියෙන එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද!—ගීතාවලිය 65:2.