Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

“මගේ එකම ආසාව වුණේ කතෝලික පූජකයෙක් වෙන්නයි”

“මගේ එකම ආසාව වුණේ කතෝලික පූජකයෙක් වෙන්නයි”
  • ඉපදුණ අවුරුද්ද: 1957

  • රට: මෙක්සිකෝව

  • අතීතයේදී: කේන්තිය පාලනය කරගන්න බැරි කෙනෙක්

මගේ අතීතය:

මම ඉපදුණේ ටෙක්ස්කොකො කියන පුංචි ටවුමේ. එතකොට ඒ ටවුම එච්චර දියුණු නැහැ. අඩුම තරමේ පාරවලට තාර දාලා තිබුණෙවත් නැහැ. අවට ගම්මානවල හිටපු මිනිස්සු වෙළඳාම් කරන්න බූරුවන් පිටේ බඩු පටවගෙන ටවුමට එන එක ඒ කාලේ සුලබ දසුනක්. ළමයි නමදෙනෙක් හිටපු අපේ පවුලේ මම හත්වෙනියා. අපි හරිම දුප්පත්. මගේ තාත්තා රැකියාවට කළේ කැඩුණු පටි සපත්තු මහන එකයි. මට අවුරුදු හතක් වෙද්දී තාත්තා මැරුණා. එදා ඉඳලා අපිට කන්න බොන්න දෙන්න අම්මා ලොකු සටනක් කළා.

මගේ සීයා වයලින් වාදකයෙක්. එයා ශාස්ත්‍රීය ගීත වාදනය කළ සංගීත කණ්ඩායමක මෙහෙයවන්නා හැටියටත් වැඩ කළා. ඒ කණ්ඩායම වැඩියෙන්ම වාදනය කළේ ආගමික ගීතයි. මගේ පවුලේ හැම කෙනෙක්ටම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්. මාමා ඔපෙරා ගායකයෙක් සහ පියානෝ වාදකයෙක්. පවුලේ අපි හැමෝම ආගම දහමටත් ළැදියාවක් දැක්වුවා. අම්මා පල්ලියේ කන්තාරු කණ්ඩායමේ හිටියා. මම පූජාවේදී උදව් කරන ළමයෙක් හැටියට හිටියා. මගේ එකම ආසාව වුණේ කතෝලික පූජකයෙක් වෙන්නයි. හැබැයි ඒ කාලේ කරාටේ චිත්‍රපටි බලන්නත් මම හරි ආසයි. ඒවා බලන්න බලන්න මට පොඩි දේටත් කේන්ති යන්න පටන්ගත්තා.

පූජකයෙක් වෙන්න ඕන වුණු නිසා පුවෙබ්ලා නගරයේ තිබුණු සෙමනේරියකට මම ගියා. හැබැයි එහෙ හිටපු අන්තිම අවුරුද්දේදී කතෝලික ආගම ගැන කලකිරුණා. සමහර පූජකයන් එක දෙයක් ඉගැන්නුවට කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ විතරක් නෙමෙයි එහේ හිටපු එක තරුණ කන්‍යා සොහොයුරියක් එයාත් එක්ක නොහොබිනා විදිහට හැසිරෙන්න මාව පොලඹවගන්නත් හැදුවා. ඒකට මං අහු වුණේ නැති වුණත් ඒකෙන් පස්සේ මට විවාහ වෙන්න ආසාවක් ඇති වුණා. අන්තිමේදී පූජකයෙක් වෙන අදහස මං අතඇරලා දැම්මා.

මගේ එකම ආසාව වුණේ කතෝලික පූජකයෙක් වෙන්නයි. හැබැයි ඒ කාලේ මම ආසාවෙන් කරාටේ චිත්‍රපටි බලපු නිසා මට පොඩි දේටත් කේන්ති ගියා

 මෙක්සිකෝ නගරේ තිබුණු ජාතික සංගීත විද්‍යාලයට ඇතුල් වෙන්න මම තීරණය කළේ ඊටපස්සේ. එහෙදී මම උපාධියක් ලබාගෙන ටික කාලෙකින් විවාහ වුණා. අපිට ළමයි හතරදෙනෙක් හිටියා. මම රැකියාව විදිහට කළේ පල්ලියේ ගීතිකා කියන එකයි.

අපි විවාහ වුණු මුල් කාලේ ඉඳලම මායි මගේ නෝනයි නිතරම රණ්ඩු වුණා. මුලදී නම් බැණගත්තා විතරයි. හැබැයි පස්සේ පස්සේ අපි ගහගන්නත් පටන්ගත්තා. අපේ රණ්ඩුවලට මූලික හේතුව වුණේ අපි දෙන්නට දෙන්නා ඊර්ෂ්‍යා කරපු එකයි. අවුරුදු 13ක්ම ඒ විදිහට ජීවත් වුණු අපි අන්තිමේදී වෙන් වෙන්න තීරණය කළා. පස්සේ අපි දික්කසාද වුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුලින්ම මුණගැහුණේ අපි වෙන් වෙන්න කලින්. සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කරන්න කැමතිද කියලා ඇහුවා. බයිබලේ ගැන හුඟක් දේවල් මං දන්නවා කියලා හිතාගෙන හිටපු නිසා මට ඕන වුණේ සාක්ෂිකරුවන් වැරදියි කියලා ඔප්පු කරන්නයි. ඒ නිසා උත්තර දෙන්න බැරි වෙයි කියලා හිතලා එයාලගෙන් අමාරු ප්‍රශ්න ඇහුවා. ඒ හැම ප්‍රශ්නෙකටම එයාලා බයිබලෙන් උත්තර දුන්නා. එතකොට තමයි මට තේරුණේ බයිබලේ ගැන මම දන්නේ හරිම ටිකයි කියලා. ඒත් මගේ නෝනා සාක්ෂිකරුවන්ට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මාත් ගොඩක් කාර්යබහුල වුණ නිසා සාක්ෂිකරුවන් එක්ක කරගෙන ගිය සාකච්ඡා නතර වුණා.

අවුරුදු පහකට පස්සේ මට සාක්ෂිකරුවන්ව ආයෙත් මුණගැහුණා. එතකොට මම හිටියේ වෙන කාන්තාවක් එක්කයි. එයාගේ නම එල්විරා. එයා සාක්ෂිකරුවන්ට අකමැති නොවුණු නිසා මට දිගටම බයිබලේ පාඩම් කරන්න ලේසි වුණා.

බයිබලේ පාඩම් කරද්දී මට තේරුණා යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම සේවය කරන්න නම් මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ කියලා. සමහර දේවල් වෙනස් කරගන්න මට අවුරුදු ගාණක් ගත වුණා. මං මුලින්ම පල්ලියේ ගීතිකා කියන එක නතර කරලා අලුත් රස්සාවක් හොයාගත්තා. (එළිදරව් 18:4) එල්විරාව නීත්‍යනුකූලව විවාහ කරගන්නත් පියවරගත්තා.

ඉක්මනින් කේන්ති යන ගතිය වෙනස් කරගන්න එක තමයි අමාරුම වුණේ. ඒත් ඒක කරන්න මට බයිබල් පද දෙකක් උදව් වුණා. එකක් තමයි ගීතාවලිය 11:5. එතන කියන්නේ සැහැසියාවට කැමැත්තක් දක්වන අයට දෙවියන් ද්වේෂ කරනවා කියලයි. අනිත් එක තමයි 1 පේතෘස් 3:7. යෙහෝවා දෙවියන් මගේ යාච්ඤාවලට සවන් දෙන්න නම් මං මගේ බිරිඳට ගෞරව කරන්න ඕනේ කියලයි එතන කියන්නේ. ඒ පද දෙක ගැන හිතද්දිත් උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරද්දිත් මට පුළුවන් වුණා කේන්තිය ටිකෙන් ටික පාලනය කරගන්න.

දෙවියන් මගේ යාච්ඤාවලට සවන් දෙන්න නම් මගේ බිරිඳට ගෞරව කරන්න ඕනේ කියලා මං බයිබලෙන් ඉගෙනගත්තා

මං දැන් අද්දකින ආශීර්වාද:

මං ගත කරන්නේ ප්‍රීතිමත් පවුල් ජීවිතයක්. පවුලේ අයව රැකබලා ගන්න මං කරන්නේ සංගීතය උගන්නන එකයි. මගේ පවුලේ අයටත් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් දිගටම තියාගන්න මං උදව් කරනවා. ඒ වගේම මගේ කලින් විවාහයේ පුතාලා එක්ක හොඳ සම්බන්ධයක් ඇති කරගන්නත් මං ලොකු උත්සාහයක් ගන්නවා.

පොඩි කාලේ මං ආසාවෙන් හිටියේ පූජකයෙක් වෙලා අනිත් අයට උදව් කරන්නයි. හැබැයි දැන් මම ගත කරන්නේ ඊට වඩා අර්ථවත් ජීවිතයක්. මං ගැන හුඟක් ඉවසලා මගේ ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාව දීපු එක ගැන මං යෙහෝවා දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා.