Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

“මං දැන් වහලෙක් නෙමෙයි!”

“මං දැන් වහලෙක් නෙමෙයි!”
  • ඉපදුණ අවුරුද්ද: 1981

  • රට: එක්සත් ජනපදය

  • අතීතයේදී: දඩබ්බර ජීවිතයක් ගත කළා

මගේ අතීතය:

මං ඉපදුණේ බටහිර වර්ජිනියාවේ මවුන්ඩ්ස්විල් කියන නගරයේ. මට අයියා කෙනෙකුයි, නංගි කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා. අපි හතරදෙනෙක් හිටිය නිසා අපිට කිසිම වෙලාවක පාලුවක් දැනුන්නෑ. මගේ දෙමාපියන් හොර බොරු නැති, මහන්සි වෙලා වැඩ කරපු අය. ඒගොල්ලෝ නිතරම වැඩ කළේ අනිත් අය ගැන හිතලයි. අපිට ගොඩක් සල්ලි තිබුන්නැති වුණාට ඕන කරන දේවල් අඩුවක් නැතුව තිබුණා. මගේ දෙමාපියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා අපිට පොඩි කාලේ ඉඳලා බයිබලේ තියෙන දේවල් කියලා දීලා හොඳ නරක පෙන්නලා දුන්නා.

හැබැයි ටිකෙන් ටික යෞවන වයසට එද්දී මට හිතුණා බයිබලේ කියලා තියෙන විදිහට ජීවත් වෙන එකෙන් මගේ නිදහස නැති වෙනවා කියලා. මට ඕන ඕන දේවල් කරන්න පුළුවන් නම් නිදහසේ සතුටෙන් ඉන්න පුළුවන් කියලත් මං හිතුවා. ඒ නිසා මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන එක නැවැත්තුවා. මගේ අයියයි නංගියි කළෙත් ඒකමයි. අපි තුන්දෙනාව හරි මඟට ගන්න අම්මයි තාත්තයි කොච්චර උත්සාහ කළත් වැඩක් වුන්නෑ.

දවසක් මං ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දී යාළුවෙක් මට සිගරට් එකක් දුන්නා. මාත් ඉතින් ඒක අරං බිව්වා. එදායින් පස්සේ මං සිගරට් බොන්න විතරක් නෙමෙයි කුඩු ගහන්නත් මත්පැන් බොන්නත් පටන්ගත්තා. කාලයක් යද්දී මට ඒවා නැතුවම බැරි වුණා. ටිකෙන් ටික සැර කුඩු වර්ග ගන්නත් පුරුදු වුණා. සල්ලි හොයාගන්න ඕන හින්දා කුඩු විකුණන්නත් පටන්ගත්තා. මං ගත කළේ නරකම නරක ජීවිතයක්.

මගේ හිත ගොඩක් වධ දුන්නත් මම ඒක ගණන් ගන්නැතුව ඉන්න හැදුවා. ඒත් ඒක හරි ගියේ නෑ. සමහර වෙලාවට මං කල්පනා කළා මගේ දෙමාපියන් මෙච්චර ගුණයහපත්, වැදගත් අය වෙලත් මං කොහොමද මේ වගේ කාලකණ්ණියෙක් වුණේ කියලා. ඒත් මේ වැටිලා ඉන්න වළෙන් නං මට කවදාවත් ගොඩ එන්න බැහැ කියලා මට හිතුණා. මම ගිය පාටිවලයි ප්‍රසංගවලයි ගොඩක් කට්ටිය හිටියට මට හැඟුණේ මං තනි වෙලා කියලා. ඒ නිසා මං ගොඩක් කලකිරුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

වැටිලා ඉන්න වළෙන් ගොඩ එන්න බැහැ කියලා මං හිතුවට අනිත් අය මං ගැන බලාපොරොත්තු අතඇරලා තිබුන්නෑ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2000දී පවත්තපු තුන්දින සමුළුවකට එන්න කියලා මගේ දෙමාපියන් මට ආරාධනා කළා. මං ඒකට ගියේ නොගිහින් බැරි නිසයි. හැබැයි පුදුමේ කියන්නේ මගේ අයියයි නංගිත් ඒ සමුළුවට ආවා.

සමුළුවට ගියාම මට මතක් වුණා මීට අවුරුද්දකට විතර කලින්  මං මෙතනටම රොක් සංගීත ප්‍රසංගෙකට ආවනේ කියලා. එදා නං එතන කිසිම පිළිවෙළක් තිබුන්නෑ. බලන බලන හැම තැනම තිබ්බේ කුණු. වාතයත් සිගරට් දුම්වලින් පිරිලා තිබුණා. ප්‍රසංගෙට ඇවිත් හිටියෙත් කා එක්කවත් හිනා වෙන්නේ නැති හරිම ආත්මාර්ථකාමී අය. ඒ විතරක් නෙමෙයි එදා කියපු සිංදුවල තිබුණේ හරිම පහත් අදහස් නිසා ඒවා ඇහුවම ඔළුව අවුල් වුණා. හැබැයි සමුළුව ඊට වඩා කොච්චර වෙනස්ද! හැම දෙයක්ම හරිම පිළිවෙළයි, පිරිසිදුයි. ඇවිත් හිටිය හැම කෙනෙක්ම වගේ හිනා වෙලා අනිත් අය එක්ක හොඳට කතාබහ කළා. සමහර අය මාව දැක්කේ අවුරුදු ගාණකට පස්සේ වුණත් ඒගොල්ලෝ මාව හරිම ආදරෙන් පිළිගත්තා. සමුළුවේදී අහපු කතාවලින් අනාගතය ගැන ඇති කළේ ලොකු බලාපොරොත්තුවක්! බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපිට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා එදා මගේ හිතට තදින් වැදුණා. මෙච්චර වටින දෙයක් අතඅරින්න තරම් මං මෝඩ වුණේ ඇයි කියලා මං කල්පනා කළා.—යෙසායා 48:17, 18.

“සමාජෙට වැඩදායී කෙනෙක් වෙන්න මට පුළුවන් වුණේ බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසයි”

ඒ නිසා සමුළුවෙන් පස්සේ මං හිතාගත්තා ආපහු දිගටම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගන්නවා කියලා. සමුළුවේදී අහපු, දැකපු දේවල් මගේ අයියගෙයි නංගිගෙයි හිත්වලටත් ගිය හින්දා ඒ දෙන්නත් දිගටම රැස්වීම් යන්න තීරණය කළා. අපි තුන්දෙනාම ආයෙත් බයිබලේ ගැන ඉගෙනගන්න පටන්ගත්තා.

බයිබලය ඉගෙනගද්දී මට ගොඩක් ආස හිතුණ බයිබල් පදයක් තමයි යාකොබ් 4:8. එතන කියන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා. දෙවිට ළං වෙන්න නම් මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලා මං තේරුම්ගත්තා. ඒ නිසා මං ඇබ්බැහි වෙලා හිටපු පුරුදු වගේම අනිත් හැම නරක වැඩක්ම සම්පූර්ණෙන්ම අතඅරින්න මට ඕන වුණා.—2 කොරින්ති 7:1.

පරණ යාළුවන්ගෙන් ඈත් වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ හිටපු අයව මං මගේ යාළුවෝ කරගත්තා. මාත් එක්ක බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කළේ සභාවේ අයව රැකබලා ගන්න පත් කරලා හිටිය සහෝදරයෙක්. මගේ ජීවිතේ හදාගන්න එයා මට ගොඩක් උදව් කළා. එයා නිතරම වගේ මට කෝල් කළා. අපේ ගෙවල් පැත්තෙන් යන එන වෙලාවලදී ගෙදර ඇවිල්ලා මං ගැන හොයලා බැලුවා. දැන් එයා මගේ හොඳ යාළුවෙක්.

මගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරලා මං බව්තීස්ම වුණේ 2001දී. ඒ සමුළුවේදිම අයියයි නංගියිත් බව්තීස්ම වුණා. අපේ දෙමාපියන්ටයි මල්ලිටයි එදා කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද! පවුලක් විදිහට එකතු වෙලා අපිට ආපහු යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පුළුවන් වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

ඉස්සර මං හිතුවේ බයිබලේ කියලා තියෙන විදිහට ජීවත් වෙද්දී මගේ නිදහස නැති වෙනවා කියලා. ඒත් දැන් මං තේරුම් අරන් ඉන්නවා ඇත්තටම ඒක ජීවිතේට ආරක්ෂාවක් කියලා. කුඩු ගහන එකයි විකුණන එකයි නතර කරලා සමාජෙට වැඩදායී කෙනෙක් වෙන්න මට පුළුවන් වුණේ බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකෙ කොහේ හිටියත් එක පවුලක් වගේ. එයාලා ඇත්තටම එකිනෙකාට ආදරේ කරනවා. (යොහන් 13:34, 35) ඒ වගේම ඒගොල්ලෝ දෙවිට නමස්කාර කරන්නේ හරිම එක්සත්ව. ඒ පවුලේ සාමාජිකයෙක් වෙන්න ලැබුණු එක ඇත්තටම ලොකු ආශීර්වාදයක්! මං පණ වගේ ආදරේ කරන මගේ බිරිඳ ඒඩ්‍රිඈනුත් ඒ පවුලේ කෙනෙක්. අපි දෙන්නටම අපේ දෙවි යෙහෝවාට එකට නමස්කාර කරන්න ලැබිලා තියෙන එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා.

මං දැන් මගේ කාලෙන් වැඩි හරියක් වෙන් කරලා තියෙන්නේ බයිබලේ තියෙන දේවල් ජීවිතේට කොච්චර වටිනවාද කියලා අනිත් අයට කියලා දෙන්නයි. ඒකෙන් මට ලැබෙන්නේ පුදුම සතුටක්. මගේ ජීවිතේ හදාගන්න මට පුළුවන් වුණේ බයිබලේ තියෙන මඟ පෙන්වීම් නිසයි කියලා මං කියන්නේ ලොකු විශ්වාසයකින්. සැබෑ නිදහස දැන් මම අද්දකිනවා. මං දැන් වහලෙක් නෙමෙයි!