Skip to content

පටුනට යන්න

 ග්‍රීසියෙන් ලිපියක්

දුෂ්කර ගමනක සුන්දර මතකයන්!

දුෂ්කර ගමනක සුන්දර මතකයන්!

ක්‍රීට් දූපතෙන් ගමන ඇරඹුව අපි සූදානම් වුණේ යුරෝපයේ දකුණු කෙළවරට වෙන්න තියෙන ගවාහොස් දූපතට යන්න. මධ්‍යධරණී මුහුදේ දිය මත ටිකෙන් ටික ඉදිරියට ඇදෙද්දී ලෙෆ්කා කඳුයාය නොපෙනී ගියේ හරියට අපිට සමුදෙනවා වගෙයි. බෝට්ටුවේ ඉන්න අපි 13දෙනාටම දැනුණේ පුදුම සතුටක්.

එදා හරිම පැහැබර දවසක්. බැලූ බැල්මට කිසිම කරදරයක් නැතුව අපේ ගමන නිම කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් නිසල මුහුද නොසිතූ විදිහට රළු වුණේ අපි හැමෝගෙම හිත් බියෙන් තැති ගන්වමින්. අතීතයේදී කෞද කියා හැඳින්වූ ගවාහොස් දූපත අසලින් යාත්‍රා කරද්දී කුණාටුවකට අසු වූ පාවුල්ට කොහොම හැඟෙන්න ඇතිද කියලා මට ඒ වෙලාවේ හිතුණා. (ක්‍රියා 27:13-17) අපි හැමෝගෙම ප්‍රාර්ථනාව වුණේ කොහොමහරි පණ බේරගෙන ගවාහොස් දූපතට යන්න.

මෙච්චර වෙලා භයෙන් හිටිය අපි හැමෝටම ගවාහොස් දූපත දැක්කම ලොකු සහනයක් දැනුණා. ඈතට අපිට ඒ දූපත පෙනුණේ හරියට මුහුදෙන් මතු වුණ ලොකු පෙට්ටියක් වගෙයි. ඒක අඩි 1000ක් විතර උසයි. සරුවට වැඩිලා තිබුණු පයින් ගස්වලිනුත් පඳුරුවලිනුත් දූපතේ වර්ග කිලෝ මීටර් 26ක් විතර වැහිලා තිබුණා. වෙරළ දෙසට නැමී තිබුණු ජුනිපර් ගස් දූපතට ගෙන දුන්නේ අපූරු අලංකාරයක්.

එක කාලෙක මේ දූපතේ මිනිස්සු 8,000ක් විතර හිටියත් දැන්නම් එහේ 40දෙනෙක්වත් නැති තරම්. ගවාහොස් දූපත පහු කරගෙන අද ලෝකය නවීකරණය අතින් ගව්ගානක් ඉදිරියට ගිහින්. ඒත් ගවාහොස් දූපත නම් තාමත් එතැනමයි. මේ දූපතට ඕන කරන බඩු ගෙන්නගන්නේ ලොකු නැව්වලින්. ඒත් කුණාටු නිසා ඒ නැව් එන්නෙත් හරිම කලාතුරකින්. සමහර කාලවලට නැව් එන්නෙම නැහැ.

මේ දූපතේ ඉන්න අයට දෙන්න අපි ළඟ තිබුණේ බලාපොරොත්තු ජනිත කරවන පණිවිඩයක්. ළඟදීම අපි හැමෝටම සතුටින් පිරි සෞඛ්‍යසම්පන්න ජීවිතයක් හැමදාමත් භුක්ති විඳින්න ලැබෙනවා කියලා ඒ අයට කියනකල් අපිට ඉස්පාසුවක් තිබුණේ නැහැ.

ඒත් පැය හතරහාමාරක් විතර කට්ට අව්වේ පිච්චුණ අපේ මූණුවලින් නම් ඒ සතුට පේන්න තිබුණේ නැහැ. අපි හැමෝම හිටියේ මැලවිලා වගේ. ඒ නිසා අපි ටිකක් විවේක ගත්තා. පොඩි නින්දක් දාලා කෝපි එකක්  බිව්වට පස්සේ අපිට දැනුණේ පුදුම ප්‍රාණවත් බවක්. පාවුල් ගිය දේශනා ගමන ගැන බයිබලයේ තියෙන තොරතුරු අපි ටික වෙලාවකට කතා කළා. ඊට පස්සේ යාච්ඤාවක් කරලා දේශනා කරන්න පිටත් වුණා.

ඒ දූපතේ හිටිය මිනිස්සු හරිම මිත්‍රශීලියි. හැම ගෙදරකින්ම වගේ අපිට සංග්‍රහ කළා. අපිත් පුළුවන් විදිහට ඒ අයට උදව් කළා. අපිත් එක්ක ගිය අය අතරේ විදුලි කාර්මිකයෙකුත් හිටියා. එක සාප්පුවක කැඩිලා තිබුණු විදුලි උපකරණයක් එයා හදලා දුන්නා. ඒ සාප්පුව අයිති ගෑණු කෙනා හුඟක් සතුටු වෙලා අපේ සේවයත් අගය කළා. ඒ විතරක් නෙවෙයි අපෙන් සඟරාත් ඉල්ලගත්තා. තවත් කෙනෙක් මෙහෙම කිව්වා. “දෙයියො තමයි ඕගොල්ලන්ව මෙහෙට එවලා තියෙන්නේ! නැත්නම් ජීවිතේට කවදාවත් ඕගොල්ලන් මේ වගේ පාළු දූපතකට එන්නේ නැහැ.”

හැමෝම වගේ අපේ සඟරා ආසාවෙන් ගත්තා. අපේ සඟරා ගත්ත කෙනෙක් සීත කාලෙදී කියවන්න කියලා තවත් සඟරා ඉල්ලුවා. තවත් එක්කෙනෙක් එයාගේ සාප්පුවට යන එන අයට කියවන්න දෙන්න කියලා අපෙන් වැඩිපුර සඟරා ඉල්ලගත්තා. ඊට පස්සේ එයාගේ ලිපිනයත් අපිට දීලා කිව්වා පුළුවන්නම් හැම මාසෙකම සඟරා එවන්න කියලා. මේ පුංචි දූපත ගැන බයිබලයේ සඳහන් වෙනවා කියලා දැනගත්තම එක පවුලක් පුදුම වුණා. ඒගොල්ලනුත් හරිම සතුටින් අපේ සඟරා ගත්තා.

අතීතයේදී දඬුවම් ලබපු මිනිස්සුන්ව මේ දූපතටත් පිටුවහල් කරලා තිබුණා. එහෙම පිටුවහල් කරපු කෙනෙක් තමයි ඉමාන්වෙල් ලිඕනූඩාකිස්. යෙහෝවා දෙවි ගැන දේශනා කරපු නිසයි 1930දී එයාව මේ දූපතට එවලා තිබුණේ. * “ඒ කාලේදී මේ දූපත නම් දරා තිබුණේ මරණීය දූපත විදිහට. විසකුරු ගෝනුස්සන්ගෙන් පිරුණු මේ දූපතේ හරියට කන්න දෙයක්වත් තිබිලා නැහැ. ලෙඩ රෝගත් හරිම ඉක්මනට පැතිරිලා. ඒ නිසා මෙහාට එවන මිනිස්සු වැඩි කල් ජීවත් වෙලා නැහැ. ඇත්තටම මරණීය දූපත කියන නම මේ දූපතට හොඳටම ගැලපුණා.” මුහුදෙන් අල්ලගත්තු මාළු කාලා තමයි ඉමාන්වෙල් යන්තම් පණ ගැටගහගෙන තියෙන්නේ. හැබැයි මොන දුක් වින්දත් එයා ඒ දූපතට පිටුවහල් කරලා හිටිය අයට දෙවි ගැන කියලා දෙන්න අමතක කළේ නැහැ. එයා අපි හැමෝටම කදිම ආදර්ශයක්. අපිත් එක්ක එයාගේ දුවයි, බෑණයි, මිනිපිරියයි හිටිය නිසා මේ තැන දැක්කම ඒගොල්ලන්ට ගොඩක් දුක හිතුණා. මේ ගමන සතුටයි දුකයි දෙකම මුසු වුණු එකක් කියලා අපිට ඒ වෙලේ දැනුණා.

මේ දූපතට පිටුවහල් කරපු අයට නම් මේ තැන අමිහිරි අද්දැකීමක් වෙන්න ඇති. ඒත් අපිට නම් මේ ගමන සුන්දර මතක සටහන්වලින් පිරුණු එකක්. මේ සති අන්තයේදී අපිට සඟරා 46කුත් මාසික නොවන සඟරා 9කුත් දෙන්න පුළුවන් වුණා. එහෙදී අපිට මුණගැහුණු අයව ආයෙත් සැරයක් හම්බ වෙන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා අපි හැමෝටම හිතෙනවා.

අපිටත් හොරෙන් කාලය පැනලා ගිහින්. පිටත් වෙන්න වෙලාව හරි. අපිට මෙහෙන් පිට වෙන්න තිබුණේ හැන්දෑවේ පහට. ඒ වුණත් කාලගුණය අපිට හරස් වුණ නිසා පහුවදා පාන්දර තුනට යන්න අපි තීරණය කළා. අඩ අඳුරේ පිටත් වුණ අපිට රළු මුහුද කොයිතරම් අකාරුණික වුණත් පැය පහක විතර දුෂ්කර ගමනකින් පස්සේ අපි ක්‍රීට්වලට ගොඩ බැස්සා. අපි මොන තරම් හෙම්බත් වෙලා හිටියත් ගවාහොස් දූපතේ හිටිය අයට දෙවි ගැන කියලා දෙන්න ලැබුණු එක ගැන අපේ හිත්වලට දැනුණේ නිම් හිම් නැති සතුටක්. (යෙසායා 42:12) මේ ගමනේදී අපිට දැනුණ වෙහෙස නම් දවසක් දෙකක් යද්දී නැති වෙලා යයි. ඒත් එහෙදී ලැබුණු ඒ සුන්දර මතකයන් කවදාවත් අපිට අමතක වෙන එකක් නැහැ.

^ 11 ඡේ. ඉමාන්වෙල් ලිඕනූඩාකිස්ගේ ජීවිත කතාව දැනගැනීමට 1999 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ 25-29 දක්වා පිටු බලන්න.